Wath Piliweth වත් පිළිවෙත්

වත් පිළිවෙත් ඉගෙන ගනිමු

වත් පිළිවෙත්අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ භාවනා මාර්ගය ත්‍රිපිටකයේ ඇති පරිදි දක්වන්නට අදහස් කරමි.
සියල්ලෝ ඒ ශාස්තෘ ධර්මය අනුගමනය කරත්වා. ජරා මරණ ධර්මය ලොව වෙනස් නොවන සත්‍යයකි. ජරා.මරණ තුළ සිරගතව කාම ලෝකයේ සිරකරුවන් වන අපට සිතේ විමුක්තිය පිණිස ඇසෙන මේ ධර්මය ගෞරවයෙන් පුරුදු කරත්වා..
භාවනාවක ඇඹුමට සුදුසුකම් තිබිය යුතුය. මූලික සුදුසුකම සීලය යි. සිල්පද පමණක් රකින්නාට නිවනේ අර්ථය ⁣නොපෙනේ.. භාවනාව වඩන්නා විසින් ආභිසමාචාරික ධර්ම දිනපතා කිරීම අනිවාර්ය වේ.
මොනවද ආභිසමාචාරික ධර්ම..? වත් පිලිවෙත් ය.
+ වත් කරන්නාට සේඛ ධර්ම උපදි
+ සේඛ ධර්ම උපදින්නාට සිල්පද රැකිය හැක
+ සීලය පුරන්නාට විපිළිසර නැති සිත උපදි
+ විපිළිසර සිත නැත්තාට ප්‍රමුදිත සිත උපදිවි

ප්‍රමුදිත සිත් ඇත්තාට ප්‍රීති මනස උපදියි. (මෙය කුසල් අරමුණක සිත රැඳුණු විට සිතේ ඇතිවන ආධ්‍යාත්මික පහසුවකි..ප්‍රසන්න බවකි..

+ ප්‍රීති මනස ඇත්තාට කායික සැහැල්ලුව, පස්සද්ධිය උපදියි
+ පස්සද්ධිය ඇත්තාට කායික සැපය උපදියි..
+ කායික සැප ඇත්තාට සමාධිය උපදියි…
+ මෙය භාවනාවට හේතුවන මාර්ගය යි.

ඇමදීමේ අනුසස්එබැවින් දිනපතා සිත පිරිසිදු වන වතක් කරන්නට උනන්දු වෙත්වා..! ගේදොර, බෝඩිමේ, වෘතිය කරන ස්ථානයේ ඕනැ තරම් කටයුතු ඇත. රාජකාරි ඇත. ඒවා⁣ කරද්දි උපදින පින ගැන සිතනවා නම් කෙතරම් හොඳ ද..

+ උදැසන කෙටියෙන් හො වන්දනා කොට සිල් ගැනීම..
+ දිනපතා වත් පිලිවෙතක් තෝරාගෙන පුහුණු කිරීම..

මේ කටයුතු දෙක දිනපතා පුහුණු කරන්න යැයි යෝජනා කරනවා.. බුදුරජාණන් වහන්සේ වත්තක්ඛන්ධකය කියල විනය කොටසක්දේශනා කළා විනය පිටකයේ .. භික්ෂූන්ට වත් පිළිවෙත් කිරීම එහි සඳහන් වනවා.. මෙහිලා ගිහි ශ්‍රාවකයා ආභිසමාචාරික සීලය වඩන්නේ කෙසේද..
අවදිවූ වෙලේ ප⁣ටන් නින්දට යනතුරු අපි කායික ක්‍රියා අපමණ කරනව.. මේව ම කුසල් සිතින් කරන එක තමයි වතෙහි මූලික අදහස..
+ අවදි වෙලා ඇඳ අස් කරන එක.
+ උයනපිහනකොට පිළිවෙලට කරන එක.
+ කනබොන පිඟන් කෝප්ප හෝදන එක , පිලිවෙලට තියන එක.
+ ඇඳුම් පිලිවෙලට තබා ගන්න එක.
+ සපත්තු මේස් පරිහරණ උපකරණ පිලිවෙලට තියන එක
+ වැසිකිලිය භාවිතයෙන් පසු තමා ම ඒ ස්ථානය හෝදන එක
+ ගෙදරකට පිවිසෙනකොට සපත්තු සෙරෙප්පු පිළිවෙලට ගලවන එක..
+ කාර්යාලයේ ක⁣ටයුතු පිලිවෙලට කරන එක
+ තමාගේ සේවය පිළිවෙලට අනුන්ට ලබාදෙන එක..

මේ වගේ එදිනෙදා කටයුතු තමාට හිත පිණිස අනුන්⁣ට හිත පිණිස පොදුවෙ සියලු දෙනාට හිත පිණිස කරන එක තමයි වතපිළිවෙතෙහි ස්වභාවය..අන්න ඒ ක්‍රියාකාරකම් නිසා..

+ මෛත්‍රිය කරුණාව වැඩෙනවා..
+ සිතට පාපී අදහස් කරන්න අවස්ථාව එන්නැ.
+ යහපත් දේ කරන්න වීරිය ඇති වෙනවා..
+ සිතට සිහිය හා නුවණ ඇති වෙනවා..

අපිට එදිනෙදා කටයුතු සියල්ල මේ ආකාරයට කරන්න බැ තමයි.. නමුත් යම් තෝරාගත් කටයුත්තක් මෙත් සිතින් කරන්න පුලුවන් නේද.. පොඩි ක⁣ටයුත්තක් තොරා ගන්න පුලුවන්.. ඒක නොවැදගත් කියල හිතන්න එපා..
මෛත්‍රි සිතින් කරන්න..

