Apaaya අපාය

1. නරකය

සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

මහා අවීචි නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

කුඩා නරකයෝ

ගූථ නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර‍ වන නරකය, සිම්බලීවන නරකය යි කුඩා නරක සතර වර්ගයක් ඇත්තේ ය. ගූථ නරකය, යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු, එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුන ගස්, පොල් ගස්, තල් ගස් පමණ මහත් වූ පණුවන් ගැවසී ගත් තැනෙකි. කුක්කුල නරකය යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර‍ වන නරකය යනු කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තණ ද ඇති නරකයෙකි. සිම්බලීවන නරකය යනු දොළොස් අඟුල් කටුවින් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බව ද දක්වා තිබේ.

ලෝකාන්තරික නරකය

ලෝකාන්තරික නරකය යනු මහත් වූ ශීත නරකයෙකි. එය හැම කල්හි ම ගනඳුරින් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් ශීතල ජලය ඇත්තේ ය. නිරිසත්තු වවුලන් සේ පර්වතවල එල්ලී ඔබමොබ යති. ඔවුහු තවත් සත්ත්වයකු දුටු කල්හි ආහාරයකැ යි සිතා අල්ලා ගැනීමට තැත් කෙරෙති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහී දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරයෝ පුපුර පුපුරා ශීතලයෙන් බැදෙති.

2. තිරිසන් අපාය

මිනිස් ඇසට නො පෙනෙන තරම් ඉතා කුඩා සත්ත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්ත්වයන් දක්වා සිටින, පා නැත්තා වූ ද, දෙපා ඇත්තා වූ ද, සිව් පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද නොයෙක් සටහන් නොයෙක් ආකාර ඇත්තා වූ ද තිරිසන් සත්ත්ව සමූහය ම තිරිසන් අපාය ය. නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනුපන් ඒ ඒ තැන්වල ම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැති ව නිරතුරු බියෙන් ත්‍ර‍ස්ත ව ජීවත් වෙති.

3. ප්‍රේත අපාය

මිනිසුන්ගේ ප්‍ර‍කෘති ඇසින් නො දැකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොයෙක් ප්‍ර‍මාණ ඇත්තා වූ නොයෙක් සටහන් ඇත්තා වූ ද නොයෙක් ආකාර දුක් ඇත්තා වූ ද සත්ත්ව කොට්ඨාසයට ප්‍රේතාපාය යයි කියනු ලැබේ. ඔවුනට ද භූමියක් වශයෙන් නියම තැනක් නැත. ප්‍රේතයෝ බොහෝ සෙයින් අතිශයින් කෘශ වූ ඇට නහර මතු වී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තෝ ය. සාගින්න නිවෙන පමණට ආහාර ද පිපාසාව සන්සිඳෙන පමණට පැන් ද ඔවුහු නො ලබති. එහෙත් අකුශල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් කවදාවත් ආහාර පාන නො ලබති. ඇතැම්හු මිනිසුන්ගේ සෙම් සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මළකුණු ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු මිනිසුන් ඉවත ලන බත්හුලු ආදිය ආහාර කොට ඇත්තෝ ය. ඇතැම්හු තමන්ගේ ශරීරය ම සූරා කන්නෝ ය. ඇතැම්හු ඔවුනොවන්ගේ වන පිලිකාවලින් ගලන ලේ සැරව ආහාර වශයෙන් ගන්නෝ ය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතැමෙක් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබන්නෝ ය.

4. අසුරාපාය

අසුර යන නාමයෙන් දේව ගණයට අයත් කොටසක් ද ඇත්තේ ය. බෞද්ධ පොත්වල චේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදි නම් වලින් දැක්වෙන්නෝ දේව ගණයට අයත් අසුරයෝ ය. ඔවුහු දෙවියන් මෙන් ම සැප ඇත්තෝ ය. අසුර යන නාමය ව්‍යවහාර කරන ප්‍රේතයන් වැනි දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් ද ඇත්තේ ය. අසුරාපාය යනු ඒ සත්ත්ව සමූහය ම ය. ඔවුහු ද ප්‍රේතයන් මෙන් ම නොයෙක් ආකාර ශරීර ඇත්තෝ ය.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

අපාය යනු සත්වයින් උපදනා 31 තලය අතරින් කාම ලොකයන්ට අයත් දුගති භූමි හතරයි.අපාය ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒවානම් අසුර ලෝකය,ප්‍රේත ලෝකය,තිරිසන් ලෝකය,නිරය යන්නයි.මෙම සතර අපායේ උපදින්නේ විවිධ පාපයන් සිදුකරගත් සත්වයන්

1 අසුර අපාය
2 ප්‍රේත අපාය
3 තිරිසන් අපාය
4 නිරය
4.1 සංජීවය
4.2 කාලසූත්‍රය
4.3 සංඝාතය
4.4 රෞරවය
4.5 මහා රෞරවය
4.6 තාපය
4.7 ප්‍රතාපය
4.8 අවීචිය
4.9 කුඩා නිරයන්
4.9.1 ගූථ නිරය
4.9.2 කුක්කුල නිරය
4.9.3 අසිපත් නිරය
4.9.4 සිම්බලිවන නිරය
අසුර අපාය
මෙම අපාය තුල සත්වයන් උපදින්නේ ඕපපාතිකවය.ප්‍රේත ලෝකයේ උපදනා සත්වයන්ට සමානය.කාලකන්ජික නම් අසුර ලෝකයක් පිළිබද ඇතැම් සූත්‍රවල දක්වා ඇත.අසුර නමින් හදුන්වන දේව නිකායක් පිළිබඳවද බුදු දහමේ ඉගැන්වේ.අසුර අපාය ප්‍රේත ලෝකය මෙන් මිනිස් ලොවතුල නොව මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.
ප්‍රේත අපාය
මිනිස් ලොව අැසුරු කරගෙන පවතින අපායක් ලෙස ප්‍රේත අපාය දැක්වේ.මෙම ප්‍රේතයන් උපත ලබන්නේ ඕපපාතිකවය.ඛුද්දක නිකායේ ප්‍රේථ වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒනම් පාංශු පිසාචික,පුප්පිපාසික,නිජ්ඣාමතණ්නික හා පරදත්තූපජීවී යනුවෙනි.පාංශ පිසාචික ප්‍රේතයන් අපිරිසිදු ස්ථාන ඇසුරුකරගෙන වාසය කරති.ඔවුන් පසට වැටෙන සෙම්,සොටු,කෙළ,සැරව,ලේ,මුත්‍රා හා අසුචි වැනි අපවිත්‍ර දෑ ආහාරයට ගිනිමින් ජීවත් වෙයි.පුප්පිපාසික ප්‍රේතයන් දැඩි පිපාසයෙන් පෙළෙමින් දිවි ගෙවයි.ඔවුන් ගංගා ඇල දොළ ආදී ජලය ඇති තැන්වල සැරිසරමින් ජලය සොයයි.එහෙත් පෙර පාප කර්ම බලවත් නම් පිපාසය සංසිදුවීමට තරම් ජලය නොලැබේ.නිජ්ඣමතණ්නික ප්‍රේතයන්ගේ සිරුරු ඇතුලතින් ගිනිගෙන දැවෙයි.මුළු සිරුරම ගිනිගෙන දැවෙද්දී ඉතා වේදනාවෙන් කෑගසමින් ඔබමොබ ගමන් කරති.පරදත්තූපජීවී ප්‍රේතයන්ට පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ඇත.මොවුන් පෙර ඥාතීන් වෙත පැමිණ ඔවුන් පිං අනුමොදන් කරනු දැක සතුටුවී සැපයට පත්වේ.මෙම ප්‍රේත නිකායන් හතරට අමතරව තවත් ප්‍රේත නිකායන් පිළිබද බුදු දහමේ සදහන්වේ.
තිරිසන් අපාය
තිරිසන් අපාය යනු අප අවට පරිසරයේ දක්නට ලැබෙන අපා දෙපා සිවුපා බහුපා ආදී සියළු තිරිසන් සතුන්ය.

