Karmaya කර්මය

කර්මයේ විශේෂ විභාග

01 කෘත්‍ය කර්ම චතුෂ්කය

01 ජනක කර්මය

මරණින් මතු සත්ත්වයා අන්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නා වූ කුශලාකුශල කර්මය ජනක කර්මය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වේ. අංග සම්පූර්ණ වී බලවත් වූ කුශලාකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නො පැමිණෙති. ප්‍ර‍තිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ, ජනක කර්මයකින් භවයෙහි උපන් සත්ත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන් ම නොදී අභාවයට යෙති.

සුගති දුර්ගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනකකර්ම එක් පුද්ගලයකුට ඇත්තේ ය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයෙකි. ජනකකර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්ත්වයකු එක් එක් භවයක ජීවත් වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලය ය. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙළවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේ දී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්ත්වයා නැවත සුගතියට හෝ දුර්ගතියට පමුණුවනු ලැබේ.

02 උපස්තම්භක කර්මය

කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්ත්වයාහට ජීවත්වීමට උපකාර වන්නා වූ කුශල වූ ද අකුශල වූ ද කර්ම උපස්තම්භක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නො පැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපස්තම්භක කර්මයෝ වෙති. අකුශල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීම ය. සත්ත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ම ද උපස්තම්භක වෙති. යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක් ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහි කොට ප්‍රීති වේ නම් කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසු ව ඇති වන්නා වූ කුශල චේතනාවන්ගේ අනුග්‍ර‍හයෙන් පළමු කර්මය බලවත් වේ. පසු ව ඇති වන්නා වූ ඒ කුශල චේතනාවන්ගෙන් අනුග්‍ර‍හය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක් ව තුබුණේ ද පසුව උසස් පල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරය යි.

03 උපපීඩක කර්මය

නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.

04 උපඝාතක කර්මය

ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්ත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාධයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍ර‍තිසන්ධිය දෙන කල්හි ඔවුහු ම ජනක කර්මයෝ ද වෙති. ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයකට පැමිණ සත්ත්වයාගේ ජීවිතය නසන්නේ ය. කුශල පක්ෂයේ ද උපඝාතක කර්ම ඇත්තේ ය. නරකයෙහි උපන් පසු කළ පින් සිහි වී ඉන් ච්‍යුත ව දෙව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිදී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේ ද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතු ය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්ත්වයා නසා ජනකත්වයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතැමෙක් උපච්ඡේදනය පමණක් කෙරෙති. මරණාසන්නයේ දී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයකැයි කිය යුතු ය. උපච්ඡේදක කර්ම යනු ද උපඝාතක කර්මයට ම ව්‍යවහාර කරන අන් නමෙකි.

කර්ම බලයෙන් සත්ත්වයා නැවත උපදින ආකාරය

මරණය ළංවූ සත්ත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේ ය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූ ද උපකරණ වූ ද වස්තූහු ය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේ දී කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කල්හි මැරෙන සත්ත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.

විශේෂයෙන් සැලකිය යුතු කරුණක්

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.

02 පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය

විපාක දීමේ අවස්ථාව ගැනීමේ ශක්තියේ ප්‍ර‍මාණයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආචීර්ණක කර්මය, කෘතත්වාත් කර්මය යි කර්මයෝ සතර වැදෑරුම් වෙති.

01 ගරු කර්මය

මරණින් මතු දෙවන ජාතියේ නො වරදවා ම විපාක දීමේ ශක්තිය ඇත්තා වූ අතිශයින් බලවත් වූ කර්මය ගරු කර්ම නම් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම පස අකුශල පක්ෂයේ ගරු කර්මයෝ ය. රූපාවචරාරූපාවචර ධ්‍යානයෝ කුශල පක්ෂයේ ගරු කර්මයෝ ය.

02 ආසන්න කර්මය

මරණාසන්නයේ දී කළා වූ ද සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරු කර්මයක් නැති තැනැත්තාට ආසන්න කර්මය පළමු කොට විපාක දෙන්නේ ය. බොහෝ පින් කළවුන් සමහර විට දුගතියට පැමිණෙන්නේ ද බොහෝ පව් කළවුන් සමහර විට සුගතියට පැමිණෙන්නේ ද ආසන්න කර්මයාගේ බලයෙනි.

03 ආචීර්ණක කර්මය

දිනපතා බොහෝ කලක් කළා වූ කර්මයෝ ද, සතියකට වර බැගින් හෝ පක්ෂයකට වර බැගින් හෝ මසකට වර බැගින් හෝ වර්ෂයකට වර බැගින් හෝ දීර්ඝ කාලයක් කළ කර්මයෝ ද, දීර්ඝ කාලයක් සිහි කළා වූ කර්මයෝ ද ආචීර්ණක කර්ම නම් වෙති.