උදා – දහඩිය ඇඳුමක් ගලවල ඔහේ විසි කරන්නැතුව ඒක පිලිවෙලින් එල්ලා තියනව. තමාගේ සුවපත් බව පිණිස හේතුවන ආකාරය දකින්න.. දැකල සතුටක් ඇති කරගන්න..
එතන මෛත්‍රිය පිහිටනවා, එතන සිහිය පිහිටනව, යහපත කරන්න නුවණ පිහිටනව..
උදා – ගෙදරක අපිලිවෙලට ඇති තැනක් පිරිසිදු කරනකොට අනුන් එ නිසා සුවපත් වන ආකාරය දකින්න.
එතන මෛත්‍රිය පිහිටනවා, එතන සිහිය පිහිටනවා.. යහපත කරන්න නුවණ පිහිටනව..
මේ ආකාරයට සිහියෙන් යුතුව යම් ක්‍රියාකාරකමක් මෛත්‍රිය ඇතිව කරන එක තමයි වත පිළිවෙතෙහි අරමුණ..
බුදුරජාණන් වහන්සේ කියා දෙනව
+ මෛත්‍රී සහගත කාය කර්ම කරන්න
+ මෛත්‍රී සහගත වචී කර්ම කරන්න
+ මෛත්‍රී සහගත මනෝ කර්ම කරන්න කියල..

මෙහෙම කටයුතු වලට සිත යොමින් වත කරනකොට..

+ එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුහුණු කරන කෙනෙක්..
+ එයා ශ්‍රද්ධාව ටික ටික වඩනවා..
+ එයා යහපත් කටයුතු හුරු කරන කෙනෙක් .. එ නිසා පාපයට බයත් ලැජ්ජාවත් ඇති වෙනවා
+ එයා කුසල් කරන්න විරිය කරන කෙනෙක්.. විරිය නම් ධර්මය ඇති වෙනවා
+ එයා නිවන ඉලක්ක කරගෙන කටයුතු කරන කෙනෙක්.. ප්‍රඥාව ඇති වෙන්න ගන්නවා..

අන්න එහෙමයි වත පිලිවෙතින් ශ්‍රද්ධා , හිරි , ඔත්තප්ප , විරිය, ප්‍රඥා ඇති කරගන්නේ.

Copy   https://appamado.lk/

‘චුල්ලවග්ගපාලියෙන්’ හෙළි කැරෙන වත් පිළිවෙත්

වත්ත යන පදය පාලි ශබ්ද කෝෂය අර්ථ දක්වන්නේ, “පිළිපැදිය යුතු, ක්‍රියාවට නැංවිය යුතු” යනුවෙනි. ඒ අනුව භික්‍ෂූ වතාවත් ලෙස හැඳින්වෙන්නේ භික්‍ෂූන් වහන්සේ පිළිපැදිය යුතු හා ක්‍රියාවට නැංවිය යුතු කරුණු වේ. සූත්‍ර දේශනා තුළ භික්‍ෂූ වතාවත් පිළිබඳ අඩු වැඩි වශයෙන් කරුණු සඳහන් වෙතත්, මෙහිදී බලාපොරොත්තු වන්නේ චුල්ල වග්ග පාලියේ වත්තක්කන්ධකයෙහි ඇතුළත් භික්‍ෂූන් වහන්සේගේ ආරාමික වත් පිළිබඳ විමසීමක් කිරීමය.

භික්‍ෂු ශාසනයේ ආරම්භයේ සිටම භික්‍ෂූන් වහන්සේගේ බ්‍රහ්මචාරි ජීවිතයේ ක්‍රියාත්මක වුයේ, පෞද්ගලික අරමුණු මෙන්ම සමාජයීය අපේක්‍ෂාවන්ද ඇතිවයි. ප්‍රථම ධර්ම දූත සේවයේ යෙදුණූ මහ රහතන් වහන්සේ වෙත බුදු රජාණන් වහන්සේ දෙන ලද උපදේශය තුළින් ඒ බැව් සනාථ වේ. “ චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, සදේව මනුස්සානං “ ස්ව විමුක්තිය උදෙසා මෙන්ම,දෙවියන් සහිත ලෝකයාගේ විමුක්තිය උදෙසා හැසිරිය යුතුය. සංචාරක ජීවිතයක් ගත කළ භික්‍ෂූන් වහන්සේට වස් සමාදන් වීම පිළිබඳව විනය ප්‍රඥප්තියක් ලැබීමෙන්, දිගු කාලයක් එක් තැනක රැඳීමට ඉඩ ලැබුණි. මුල්ම අවධියේදී භික්‍ෂූන් වහන්සේ සංචාරක ජීවිතයක් ගත කිරීමට බල පෑ හේතු කීපයකි. බුද්ධ කාලීන භාරතයේ සිටි සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායන්ගේ ආභාෂයට, අනුව සංඝ සමාජය ගොඩනැඟීම එක් හේතුවකි. ශාසනය ආරම්භයේදී භික්‍ෂූන් වහන්සේ උදෙසා ස්ථීර වාසස්ථාන නොතිබීම තවත් හේතුවකි.