නිරය
නිරය හෙවත් නරකයේ කොටස් 136ක් තියෙනවා. අටමහා නරකයන් ලෙසින් අටක් අනන්ත වූ දුක් විඳින්නට තිබෙන මේ අට මහා නරකයන් හැරුණු කොට තවත් ඔසුපත් නරක ලෙසින් නරකයන් 128ක් පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ධර්මයේ සඳහන් වෙන පරිදි මේ අටමහා නරකයකට හතර පැත්තෙන් හතර බැගින් මේ කියන ඔසුපත් නරක පිහිටනවා. ඒ කියන්නේ අටමහා නරකයන්හි එක් නරකයට ඔසුපත් නරක 16 බැගින් තියෙනවා. ඒ අනුව තමයි අටමහා නරකයන් හැරුණු කොට 128ක් ඔසුපත් නරක ලෙසින් තිබෙන්නේ.
ඉතින් මෙන්න මේ කියන පිනක්වත් කරගන්නට කිසිම අවස්ථාවක් නැති මේ 136ක් වන නිරය / අපාය / නරකයන් මොනවාද කියලා පොඩ්ඩක් බලමුකෝ නේද?
ඒවා නම් වශයෙන් සඳහන් කරනවා නම් මෙසේයි;
අටමහා නරකය;
1. සඤ්ජීව නිරය – යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලිවලට කපද්දීත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැඳින්වෙනවා. අධික ක්‍රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමඟ කෝළාහළ කළ දුභලයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජිව නිරයේ උපදිනවා.
නරකයන් අතුරින් අතිභයංකර අටමහා නරක තුල ‘‘සංජීව / සඤ්ජීව’’ නරකය කියලා කියන්නේ අවීචි නම් වූ නිරයට සාපේක්ෂව තරමක් වඳ හිංසාවන් අඩු, භයංකාරත්වය අඩු ස්ථානයක්. ධර්මප‍්‍රදීපිකාවෙහි ගුරුළුගෝමී පඩිතුමා විසින් සංජීව නරකය පිළිබඳව මෙන්න මේ ආකාරයේ විස්තරයක් සිදු කර තිබෙනවාය කියලා මම කියවන්නට යෙදුන දහම් ලිපියක තිබුණා.
“යමපලූන් විසින් ගිනිගෙන දිලිසෙන ලද මුගුරින්, කඩුයෙන්, සැනින් කඩ කඩ කෙරෙන සතුන් කර්මය ඇති තාක් දුක් විඳිනා නරකය සංජීවයයි” ඉතින් සංජීව නිරයේ ඔබට ඉපදෙන්නට වුනොත් ඔබට අත්දකින්නට සිද්ධ වෙන්නේ ඔබගේ සිරුරු නැවත නැවත කැබැලිවලට කපනවා වගෙයි. ඒ වුණාට එලෙස කැපි කැපී යන හැම මොහොතකම ඔබට නැවත නැවත පණ ලබන්නට තමයි හේතු යෙදිලා තියෙන්නේ. කරන්නට කියන්නට සිතන්නට වූ අකුසල්වලට ලැබෙන විපාකයන්හි බරපතලකම අන්න ඒ වගෙයි. කැපි කැපී තව තවත් විඳවන්නට වෙනවා මිසක් මරණයක් සිද්ධ වෙලා හෝ අන් අයුරක පිළියමක් ලැබ කල්ප ගණනකට ගැලවීමක් නම් ලැබෙන්නේ නෑ. “සංජීව” යන්නෙහි තේරුමත් “නැවත නැවත පණ ලැබීම” යි කියලා තමයි පොදුවේ ඒ නිරය පිළිබඳව සිදුකරන විස්තර වල සඳහන් වෙන්නේ.
හේතුවට අනුවයි සෑම විටම ප‍්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් මේ ලිපි පෙල තුල හුදෙක් දත්තයන් දීම පමණක් සිදුනොවන බව ඔබ දැනටමත් දන්නවා. “සංජීව” නම් වූ නිරයක් මෙසේ නම් ඒ නිරයට පත්වීමට හේතු සොයා බැලිය යුතු වෙනවා. ඒ හේතු නිරෝධයත් ඒ හේතූන් නිරෝධ කරගැනීමට මාර්ගයත් විමසා බැලිය යුතු වෙනවා. මෙය මුල, මැද, අග කළණ අංග සම්පූර්ණ සත්ධර්ම විස්තරයක් වෙන්නේ අන්න එවිටයි.
“සංජීව” නරකයට නොයා එයින් මිදෙන්නට අවශ්‍ය නම් ඔබ මුලින්ම එහි යන්නට සිද්ධ වෙන්නේ කුමන ආකාරයේ දෑ කිව්වොත්, සිතුවොත්, කලොත්ද යන්න පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා.
තමන්ගේ පැවැත්ම පිණිස අන් අයගේ ජීවිත වැනසීමට යමෙක් තම සිත, කය, වචනය මෙහෙයවනවා නම් එයම තමන්ගේ ජීවන රටාව බවට පත්කරගෙන සිටිනවා නම් අන්න එවැනි පිරිස් වලට ගැලපෙන පරිසරයක් ලෙසින් තමයි මේ කියන සංජීව නිරය සකස් වී තිබෙන්නේ.
දැන් ඔබගේ ජීවිත පිළිබඳව සිතා බලන්න. ඔබතුල මේ ආකාරයෙන් සංඛාර කිරීමක් තිබෙනවාදැයි විමසා බලන්න. ඔබගේ සිත, කය, වචනය තමන්ගේ පැවැත්ම පිණිස තවත් සත්වයෙක්ව නසන්නට පෙළන්නට කටයුතු කිරීමක් ඔබ තුල තියෙනවද? ඔබ විසින් පන්සලකට ගියොත්… දන්නා හඳුනන ස්වාමීන්වහන්සේලානේ කියලා හෝ ශාසනයට පූජා කරන ලද යම් වස්තුවක් වේ නම් එය අනවසරයෙන් ඔබගේ පරිහරණය පිණිස ලබාගන්නවද? එහෙමත් නැතිනම් විනාශ කර දමනවද? ශාසනයට පූජා කරනවාය කියන්නේ බුදුරජාණන්වහන්සේලා ප‍්‍රමුඛ කොටගත් ආර්ය මහා සංඝරත්නය පූජාකරන්නට යෙදුනාවූ වස්තුවයි. ආහාරයක් හෝ වේවා බෙහෙතක් හෝ වේවා දේපලක් හෝ වේවා මොනයම් හෝ ආකාරයේ පරිභෝජනය පිණිස වූ සඟ සතු දේපලක් හෝ වේවා පරිහරණයේදී බොහෝම ප‍්‍රවේශම් වීමට වගබලාගත යුතුමයි. ඇයි දන්නවද මෙය ඔබගේ පුරුද්දක් බවට දැනටමත් පත්වී තිබෙනවා නම් සංජීව නිරයේ දොරටුව ඔබට විවෘත වීමට මඟ බලාගෙන සිටිනවා වන්නට පුළුවන්.
මන්ද තමන්ගේ පැවැත්ම පිණිස තවත් සත්වයෙකුගේ ජීවිත විනාශ කරන සතුන් මරන යමෙක් වේ නම් එවැනි සකස් කිරීමකට ලැබෙන විපාක ඵලය තමයි ඒ ආකාරයට තමන්ටත් මැරි මැරී ඒ දුන්නාවූ වධහිංසා වලට ගැලපෙන ලෙසින් දුක් විඳින්නට ලැබීම. ඒ විතරක් නෙවේ තමන්ගේ ලාභය පැවැත්ම පිණිස ශාසනය සතු දේපළ, ආර්ය පුද්ගලයන්ගේ හා තම දෙමව්පියන්ගේ දේපළ ආදිය අනවසරයෙන් හෝ බලෙන් ලබාගන්නට කටයුතු කරන්නාවූ භවක් තිබේ නම් එයට ගැලපෙන්නට ජාතිය පහල වෙන්නෙත් මේ ආකාරයෙන් විපාක ලැබීමටයි. තමන්ගේ පැවැත්ම පිණිස අන් අයව නැසූ නිසාවෙන් පෙලූ නිසාවෙන් විපාකය ලැබෙන්නේ ගිනිගෙන දිලිසෙන ලද මුගුරින් කඩුයෙන්, සැනින් කඩ කඩ කරන විට මිය යමින් නැවත පහල වෙමින් නැවත මිය යමින් නැවත පහල වෙමින් අනන්ත වූ දුක් රැුසකට උරුමකම් ලැබීමටයි. පේනවානේ සෙල්ලම් නෑ නේද?
මේ දුක් රැසක් ගෙන දෙන වැඩපිළිවෙල තමන් තුල ක‍්‍රියාත්මක වෙන්නේ ඇයි කියලා ගැටලූවක්ද? එහෙනම් ඉතාමත් කෙටියෙන් එය හේතුව පෙන්වා දෙනවා නම්, මේ පැවැත්ම සාරයි, සුවයි, වටිනවාය, යහපත්ය කියන හැඟීම නිසාම සත්වයෙක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, වස්තුවක් ලෙසින් දෘෂ්ඨි ගෙන “මම” කරගත්තාවූ “මගේ” කරගත්තාවූ වැඩපිලිවෙලක තමයි අප බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. ඒ වැරදි දැකීම නිසාම තමයි “මම” සහ “මගේ” කරගත්තාවූ කොටස පවත්වාගැනීමට රැුකගැනීමට ඒ ඒ පුද්ගලයන් විසින් තම සිත, කය, වචනය හසුරවමින් කටයුතු කරන්නේ. අවිද්‍යාව මුල්වී සංඛාර කරනවාය කියන්නෙත් තවත් ආකාරයකින් එයටයි. ඒ කරන කියන සිතන දේවල් තුලින් තවත් සත්වයෙක් පෙලෙනවා නම් විනාශයට පත්වෙනවා නම් සිදුවන්නේ අයහපතක් නම් ලැබෙන ප‍්‍රතිඵලයත් අයහපත් වෙනවා.
“සංජීව” නමින් නිරයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ගැලපෙන කර්ම රැස්කරගත්තාවූ සසර අනාථ ජීවීන් පිරිසකට අදාල ප‍්‍රතිඵලය ලැබීමටයි. එපා එපා කියා හඬා වැටෙත්දී අන් අයව නැසූ පෙලූ ලෙසින්ම තමනුත් මොහොතක් මොහොතක් පාසා ඒ එපා දුක හෙවත් අපා දුක අත්දැක ගැනීමට තමයි පරිසරය සැකසෙන්නේ.
ඉතින් තමන්ගේ පැවැත්ම පිණිස අන් අයව නැසීම, පෙලීම කරන විටදී නම්… කියන විටදී නම්… සිතන විටදී නම්… බොහෝම රසවත් ප‍්‍රියවූ වැඩපිලිවෙලක් ලෙසින් තමයි කරගෙන යන්නේ එහෙම නේද? ඒ වැඩපිලිවෙල තුල සාරවත් බවක්මයි ඒ ඒ පුද්ගලයන් දකින්නේ.
අන්න ඒ නිසා තමයි බුදු හිමියන් විසින් ප‍්‍රඥාවන්තයින්ගේ යහපත පිණිස අපූරු මාර්ගයක් පෙන්වා දුන්නේ. සුවයි, සැපයි, යහපත්ය, හොඳයි, වටිනවාය කියන්නා වූ යම් පැවැත්මක් වේ නම් ඒ පැවැත්මේ යථාර්ථය ධර්මය තුලින් පෙන්වා දෙන විට මේ සසර පැවැත්මේ අසාරත්වය කෙරෙහි තමන්ගේ නොදැනුවත්ව බව යමෙක් වටහාගත් විට ඒ පුද්ගලයාගේ දැක්ම නිවැරදි වෙනවා. “සම්මා දිට්ඨි”යට පත්වෙනවා කියලාත් කියනවා. ආර්ය වූ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීම තමයි ඒ තුලින් අදහස් කරන්නේ. එයම තමයි තවත් ආකාරයකින් සෝතාපන්න ඵලයට පත්වෙනවාය කියලා කියන්නෙත්. අන්න එවිට සංජීව නිරයෙන් සඳහටම නිදහස් වුණාය කියලා වගකීම් සහතිකයක් සත්ධර්මය තුලින්ම ලැබෙනවා.
එතෙක් ඔබ යහපත් ලෙසින් කටයුතු කල පමණින් මෙම නිරයෙන් හැමදාටම නිදහස් වුණාය කියලා සිත නිදහස් කරගන්නට නම් නොහැකියි. මන්ද තවමත් ඔබ තුල මේ ලෝකයේ සාරත්වයක් දකිමින් මේ ලෝකය “මම”ය “මගේය” ලෙසින් ගැනීම සුදුසුයි ලෙසින් දකිමින් ඒ දැක්ම නිසාම “මම” සහ “මගේ” පැවැත්වීම පිණිස අනුන් නැසීමේ පෙලීමේ වැඩපිලිවෙල ක‍්‍රියාත්මක වීමට හේතු තියෙනවා. හේතු තිබෙන තාක් ඵලයක් ලැබෙනවා. ඵලය නැසීමට නම් හේතු නිරෝධ කල යුතු වෙනවා. එහෙනම් බුද්ධිමත් වෙන්න.
“මම සංජීව නිරයෙන් නිදහස්ය කියලා සෑහීමකට පත්වීමට මට නොහැකියි” කියලා ඔබට සිතෙනවා නම් දැන් ඉතින් අප‍්‍රමාදීව ඒ නිදහස ලැබීමට නිවීම පිණිස වූ සත්ධර්මය ඇසුරු කරන්න!!! කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය වැඩි කරන්න!!! ඒ අසාගන්නා සත්ධර්මය නොපමාව දරමින් ප‍්‍රායෝගිකව භාවිතයෙන්, බහුලව භාවිතයෙන් නොපමාව “සංජීව අපා දුක නිරෝධය” පිණිස කටයුතු සලසාගන්න!!! දුක් නිරෝධ මාර්ගයට පිවිසෙන්න!!!

