මිත්‍රයෝ

සෑම කල්හි ම සියල්ල ම තමන්ගේ සමත් කමින් කාහටවත් සිදු කර ගත හැකි නොවේ. අනුන්ගේ උපකාර සොයන්නට සිදු වන අවස්ථා කාහටත් පැමිණේ. එබඳු අවස්ථාවල දී මිත්‍ර‍යන් නැත්තෝ අමාරුවට පත්වෙති. සමහර අවස්ථාවල දී ඉතා දුබල මිතුරකුගෙන් ලැබෙන සුළු උපකාරයේ අගය ද ඉතා මහත් වේ. එබැවින් නුවණැත්තෝ අනුන් හා මිතුරකම් පවත්වති. මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග සතකින් යුක්ත මිත්‍ර‍යා මිත්‍ර‍යන් අතුරෙන් ශ්‍රේෂ්ඨය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්:

“සත්තහි භික්ඛවෙ! අංගෙහි සමන්නාගතෝ මිත්තො සෙවිතබ්බො, කතමෙහි සත්තහි? දුද්දදං දදාති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති, ගුය්හමස්ස ආවිකරොති, ගුය්හං අස්ස පරිගූහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ්ඤති, ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො.”

යනු වදාරන ලදී. “මහණෙනි, අංග සතකින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතුය. කවර අංග සතකින් ද යත්? දීමට දුෂ්කර දෙය දෙයි. කිරීමට දුෂ්කර දෙය කරයි, ඉවසීමට දුෂ්කර දෙය ඉවසයි. රහස් ඔහුට කියයි, ඔහුගේ රහස් සඟවයි, විපත්හිදී නොහරී, ධනක්ෂයය නිසා පහත් කොට නොසිතයි. මහණෙනි, මේ අංග සතින් යුක්ත මිත්‍ර‍යා සේවනය කළ යුතු ය” යනු එහි තේරුමයි.

01 මිත්‍ර‍ බවක් දක්වා ගෙන සිටින බොහෝ දෙනා සිය මිතුරන්ට වචනයෙන් හා නො වටනා දේවලින් ද සංග්‍ර‍හ කරන නමුත් විපතට පත් මිත්‍ර‍යකු උපකාරයක් ඉල්ලා පැමිණි කල්හි කාරණයට සෑහෙන උපකාරයක් නො කරති. එදාට තමාගේ අමාරුවක් හෝ දක්වති. මිත්‍ර‍කම හෝ කෙළවර කරති. එසේ නොකොට, යම්කිසි විපාකයක් නිසා දිළිඳු ව පිහිට සොයා ආ පිළිය නම් සිටු තුමාට තමන්ගේ වස්තුවෙන් භාගයක් පරිත්‍යාග කළ සංඛ සිටාණන් සේ දීමට දුෂ්කර දේදීම යහපත් මිතුරාගේ එක් අංගයෙකි.
02 අමාරු අවස්ථාවක දී වතුර ටිකක් දුන් කෙනකු නොකළ සොරකමකට හසුවී මරන්නට ගෙන යනු ලබනු දැක ඔහු මුදවා ගනු පිණිස දරුවන් ද සමග දාසියක් වන්නට ඉදිරිපත් වූ ස්ත්‍රිය සේ මිතුරන් වෙනුවෙන් දුෂ්කර දේ කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
03 අන්‍යයන් කරන ගැරහුම් ඉවසමින් පාපක නමැති මිත්‍ර‍යකු සිය නිවසෙහි රඳවා ගෙන ඔහුට සංග්‍ර‍හ කළා වූ අනේපිඬු මහසිටාණන් මෙන් මිත්‍ර‍යන් නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයකි.
04 රහස් කිසිවකුට නොකිය යුතු බව මහෞෂධ පණ්ඩිතයන් විසින් ප්‍ර‍කාශිත ය. එහෙත් මිත්‍ර‍යනට කියයුතු රහස් ද ඇත්තේ ය. තමාගේ එබඳු රහස් මිත්‍ර‍යාට කීම යහපත් මිත්‍ර‍යාගේ අංගයකි.
05 කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් සිය මිතුරන්ගේ රහස් නො හෙලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
06 මිත්‍ර‍යාට විපතක් වී තිබෙනු දුටු කල්හි අත්හැර නො දමා ඔහුට පිහිට වීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.
07 ඇතැම්හු මිත්‍ර‍කම් පවත්වමින් සිටියකු පිරිහී දිළිඳු වූ කල්හි ඔහු පහත් කොට සිතති. මිත්‍ර‍කම ද හැර දමති. එසේ නො කොට සැම කල්හි ම මිත්‍ර‍යාට එක සේ සැලකිලි කිරීම ශ්‍රේෂ්ඨ මිත්‍ර‍යාගේ එක් අංගයෙකි.