බුදුරජාණන් වහන්සේ විෂයෙහි පූජා කරන ලද ප්‍රථම ආරාම පූජාව ලෙස සැලකෙන්නේ වේළුවනාරාමයයි. ග්‍රන්ථාගත තොරතුරුව ලට අනුව එහි වැඩි භික්‍ෂු පිරිසකට නේවාසිකව වැඩ සිටීමට පහසුකම් තිබුණු බවත්, දීර්ඝ කාලයක් භාවිතයට ගත හැකි ස්ථිර ගොඩනැගිලි වලින් සමන්විත වු බවත් පැහැදිලිවේ. බුදුරජාණන් වහන්සේ අවස්ථා කිහිපයකදීම වැසි සමයේ එහි වැඩ විසූ බවද සඳහන් වේ. රජගහනුවර සිටුවරයා විසින් භික්‍ෂූන් වහන්සේලා සඳහා සාදවා පූජා කරන ලද ආරාමය, කුටි හෙවත් විහාර හැටකින් සමන්විත විය.

වර්තමානයේ ශේෂව පවතින අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමය වුවද, කුටි රාශියකින් සමන්විතව පැවති බැව් පැහැදිලි වේ. ග්‍රාමීය හෝ නාගරික හෝ භික්‍ෂූන් සඳහා ඉදිකළ ආරාම, පෞද්ගලිකව පරිහරණය කළ හැකි කුටි රාශියකින් හා පොදුවේ භාවිතා කළ හැකි විශාල ගොඩනැගිලි වලින්ද, සමන්විතව තිබුණි. භික්‍ෂූන් වහන්සේ ආරම්භයේ සිටම සාමූහිකව වැඩ විසූ බවට මේ කදිම සාක්ෂියකි. පිරිසක් එක් තැනක එක්ව කටයුතු කිරීමේ දී සාමූහික ජීවිතය පහසුකර ගැනීමෙහිලා සැකසුණු වත් පිළිවෙත් සමූහයක්, උන්වහන්සේලා තුළ පැවතිය යුතු විය. බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවන්හිදී, සාමූහිකව වසන භික්‍ෂූන්ගේ පහසුව පරිදි දේශනා කරන ලද වත් පිළිවෙත් සමූහයක් පිළිබඳ වත්තක්කන්ධකයෙහි සඳහන් වේ.

සමූහයෙන් වෙන්ව හුදකලාව ජීවත්වීමේ දී, කෙනෙකුට තමාට ආවේණික වූ පෞද්ගලික චර්යා පද්ධතියක් ක්‍රියාවට නැංවිය හැකි වුවත්, සාමුහික ජීවිතයේදි එසේ ක්‍රියා කළ නොහැක. සමූහයෙන් තමා අපේක්‍ෂා කරන දෑ හා තමාගෙන් සමූහයාට ඉටුවිය යුතු දෑ පිළිබඳ අපේක්‍ෂාවන්හි, පුද්ගල විසමතා පවතින බැවින්, පිළිගත හැකි, සාමූහිකව ක්‍රියා කිරීමටය යෝග්‍ය , ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය වේ. එකිනෙකාගේ ආරක්‍ෂාව , පිරිසුදු බව, විශ්වාසය, සහයෝගීතාවය, කාය¸ක්‍ෂමතාවය, ආගන්තුක සත්කාරය, එකිනෙකා ඇගයීම හා ඔවුනොවුන් තුළ ගෞරවය ඇතිව කටයුතු කිරීම, සමූහයක් තුළ ප්‍රකට විය යුතු ගුණාංග කීපයකි. වත්තක්ඛන්ධකයේ අන්තර්ගත කරුණු වලින් ප්‍රකට කරණුයේ සාමූහිකව වැඩ විසීමේදි, ගැටලු ආරවුල් වලින් තොරව භික්‍ෂූන් වහන්සේලාට වැඩ විසීම පිණිස, පිළිපැදිය යුතු උපදෙස් හා අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් පැහැදිලි කිරීමයි.

එහි අන්තර්ගත කරුණු විවිධ වත් වශයෙන් කාණ්ඩ 14 ක් යටතේ දක්වා තිබේ. එනම් ආගන්තුක වත, ආවාසික වත, ගමික වත, අනුමෝදනා වත, පිණ්ඬචාරක වත, ආරඤ්ඤික වත, සේනාසන වත, ඡන්නාඝර වත, වච්ඡකුටි වත, උපජ්ඣාය වත, සද්ධී විහාරික වත, ආචරිය වත හා අන්තේවාසික වත වශයෙනි. උක්ත වත් සංක්‍ෂේප වශයෙන් මෙසේ හඳුන්වා දිය හැක. කිසියම් භික්‍ෂුවක් තමන් වැඩ වසන විහාරස්ථානයෙන් බැහැරව, වෙනත් විහාරස්ථානයකට වැඩියේ නම්, උන් වහන්සේ එහිදි ආගන්තුකයෙකු වශයෙන් පිළිපැදිය යුතු කරුණු, ආගන්තුක වත් ලෙස සැලකේ.