2. කාල සූත්‍ර නිරය – මෙහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලා සූත්‍ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විඳිනවා.
“කාලසූත‍්‍ර” යන්නෙහි වචනාර්ථය ලෙසින් බොහෝ ධර්ම පොත පත තුල දක්නට ලැබෙන්නේ “කළුනූල” ලෙසටයි. ඒ අතරම තමන්ට රිසි දෑ ලැබීමට පහත් අයුරින් සූත්තර දමමින් කපටිකම් කරමින් සිත, කය, වචනය මෙහෙයවන්නට යෙදුනාවූ සත්වයන් සිටින්නාවූ ස්ථානය ලෙසිනුත් මෙම වචනයට තවත් ගැඹුරින් අර්ථ දිය හැකි බව දක්වා තිබෙන අවස්ථාවන් සමහර ග‍්‍රන්ථ වල මම දැක තිබෙනවා.
මේ නිරයේ උපදින්නට සිද්ධ වුණොත් විශාල ශරීර ලබලා උපදින්නට සිද්ධ වෙනවා… ඊටපස්සේ ලී කොටයක් ලැබුන වඩුවන් මෙන් යමපල්ලෝ කරන්නේ ඔබව ගිනියම් වු යපොලවෙහි පෙරලාගෙන කියත්වලින්, වෑ පොරෝ ආදියෙන් කීතු කීතු වලට කපනවා. ඉන්පසුව දැලි නිසා කළු වූ දැලි ගෑවුනු නූල් ගෙන නොයෙක් නොයෙක් ආකාරයෙන් සතරැස්ව, රවුමට හෝ අටපට්ටන් ආකාරයෙන් ඔබගේ ශරීරය නැවත නැවත නූල් ඇද මසා දමනවා වගේ දැනේවි… නැවතත් ඒ මැසූ ශරීරය කියත්, වෑ පොරෝ ආදියෙන් කීතු කීතු වලට කපනවා මෙන් දැනේවි. නැවතත් කැපූ ශරීර මසාවි… නැවතත් කපාවි… විපාකයේ තරම නිසාම මේ අනන්ත දුක නැවත නැවතත් විඳිමින් කල්ප ගාණක් ගත කරන්නට සිද්ධ වේවි. මෙන්න මෙවැනි අධික දුකක් ඔබට මෙම “කාලසූත‍්‍ර” නම් නිරයේදී හිමිවෙනවා. පෙර ලිපියේ විස්තර කරගන්නට යෙදුනා වූ “සංජීව / සඤ්ජීව” අපා දුකට සාපේක්ෂව වැඩි දුක් ප‍්‍රමාණයක් මෙම නිරයේදී ඔබට අත්දැකගන්නට සිද්ධ වෙනවා.
ඉතින් පොත පත කියෙව්වොත් තව තවත් මෙම අපා දුක් සම්බන්ධයෙන් දත්තයන් ඇසුරු කරන්නට ඔබට අනිවාර්යෙන්ම හැකිවේවි. ඒ නිසා වැදගත් වෙන්නේ මෙම අනන්ත වූ දුකට හේතුව සොයා බලා ඒ දුක නිරෝධ කරගත හැකි ක‍්‍රමය පැහැදිලි කරගැනීමයි.
ඒ නිසා “කාලසූත‍්‍ර” නිරයට පත්වීමට සිද්ධවෙන්නේ කුමන ආකාරයේ කටයුතු කරන්නට සිද්ධ වුනොත්දැයි මුලින්ම විමසා බලමු.
තමන්ගේ පැවැත්ම පිණිස තමන්ට සම්පත් ලැබීම පිණිස සුවසේ සිටීම පිණිස තවත් සත්වයෙකුට පුද්ගලයෙකුට නොයෙක් කපටිකම් කරමින් සූත්තර දමමින් උපායන් දමමින් හිංගි හිංසා කරන්නට විනාශ කරන්නට කටයුතු කරනවා නම් ඒ අනුව සිත, කය, වචනය මෙහෙයවීම තමන්ගේ ජීවිතය බවට පත්කරගෙන සිටිනවා නම් අන්න එවැනි පුද්ගලයන්ට ඒ හේතුවට අනුව හිමිවන ඵලයන් ලැබීමට සකස් වී ඇති පරිසරය තමයි මේ “කාලසූත‍්‍ර” කියලා කියන්නේ. මේ වගේ පුද්ගලයන්ට තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “අර මිනිහා නම් මහා සූත්තර කාරයා… මොකක් හරි සූත්තරයක් දාලා වැඬේ කරගනීවි… ” වගේ වැකි වලින් හඳුන්වාදෙන්නේ. ඔන්න ඔබටත් ඔවැනි හැඳින්වීමක් ලෝක සත්වයා කරනවා නම් පොඞ්ඩක් පරිස්සමෙන්. හේතුව දැන් දන්නවානේ… ලැබෙන්නට හිමි ප‍්‍රථිඵලය නම් මහා භයානයකයි. එහෙම නේද?
ඉතින් ඇයි මේ තමන්ගේ පැවැත්ම පිණිස, තමන්ට සම්පත් ලැබීම පිණිස, සුවසේ සිටීම පිණිස මෙවැනි ආකාරයට සිත, කය, වචනය මෙහෙයවන්නට යමෙකුට සිත් පහල වෙන්නේ? විමසා බැලිය යුතුයි. මේ කුමන දෙයක් කරන්නෙත් තම තමන්ගේ මනස හඳුනානොගන්නාතාක්ය කියලා කිව්වොත් නිවැරදියි. හොඳ වුණත් නරක වුණත් ආගමක් ඇදහුවත් නැතත් කුමන ආකාරයේ තත්ව තානාන්තරයක් දැරුවත් ඔබ ඔබගේ මනස හඳුනන්නේ නැතිනම් ඔබ තවමත් ගැටලූ රාශියකට ප‍්‍රශ්ණ රාශියකට අවුල් ජාලයකට පත්වීමට නියමිතයි. තවත් ආකාරයකට කියනවා නම් ඔබ ඔබගේ මනස හඳුනා නොගන්නා තාක් ඔබ ලෝකය නිසි ආකාරයෙන් තෝරාගන්නේ නෑ. ලෝකය නිසි ආකාරයෙන් තෝරාගත්තේ නැතිනම් ඔබට මේ අපා දුක් වලින් තබා කිසිදු ආකාරයක දුකකින් මිදීමට නොහැකි වෙනවා.
ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන්නාවූ “මම” කියන කොටසත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ “මගේ” කියන්නාවූ කොටසත් එකතුවූ කල එක් එක් සත්වයාට හිමි ලෝකය පහල වෙනවා. මෙන්න මේ ලෝකය සාරවත්ය, හොඳය, සැපය, පවතින්නට සුදුසුය කියලා ගන්නාවූ නිගමනය තුල තමයි හැම සත්වයෙක්ම සිත, කය, වචනය මෙහෙයවන්නේ. ඒ ඒ මැනගැනීම කල මට්ටම අනුව තමයි පව් කරනවාද, පින්කරනවාද, යහපත් දෑ අයහපත් දෑ කරනවාද ඒ සියල්ලෙන්ම නිදහස් වෙලා නිවීමේ මාර්ගයට පත්වෙලාද යන්න තීරණය වෙන්නේ.
අනුන් පෙලන්නට තමන් රැුකෙන්නට තමන්ගේ යැයි මැනගත්තාවූ ලෝකය රැුකගන්නට… පවත්වා ගන්නට යමෙක් කපටිකම් කරනවා නම් සූත්තර දානවා නම් උපාය යොදනවා නම් ඒ පුද්ගලයා ලෝකය මැනගෙන තියෙන්නේ මහා වටිනාකමක් දීලයි… “මම සහ මගේ” කියන්නාවූ කොටසට මහා වටිනාකම් දෙන්නට දෙන්නට තමයි ඒ වටිනා දෑ රැකගන්නට අප උත්සාහ කරන්නේ එහෙම නේද?
ඉතින් එහෙනම් කාලසූත‍්‍ර නිරයෙන් මිදෙන්නට අවශ්‍ය නම් යමෙක් අනිවාර්යෙන්ම මෙවැනි කපටිකම්, සූත්තර දැමීම්, උපාය යෙදීම් නතර කරන්නට සිද්ධ වෙනවා. ඒත් තමන්ට යමක් රැකගන්නට තිබෙන තාක්, වටිනාවා යැයි හැඟන “මම” සහ ”මගේ” දේවලින් යුක්ත ලෝකයක් තිබෙන තාක් එවැනි දේ නතර කරන්නට කෙනෙකුට සිත් පහල වෙන්නේ නෑ… කොතරම් අපාදුක් කිව්වත්… කොතරම් භයංකාර බව කිව්වත් ලෝකයට දී ඇති වටිනාකම සාරවත්බව වැඩිනම් යමෙක් තුල ඒ ඒ දුක් කන්දරාවන් උරුම කරගෙන සිටිනවා මිසක් ඒ දුක් කෙරෙහි සැබෑ බියක් දැනෙන්නේ නෑ. මිදිය යුතු බවක් හැෙඟන්නේ නෑ!
එහෙනම් දුකෙන් මිදීමට කල යුත්තේ; මේ “මම” සහ “මගේ” ලෙසින් “මගේ ආත්මය” ලෙසින් මැනගෙන ඇති ලෝකයේ සැබෑ තතු නුවණින් දැකීමයි. කෙටියෙන් කියනවා නම් ඔබ විසින් බුද්ධිමත් විමර්ශණයක් කල යුතුයි. මේ ආකාරයට “මම” ලෙසින් “මගේ” ලෙසින් බෙදාගෙන වර්ගකරගෙන සිටින්නාවූ “ඇස,කණ,දිව,නාසය, කය, මන, රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම” කියන්නාවූ දෑ ඇත්තටම වටිනාකමක් දෙන්නට සුදුසු තත්වයක තිබෙනවාදැයි නුවණින් විමසා දැනගත යුතු වෙනවා. ඉතාමත් සරලව කෙටියෙන් උදාහරණයක් කියනවා නම් මෙන්න මෙහෙම හිතන්නකෝ… ඔබ උදෑසන අවදිවූ අවස්ථාවේ පටන්ගෙන රාත‍්‍රියේ නින්දට යන තුරු ඔබගේ ඇස, කණ, දිව, නාසය, කය වෙනුවෙන් කොතරම් වෙහෙසක් දරනවාදැයි සිහිපත් කරගන්න. කොතරම් වෙහෙස වෙලා පිරිසිදුව තබාගන්නට උත්සාහ කලත් අඛණ්ඩව ඒ පිරිසිදුබව තබාගන්නට ඔබට හැකිද?