ගරු කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ නැති තැනැත්තාට දෙවන ජාතියේ ආචීර්ණක කර්මය විපාක දෙන්නේ ය. ආචීර්ණක කර්මය බලවත් වුව ද විපාක දීමේ දී ආසන්න කර්මයට පසු වේ.

04 කෘතත්වාත් කර්මය

ගරුක, ආසන්න, ආචීර්ණ භාවයට නො පැමිණියා වූ කර්මයෝ කෘතත්වාත් කර්ම නම් වෙති. ඒවා දුබල කර්මයෝ ය. ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි කෘතත්වාත් කර්මය විපාක දෙන්නේ ය.

03 පාක කාල කර්ම චතුෂ්කය

දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය,උපපද්‍ය වේද්‍ය කර්මය,අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය,අහෝසි කර්මය යි විපාක දෙන කාලයාගේ වශයෙන් කර්මය චතුර්විධ වේ.

01 දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය

කළ ජාතියේ දී ම විපාක දෙන්නා වූ කර්ම දෘෂ්ට ධර්ම වේද්‍ය කර්ම නම් වේ. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශලය ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. ධාර්මික ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදීන්ට කරන්නා වූ අපරාධයෝ ද සමහර විට ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය ඉතා බලවත් වූ කල්හි සත් දිනක් ඇතුළත විපාක දෙන්නේ ය. එපමණට බලවත් නො වන කල්හි ඒ ජාතියේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙන්නේ ය. බොහෝ කර්මයෝ කල ජාතියේ දී ම විපාක දෙන්නාහු නො වෙති.

02 උපපද්‍ය වේද්‍ය කර්මය

දෙවන ජාතියේ විපාක දෙන්නා වූ කර්මය උපපද්‍ය වේද්‍ය කර්ම නම් වේ. (ගරු කර්ම වශයෙන් කලින් විස්තර කර ඇත.)

03 අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය

කර්මය කළ ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවකාශයක් පැමිණි කල කවදා හෝ විපාක දෙන කර්මය අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය නම් වේ.

04 අහෝසි කර්මය

අතීතයේ විපාකයන් නුදුන්නා වූ ද, මතු විපාකයන් නො දෙන්නා වූ ද කුශලාකුශල කර්මයෝ අහෝසි කර්ම නම් වෙති.

කුශල වූ අකුශල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීථියක ජවන නම් වූ බලවත් සිත් සත බැගින් ඇති වේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද්‍ය කර්ම වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්ම නම් වේ. එක් ජාතියක දී එක් පුද්ගලයකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්ත වීථි ගණනක් ඇති වේ. ඒවායේ ඇති ඒ ජාතියේ දී විපාක නුදුන් ප්‍ර‍ථම ජවන චේතනා සියල්ල ම මරණින් පසු අහෝසි කර්ම භාවයට පැමිණේ. එක් ජාතියක දී ඇති වන්නා වූ ඒ වීථිවල ඇති වූ සප්තම ජවන චේතනාවින් දෙවන ජාතියේ දී විපාක දීමට අවකාශය නො ලබන සියල්ල ම ද අහෝසි කර්ම වේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසි කර්ම නො වෙති. කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසු ව වුව ද අවකාශයක් පැමිණිය හොත් ඒවා විපාක දෙන්නේ ය.

04 පාකස්ථාන කර්ම චතුෂ්කය

අකුශලය, කාමාවචර කුශලය, රූපාවචර කුශලය, අරූපාවචර කුශලය යි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම සතර වර්ගයකි. එයින් අකුශලය සතර අපායෙහි ප්‍ර‍තිසන්ධි විපාක දෙයි. කාම ලෝක රූප ලෝක දෙක්හි ප්‍ර‍වෘත්ති විපාක දෙයි. කාමාවචර කුශලය මිනිස් ලොව, සදෙව් ලොව ප්‍ර‍තිසන්ධි විපාක දෙයි. කාම රූප ලෝක දෙක්හි ම ප්‍ර‍වෘත්ති විපාක ගෙන දෙයි. රූපාවචරාරූපාවචර කුශලයෝ රූපාරූප භූමීන්හි ප්‍ර‍තිසන්ධි ප්‍ර‍වෘත්ති විපාක දෙති. ප්‍ර‍තිසන්ධි විපාක දීමය යනු යම්කිසි භවයක ඉපදවීම ය. ප්‍ර‍වෘත්ති විපාකය යනු ඒ ඒ භවවල උපන් සත්ත්වයාට ලැබෙන විපාකය ය.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

Dhamma Deepa