තම ආරාමයට ආගන්තුකව වැඩම කරවන භික්‍ෂූන් වහන්සේ විෂයෙහි , ආරාමීය භික්‍ෂූන් විසින් ක්‍රියා කළ යුතු අයුරු, ආවාසික වත් යටතේ ඉදිරිපත් කොට තිබේ. ගමික වත් ලෙස දැක්වෙන්නේ, යම් භික්‍ෂුවක්, සිය ආරාමයෙන් පිටතට ගමන් කරන විට, ආරාමය සකස් කර තබා යා යුතු පිළිවෙලයි. දානය පිළිගත් භික්‍ෂූන් වහන්සේ දන් පිරිනමන ලද සැදැහැවතුන් උදෙසා, ධර්මානුශාසනා කිරීම හා අනෙකුත් භික්‍ෂූන් විසින් එහිදි පිළිපැදිය යුතු පිළිවෙළ, අනුමෝදනා වත් වලට ඇතුළත් වේ. පිණ්ඩපාතය සඳහා පා සිවුරු සකසාගෙන වැඩම කළ යුතු ආකාරය, පිණ්ඩපාතය පිළිගන්වන තුරු රැඳී සිටිය යුතු පිළිවෙළ හා පිළිගත් පිණ්ඩපාතය විහාරස්ථානය කරා රැගෙන ආ පසු, අනුගමනය කළ යුතු පිළිවෙත්, පිණ්ඬචාරික වත්ත යටතේ සවිස්තරව ඉදිරිපත් කර තිබේ. ආරණ්‍ය ගතව වැඩ වසන භික්‍ෂූන් දැන ගත යුතු කරුණු හා පිළිපැදිය යුතු ක්‍රමයත්, තමන් වහන්සේලා සපුරා ගත යුතුදෑ මෙන්ම, පිටත ගමට පිණ්ඩපාතය සඳහා වඩින විට ආරාමය සකස්කොට තබා පිටත් විය යුතු පිළිවෙල, ආරණ්‍යක වත් යටතේ දැක්වේ. පවිත්‍රතාවය අගය කළ බුදුරජාණන් වහන්සේ, ආරාමය, සෙනසුන පවිත්‍රව තබාගත යුතු ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳ තොරතුරු සේනාසන වත් වලට ඇතුළත් වේ. ඡන්තාඝරය හෙවත් ගිණිහල් ගෙය පරිහරණය කරණ අයුරු, ඡන්තාඝර වත් වලින්ද, වැසිකිළිය භාවිත කිරීම පිළිබඳ අවබෝධ කර ගත යුතු කරුණු, වච්ඡකුටි වත් වලින් දක්වා තිබේ.

උපාධ්‍යයන් වහන්සේ, සද්ධී විහාරික භික්‍ෂුව (තමා යටතේ පැවිද්ද හා උපසම්පදාව ලැබූ ) පිළිබඳව අනුගමනය කළ යුතු පිළිවෙළ, උපාධ්‍යාය වත් තුළින්ද, ආචාර්යන් වහන්සේ විසින් අන්තේවාසික භික්‍ෂුව (තමා යටතේ ආචාර සමාචාර ඉගෙන ගන්නා) වෙත පිළිපැදිය යුතු ආකාරය, ආචාර්ය වත් යටතේද දක්වා තිබේ. සද්ධි විහාරික භික්‍ෂුව විසින් උපාධ්‍යායන් වහන්සේ විෂයෙහි පිළිපැදිය යුතු අයුරු, සද්ධී විහාරික වත් වලින් හා ආචාර්යවරයන් වහන්සේ විෂයෙහි අන්තේ වාසික භික්‍ෂුව විසින් පිළිපැදිය යුතු ආකාරය, අන්තේවාසික වත් තුළින්ද විස්තර කර තිබේ.

භික්‍ෂූන් වහන්සේ, දෛනික ස්වකීය ජීවිතයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලෙස දැක්වෙන, යථෝක්ත වත් පිළිවෙත් ප්‍රධාන වශයෙන් ශීර්ෂ තුනක් යටතේ විග්‍රහ කර බැලීම පහසු වේ.

1. තමන් වහන්සේලාගේ ආරාම හෙවත් සෙනසුන තුළ පවතින භෞතික සම්පත්, තම අවශ්‍යතා පරිදි පරිහරණය කළ යුතු පිළිවෙළ.
2. සිවුපසය පරිහරණය කරණා ආකාරය හා සිවුපසය ලබා දෙන ගිහි ජනයා කෙරෙහි භික්‍ෂුව පිළිපැදිය යුතු ආකාරය.
3. සාමූහිකව ආරාම ගත ජීවිතය පවත්වාගෙන යාමේදී, සෙසු භික්‍ෂූන් කෙරෙහි පැවැතිය යුතු පිළිවෙළ වශයෙනි.

සෙනසුනක වැඩවසන භික්‍ෂූන් වහන්සේලාට, පෞද්ගලිකව වෙන්වු කුටියක් තිබුණද, දෛනික කටයුතු වලදී පොදුවේ භාවිතා කරන ස්ථානද තිබේ. දාන ශාලාව, වැසිකිළිය, ගිනිහල්ගෙය ඉන් කීපයකි. විශේෂයෙන් මෙවැනි පොදු ස්ථාන පිරිසුදුව තබා ගැනීම හා ක්‍රමානුකූ®ලව තබා ගැනීම භික්‍ෂූන් වහන්සේ වෙත පැවරෙන වගකීමකි. ආරාමය සතු බඩු භාණ්ඩ ප්‍රවේශමෙන් පරිහරණය කිරීම, නියමිත තැන තැබීම, පවිත්‍රව තබා ගැනීම හා විනාශ වීමට ඉඩ නොතැබීම පිළිබඳව ද භික්‍ෂුව වග බලා ගැනීමට අවශ්‍ය උපදෙස් වත්තක්ඛන්ධකය මගින් දක්වා තිබේ.සෙනසුන පවිත්‍රව තබා ගැනීමේදී ප්‍රථමයෙන් කළ යුතු වන්නේ, ඉවත් කළ යුතු, අනවශ්‍ය දෑ ඉවත් කිරීමයි. එය ප්‍රවේශමෙන් කළ යුතුය. අනතුරුව මකුළුදැල් කඩා තෙත රෙදි කඩකින් බිත්ති පිස දැමීම කළ යුතුයි.