කොතරම් වෙහෙස වෙලා ලෙඩක් දුකක් නැතිව රැකගන්නට හැදුවත් නිරෝගීව ඒවා රැකගන්නට ඔබට හැකිද? කොතරම් වෙහෙස වෙලා ඒවා වෙනස් නොවී ඔබට රිසි ආකාරයෙන් පවත්වාගන්නට උත්සාහ කලත් ඒ ලෙසින් තබාගන්නට ඔබට හැකිද? ජීවිත කාලය පුරාවටම ඔබ කරන්නේ මේ වෙහෙසකර වැඩපිලිවෙල නෙවේද? ඔබට පෙර මියගිය ඔබගේ දෙමව්පියන්… දෙමව්පියන්ගේ දෙමව්පියන්… ආදී මියගියවුන් කලේද මේ ටිකම නෙවේද? ඔබ උදෑසන පටන්ගෙන වහලෙක් වගේ සේවය කරන ඔබගේ ඇසට, කණට, දිවට, නාසයට, කයට ඔබ නිකමට වගේ මෙන්න මේ වගේ අණකිරීමක් කරලා බලන්න “ඔන්න මම මෙච්චර සලකනවා ඔහේට අද නම් අපිරිසිදු වුනොත් බලාගෙනයි… අද නම් ලෙඩක් හදාගත්තොත් බලාගෙනයි… අද නම් මට වේදනාවක් දුන්නොත් බලාගෙනයි… අද නම් බඩගිනිවුනොත් බලාගෙනයි… අද නම් වැසිකිලි යන්න ඕනෑය කිව්වොත් බලාගෙනයි… අද නම් නිදිමත හදාගත්තොත් බලාගෙනයි… අද නම් වෙහසක් තෙහෙට්ටුවක් දැනගන්නට සැලැස්සුවොත් බලාගනයි…” මෙන්න මේ වගේ අණකිරීමක් කරලා බලන්න ඔබ කියන දේ අසාවිද කියලා…
මේ උදේ පටන්ගෙන රාත‍්‍රිය වනතුරු වහල් සේවයේ නිරත වෙන්නේ මේ හිතුවක්කාරයෙකුටනේ කියන දේ පොඞ්ඩවක්වත් අහන්නේ නැති අයෙකුටනේ කියලා දිනය අවසානයේ ඔබටම තීරණය ලැබේවි… එවැනි අයෙකු වෙනුවෙන් තමයි ඔබ “සංජීව, කාලසූත‍්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, ප‍්‍රතාපය සහ අවීචිය” වැනි අටමහා නරකයන්ට යන්නට කටයුතු සිද්ධ කරගන්නේ? ඉතින් බුද්ධිමත් මනුස්සයෙක් නම් එවැනි තත්වයකට පත්වීම සුදුසුද? “මම” ලෙසින් “මගේ” ලෙසින් ඉතාමත් වටිනාකම් දී සාරවත්බවක්, යහපත්බවක් ලබාදී ඒවා රැකගන්නට අසීමිතව වෙහෙස වන ඔබ විසින් බුද්ධිමත් විය යුතුයි.
ඉහත ඉතාමත් කෙටියෙන් පෙන්වුයේ ඔබට ඉතාමත් පහසුවෙන්ම අත්දැකගන්නට හැකි ඔබේම යථාර්ථයක්. ඒ දේ ඔබ විසින්ම දැකගන්නට සිහිය පැවැත්විය යුතුයි. මේ ලිපිය කියවා අවසාන වූ තැන් පටන්ගෙන නින්දට යනතෙක් ඔබ තුලින්ම ඉහත පෙන්වූ වෙහෙසකර වහල් සේවය දැකගන්නට උත්සාහ දරන්න. ඒ දකින යම් තරමකින්ම ඔබ එවන්වූ හිතුවක්කාර ඔබව වෙහෙසට පීඩාවට අසහනයට පත්කරවන තත්වයක් වෙනුවෙන් කපටිකම් කොට, සූත්තර දමමින්, උපායන් යොදමින් හිංසාකාරී පීඩාකාරී තත්වයන් අනුගමනය කරන්නට සිත, කය, වචනය මෙහෙවීම අඩුකරගන්නට නැති කරගන්නට හැකිවේවි.
ඔබ තවමත් නොදුටු ලෝකයේ සැබෑ තතු දැකගැනීමට කළ්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, සත්ධර්මය ශ‍්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධර්මානුධර්මපටිපත්තිය කියන්නාවූ කරුණු හතර නොඅඩුව ඔබ විසින් ඔබටම ලබාදිය යුතු වෙනවා. අන්න එවිට ලෝකයේ සැබෑ තතු නුවණින් දැකගන්නට දැනගන්නට ඒ මායාකාර පීඩාකාර ලෝකයෙන් මිදෙන්නට ඔබට අවස්ථාවක් උදාවෙනවා. එවිට තමයි “කාලසූත‍්‍ර” නම් අපා ලෝකයෙන් මිදෙන්නටත් ඔබට අවස්ථාව උදාවෙන්නේ. බුද්ධිමත්ව අප‍්‍රමාදීව කටයුතු කරගන්නට තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි මෙත් සිතින් නිති පතමි!!!
3. සංඝාත නිරය – මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවවිමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරළී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුණු විසුණුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට ද වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විඳිනවා.
අටමහා නිරයන්ගේ තෙවැනුව තියෙන්නේ “සංඝාතය” නම් වූ නිරයයි… තත්වය එන්න එන්නම දරුණු වෙනවා… “සංජීව / සඤ්ජීව” නිරය හෝ “කාලසූත‍්‍ර” නිරය මෙන් නොවෙයි… එන්න එන්නම දැවීම දුක අසහනය භියකරු බව වැඩිවෙනවා… “සංඝාත” නිරයේ උපන් අයට හැඟෙන්නේ හාත්පස සිව් දෙසින් ම තල්ලූ වී එන විශාල ගිනියම් පර්වතයකින් තොරතෝංචියක් නැති ව පොඩි පට්ටම් වී යන ලෙසිනුයි. “සංඝාත” යන නම යෙදී ඇත්තේ ද “අඹරා පොඩි කරන” යන අදහසින් බව ධර්ම පොත පතෙහි දැක තිබෙනවා. විශාල පිරිසක් සමූල ඝාතනය කල පිරිසට විපාක විදීමට සැකසුණු පරිසරය යන අදහසින් “සංඝාත” කියන නම යෙදී තියෙනවාය කියලා තවත් ගැඹුරින් අර්ථ දැක්වූ ධර්ම අර්ථ අතර දැක තිබෙනවා.
මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිනවා කියලාත් ධර්මයේ සඳහන් වෙනවා. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙනවා. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසිණු වෙලා යනවා. ඒ විතරක් නම් මදැයි ගින්නෙන් දැවෙන්නට සිද්ධ වෙනවා… මහා ලෝදිය ගංගාවක් ශරීර දවාලමින් ගලාගෙන යනවා… මේ ලෝදිය ගංගාවට හසුවෙලා මර හඬ දෙමින් කෑගහත්දී ඒ ලෝදියෙන් තැම්බිලා පිච්චිලා යන්න සිද්ධ වෙනවා… කොතරම් මර හඬ දුන්නත් අදෝනා නැගුවත් බේරගන්නට නම් කව්රුවත් එන්නේ නෑ… පව් කලා වගේ නෙවේය ඒවාට විඳවන්න ගියාම සිද්ධ වෙන දේ තේරුම්ගන්නට අංශු මාත‍්‍ර වශයෙන්වත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා නම් ඔබ බොහෝම වාසනාවන්තයි.
“සංඝාත” නිරයට පත්වෙන්නට සිද්ධ වෙන්නේ ඇයි? විශාල වශයෙන් පිරිස් සමූල ඝාතනය කරන්නට එකතු වුනොත් අනුබල දුන්නොත් ඒ අනුව සිත, කය, වචනය හැසිරවීම මේ නිරයට පත්වීමට හේතු වෙනවා. ඒ විතරක් නෙවේ එකමුතුව සිටින සංඝයා වහන්සේලා භේද භින්න කරවමින් භික්ෂුන් වහන්සේලා අතර ඇති සමගිය නැති කරන්නට කටයුතු කිරීමත් මේ නිරයට පත්වීමට හේතු වෙනවා. “ආ හේතු මේවාද හේතු… මම නම් මේවා කරන්නේ නෑ… මම සංඝාත නිරයට නම් යන්නේ නෑ” කියලා ඔබ තීරණය කරනවා නම් එය එතරම් ගැලපෙන කටයුත්තක් නොවේ. මන්ද මෙවැනි දේ කියන්නට, කරන්නට, හිතන්නට අවශ්‍ය කරන මූලික හේතු තවමත් ඔබ ලඟ සැඟවී හෝ තිබෙනවා විය හැකියි. මෙම අත්බැවය අවසානයේ යන්නට සිද්ධ නොවුනත් මේ සසර පැවැත්මේ යන්නට බලාපොරොත්තු වන ඔබට මොන යම් හෝ අවස්ථාවක මේ “සංඝාත” නිරයට පත්වීමට ඇති හේතු මුල්වෙලා සිත, කය, වචනය භාවිතයෙන් කටයුතු සිද්ධ වී ප‍්‍රතිඵල ලැබිය හැකියි. එහෙනම් ඔබට තවමත් සතුටු විය නොහැකියි!
හේතුව මුලින්ම සොයාගත යුතුයි. මුලින්ම උදුරා දැමිය යුතුයි. ගසක අතු රිකිලි කපා දැමුවාට කඳ මුලින්ම කපා දැමුවාට ඒ ගස නැවත දළුලා ලියලන්නේ නැතිවෙයි එය විනාශ කලාය කියලා සතුටු විය නොහැකියි. මන්ද ඒ ගස නැවත ලියලා දළු දැමීමට අවශ්‍ය කරන පෝෂණය දෙන්නාවූ මුදුන් මුල සහිත මුල් පද්ධතිය තවමත් තිබෙන නිසාවෙනි. අන්න ඒ වගේ නිර්වාණ මාර්ගය අවබෝධ නොකරගන්නා තාක්… ඒ කියන්නේ ලෝකෝත්තර ආර්ය මාර්ගයට පත්නොවන තාක් ඔබ තුලත් මේ සසර පැවැත්මේ “සංජීව, කාලසූත‍්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, ප‍්‍රතාපය සහ අවීචිය” වැනි අටමහා නරකයන්ට පත්වීමටත්, ඔසුපත් නරකයන්ට පත්වීමටත්, පේ‍්‍රත අසුර අපායන්ට පත්වීමටත්, තිරිසන් අත්බැවයන් ලැබීමටත් දේව බ‍්‍රහ්ම මනුස්ස අත්බැවයන් ලැබීමටත් ඔබට හේතු තියෙනවා. රාගය, ද්වේශය, මෝහය නම් වූ පෝෂණය ලබාදෙන මූල පද්ධතිය ඔබ තුල තිබෙන තාක් නොයෙක් නොයෙක් අත්බැවයන් ලියලා දළු ලමින් දුකට පත්වීම උරුම කරගෙන සිටිනවා. එසේනම් බුද්ධිමත්ව විවෘත මනසකින් ඒ හේතු මුලිනුපුටා දැමීමේ ක‍්‍රමය තෝරාගත යුතු වෙනවා.
පෙර ලිපියේදී පෙන්වා දුන්නා මතකද ඔබ කව්රුන් වුණත් ඔබගේ මනස හඳුනාගැනීම ඉතාමත් වැදගත් කියලා? යමෙකුට පණ දෙන්නෙත්, ඝාතනය කරන්නෙත්, සමූහයක් ඝාතනය කරන්නෙත්, හිත මිත‍්‍රකම් ඇතිකරගන්නෙත්, භේද බින්නකම් ඇතිකරන්නෙත්, යහපත් දෑ අයහපත් දෑ මේ කුමන දෙයක් කරන්නෙත් තම තමන්ගේ මනස හඳුනානොගන්නාතාක්ය කියලා කිව්වොත් නිවැරදියි. තවත් ආකාරයකට කියනවා නම් ඔබ ඔබගේ මනස හඳුනා නොගන්නා තාක් ඔබ ලෝකය නිසි ආකාරයෙන් තෝරාගන්නේ නෑ. ලෝකය නිසි ආකාරයෙන් තෝරාගත්තේ නැතිනම් ඔබට මේ අපා දුක් වලින් තබා කිසිදු ආකාරයක දුකකින් මිදීමට නොහැකි වෙනවා. මතකයි නේද පෙර ලිපියේදී මේ දේවල් කෙටියෙන් විස්තර කරගත්තා?
මේ සියලූ දේට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ ලෝකය වටහානොගැනීම නම් ඒ ලෝකය තෝරානොගන්නා තාක් ඔබට ඒ ලෝකය තුල දුකට පත්වීමට සිද්ධ වෙනවාම නම් කුමක්ද මේ ලෝකය? ඉතාමත් කෙටියෙන් මෙසේ සටහන් තබන්නට පටන්ගන්නම්…බාහිර වූ “පෘථිවිය” නම් වූ ලෝකය තුල 6,885,500,000 මිනිසුන් ප‍්‍රමාණයක් අතර, මෙතෙක් යැයි කියලා කියන්නට නොහැකි තරම් තිරිසන් සතුන් අතර, ගස්වැල්, බඩු භාණ්ඩ, යාන වාහන, ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, නගර ගම්මාන ආදී එකී නොකී මෙකී සෑම සියලූ දේම ඔබ විසින් දැනට ලෝකය ලෙසින් හඳුනාගෙන සිටිනවා එහෙම නේද? ඉතින් බහුතරයක් මිනිසුන් දකින ලෝකය තමයි මේ බාහිරවූ ලෝකය.