මිත්‍ර‍කම් පැවැතීමේ හා බිඳීමේ හේතු

කෙනකු හා මිත්‍ර‍ වීම පහසු වැඩකි. දුෂ්කර කාරණය නම් මිත්‍ර‍ත්වය දීර්ඝ කාලයක් නො බිඳ පවත්වා ගැනීම ය. මිත්‍ර‍ත්වය කල් පැවැත්විය හැකකේ නුවණැතියන්ට ය. අඥයෝ මිත්‍ර‍ වී නොබෝ කලකින් ම ඔවුනොවුන් බිඳෙති. බිඳුණා වූ ඔවුහු ඔවුනොවුන්ට සතුරුකම් කරමින් සිටිනු මිස නැවත මිත්‍ර‍ත්වය සකස් කර නො ගනිති. මිත්‍ර‍ වූ නුවණැත්තෝ පහසුවෙන් නො බිඳෙති. යම්කිසි හේතුවකින් ඔවුනොවුන් බිඳුනාහු ද ඔවුහු නැවත මිතුරු වෙති. සැම කල්හි ම වෛරය නො පවත්වති. එහෙයින් තථාගතයන් වහන්සේ-

සචෙ පි සන්තො විවදන්ති – ඛිප්පං සන්ධීයරෙ පුන
බාලා පත්තා ව භිජ්ජන්ති – න තෙ සමථ මජ්ඣගු”

යනු වදාළ සේක.

“සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුනාහු ද වහා සමගියට පැමිණෙති. අඥයෝ මැටි බඳුන් බිඳෙන්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නො පැමිණෙතිය” යනු එහි තේරුම යි.

මැටි බඳුන බිඳුණු පසු නැවත සන්ධි නො කළ හැකි ය. බාලයෝ මැටි බඳුන් සේ නැවත සමගි නොකළ හැකි ලෙස බිඳෙති. රන් බඳුන බිඳුණේ ද නැවත ප්‍ර‍කෘතිමත් කළ හැකි ය. නුවණැත්තා වූ සත්පුරුෂයෝ බිඳුණාහු ද රන් බඳුන් සේ නැවත සමගි කළ හැකිය.

මිතුරුකම් කල් පවත්වනු කැමතියන් විසින් මිතුරු දහම නමැති බැම්ම තහවුරු වීමට හා බිඳීමට ඇති හේතු දැන ගත යුතු ය. අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහීමකට නො පැමිණෙන ස්වභාවය වූ මහිච්ඡතාවය, තමාගෙන් දෙයක් අනුන්ට දීමට නො කැමති බව වූ මසුරුකමය, කෙළෙහි ගුණ නො දැනීම ය, නො විමසා කටයුතු කිරීම ය, වංක අදහස් ය, වරද නො පිළිගැනීම ය, කේලාම් පිළිගැනීමය යන ආදිය මිත්‍ර‍ත්වය බිඳීමේ හේතූහු ය.