මකුළු දැල් කඩාදැමීමේදී,උඩ සිට පහළට කළ යුතු බැව්ද දක්වා තිබේ. පාපිසි ආදියෙහි දූවිලි ගසා දැමීමේදී, සුළඟ හමන දිශාව පිළිබඳව තේරුම් ගෙන, යටි සුළගට පමණක් හසුවන සේ ගසා දැමීමටත්, දූවිලි නො විසිරෙන පරිදි, බිමට ජලය ඉස පිරිසුදු කළ යුතු බවටත් උපදෙස් දී තිබේ. විශේෂයෙන් උපකරණ හා භූමිය පවිත්‍ර කිරීමේදී, පරිහරණය සඳහා ජලය රැස්කර තබා ඇති භාජන වලට මිශ්‍ර නොවන ලෙසට, දූවිලි ආදිය පිසදැමීමට වගබලා ගත යුතුය. මෙයින් ගම්‍ය වන්නේ භූමිය හා පරිහරණය කරන භාණ්ඩ පිරිසුදු කිරීමේදී ප්‍රවේශමෙන් හා සැළකිල්ලෙන් කළ යුතු බවයි.

පවිත්‍රතාවයේදී ජලය අතිශය වැදගත් සාධකයකි. සෙනසුනක පානීය ජලය හා පරිභෝජනීය ජලය වශයෙන් වෙන් වෙන්ව, ජලය රැස්කර තබා ගත් බව හෙළිවේ. පානීය ජලය, බීමට පමණක් යොදා ගැනුණි. සෙසු කටයුතු සඳහා පරිභෝජනීය ජලය ප්‍රයෝජනයට ගැනුණි. බොහෝ දෙනෙකු රැස්ව සිටින තැන, ජල පරිහරණය සැළකිලිමත්ව කළ යුතුය.අපතේ යෑම වැලැක්වීම, පවිත්‍රතාව රැක ගැනීම, පමණ ඉක්මවා පරිහරණය නොකිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු විය යුතුය. දන් වළදා අවසානයේ, ඉඳුල් අස් කිරීම, පාත්‍රය පිරිසුදු කිරීම හා ඉඳුල් අතින් උපකරණ නොඇල්ලීම ආදි දක්වා ඇති පිළිවෙත් වලින් ද, පිරිසුදුකම හා සෞඛ්‍ය සම්පන්නකම සමඟ බැඳුණු වත් ලෙස සැළකිය හැක. පා සිවුරු, පාවහන් හා වැසිකිළි භාවිතය සඳහා දක්වා ඇති වත් තුළින්ද පවිත්‍රතාවයේ අගය හා නීරෝගී කමේ වටිනාකම, අගය කර ඇති බව පසක් කර ගත හැක.

ආරාමයෙන් බැහැරට ගොස් යළි පැමිණි විට, පාවහන් ගළවා ආරාමයට ඇතුල්වීම , නිසි තැන පාවහන් තැන්පත් කිරීම හා පාවහන් පිරිසුදු කිරීමේදි පළමුව, වියළි රෙදි කඩකින් පිස දමා, දෙවනුව තෙත සහිත රෙදි කඩකින් පිස දැමීමත්, පා සේදීමේදී එක් අතකින් පැන් භාජනය ගෙන, අනෙක් අතින් පා අල්වා සෝදා ගැනීමත්, ජල භාජනය ගත් අතින් පා නො ඇල්ලීමටත් වග බලා ගත යුතු බව දැක්වේ. මෙවැනි කරුණු තුළින් පිරිසුදුකම, කළමනාකරණය හා ක්‍රමාණුකූල බව උගන්වයි.

ශාසන සම්ප්‍රදාය, වෘද්ධ පටිපාටිය (මහණ උපසම්පදාවෙන් වැඩිහිටි බව) අනුව වුවත්, වැසිකිළි භාවිතයේදී එය එසේ නොවිය යුතු බව නියම කර තිබේ. සඝ මහළු පිළිවෙළ නොතකා, පැමිණි අනු පිළිවෙළට අනුව, වැසිකිළි භාවිතයට ඉඩදී තිබේ. වැසිකිළි භාවිතයේදී වැඩිහිටි බව සළකා ක්‍රියා කිරීම, දුක්කටාපත්තියක් ලෙස හඳුන්වා තිබීමෙන්, බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවගේ අවශ්‍යතාවය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව පෙනෙයි. වැසිකිළියෙන් පිටවන ජලය හා අපද්‍රව්‍ය ගලායාමට බාධා ඇතිවන පරිදි, නළ මාර්ග වලට වෙනත් දෑ දැමීමෙන් අවහිර නොකළ යුතු බවත්, එහි නඩත්තු කටයුතු මනා ලෙස සිදු කිරීම පිළිබඳවත් කරුණු දක්වා තිබේ. වච්ඡකුටි වත යටතේ ඇතුළත් කොට ඇති මේ කරුණු තුළින්, පොදු පරිහරණයට යොදා ගන්නා වැසිකිළිය වැනි තැනක පිරිසුදු බව, ප්‍රසන්නකම හා නඩත්තුව ගැන සැළකිල්ලක් යොමුකොට තිබේ.

