Pada Arutha පද අරුත

දක්ෂිණා

දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයේ දී ලෞකික වූ ද ලෝකෝත්තර වු ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ.

පිටකත්‍ර‍ය යනු විනය පිටකය, සූත්‍ර‍ පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

ප්‍ර‍ණීපාත

ප්‍ර‍ණීපාතය යනු වන්දනාදියට නමෙකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මාපියාදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමක් බව සලකා ද වඳිති.

ග්‍රීවාස්ථිය

කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත ” ග්‍රෙවී කශේරුකා ” නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි

 දළදා

 “දළදා” යනුවෙන් හදුන් වන්නේ “රදනක” (Canine) නම් වූ දත් විශේෂයයි.

පත්ත නික්කුජ්ජන

පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

ප්‍ර‍වෘත්ති විපාකය

කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

ප්‍ර‍තිසන්ධි විපාක

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි

කර්ම නිමිත්ත

කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය

ගති නිමිත්ත

ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි

බාහිර වස්තු දානය

ආහාර – පාන – වස්ත්‍ර – බෙහෙත් – කෙත් – වතු – රන් – රිදී – මුතු – මැණික් – මිල – මුදල් – ගේ – ඇඳ – පුටු – මේස – පැදුරු – කොට්ට – කැති – උදලු – නගුල් – වෑ – පොරෝ – පිහියා – මල් – සුවඳ – විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ

ආභ්‍යන්තරික වස්තු දානය

ඇස් – ඉස් – මස් – ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.

වස්තු සම්පත්තිය

වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය

මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.

ප්‍ර‍ත්‍යය සම්පත්තිය

ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය

චේතනා සම්පත්තිය

චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය

ගුණාතිරේක සම්පත්තිය

ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය

සාන්දෘෂ්ටික

මෙලොවම තමා විසින් දැක ගත හැකි

Donations