ගුරුවරු

මිනිසා උත්පත්තියෙන් කිසි ම ධර්මයක් ශිල්පයක් ශාස්ත්‍ර‍යක් දන්නේ නො වේ. කිසිවක් නො දත් හෙතෙමේ ලොව හැසිරෙනුයේ වනයෙහි හැසිරෙන අන්ධ මීමකුගේ විලාසයෙනි. ඔහුගේ අන්ධ ජීවිතයෙන් තමාට හෝ ලෝකයාට කිසි යහපතක් සිදු නොවේ. හේ දෙලොවින් ම පිරිහෙන්නේ ය. කිසිවක් නො දත් ඒ මනුෂ්‍යයා ගුරුන් විසින් ධර්ම ශාස්ත්‍ර‍යක් උගන්වනු ලැබූ කල්හි ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකලාර්ථයන් සිදු කිරීමට සමතෙක් වේ. කිසි ම යහපත් වැඩකට නුසුදුසුව තිබූ ඒ අන්ධ ජීවිතය සකලාර්ථ සාධනනයට යෝග්‍ය වූවක් කර දෙන ගුරුවරයා ඔහුට පරමෝපකාර කාරකයෙකි. එහි වටිනාකම පමණ කළ නොහේ. ගුරුවරු මාපියන් මෙන් ම දරුවන්ට අනන්ත ගුණ ඇතියෝ ය. එබැවින් සිසුන් විසින් මාපියන් කෙරෙහි මෙන් ම ගුරුන් කෙරෙහි සෑම කල්හි ස්වකීය ගෞරවාදරය පැවැත්විය යුතු ය.

ගුරු ගෝලයන්ගේ යුතුකම්

ගුරු ගෝලයන්ගේ යුතුකම් තථාගතයන් වහන්සේ විසින් සිගාල ගෘහපති පුත්‍ර‍යාට මෙසේ වදාරා තිබේ.

“පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙනි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨාතබ්බා, උට්ඨානෙන, උපට්ඨානෙන, සුස්සූසාය, පාරිචරියාය, සක්කච්චං සිප්ප පටිග්ගහණෙන.”‍

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, අතවැසියා විසින් දක්ෂිණ දිශාව යයි කියනු ලබන ගුරුවරු කරුණු පසකින් උපස්ථාන කළ යුත්තාහු ය.” කවර කරුණු පසකින් ද යත්? “දුටුවිට හුනස්නෙන් නැඟීමෙන් ද, දවසට තුන්වරක් උපස්ථානයට එළඹීමෙන් ද, කියන දේ මැනවින් ඇසීමෙන් ද, අසුන් පැනවීම්, පැන් ගෙන ඊම් ආදි වත් කිරීමෙන් ද, ශිල්පය මනා කොට උගෙනීමෙන් ද යන මේ කරුණු පසෙනි.”

“ඉමෙහි ඛො ගහපති පුත්ත, පඤ්චහි ඨානෙහි අන්තේවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානෙහි අන්තේවාසිං අනුකම්පන්ති, සුවිනීතං විනෙන්ති, සුග්ගහිතං ගාහාපෙන්ති, සබ්බසිප්පසුත සමයක්ඛායිනො භවන්ති, මිත්තා මච්චෙසු පටියාදෙන්ති, දිසාසු පරිත්තාණං කරොන්ති, ඉමෙහි ඛො ගහපති පුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා. ඉමෙහි පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති.”

තේරුම:

“ගෘහපති පුත්‍ර‍ය, අතවැසියා විසින් මේ කරුණු පසින් උපස්ථාන කරන ලද දක්ෂිණ දිසාවය යි කියනු ලබන ආචාර්යවරයෝ කරුණු පසෙකින් අතවැසියා හට අනුකම්පා කෙරෙති. කවර කරුණු පසෙකින් ද යත්? කළ යුතු නො කළ යුතු දෑ කියා දී මනා කොට හික්මවති, කරුණු නොවරදවා මනා කොට උගන්වති, ඉතුරු කර නො ගෙන ශිල්ප ශාස්ත්‍ර‍ය උගන්වති, ශිෂ්‍යයාගේ උගත්කම සමත් කම කියා මිත්‍ර‍යන්ට ශිෂ්‍යයා හඳුන්වා දෙති. ශිෂ්‍යයා ආරක්ෂා කරති. ගෘහපති පුත්‍ර‍ය, මේ කරුණු පසින් ආචාර්ය්‍යවරයෝ අතවැසියාට අනුකම්පා කරන්නාහ.”

මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ ගුරුවරු ශිෂ්‍ය්‍යන්ගේ ස්වාමිත්වයෙහි සිටි අතීත ලෝකයේ පැවති සිරිත් විරිත්වලට අනුව ය. එදාට වඩා අද ලෝක තත්ත්වය බොහෝ වෙනස් ය. වර්තමාන ගුරු ශිෂ්‍යයෝ දැක්වුණු කරුණු වලින් උපදෙස් ගෙන කාලානුරූප පරිද්දෙන් තම තමන්ගේ යුතුකම් ඉටු කරත්වා! එයින් දෙපක්ෂයට ම යහපත ම සිදු වන්නේ ය. සිය යුතුකම් ඉටු කිරීමෙන් ගුරුන් සතුටු කොට ඔවුන්ගේ අනුකම්පාව ලබන ශිෂ්‍යයා දෙලොවෙහි ම යස ඉසුරට පැමිණෙන්නේ ය. ගුරුනට වරද කිරීම වනාහි මාපියන්ට වරද කිරීම සේ මහත් වූ පාපයකි. එය මෙලොව ද පරිහානියට කරුණෙකි.