ලද දෙයින් සතුටු වන ස්වභාවය ය, වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බවය, ත්‍යාගවත් බව ය, කෙළෙහි ගුණ දැනීම ය, ඉක්මන් නො වී විමසා දුර බලා වැඩ කිරීම ය, අවංක බව ය, වරද පිළිගැනීම ය, කේලාම් නො පිළිගැනීම ය යනාදිය මිතුරුකම් කල් පැවතීමේ හේතූහු ය.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

01 අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්‍ෂණයෝ ය.
02 ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේය”යි අතීතයෙන් සංග්‍ර‍හ කිරීමය, පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍ර‍හ කිරීම ය, කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍ර‍හ කිරීම ය, කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්‍ෂණයෝ ය.
03 යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ අනුප්‍රියභාණී නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කථා කිරීමය, ඉදිරියෙහි ගුණ කීමය, නැති තැන දොස් කීමය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්‍ෂණයෝ ය.
04 සුරාපානාදි පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා අපායසහාය නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. සුරාපානයට යහළු වීමය, නො කල්හි ඇවිදීමට යහළු වීමය, නැටුම් ආදිය දක්නට යෑමට යහළු වීමය, සූදුවට යාමට යහළු වීමය යන මේවා අපායසහායයා ගේ ලක්‍ෂණයෝ ය.

මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ මිත්‍ර‍යන් සේ පෙනී සිටින සතුරෝ ය. පාප මිත්‍රයෝ යයි කියනුයේ ද ඔවුනට ම ය. පාපමිත්‍ර‍ සේවනය ඉතා නපුරෙකි. එයින් නොවිය හැකි පිරිහීමක්, නොවිය හැකි විපතක් නැත. අසූ කෝටියක් ධනයට හිමි ව සිටි මහධන සිටු පුත්‍ර‍යා පාප මිත්‍ර‍ සේවනයෙන් සිඟමනට පත් විය. අජාසත් රජ සෝවාන් වූ පරම ධාර්මික රජකුගේ පුත්‍ර‍යකු ද වී, ඒ ජාතියේ ම සෝවාන් වීමට තරම් පෙර පින් ඇතියකු ද වී පාපමිත්‍ර‍ සේවනයේ වරදින් පිය රජු මරා අපායට ගියේ ය. එසේ පාපමිත්‍ර‍ සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඉතා බොහෝ ය. එබැවින් මෙලොව පරලොව වැඩ කැමති සැම දෙනා විසින් ම සර්පාදීන්ගෙන් මෙන් ම පාප මිත්‍ර‍යන්ගෙන් ද පරෙස්සම් විය යුතු ය. පාපමිත්‍ර‍යා සර්පයාට වඩා නපුරෙකි.

කල්‍යාණ මිත්‍රයෝ සතර දෙන

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් වෙති.

01 උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍ර‍යා ය, ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්‍ෂා කිරීම ය, මිතුරාගේ වස්තුව ආරක්‍ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
02 මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකකුට නො දැන ගන්නට ආරක්‍ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
03 දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීමය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.
04 සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා අනුකම්පක මිත්‍ර‍යා ය. මිතුරාගේ පිරිහීම ගැන කණගාටුවීම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම් වැළැක්වීම ය, ගුණ කියන්නවුන්ට පැසසීම ය යන මේවා අනුකම්පක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

කල්‍යාණ මිත්‍ර‍ සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකික. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීම ද කල්‍යාණ මිත්‍ර‍ සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර‍ සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කර ය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නා වූ මේ කල්‍යාණ මිත්‍ර‍යන් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කළ යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක. කල්‍යාණ මිත්‍ර‍යන් සේවනය කොට සියල්ලෝ ම සියලු දුකින් මිදී පරම සුන්දර අමෘත මහා නිර්වාන සම්පත්තියට පැමිණෙත්වා! තථාගතයන් වහන්සේගේ ධර්මය ලෙව්හි බැබලේවා!

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062