Sutta Pitakaya සූත්‍ර පිටකය

සූත්‍ර පිටකය

සූත්‍ර‍ පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර‍ පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ.එහි දීඝ නිකාය සූත්‍ර‍ සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර‍ එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර‍ සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර‍ නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍ර‍න්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්‍ර‍කරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍ර‍පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

01 දීඝ නිකාය

02 මජ්ජිම නිකාය

03 සංයුක්ත නිකාය

04 අංගුත්තර නිකාය

05 ඛුද්දක නිකාය

විනය පිටකය සහ අභිධර්ම පිටකය

එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්‍ර‍කරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්‍ර‍කරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.
Dhamma Deepa