බෞද්ධ විමුක්ති මාර්ගය, පවිත්‍ර බව පදනම් කොට ගත්තකි. බාහිර හා අධ්‍යාත්මික පිරිසුදු බව එහිදී අගය කරයි. සේනාසන වත්ත යටතේ සෙනසුනක පිරිසුදු බව හා ක්‍රමාණුකූ®ල බව සවිස්තරව දැක්වෙන කරුණු ඊට කදිම සාක්‍ෂියකි. සෙනසුන පිරිසුදු කිරීමේදී එකතු කරන ලද කසල, තැන තැන නොදමා, එක් තැනකට එකතු කළ යුතුය. පවිත්‍ර කිරිමේදී ඉවතට ගන්නා ලද භාණ්ඩ, යළි එම ස්ථාන වලම තැබීමට ක්‍රියා කළ යුතුයි. සෑම භාණ්ඩයක්ම තැබීමට නියමිත තැනක් තිබේ. ප්‍රයෝජනයකට ගත් භාණ්ඩය, යළි නියමිත තැන තැන්පත් කිරීම, කළමනාකරණය පිළිබඳ සංකල්පයකි. දොර ජනෙල් විවෘත කිරීම, වසා දැමීම, පිරිසුදු කිරිම ආදි කටයුතු වලදීද, සෙනසුනෙහි වැඩ වසන වැඩිහිටි භික්‍ෂුවගේ අවසරයක් ඇතිව කිරීමද වැදගත්වේ.

ගිනිහල් ගෙය, භික්‍ෂුන්ගේ පොදු පරිහරණය සඳහා වෙන්වුන තවත් තැනකි. උදෑසන පළමුව පැමිණෙන භික්‍ෂුව, එහි සියලු භාණ්ඩ හා අවට පරිසරය පවිත්‍ර කළ යුතුය. පසුව පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට, උන් වහන්සේලාගේ කටයුතු වලට අවහිර නොවනසේ, එසේ කිරීමටද වගබලා ගත යුතුය. වයෝවෘද්ධ හෝ රෝගී වු හෝ භික්‍ෂූන්ට ස්නානය පිණිස, උණූ ජලය පිළියෙළ කොට තැබේ. ස්නානය කිරීමේදී වැඩිහිටි භික්‍ෂූන්ට පළමුව ඉඩදී, අගෞරවයක් නොවන පරිදි, තමන්ද ස්නානය කිරීම වරදක් නොවෙයි.

ආරණ්‍යගතව වැඩසිටින භික්‍ෂූන් විසින් විශේෂ වශයෙන් සැළකිය යුතු කරුණු කීපයක්, ආරඤ්ඤික වත්ත යටතේ දක්වා තිබේ. ඒ අනුව,

1. පානීය හා පරිභෝජනීය ජලය ප්‍රමාණවත්ව තබා ගැනීම
2. ගින්දර හා ගිනි දැල්වීමට වුවමනා උපකරණ තිබීම
3. නැකැත් තරු හා දිසාවන් හඳුනාගත හැකි අයෙකුවීම මූලික වේ.

ජනයාගෙන් ඈත්ව හුදකලාව ජීවත්විමේදී, විශේෂයෙන් දෛනික ජීවන ක්‍රියාවලියට උවමනා ජලය, ගින්දර ආදිය සොයා ගැනීම පිළිබඳව, මෙහිදී අවධානය යොමුකොට තිබේ. ආරණ්‍යයෙන් පිටතට සිවුපසය සොයාගැනීම හෝ වෙනත් වුවමනාවක් සඳහා ගමන් කිරීමේදී, නිසි ලෙස මාර්ගය හඳුනා ගැනීමට භික්‍ෂුවට හැකියාව තිබිය යුතුය. තරු හා දිසාව හඳුනා ගැනීමේ සමත්කම අවශ්‍ය වන්නේ ඒ ස¼ඳහායි.

පා සිවුරු ප්‍රවේසම් කර ගැනීම හා භාවිතය පිළිබඳවද අනුගමනය කළ යුතු වත් සම්බන්ධයෙන්, දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ. ආරාමය තුළදී හා ආරාමයෙන් බැහැරට යන විට, සිවුර හා අඳනය සකස් කර ගත යුතු පිළිවෙළ ඊට ඇතුළත්වේ. ත්‍රිමණ්ඩලය වැසෙන පරිදි අඳනය හැඳ, සිරුර වට කර සිවුර පෙරවිය යුතුය. අරමෙන් බැහැර මාර්ගයෙහි හෝ ගමෙහි වැඩම කරවන විට, ඉතා සන්සුන් ඉරියව් වලින් යුතුව ගමන් කළ යුතුය. පිණ්ඩපාතය පිළිගැනීම හා වැළඳීම පිළිබඳව, පිළිපැදිය යුතු කරුණු දක්වා තිබේ.

අත ලෙව කෑම, තොල් ලෙවකෑම, විවිධ අනුකරණ හඬ නැගෙනසේ පිණ්ඩපාතය වැළඳීමෙන් වැළකිය යුතුය. දුටුවන් පහදවන ආකාරයටත්,, ආචාරශීලි ක්‍රමයටත් භික්‍ෂූන් වහන්සේට තම ඉරියව් පවත්වා ගැනීමට මේ තුළින් උපදෙස් දී තිබේ. එමෙන්ම නාස්තිය වලකා, ප්‍රමාණවත් පරිදි, අවශ්‍යතාවයට සරිලන ලෙස, සම්පත් භාවිතය කෙරෙහි භික්‍ෂුවගේ අවධානය යොමුකොට තිබේ. වැළඳීමට ප්‍රමාණවත් වන පරිදි පිණ්ඩපාතය පිළිගැනීම හා බත් වලට සරිලන පමණට ව්‍යඤ්ජන පිළිගැනීම වැනි කරුණු වලින් ඒ බව පසක් වේ. මෙහි එන උපදෙස් බොහෝ විට සේඛියා වලට සමාන වේ.