ස්වාමිවරුන්ගේ හා සේවකයන්ගේ යුතුකම්

සේවකයන් කරන වැඩවලින් ස්වාමිවරු පොහොසත් වෙති. සුඛිත වෙති. එබැවින් සේවකයෝ ස්වාමිවරුන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයෝ ද ස්වාමිවරුන්ගෙන් ලැබෙන වැටුපෙන් දිවි පවත්වා ගනිති. දුක් නැති කර ගනිති. සැප ලබා ගනිති. එබැවින් ස්වාමිවරු සේවකයන්ගේ පරම මිත්‍රයෝ ය. සේවකයන් යහපත්වීම ස්වාමිවරුන්ගේ නො පිරිහීමට හා දියුණුවට හේතුවකි. එසේ ම ස්වාමිවරු යහපත්වීම සේවකයන්ගේ යහපතට බලවත් හේතුවෙකි. හොඳ සේවකයන් නැති ස්වාමිදරුවන්ට ද හොඳ ස්වාමියකු නැති සේවකයන්ට ද සැපය හා දියුණුව ලැබීම දුෂ්කර ය. ස්වාමි සේවක දෙපක්ෂය ඔවුනොවුන්ට හිතවත් නොවීමේ හේතුව තම තමන් අයත් යුතුකම් ඉටු නො කිරීම ය. ස්වාමි සේවක දෙපක්ෂය ම තම තමා අයත් යුතුකම් දැනගෙන ඒවා මැනවින් ඉටු කළ යුතු ය.

“පඤ්චහි ඛො ගහපති පුත්ත! ඨානෙහි අයිරකෙන පච්ඡිමාදිසා දාසකම්මකාර පච්චුපට්ඨාතබ්බා යථාබලං කම්මන්ත සංවිධානෙන, භත්තවෙතානානුප්පදානෙන, ගිලානුපට්ඨානෙන, අච්ඡරියානං රසානං සංවිභාගෙන, සමයෙ වොස්සග්ගෙන” යි තථාගතයන් වහන්සේ සිගාල ගෘහපති පුත්‍ර‍යා හට ස්වාමිදරුවන්ගේ යුතුකම් පසක් දක්වා වදාළ සේක.

01 හැම සේවකයකු ලවා හැම වැඩ ම කර ගන්නට නො ගොස් සේවකයන්ගේ ශක්තිය බලා ඔවුන්ගේ ශක්තියේ සැටියට ඒ ඒ සේවකයාහට කළ හැකි වැඩ පමණක් කරවීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
02 සේවකයාගේ තත්ත්වය හා ඔහු කරන වැඩ වල සැටි ද බලා සුදුසු පරිද්දෙන් බත් වැටුප් දීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
03 සේවකයා ගිලන් වුවහොත් ආහාර බෙහෙත් ආදිය පිණිස මුදල් දීම් ආදියෙන් ඔහුට සංග්‍ර‍හ කිරීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
04 ආශ්චර්‍ය්‍යවත් රසයක් හෙවත් විශේෂ ආහාරයක් ලදහොත් ඔවුන් සමග බෙදා ගෙන අනුභව කිරීම ස්වාමියාගේ එක් යුතුකමෙකි.
05 පමණ ඉක්මවා වැඩ ගන්නට නො ගොස් සුදුසු කාලයේ දී වැඩ නැවැත්වීම හා නිවාඩ දිය යුතු දිනවල දී නිවාඩු දීම ද ස්වාමියාගේ එක් යුතුකමෙකි.

ස්වාමියා විසින් තමාගේ යුතුකම් මැනවින් ඉටු කරන කල්හි සේවකයෝ ස්වාමියාට හිතවත් වී ඔවුන්ගේ යුතුකම් ද මැනවින් ඉටු කරන්නට පටන් ගනිති. සේවකයන්ගේ යුතුකම් මෙසේ වදාරා තිබේ.

“ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අයිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකාරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අයිරකං අනුකම්පන්ති, පුබ්බට්ඨායිනො ච හොන්ති, පච්ඡානිපාතිනො ච, දින්නාදායිනො ච, සුකතකම්මකාරකා ච, කිත්තිවණ්ණහරා ච.”

ස්වාමියාට පළමුවෙන් නින්දෙන් නැගී සිටීමය, ස්වාමියාට පසු නින්දට යාමය, සොරෙන් කිසිවක් නො ගෙන ස්වාමියා දුන් දෙය පමණක් ගැනීමය, හොඳට වැඩ කිරීමය, ස්වාමියාගේ ගුණ ජනයා අතර පතුරුවා ලීමය යන මේ කරුණු පස සේවකයන්ගේ යුතුකම් ය. මේ යුතුකම් දේශනය කර තිබෙන්නේ එක් ගෙයක වෙසෙන ස්වාමි සේවකයන්ට සුදුසු පරිද්දෙනි. වෙන් වෙන් වූ නිවෙස්වල වෙසෙන ස්වාමි සේවකයෝ තැනට සුදුසු පරිදි සිය යුතුකම් ඉටු කොට සමගියෙන් සතුටින් තමන්ගේ මෙලොව පරලොව වැඩ සිදුකර ගනිත්වා! යම් ස්වාමියකු නිසා තමා ජීවත් වේ නම් ඒ ස්වාමියාට වරද කිරීම විශේෂ පාපයක් බව සේවකයෝ සලකත්වා!