ඒ ලෝකය තුල විද්‍යාමාන වන ඉපදීම, ලෙඩවීම, මහලූවීම, මරණය ආදිය ඒ අය දකිනවා. එය දුකක් ලෙසට වටහාගන්නවා. අත්දකිනවා.
ඔබත් ධර්මය තුලින් ලෝකය ලෙසින් දැක ඇත්තේ මෙයමද? එහෙනම් ප‍්‍රවේශම් විය යුතු වෙනවා. තවමත් සතර අපාගත දුකට සහ සියලූ සසර දුකට පත්වීමට හේතු ඔබ තුල තිබෙනවා. මන්ද පෙර නොඇසූ විරූ ලෝකය හෝ ඒ නිසාවෙන් හටගන්නා දුක හෝ ඒ පෙර නොඇසූ විරූ ඉපදීම, ලෙඩවීම, මහලූවීම, මරණය ආදී දෑ ඔබ නොදකින නිසාම දිගින් දිගටම දුකට පත්වෙනවා. මිදීමක් නොදැක සැබෑ සතුටක් නොදැකම ඒවාට මුහුණ දෙමින් සිටිනවා. “සංජීව, කාලසූත‍්‍ර, සංඝාත…” වැනි අටමහා නරකයන්ට පත්වෙනවා…
ලෝකයේ හැම කාලයකදීම පෙර ඇසූ විරූ දහමක් තියෙනවා. ඒ තමයි ඉපදීම, මහලූ වීම, ලෙඩවීම, මරණය “දුකක්” ලෙසින් හඳුනාගැනීම. පෙර සටහන් කල බාහිර වූ ලෝකයක විද්‍යාමාන වන ඒ ඒ දුක් ස්වභාවයන් දැකගැනීම. ඒත් ඔබට වැටහෙනවා ඇති එය පෙර නොඇසූ විරූ ලෝකයක් හෝ ධර්මයක් හෝ දුකක් හෝ නොවන බව. ඔය ටික දුකයි කියලා ඕනෑම කෙනෙකුට වැටහෙනවානේ නේද? කවදාවත් බණක් අහපු නැති කෙනෙක්ගෙන්, අන්‍ය ආගමිකයෙක්ගෙන්, කුඩා දරුවෙක්ගෙන් පවා ලෙඩවීම දුකක්ද මරණයට පත්වීම දුකක්ද ඇහුවොත් “ඔව් දුකයි” කියලා කියාවි නේද? එහෙනම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් පහළ වෙලා ඒ දුක ගැනම කියාවිද?
අන්න ඒ නිසා බුද්ධිමත්ව විවෘත මනසකින් විමර්ශනය කරන්න. “සංජීව, කාලසූත‍්‍ර, සංඝාත…” ආදී වු යම් අටමහා නරකයක් වේ නම් පේ‍්‍රත අසුර දේව බ‍්‍රහ්ම වැනි යම් නොපෙනෙන ලෝකයක් වේ නම් ඒවායේ සැඟවුණු යථාර්ථය දැකගන්නට හැකිවෙන්නේ මේ පොත පත වල ලියවුණු ඒ ඒ අපාදුක මෙහෙමයි මේ මේ අපායන් මෙහෙමයි ආදී කියන්නාවූ දත්තයන් තුලින් නම් නොවෙයි. එය දැනෙන්නේ සත්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අවබෝධයෙන්මයි.
ඉතින් නොපෙනෙන ලෝකය විවර වීමට සැඟවුණු යථාර්ථය මතුවීමට ඔබට තෙරුවන් සරණ නොඅඩුව ලැබේවා!!!
4. රෞරව නිරය – මේ නිරයේ, සත්වයන්ගේ සිරුරුවලට ඇතුළු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඬ දෙන සත්වයන්ගේ හඬ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.
අටමහා නරකයන්හි හතරවැනියට තිබෙන්නාවූ “රෞරවය” නම් වූ මහා නරකය පිළිබඳවත් ඒ දුක නිරෝධ කරගන්නා ආකාරය පිළිබඳව කතා කරන්නට කටයුතු කරන්නම්. සුපුරුදු පරිදි විවෘත මනසකින් යුතුව මේ සසර පැවැත්මේ රුදුරු බව වටහාගෙන වහ වහා අප‍්‍රමාදීව ඒ වැනි අසාර පැවැත්මකින් මිදී යාම පිණිසම උපකාර කරගැනීමේ අරමුණින් යුතුවම කියවීමට ආරාධනා කරමි.
මෙම අපායෙහි තිබෙන ගිනි කෙතරම් රස්නය දැයි කිවහොත් සියක් යොදුනක් දුරින් සිට බැලූවත් ඇස් පුපුරා යන තරම් දරුණුය. එහි උපදින නිරිසතුන්ගේ දෑස්, දෙකන්, නාස්පුඩු, කට සහ මළ මුත‍්‍ර මාර්ග මගින් ගිනිදැල් ඇතුළු වී දැවි දැවී දුක්විඳිනවා. මේ නරකයෙහි සත්ත්වයන් ගේ සිරුරු තුළට වැදී ඇතුළත දවන්නා වූ නපුරු වූ දුමක් ද තියෙනවා. ඇතුළතින් පිටතින් දෙපසින්ම දැවෙමින් වේදනාවෙන් හඬන පිරිසට තමයි ඔබත් හේතු හැදුවොත් එකතු වෙන්නේ. ඉතින් ඒ නිරි සතුන් ගේ හඩ නිරතුරු ව එහි ඇසෙන බැවින් තමයි එයට රෞරව නරකය යැයි කියන්නේ.
තරහෙන් පුම්බාගෙන ඉන්න මිනිසුන් සිටිනවා. නිතරම පාහේ රෞද්‍ර ගති ඇතිව ඔරවාගෙන රවාගෙන ඇතුලත කෝපයෙන් පිරුණු මේ මිනිසුන්ට ඒ ගොඩනඟන සංකාරයන්ට අනුව ලැබෙන පරිසරය තමයි “රෞරවය” කියලා කියන්නේ. සමහර මිනිසුන් දැක්කාම ඒ අයට තරහා ගිහින් තිබෙන ස්වභාවය දුටු විට ඇතුලතින් රත්වෙලා දුම් දමනවාත් ඇතැයි කියලා සිතෙන වාර ඔබටත් අනන්ත වාරයේ අත්දැකගන්නට හැකිවෙලා ඇති. අන්න එවැනි රෞද්‍ර ගති පැවතුම් ඇතිව සිත කය වචනය හසුරවීම පුරුද්දක් වී ඇතිනම් මතු රෞරවය නමැති අටමහා නරකරයන්ගෙන් එකකට පත්වීමට මාර්ගය පාදාගෙන තිබෙනවා විය හැකියි. ඇයි මේ රෞද්‍රකම් අපේ සිත් වල ඇතිවෙන්නේ? මේ රෞද්‍රකම් වලින් මිදෙන්න ක‍්‍රමයක් තියෙනවද?
කොහොමද අප මේ භයානක අනතුරින් මිදෙන්නේ?
මේ සියලූ අනතුරු වලින් මිදීමට, රෞද්‍රකම් නැතිකර ගැනීමට අප විසින් අපට නොපෙනෙන ලෝකය නුවණින් දැකගත යුතු වෙනවා. පෙර නොඇසූ විරූ දහම දැකගත යුතු වෙනවා. ඔබට අවිද්‍යාව නිසාවෙන් නිර්මාණය වී තිබෙන්නාවූ ලෝකය දැකගැනීමට බොහෝම ප‍්‍රඥාවන්තව විමර්ශනය කර බැලීමට ඔබට සිද්ධ වෙනවා. බහුතරයක් පිරිස සිතාගෙන සිටින්නේ තිබෙන්නාවූ ලෝකය ඉපදී තිබෙන්නාවූ ලෝකයක ජීවත්වී ලෝකය තියෙත්දී අප මරණයට පත්වී ඉන් ඉවත්වී යනවා ලෙසටයි. ඒත් සැබෑව නම් යමෙකුගේ ඉපදීමත් සමඟ ලෝකයද පහල වී මොහොතක් මොහොතක් පාසා ලෝකයද ගොඩනැගී මරණයට පත්වන විට නිර්මාණය කරගත්තාවූ ලෝකයත් ඒ සමඟින්ම විනාශ වී යනවා යන්නයි. අවිද්‍යාව ඇතිතාක් මේ සිදුවීම සිද්ධ වීම සංසාර පැවැත්ම ලෙසින් හඳුන්වන්නට හැකියි.
මේ සත්ධර්මය තුල විස්තර කරන්නාවූ ලෝකය ඉතාමත් කෙටියෙන් හඳුන්වා දෙනවා නම් ඔබ විසින් වටිනාකමක් දී වෙන් කොට ගත් ඇස, කණ, දිව, නාසය, කය, මන යැයි සලකන “මම” ලෙසින් හඳුනාගෙන ඇති කොටසත් ඒවාට ගෝචර වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ලෙසින් “මගේ” ලෙස වෙන් කොට ගත්තාවූ කොටසත් අවිද්‍යාව ඇති තාක් ඔබ විසින් ඔබේම මනසින් නිර්මාණය කරගන්නාවූ ලෝකය ලෙසින් හඳුන්වා දෙන්නට හැකියි.
අතිදුර්ලභ මිනිස් ජීවිතයක් ලබාගෙන ඇති ඔබ මේ වන විට මේ වගේ ලිපියක් කියවමින් උත්සාහවන්ත වන්නේ එහි අදහස සමහර විට මේ අතිභියකරු සසර පැවැත්මෙන් මිදෙන ක‍්‍රමයක් ඔබ සොයමින් සිටින නිසාවෙන් විය හැකියි. එවැනි වටිනා මිනිස් භවක් ලබා ඇති ඔබ බොහෝම පින්වන්තයි. ඒ නිසා ඒ පින්වන්තකම උපයෝගීකරගෙන, ඔබට වැඩියෙන්ම දුකක් හෝ සතුටක් ලැබෙන්නේ කුමන ආකාරයේ දේවල් වලින්දැයි කියලා දැන් ඉතාමත් ප‍්‍රඥාවන්තව හිතලා බලන්න.
ඔබට මේ වෙලාවේ නොදන්නා ග‍්‍රහලෝකයක සිද්ධ වෙන දේවල් වලින් සතුටක් හෝ දුකක් ලැබෙනවද? ඔබට මේ වෙලාවේ ඔබ නොදන්නා රටක සිද්ධ වෙන දේවල් වලින් සතුටක් හෝ දුකක් ලැබෙනවද? ඔබට මේ වේලාවේ ඔබ නොදන්නා පිරිසක් හෝ පුද්ගලයෙක් කරන කියන දේවල් නිසාවෙන් සතුටක් හෝ දුකක් ලැබෙනවද? එහෙනම් කාගෙන්ද ලැබෙන්නේ?
එකින් එක හොඳින් හිතලා බලන්න…පෘථිවිය නම් වූ මේ අපේය කියන ග‍්‍රහලෝකය හෙවත් බහුතරයක් ලෝකය ලෙසින් දකින්නාවූ ලෝකය විනාශ වෙනවාය කියලා දැනගතහොත් වෙන නොදන්නා ග‍්‍රහලෝකයක් විනාශ වෙනවාට වඩා දුකයි නේද? පෘථිවියේත් නොදන්නා රටක විනාශයක් දැනගන්නවාට වඩා දුකයි නේද අපේය කියන මගේ රටය කියන මේ ලංකාවේ විනාශයක් සිද්ධ වෙන බව දැනගැනීම? ලංකාවේත් නොදන්නා පලාතක සිද්ධ වෙන විනාශයකට වඩා හිතට වැඩියෙන්ම දුකක් දැනෙන්නේ තමන් ඉන්න පලාතේ විනාශයක් ගැන දැනගැනීම නේද? තමන් ඉන්න පලාතේ සිද්ධ වෙන විනාශයට වඩා දුකක් වේදනාවක් දැනෙනවා ඒ විනාශය සිද්ධ වෙන්නේ තමන්ගේ නගරයේ නම් එහෙම නේද? තමන්ගේ නගරයේ සිද්ධ වෙනවාට වඩා දුකක් අසහනයක් දැනෙන්නට ගන්නවා ඒ විනාශය තමන්ගේ නිවසට ආසන්නයේ සිද්ධ වෙනවා කියලා දැනගතහොත් එහෙම නේද? තමන්ගේ නිවස අහල පහලට සිද්ධ වෙන විනාශයට වඩා දුකක් අසහනයක් කම්පාවක් සිතට දැනෙනවා ඒ විනාශය තමන්ගේ නිවසට සිද්ධ වෙනවා නම් එහෙම නේද? තමන්ගේ නිවසට සිද්ධ වෙන විනාශයට වඩා දුකක් ඇතිවෙනවා තමන්ට සිද්ධ වෙන විනාශයක් ගැන දැනගන්නට ලැබුණොත් එහෙම නේද?
අපි දැනට ලෝකය කියලා හඳුනාගෙන ඉන්න ලෝකයේ ඉන්න සත්වයින්ගේ කොච්චර නම් ඇස් තියෙනවාද? ඒ ඇස් වලට අනතුරක් වුණාට අපිට දැනෙන්නේ නෑ… දුකක් නෑ… අසහනයක් කම්පාවක් නෑ… ඒත් ඒ ලෝකය අපේ කියලා අපි කියනවා… අපේ ලෝකයක් නම් ඒ ලෝකයේ තිබෙන්නාවූ සියලූම ඇස් නිසාවෙන් දුකක් කම්පාවක් අසහනයක් අපට ඇතිවුනේ නැත්තේ කොහොමද? මේ ලෝකයේ තමන්ට හිතවත් කියන්නාවූ තමන්ට ලංව සිටින්නාවූ සත්ව පිරිසකට අයත් ඇස් වලට සිද්ධ වන අනතුරක් නිසාවෙන් තමන්ට දුකක් අසහනයක් කම්පාවක් ලැබෙනවා.. එහෙනම් ඒ වෙනස ඇතිවුනේ කොහොමද? යමක් නිසාවෙන් දුකක් අසහනයක් කම්පාවක් හෝ සතුටක් වින්දනයක් ආශ්වාදයක් ලැබෙනවා නම් අන්න එතැන ඔබගේ ලෝකය නිර්මාණය වී තිබෙනවා.