ආරාමය සතු භෞතික සම්පත්, විශේෂයෙන් පරිහරණය කරනු ලබන දැව භාණ්ඩ ආදිය, සුරක්‍ෂිත කර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් රාශියක්, ගමික වත යටතේ දක්වා තිබේ.ආරාමයෙන් පිටතට යන විටකදී, බඩු භාණ්ඩ වැස්සෙන් ආරක්‍ෂාවන පරිදි, ස්ථාන ගත කොට යා යුතු අතර, ආයතනයේ රැඳී සිටින අයකුට දන්වා පිටවිය යුතුය. එසේ ආරක්‍ෂා සහිත තැනක් සෙනසුන තුල නොමැති නම්, අවශ්‍ය භාණ්ඩ ආරක්‍ෂාව පිණිස ගමට ගෙන යා හැක. එය දුෂ්කර නම්, ගල් සතරක මත එම භාණ්ඩ ගොඩගසා, අවම වශයෙන් ලී දඬුවත් ඉතිරිකර ගැනීමට කටයුතු කළ යුතුය.

භික්‍ෂූන්ගේ ජීවිතය පවත්වාගෙන යෑමට,සිවුපසයෙන් උපකාර කරණු ලබන ගිහි ජනයාගේ, අප්‍රසාදය ඇති නොවන ලෙසට, සිවුපසය ලබා ගත යුතු අතර, ඒවා පරිහරණය කිරීමේදී ද, බොහෝ අපේක්‍ෂා කිරීම නම් වූ “මහිච්ඡතාවයද “ සෑහීමකට පත් නොවීම නම් වූ “අතිච්ඡතාව “ වැනි ලාමක අදහස් වලින් තොර විය යුතුය. සිවුපසය පූජා කරන ගිහි පිරිසට, සිත සතුටුවන පරිද්දෙන් අනුශාසනාවක් කළ යුතුයි.

ඒ සදහා, සංඝයා අතර සිටින ප්‍රතිබල සම්බන්ධ භික්‍ෂුවක් ඉදිරිපත් කිරීමටද අනුදැන වදාරා තිබේ. අනේක භික්‍ෂූන් ඉවත්ව නොගොස් වැඩි මහළු පිළිවෙළින් කීප දෙනෙකු දන් හලෙහි රැඳී සිටියුතු බැව් සඳහන්වේ. අත්‍යවශ්‍ය කරුණක් සඳහා පිටව යාමටද අවසර තිබේ. දානය පිළිගැනීම, වැළඳීම පිළිබඳව මෙන්ම, වළඳා අවසානයේ ඉඳුල් ඉවත් කිරීම සම්බන්ධවද අනුගමනය කළ යුතු වත් මෙහිදී දක්වා තිබේ. වෙනම භාජනයකට ඉඳුල් ඉවත් කළ යුතු අතර, ඒවා තණකොළ ගොඩක නොදමා, සතුන් නැති ජලාශයකට දැමිය යුතුය. පරිසරය ආරක්‍ෂා වීමද එයින් සිදුවේ. දාන ශාලාවේ අසුන් ගැනීමේදී, සඟ මහළු පිළිවෙළින් වාඩිවීම, සඟසිවුර අතුරා වාඩි නොවීම, දන් ශාලාව තුල කථා බහ නොකිරීමද කළ යුතුය. කථා කළ යුත්තේ වැඩිමහළු භික්‍ෂුව පමණි. පිළියෙළ කර ඇති දානය, වැඩම කළ භික්‍ෂුන්ට ප්‍රමාණවත් නොවන විටකදී, දායකයින්ට කථා කොට අවුල්පත් ආදිය දානය සඳහා වැඩම කළ හැම භික්‍ෂුවකටම ලැබෙනසේ පිළිගැන්විය යුතුය. දානය හා ව්‍යඤ්ජන පිළිගැන්වීමට පහසුවන ලෙස, දෑතින්ම පාත්‍රය අල්වාගෙන සිටීමත්, සියලුම භික්‍ෂූන්ට දන් පිළිගන්වා නිම වන තුරු, වැඩි මහළු භික්‍ෂුව දන් වැළඳීම ආරම්භ නොකිරීමත් දානය පිළිගැන්වීමේදි දායකයාගේ මුහුණ දෙස බැලීමත් නොකළ යුතුය. දානය වළඳා පිටවී යන විට පළමුව නවක භික්‍ෂූන්ද, අනතුරුව තෙරුන් වහන්සේලාද පිටව යා යුතුය.

ආගන්තුක වත්ත හා ආවාසික වත්ත යන අංශ දෙකම දක්වා ඇත්තේ, ආරාමීය භික්‍ෂූන් සම්බන්ධයෙනි. ආරාමික භික්‍ෂු සමාජය, උපාධ්‍යාය හා සද්ධි විහාරික, ආචාර්ය හා අන්තේවාසික යන කණ්ඩායම් හතරෙන් සමන්විත වේ. ආගන්තුකව පැමිණෙන භික්ෂූන්ද , ආවාසයික භික්‍ෂූ සමාජයටම ඇතුළත් කොට ඇත. ආගන්තුකව පැමිණෙන යම් භික්‍ෂුවක්, එක් වරම ආරාමය තුළට නොගොස්, පොදු ස්ථානයකට පැමිණ එහි අසුන් ගත යුතුය. අනතුරුව තොරතුරු විමසා දැන, වැඩිහිටි භික්‍ෂූන් සිටී නම් අභිවාදනය කළ යුතුය. බාල භික්‍ෂූන් ඇත්නම් වැඳුම් ලබා ගත යුතුය. ආගන්තුකව පැමිණි භික්‍ෂුව රැයක් එහි ගත කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ බැව් ආරාමයේ භික්‍ෂූන්ට දැනුම් දී ඔවුන් කරගෙන තිබෙන කථිකා විධි ද තමාට නැවතීමට නියමිත ස්ථානයද ආරාමික භික්‍ෂූන්ගෙන් දැන ගත යුතුය.

සද්ධි විහාරික හා අන්තේවාසික භික්‍ෂූන් විසින්, තම උපාධ්‍යාය හා ආචාර්යන් වහන්සේලා විෂයෙහි දැක්විය යුතු, සැලකිලි, සම්මාන හා කළ යුතු වත් පිළිවෙත්,උපඣාය හා ආචරිය වත් වලින් පෙන්වා දෙයි. මහාවග්ගපාලියේ දැක්වෙන ආකාරයට, උපාධ්‍යායන් වහන්සේ හා සද්ධී විහාරිකයා අතර සබඳතාවය, “ පිය පුතු “ බැඳීමට සමානය. “උපඣායෝභික්ඛණවේ සද්ධී විහාරිකම්හි පුත්ත චිත්තං උපට්ඨපෙස්සති. සද්ධී විහාරිකො උපඣායම්භී පිතු චිත්තං උපට්ඨපෙස්සති” ආචාර්ය වරයාගේ කාර්ය වන්නේ, අන්තේවාසික භික්‍ෂුව ආචාර සමාචාරවලට අනුව හික්මවීමයි.

උදෑසන අවදිවීමේ සිට රාත්‍රී නින්දට යන තුරු, උපාධ්‍යායන් වහන්සේ විෂයෙහි ඉටු කළ යුතු වත්, උපක්‍ධාය වත් යටතේ දක්වා තිබේ. උපාධ්‍යයන් වහන්සේ අවදිවන විට , දැහැටි, පැන් ආදිය එළවා තැබිය යුතුය. මුහුණ දොවා ගත් පසු, ආසන පනවා කැඳ පිළිගැන්වීම කළ යුතු අතර, උන් වහන්සේ වැඩ සිටි ස්ථානය පිරිසුදු කිරීම පරිහරණය කළ භාණ්ඩ පිරිසුදු කොට පිළිවෙළකට තැබීම ද කළ යුතුය. ස්නානය කිරීමට අවශ්‍ය වු විට, ඊට වුවමනා දෑ සකසා තැබීමත්, ගිනිහල් ගේ ස්නානය කරන්නේ, නම් උණු පැන් පිළියෙළ කොට නහවා , ඇග පිස දැමීම ආදිය ද කළ යුතු වේ. දන් වැළඳීමේදි ඊට වුවමනා දෑ නිසි පරිදි පිළියෙළ කිරීම ද සද්ධී විහාරික භික්‍ෂුව විසින් ඉටු කළ යුතුවේ.

උපාධ්‍යායන් වහන්සේට යම් කළකිරිමක්, යම් කුකුසක් ඇති වූ විට එය මඟ හරවා ගැනීමට අවශ්‍ය කරුණු දක්වා සහාය විය යුතුය. තමාට එය කළ නොහැකි නම් වෙනත් සුදුසු අයෙකු ලවා එය ඉටු කළ යුතුය. උන් වහන්සේගෙන් ඉවසීමකින් තොරව, පාත්‍රා සිවුරු සහ වෙනත් පිරිකර ආදිය කිසිවෙකුටත් නොදීමටත්, කිසිවෙකුගෙන් නොගෙන සිටීමටත් වග බලා ගත යුතුය. එසේ කටයුතු කර සද්ධි විහාරිකයා වෙනුවෙන්, සංග්‍රහ කිරීම් වශයෙන් (සංගහතබ්බො) අනුග්‍රහ වශයෙන් (අනුග්ගහතබ්බෝ) සත්කාර කළ යුතුය. මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ, උපාධ්‍යයන් වහන්සේ හා සද්ධී විහාරිකයා, අන්‍යොන්‍ය වශයෙන් සුහදශීලිව බැඳුණු, කල්‍යාණ මිත්‍රයින්සේ ක්‍රියා කළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ, භික්‍ෂු ජීවිතය හා සංඝ සමාජය ඉදිරිපත් කර ලද්දේ, පරමාදර්ශී ආකෘතියක් ලෙසිනි. පෞද්ගලික වශයෙන් භික්‍ෂු ජීවිතයත්, පොදුවේ සංඝ සමාජයත් ශික්‍ෂණයට පත් කොට, නිවැරදි මාවතෙහි ගමන් කරවීමෙහිලා, ශික්‍ෂා හා වත් පිළිවෙත දක්වා ඇත්තේ, යථෝක්ත පරමාර්ථය සපුරා ගැනීම උදෙසාය.

‘චුල්ලවග්ගපාලියෙන්’ හෙළි කැරෙන වත් පිළිවෙත්
කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
කඩුගන්නාව මුදලිවත්ත
දීපාලෝක විහාරාධිපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි Copy Budusarana.lk

Donations

You cannot copy content of this page