ඔබත් මමත් අවිද්‍යාව ක‍්‍රියාත්මක වන්නාවූ සියලූම සත්වයෝ තමන්ටම කියලා පුංචි ලෝකයක් නිර්මාණය කරගෙන තිබෙනවා… තමන්ට දුක සතුට ගෙනදෙන්නේ ඔන්න ඔය කියන තමන් විසින් ගොඩනගාගත්ත ලෝකය තුලදියි. ලෝකයේ කොපමණ මරණ තිබුනත් ඒ සියලූ මරණ ඔබට දුක ගෙන නොදුන්නේ ඒ මරණ තමන් ගොඩනගාගත්ත ඔය කියන පුංචි ලෝකයට අදාල නොවන නිසයි. ලෝකයේ කොපමණ ලෙඩවීම්, මහලූවීම් තිබුණත් ඒ දේවල් ඔබට දුක ගෙන නොදුන්නේ ඒ ලෙඩවීම් මහලූවීම් තමන් විසින් ගොඩනගාගත්ත ඒ පුංචි ලෝකයට අදාල නොවන නිසයි.
“මම” කරගත්ත “මගේ” කරගත්ත අවිද්‍යාව මුල්වී නිර්මාණය වූ මේ ලෝකය තනිකරම රඳා පවතින්නේ වින්දනය මුල්කරගත්ත ආශ්වාද බලාපොරොත්තුව මතයි. ඇස, කණ, දිව, නාසය, කය සහ මන යන දෑට වටිනාකමක් දෙන්නට සිත්වුණේ ඒ දේ තුලින් ගෝචර වූ ඒවා තුලින් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම යන දත්තයන් බොහෝම ආශ්වාදයක් ලබා දුන්න නිසයි. ආශ්වාදයට රැුවටිලා ඒ ආශ්වාදය ලබන්නට යෑම නිසාම “මම” කියන කොටසට “මම” කියන හැඟීම තව තවත් වර්ධන වෙනවා. ඒ වැඞීමත් සමඟින්ම තව තවත් “මගේ” කරගන්න කැමැත්තක් ඇතිවෙනවා. බලාපොරොත්තුවක් ඇතිවෙනවා. “මම” පවත්වාගන්නට ඕන නිසාම “මගේ” ගොඩත් වැඩි කරගන්නවා.
මෙන්න මේ නිර්මාණය කරගත්ත ලෝකයේ නිසි ලෙසින් නොහඳුනනා නිසාම “මම” ලෙසින් “මගේ” ලෙසින් රැස්කරගෙන රැකගන්නට සිත කය වචනය මෙහෙයවනවා. ඒ මෙහෙයවීම විටෙක ආශ්වාදයෙන් මත්වෙලා ඇලීමෙන් රාගයෙන් යුතුව සිද්ධ වෙන ක‍්‍රියාවලියක්. ඒ තුල සතුටක් අත්දකිනවා. තවත් විටෙක ඒ තත්වය ගිලිහී යාමේ භිය අසහනය දුක කම්පාවන් ගැටීම් ඇතිවෙනවා. තරහාවෙන් ද්වේශයෙන් රෞද්‍රකම් වලින් පිරී ඉතිරී යනවා. ඒත් මේ සියලූ හපන්කම් කරන්නේ ලෝකය නිසි ලෙසින් නොදැක වරදවා ගත්ත වැටහීමක් නිසාවෙනුයි. ඒ වරදවා ගත්ත වැටහීම නිවැරදි වූ දිනයේ පටන්ගෙන මහ අනතුරකින් මිදෙන්නට හැකියාවක් ලැබෙනවා. තෙරුවන් සරණින් නොපෙනෙන ලෝකය නුවණින් දැකගැනීමට මේ ලිපිය අංශු මාත‍්‍ර වශයෙන් හෝ උපකාරයක්ම වේවා!!!
5. මහා රෞරව නිරය – අතිශයින්ම දරුණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙසින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා.තුණුරුවන්ට අයත් දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.
අටමහා නරකයෙහි පස්වැනියට විග‍්‍රහ වන මහා රෞරවය නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධ කරගැනීම පිණිස ලෝකය විග‍්‍රහ කරගැනීමත් ආදී කරුණු මේ ලිපිය තුලින් තෝරාගනිමු. සුපුරුදු පරිදි විවෘත මනසකින් යුතුව මේ සසර පැවැත්මේ රුදුරු බව වටහාගෙන වහ වහා අප‍්‍රමාදීව ඒ වැනි අසාර පැවැත්මකින් මිදී යාම පිණිසම උපකාර කරගැනීමේ අරමුණින් යුතුවම කියවීමට ආරාධනා කරමි.
අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඩ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. මෙම නරකය ගිනිගෙන දිලිසෙන, කැකෑරෙන ලෝදියෙන් පිරී ඇත. නිරිසත්වයෝ මේ ලෝදියට වැටී තැම්බි තැම්බි දුක් විඳවති. ලෝදියෙන් ගොඩනැගෙන විට යමපල්ලෝ උල්වලින් ඇන නැවතත් ලෝදියට ම දමති. කරගෙන ඇති කර්මයේ බලය නිසා මැරෙන්නේද නැත. “මහාරෞරව” නිරය “රෞරවයට” වඩා ප‍්‍රමාණයෙන් විශාල යි. මෙහි බුර බුරා නැගෙන ගිනිදැල් තුළ උදුනක මෙන් තැම්බෙමින් නිරිසතුන් නිමක් නැති වදවේදනා විඳිමින් හඬ හඬා කෑගසා වැළපෙන බව ධර්මයේ විස්තර වෙනවා.
පෙර ලිපියේදී ලෝ සතුන්ගේ සිත කය වචනය නිතරම පාහේ රෞද්‍ර ගති ඇතිව ඔරවාගෙන රවාගෙන ඇතුලත කෝපයෙන් පිරුණු ස්වභාවයෙන් යුතුව තිබීම රෞරවයට පත්වීම පිණිස හේතුවන බව විස්තර කරගන්නට යෙදුනා. මේ ස්වභාවයේ අධික බවත් මව්පියන් ගුරුභවතුන් ඇතුලූ ගුණ මහත්වයෙන් යුතු පිරිසට කරන්නාවූ නපුරුකම් තරහා ගති ස්වභාවයන් හේතුවී මෙවැනි තවත් භියකරු තත්වයන්ට පත්වීමට හේතුවෙනවා. ඉතින් ක‍්‍රමයෙන් භියකරු බව වැඩිවෙන අට මහා නරකයන්ගේ භියකරු ස්වභාවය අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑනේ නේද? මේ අතිභයංකර තත්වයන්ට තමන් පත්වන්නේ තමන්ගේම වැරදි වැටහීමක් නිසා බව තෝරාගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා නම් අන්න එතැන් පටන්ගෙන තමන්ගේ වරද නිවැරදි කරගන්නටත් කිසිවෙකු මත යැපෙන්නේ නැතිවම ඔබට හැකියාවක් ලැබෙනවා නේද? මේ ලිපි පෙල තුල මේ අතිශයින්ම දුක්ඛිත තත්වයන්ගෙන් මිදීමේ ක‍්‍රමය පාදා ගැනීම පිණිසත් කරුණු රැසක්ම ගොනු කරන්නේ ඒ දේ තෝරාගැනීම පිණිසමයි.
තමන්ටම කියලා පුංචි ලෝකයක් නිර්මාණය වන්නේ කුමක එකතුවකින්ද? ඒවායේ ස්වභාවය කුමක්ද? මේ දේවල් විමර්ශණය කරලා නුවණින් දැකීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබට හමුවන නොවන සියලූම ආකාරයේ හටගත්තාවූ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන්නාවූ සෑම දෙයකටම පොදු වූ ධර්මතාවයක් තියෙනවා. ඒ මොකක්ද? “යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම” කියන්නාවූ ධර්මතාවය. මෙන්න මේ ධර්මතාවයෙන් යුතු සත්වයන් අතරින් කොටසක් තෝරාගෙන ඔබ පුද්ගලත්වයක් ලබාදෙනවා. කුමක්ද මේ පුද්ගලත්වයක් ලබා දෙනවා කියලා කියන්නේ? හොඳින් හිතලා බලන්න පොදුවේ මිනිසුන්වත් අප හඳුන්වන්නේ සත්වයින් කියලනේ නේද? ඒ මිනිස් සත්වයින් අතරින් කිහිප දෙනෙක් “මම” ලෙසින් “මගේ” ලෙසින් වර්ග කරගැනීමක් ඔබ විසින් කරගෙන තිබෙනවාද නැතිදැයි හිතලා බලන්නකෝ. නමක් යොදාගෙන හිතවත්කම් මිත‍්‍රකම් යොදාගෙන එක එක සංඥාවෙන් ඔවුන්ව හඳුනාගන්නවා නේද? මිතුරන් වගේම සතුරන් ඉන්නවා. එහෙම නේද? නිවසේ සුරතලයට ඇති කරන සත්වයාට පවා නමක් යොදාගන්නවා. පුද්ගලත්වයක් දී නිවැසියෙක් ලෙසින්ම වටිනාකමක් දෙන්නේ නැතිද?
පාරේ ඉන්න සුනඛයන්ට වඩා ගෙදර ඇතිකරන සුනඛයා ඔබට විශේෂ නැතිද? පාරේ ඉන්න සුනඛයා සහ ඔබගේ නිවසේ ඇතිකරන සුනඛයා යන දෙදෙනාටම ඉපදීම, ලෙඩවීම මහළුවීම ඇතුලූ නොයෙක් වෙනස්වීම් සහ අවසානයේ මරණය හෙවත් විනාශයට පත්වීම පොදු කරුණක් නොවේද? එසේනම් “යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම” කියන්නාවූ පොදු ධර්මතාවයෙන් යුතු සත්වයින් දෙදෙනෙක් තෝරාගෙන එයින් එක් සත්වයෙක් විශේෂ කරලා වටිනාකමක් දී ඒ සත්වයාට පුද්ගලත්වයක් ලබාදුන්නාය කියලා ඒ සත්වයා ඒ පොදු ධර්මතාවයෙන් බේරීයනවාද? නෑ නේද? තමන් තෝරාගත්තාවූ තමන් විසින් නිර්මාණය කරගත්තාවූ ලෝකය තුලට අදාල වූ පමණින් ලෙඩ නොවේවා, මරණයට පත්නොවේවා යැයි පැතුවාට බලාපොරොත්තු ඇතිකරගත්තාට එසේ සිද්ධ වෙනවාද?
මේ ආකාරයටම මේ පොදු ධර්මතාවයෙන් යුතු ද්‍රව්‍ය සමූහයක් අතරින් කොටසක් තෝරාගෙන වස්තු බවට පත්කරගැනීමක් සිදුකරනවා. හොඳින් හිතන්න ලෝකයේ ගස් තිබෙනවා… ඒවා ද්‍රව්‍ය කොටසට අයත් වෙනවා. ඒත් ඔබේ ඉඩමේ ඔබේ ගෙවත්තේ තිබෙන ගස ඔබට නිකම්ම නිකම් ගසක් පමණයිද? එය ඔබට වස්තුවක් වී නැතිද? ලෝකයේ ගල් වැලි සිමෙන්ති ආදී දෑ තිබෙනවා. ඒවා ද්‍රව්‍ය කොටසට අයත් වෙනවා. ඒවා එකතු කරලා සකස් කරගත්ත නිවස කියන තත්වය ඔබට වස්තුවක් වී නැතිද? ප‍්‍රඥාවන්තව නුවණින් විමර්ශණය කරලා බලන්න මෙන්න මේ වගේ බොහෝමයක් සත්වයින් අතරින් පුද්ගලත්වයක් දී වටිනාකමක් ලබාදී කොටසක් වෙන්කරගෙන සිටිනවා නේද? ද්‍රව්‍ය අතරින් කොටසක් වෙන්කරගෙන වටිනාකමක් ලබාදී වස්තු බවට පත්කරගෙන සිටිනවා නේද? ඒත් සත්වයින්ට වඩා පුද්ගලත්වයක් ලබාදී වටිනාකමක් ලබා දී තිබෙන්නාවූ කොටස නිසාවෙනුත් ද්‍රව්‍යන්ට වඩා වස්තු කියන්නාවූ කොටස නිසාවෙනුත් ඔබ ලබන ආශ්වාදය වැඩියි නේද?
ඒ වගේම ඒ කොටසට යම් හානියක් සිද්ධ වන විට ඇතිවන කම්පාව, දුක අසහනයත් වැඩියි නේද?
වැඩියෙන්ම ඔබේ සිත, කය, වචනය මෙහෙයවීම තුලින් යම් මරණයක් සිද්ධ වෙනවා නම්, සොරකමක් සිද්ධ වෙනවා නම්, කාම සේවනයේ යෙදී ආශ්වාද ලැබීමක් සිද්ධ වෙනවා නම්, බොරුවක් කියනවා නම්, සැඩපරුෂ වචන කියනවා නම්, කේලාම් කියනවා නම්, කාලය කා දමන හිස් වචන ප‍්‍රලාඵ කියනවා නම්, ලෝභ බවක් තණ්හාවක් ඇතිවෙනවා නම් තරහා බවක් ද්වේශයක් ඇතිවෙනවා නම් ඇතිවෙලා තිබෙන්නේ සිද්ධ වෙලා තිබෙන්නේ මේ කියන්නාවූ වටිනාකමක් දුන්නාවූ කොටස වෙනුවෙන් නොවේද? සත්වයින්ට, පුද්ගලයින්ට, ද්‍රව්‍ය, වස්තු කියන මේ අවස්ථා හතරටම පොදු ධර්මතාවය “යමක් හටගත්තා නම් විපරිණාමයට පත්වී විනාශයට පත්වීම” කියන්නාවූ ධර්මතාවයමයි. ඔබගේ කැමැත්තට අනුව බලාපොරොත්තුවට අනුව ඒ වෙන්කරගත්තාවූ වටිනාකම් දුන්නාවූ කොටස පවත්වාගන්නට ඔබට කිසිසේත්ම නොහැකි වන්නේද මෙන්න මේ පොදු ධර්මතාවයක් ඒ ඒ අවස්ථාව අනුව සිද්ධ වෙන නිසාමයි.
ඉතින් එය තෝරානොගෙන මේ බාහිරවූ සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු කියන්නාවූ දෑ ඔබගේ ඇලීමට ගැටීමට ඔබගේ පාප කර්මයන්ට අකුසලයන්ට වරදකාරයින් බවට පත්කරනවා නම් වරදවා වටහාගැනීම සිද්ධ වී ඇත්තේ ඔබ තුලම නොවේද? මොහොතකට හෝ තමන්ගේ කැමැත්තට අනුව යමක් ඉෂ්ඨ සිද්ධ වන විට ලැබුන ආශ්වාදය නිසා ඒ ආශ්වාදයටම මත්වෙලා ඒ ආශ්වාදය තමන්ට රිසි සේ ලැබිය හැකි දෙයක්ය කියලා හිතාගෙන ඒ ආශ්වාදය ලබන්නට නැවත නැවත යොමුවෙනවා. ඒ ආශ්වාදය ලැබෙන විට සතුටක් යැයි වින්දනයක් ලැබෙනවා. ඒ ආශ්වාදය නොලැබෙන විට දුකක් යැයි වින්දනයක් ලැබෙනවා. ඒ තුලත් වරදවා වටහාගැනීම නිසාම ලැබෙන්නා වූ වින්දනය සතුටක්ය දුකක්ය සතුටක්වත් දුකක්වත් නැති දෙයක්ය ලෙසින් වර්ග කරගන්නවා විනා සැබෑව නොපෙනෙන ලෙසින් වැසී තිබෙන නුවණින්ම දැක තෝරාගත යුතු තත්වයක්ම වෙනවා. මේ වරදවා වටහාගත්තාවූ වැටහීම තිබෙන තාක් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් බෙදා වෙන්කරගෙන ආශ්වාද ලැබීම පිණිස කරගෙන යන වැඩපිලිවෙලක් අපට තිබෙනවා.
ඒ තුල “මම” ලෙසින් “මගේ” ලෙසින් වටිනාකම් දී ගොඩ නගාගත්ත ලෝකය තුල තමන්ට කැමැති සේ ආශ්වාදය ලබා සතුට නම් වින්දනය ලබන්නට තමයි බහුතරයක් පිරිස කැමැති. දුක නැමැති වින්දනය ලබන්නට නම් අකමැතියි. ඒත් ඉතින් මේ වටිනාකමක්දී ගොඩනගා ගත්තේත් “හටගත් දෙයක් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා යන ධර්මතාවයක් හෙවත් ස්ථිර නැති ස්වභාවය” සහිත ලෝකයෙන්ම තෝරාගත්ත සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තූන් සමූහයක්ම නිසා තමන්ට කැමති විදියට සතුට කියන වින්දනය ලබන්නට හෝ දුක කියන වින්දනය නොලබා සිටින්නට අපහසු වෙනවා. නොහැකි වෙනවා. ඔබේ කැමැත්ත සතුට වුණත් ඒ සතුටත් ලැබූ සැනින් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා ගොස් ඒ තුලින්ම දුක ඇතිවෙනවා.
“හටගත් දෙයක් විපරිණාමයට පත්වෙලා විනාශ වෙලා යන ධර්මතාවයක් හෙවත් ස්ථිර නැති ස්වභාවය” කියන්නාවූ පොදු ධර්මතාවයෙන් යුතු වේදනා ස්වභාවයක්ම පමණක් වන නිසා ඒ සතුට කියන තත්වයත් ඒ ආකාරයෙන් කැමැත්තට අනුව ලැබීමට නොහැකි වෙනවා. එතකොට දුක? ඔබගේ කැමැත්ත දුක එන්නේ නැති වෙනවාටයි ඒත් ස්ථිර නැති සතුට නිසාම අවසානයේ දුකක් හිමිවෙනවා. ඒ නිසා සැපයි දුකයි වෙනසක් නැතිව සමසේ වගේ ලැබෙනවා! එහෙම නේද? මේ වරදවා වටහාගෙන නිර්මාණය වී තිබෙන ලෝකය ඔබ තුලින්ම දැකගන්නට සත්ධර්මය ශ‍්‍රවණය කරමින් ඇසුරු කරමින් උත්සාහවන්ත වන්න! මේ දේවල් කියවූ පමණින් දුකෙන් මිදිය නොහැකියි. ශ‍්‍රවණය කල පමණින් දුකින් මිදිය නොහැකියි. ප‍්‍රායෝගිකව ඔබ විසින් කල යුත්තක් තිබේ.
ඒ නිසි දේ කරගැනීමට අප‍්‍රමාදී වීම වඩාත් සුදුසු වේ!
6. තාප නිරය – මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල්වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විඳිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනි තැබූ අය මෙහි උපදිනවා.
අටමහා නරකයන්හි හය වැනියට විග‍්‍රහ වන “තාපය” නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධය පිණිස ධර්ම කොටසක් විග‍්‍රහ කර ගැනීමටත් මෙම කොටස තුලින් බලාපොරොත්තු වන අතර සියලූ සසර දුක් අප‍්‍රමාදීව කෙලවර කරගැනීම පිණිස මෙම ධර්ම කොටස් උපකාර කරගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වේ.
“නිච්චලේ සත්තෙ නපතීති තාපෝ” නිශ්චල සත්වයෝ යමපල්ලන් විසින් තවනු ලබන හෙයින් තාප නම් වේ යැයි ධර්මයේ සඳහන් වේ. මෙහි නිරිසත්වයෝ ගිනිගෙන දිලිසෙන යකඩ පොළවෙහි ඇලී ගැලී සෙලවෙන්නටවත් නොහැකිව පෙරළෙන්නටවත් නොහැකිව දරුණු ගින්නෙන් දැවෙනවා කියලා තමයි විස්තර වෙන්නේ. තාප නිරයේ ස්වභාවය නම් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා සෙලවීමට නොහැකි වන පරිදි කෙළින් සිටුවා ඒවායේ අමුණන ලද නිරි සත්වයින්ව ගින්නෙන්ද දැවෙන්නට සැලැස්වීමයි. ලෝදියෙන් පිරී ඉතිරී ගිය අධික උෂ්ණත්වයක් සහිත මේ අපාය තුල ඒ අධික තාපයට හසුවෙලා වාෂ්ප වෙලා වායුවක් බවට පත්වෙන්නට සිද්ධ වෙනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වෙනවා. අපි මේ කතා කරන නිරයන්ට කියන්නාවූ තවත් නමක් තමයි ගිනි අපාය. ඉතින් ඇයි මේ විදියට අධික උෂ්ණත්වයකට හසුවී අධික තාපයකට හසුවී දැවෙන්නට සිද්ධ වෙන්නේ?
හේතුවක් නුවණින් දැකගන්නට හැකිද? විමසා බලමු…අතිදුර්ලභව ලැබූ ඔය මනුෂ්‍ය ජීවිතය භාවිතා කරන්නේ අනුන්ට ගිනි දෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් නම් මෙන්න මේ ඉහත විස්තර කරල ප‍්‍රතිඵල හේතුවට ඵලය ලෙසින් ලැබෙනවා.
“යෝ ච රාජා අධම්මට්ඨො – රට්ඨං විද්ධංසනො සියා, තාපයිත්වා ජනපද – තාපනෙ පෙච්ච තප්පති”
ඔබගේ සිත, කය, වචනය භාවිතා කරන්නේ අන් ගෙවල් දොරවල් වනසමින්, මංමාවත් වනසමින්, පොදු දේපළ සූරාකමින්, විනාශ කරමින්, තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කමින්… අධර්මිශ්ඨ පාලනයක් මොන මට්ටමකින් හෝ සිදුකරමින්… තවත් සත්වයෙකුට හෝ සත්ව පිරිසකට සිතට ගිනි දෙන්නට සිතින් දැවෙන්නට දුක් වෙන්නට අසහනයට පත්වෙන ආකාරයෙන් නම්ල කටයුතු කලේ එසේ නම් ප‍්‍රථිඵලයද අතිභයංකරය. යම් රජයකට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධනවතා දක්වා වූ විවිධ ආකාරයේ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රටේ නායකත්වයකට නිසි ලෙසින් රටට කල යුතු සේවය නොකළ හැකිය. එවිට දැවෙමින් තැවෙමින් අසහනයට පත්වන්නෝද බහුල වේ. එපමණක් නොවේ. තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටකට ණයකාරයෝ වේ. එවැනි කටයුතු නිසාවෙන්ද දැවෙමින් තැවෙමින් අසහනයට පත්වන්නෝ මෙතෙකැයි කිව නොහැකිය. මේ ආකාරයට ඉහළ මට්ටමේ පටන් පහළ මට්ටම දක්වාම අන් අයට හිංසා කරමින් දේපල හානි කරමින් සිත් සතන් වලට ගින් දෙන්නේ යම්සේද ඒ හේතුවට ඵලය ලෙසට තාපය නම් අපායට වැටෙන්නට සිද්ධ වේ.
අනුන්ට ගිනි දෙන වැඩපිලිවලකට සිත කැමති වෙන්නේ ඇයි?
තමනුත් දැවෙන අනුන්වත් දවන්නාවූ ඇවිළගත්තාවූ ගිනි වැඩපිළිවෙලක් අප තුල ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි විග‍්‍රහ කරගතහොත් මේ තාපය නම් නිරයට වැටෙන්නට හේතුවන්නාවූ හේතුව පමණක් නොව මුළු සසර ගිනිජාලාවටම හේතුවද නුවණින් දැක නිරෝධ කරගන්නට… නවතා දමන්නට… නිවාගන්නට හැකියාවක් ලැබෙනවා.
ඔබටත් නොදැනීම මොහොතක් මොහොතක් පාසා ඔබ විසින් ඇසුරු කරන්නාවූ ගිනි සමූහයක් පිළිබඳව විග‍්‍රහ කරදීමෙන් ඒ ගැඹුරු විග‍්‍රහය තව දුරටත් ලියා දැක්වීමට මෙවර කටයුතු කරනවා. තම තමන් ඇසුරු කරන්නාවූ ගිනි නුවණින් දැකගන්නට නොහැකිවුවහොත් “නිවීම” යනු කුමක්දැයි දැනගැනීමට ඉතාමත් අපහසු වන හෙයින් ඉතාමත් බුද්ධිමත්ව විවෘත මනසකින් යුතුව තම තම නැණ පමණින් තෝරාගන්නට උනන්දු විය යුතුයි.
විටෙක බුදුරජාණන්වහන්සේ විසින් මෙන්න මෙවන් වූ දේශනාවක් විග‍්‍රහ කරදෙනවා… ( ත‍්‍රිපිඨකය – විනය පිඨකය – මහා වග්ග පාළිය – 1. මහා ඛන්ධකය – 48. උරුවෙල පාටිහාරිය කථා – පිටු අංකය 72 සහ 73)
“සබ්බං භික්ඛවේ ආදිත්තං. කිඤ්ච භික්ඛවේ, සබ්බං ආදිත්තං? චක්ඛුං භික්ඛවෙ ආදිත්තං. රූපා ආදිත්තා. චක්ඛු විඤ්ඤාණං ආදිත්තං. චක්ඛු සම්ඵස්සො ආදිත්තො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උපජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ආදිත්තං. කෙන ආදිත්තං? රාගග්ගිනා, දෝසග්ගිනා, මෝහග්ගිනා ආදිත්තං. ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවහි දුක්බෙහි දොමනස්සෙහි උපායාසෙහි ආදිත්ත’න්ති වදාමි.”
මෙහි දී ඇති සිංහල අර්ථය මෙසේයි…
“මහණෙනි, සියල්ල ඇවිළ ගත්තේ ය. මහණෙනි, ඇවිළ ගත් සියල්ල කිම? මහණෙනි, ඇස ඇවිළ ගත්තේය. රූපයෝ ඇවිළ ගත්හ. චක්‍්ඛුවිඤ්ඤාණය ඇවිළ ගත්තේ ය. චක්‍්ඛුසම්ඵස්සය ඇවිළ ගත්තේ ය. චක්‍්ඛුසම්ඵස්සය හේතුවෙන් යම් සුව දුක් උපෙක්ෂා වෙදනාවක් උපදී ද, එ ද ඇවිළ ගත්තේ ය. කුමකින් ඇවිළ ගත්තේ ද? රාගගින්නෙන් දෝස ගින්නෙන් මොහ ගින්නෙන් ඇවිළ ගත්තේ ය. ජාතියෙන් ජරායෙන් මරණයෙන් සොකයෙන්ගෙන් විලාපයන්ගෙන් දුක්වලින් දොම්නස්වලින් සිත් තැවුල්වලින් ඇවිළ ගත්තේ ය” යි කියමි.
”මේ ආකාරයට ඇස සහ රූපයට සම්බන්ධ දේ වගේම කණට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට ස්පර්ශ සහ මනට ධර්ම යන සියලූ කොටස් පිළිබඳවද ඒ ධර්ම කොටස තුල ඉහත ආකාරයෙන් පෙන්වා දෙනවා. ඒ වගේම මේ ආකාරයට ඇවිළ ගත්තාවූ ස්වභාවය නුවණින් දකින ආර්ය ශ‍්‍රාවකයා ඇස, කණ, දිව, නාසය, කය, මන, රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම ආදී සියල්ල කෙරෙහි කළකිරෙනවාය… කළකිරීම නිසා නොඇලෙනවාය… නොඇලීමෙන් මිදෙනවාය…
මිදුන බව දැනගන්නවාය ආදී ලෙසින් අප මහා සම්මා සම්බුදුපියාණන්වහන්සේ එම අවස්ථාවේදී පෙන්වා දෙනවා. මේ ධර්ම කොටස විග‍්‍රහ කරගන්නට හැකි නම් අපට මහා ලාභයක්ම වෙනවා. ගිනි අපා දුක් නිරෝධකරගත හැකිවෙනවා. ඒ නිසාවෙන්ම ඒ ධර්ම කොටස විග‍්‍රහ කරගන්නට උත්සාහ කරමු.
අප විසින් යම් රූපයක් දුටුවාය, ශබ්දයක් ඇසුවාය, ගන්ධයක් ස්පර්ශයක් රසයක් දැනුනාය ලෙසින් නිගමනයට පත්වන අවස්ථාවේදීම ඒ තුල යථාර්ථය නොදන්නාකම නිසාවෙන් වැරදි වැටහීමක්ම ප‍්‍රකට වෙනවා විනා යථාර්ථයක් අත්දැකගන්නට යෙදෙන්නේ නෑ. අන්න එවන් වූ මානසිකත්වයකින් සිත, කය, වචනය හසුරවන විට ලැබෙන්නාවූ රූප රූප අරමුණු, ශබ්ද රූප අරමුණු, ගන්ධ රූප අරමුණු, රස රූප අරමුණු, ස්පර්ශ රූප අරමුණු ඉදිරියේදී “මම” ය, “මගේ” ය, “මගේ ආත්මය” ය, යන නිගමනයට පත්ව කටයුතු කරන්නට යෙදෙනවා.
කුමක්ද මේ යථාර්ථය?උදාහරණයකින් ඉතාමත් කෙටියෙන් තෝරාගනිමු. ඔබ දන්නවානේද දැල්වෙලා තියෙන විදුලි බුබුලක් එක දිගට දැල්වෙලා කියලා පෙනුනත් එහි සැබෑ යාන්ත‍්‍රණය තමයි මොහොතක් පාසා නිවි නිවී පත්තුවීම. ඒත් එහි වේගය නිසාවෙන් අපට බාහිරයට දැනෙන්නේ පේන්නේ එය අඛණ්ඩව දැල්වී තිබෙන විදුලි පහනක් ලෙසටයි.
බුදු හිමියන්ට පොල් තෙල් පහනක් දල්වන ඔබට ඒ පහන් දැල්ල තුලින්ද මේ අවස්ථාව නුවණින් දැකිය හැකියි. අපට එකම දැල්ලක් සේ බාහිරයට විද්‍යාමාන වුවත්… එකම දැල්ලක් සේ දැකගත හැකිවුණත් ඇත්තටම එහි සිද්ධ වෙන්නේ තෙල් බින්ඳු දහස් ගණනින් කෝටි ගණනින් රත්වෙමින් තනි තනි වශයෙන් ඇවිලෙන විට ඒවා එකතුවෙන් බාහිරයට මායාකාරී දැල්ලක් නිර්මාණය කරදීමයි. තෙල් තිබෙන තාක් එයට උපකාර වන තිරයක් තිබෙන තාක් ඒවාට අවශ්‍ය කරන තාපය තිබෙනතාක් ඒ යාන්ත‍්‍රණය අඛණ්ඩව සිද්ධ වෙමින් මායාකාරී දර්ශනයක්ම ලැබෙනවා.
ඔබට එදිනෙදා හමුවන රූපවාහිනියේ තාක්ෂණයද එයමයි… ඔබ ඒ තුල සත්වයින්, පුද්ගලයින්, ද්‍රව්‍ය, වස්තු ආදී ලෙසින් බොහෝ දෑ දකින නමුත් එහි යාන්ත‍්‍රණය තුල සිදුවන්නේ ඉතාමත් වේගයෙන් වර්ණ සටහන් සමූහයක්ම පමණක් ලබාදෙන යාන්ත‍්‍රණයක් පමණයි. ඒ වර්ණ සටහන් දහස් ගණනින් වේගයෙන් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ඔබට ඒ තුලින් මායාකාරී දර්ශනයක් දැකගන්නට හැකිවෙනවා. ඒවා සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙසින් මැනගෙන සිත, කය, වචනය මෙහෙයවා රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුතුව කටයුතු කරන්නට යෙදෙනවා.
මෙන්න මේ ආකාරයට සැබෑවටම දකිනවාය ඇසෙනවාය දැනෙනවාය ලෙසින් සිතාගෙන සිටින ඇස, කණ, දිව, නාසය, කය, මන සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන්නාවූ කොටස් එකතුවේ යථාර්ථය අපට මඟහැරී ගොස් තිබෙනවා. දැකගත නොහැකිව තිබෙනවා. මුලාවකට පත්වී තිබෙනවා. මෙන්න මේ නොදන්නාකම නිසාම “මම” ලෙසින් හැඟීම් ගෙන කටයුතු සිදුවෙනවා. ඒ “මම” කියන කොටසට ගෝචර වන්නාවූ යම් රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක හෝ ධර්මයක ආශ්වාද බලාපොරොත්තුව නිසාම “මගේ” කොටස ඇතිවෙනවා. ඒවායේ භුක්තිය ලැබෙනවාය කියලා හැෙඟන පමණින් “මගේ ආත්මය” යන හැඟීම ගොඩනැගෙනවා.
මෙන්න මේ හැඟීම් ඔස්සේ රූප ලාභයක්, ශබ්ධ ලාභයක්, ගන්ධ ලාභයක්, රස ලාභයක්, ස්පර්ශ ලාභයක් සහ මනසට මේ මේ අරමුණු ඔස්සේ ලැබෙන්නාවූ ධර්ම ආශ්වාද ලාභයක් සෙවීම තුල වංචාවන් සිදුකරනවා, තවත් සත්වයෙකුට හිංගි හිංසා කරන්නට යෙදෙනවා, අන් සතු දෑ මෙන්ම පොදු දේපලද විනාශ කරන්නට යෙදෙනවා තමනුත් දැවෙමින් රත්වූ වැඩපිළිවෙලක යෙදෙන අතරතුර ඉහත තෝරාගත් ලෙසින් බාහිරයටද ගිනිම ලැබ දෙනවා.
මෙය වටහාගත යුතු ඉතාමත් ගැඹුරු ධර්ම කොටසක් බැවින් වැඩිදුර විග‍්‍රහය මතු කලාපයටද සම්බන්ධ කරමි. එතෙක් බුද්ධිමත් මිනිසෙක් වශයෙන් මේ විස්තර කර දුන්නාවූ සත්ධර්ම කොටස තම තමන් තුලින්ම දැකගැනීමට නුවණ මෙහෙයවන්නට උත්සාහ කරන්න. ඒ තුලින් තාප නිරයේ අපා දුක් නිරෝධය පිණිස කටයුතු කරගත හැකි ආකාරය ඔබ විසින්ම හඳුනාගන්නට උත්සාහ දරන්න.ඒ වැටහීම අප‍්‍රමාදීව නිවී සැනසීම උදාකරගැනීමට පින්වත් ඔබ සැමටම හේතු උපකාර වේවා යන මෙත් ආශිර්වාදයද ඔබ සැමටම තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන්ම ලැබේවායිද පතන්නෙමි!!
7. ප්‍රතාප නිරය – මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විඳිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්‍යාදෘෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.
අටමහා නරකයන්හි හත්වැනියට විග‍්‍රහ වන ‘‘ප‍්‍රතාපය’’ නම් නරකය පිළිබඳවත් ඒ දුක් නිරෝධය පිණිස ධර්ම කොටසක් විග‍්‍රහ කර ගැනීමටත් මෙම කොටස තුලින් බලාපොරොත්තු වන අතර සියලූ සසර දුක් අප‍්‍රමාදීව කෙලවර කරගැනීම පිණිස මෙම ධර්ම කොටසත් සුපුරුදුපරිදි උපකාර කරගැනීමට උත්සාහ දැරීම ඉතාමත් වැදගත් වේ.
මහත් සේ බිහිසුණු ලෙස තවන පුළුස්සන නිසාවෙන් ප‍්‍රතාපය යැයි කියනවා. ප‍්‍රතාපය නරකයේ ගිනි ගත් අයෝමය පර්වත තිබෙනවා යැයි සඳහන් වෙනවා. මේ නරකයේ සිටින්නාවූ නිරි සත්වයන්ව යමපල්ලන් විසින් මේ මහා පර්වතයන්ට නංවා පහළට පෙරලා දමනවා. පෙරළී වැටෙන නිරි සතුන් රත්වූ යකඩ උල්වල ඇනෙනවා. නැවත නැවතත් ඔවුන් ගිනි කඳුවලට නංවමින් පෙරළ දමනවා. අනන්ත දුක් කන්දරාවක් දරන්නට සිද්ධ වෙනවා. තාපයට වගේම ප‍්‍රතාපය නම් වූ මෙම නිරයටත් කියන්නාවූ තවත් නමක් තමයි ගිනි අපාය. ‘‘මහා තාපන’’ ලෙසිනුත් හඳුන්වන මෙම නරකයට පත් නිරිසතුනටත් තාපය නම් වූ නරකයේදී මෙන්ම දීර්ඝ කාලයක් පැසෙන්නට සිද්ධ වෙනවා. මෙහි උපදින්නට සිදුවුවහොත් ඔබට දැනෙන්නේ ගිනියම් වූ ස්වයංක‍්‍රීය ආයුධවලින් තළමින් ගිනි කන්දකට නඟින්නට අණ කරනවා වගේ. එහෙත් ඒ ගිනි කන්දෙන් බුර බුරා නැගෙන ගිනි දැල්වලින් දැවි දැවී සිටින ඔබව පහතට පෙරලා දමනවා. අධික වේදනාවකින් දුක් විඳිමින් පෙරලීගෙන කන්දෙන් පහතට එන ඔබට ලැබෙන්නේ ගිනි යම්වූ යකඩ කූරු වල ඇමිණෙන්නටයි. මේවා වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම්වූ දරුණු වේදනාකාරී පිළිස්සුම් තුවාලයන් සහිත අධික දුක් කන්දරාවක්.
පුංචි පහන් දැල්ලකින් පිළිස්සුම් තුවාලයක් ලබන ඔබට කොතරම් වේදනාවක් දැනෙනවාද? එසේනම් මේ කියන්නාවූ දුක් කන්දරාවන් පිළිබඳව අදහසක් ගැනීමට බුද්ධිමත් ඔබට හැකියාවක් ඇති නේද? මේ අපා දුක් සහිත නරකයන් පිළිනොගෙන ඒවා තවත් එක් විසිතුරු කතාවන් ලෙසින් දැක තාවකාලික සැනසීමකට පත්ව ‘‘එපා, එපා’’ යැයි කෑමොර දෙත්දීත් අකුසලයන්ගේ නිරත වන්නාවූ සත්ව පිරිස් වෙතට කොතරම් නම් අනුකම්පාවක් දැක්විය යුතුදැයි ඔබට වැටෙහනවා නේද?
ඉතින් ඇයි මේ විදියට අධික උෂ්ණත්වයකට හසුවී අධික තාපයකට හසුවී දැවෙන්නට සිද්ධ වෙන්නේ? හේතුවක් නුවණින් දැකගන්නට හැකිද? විමසා බලමු…අතිදුර්ලභව ලැබූ ඔය මනුෂ්‍ය ජීවිතය භාවිතා කරන්නේ අනුන්ට ගිනි දෙන වැඩපිළිවෙලක් වෙනුවෙන් නම් මෙන්න මේ ඉහත විස්තර කරල ප‍්‍රතිඵල හේතුවට ඵලය ලෙසින් ලැබෙනවා. තාපය ප‍්‍රතාපය වැනි වූ ගිනි අපායන්හි දැවෙන්නට සිද්ධ වෙනවා. මේ ගිනි දෙන වැඩපිළිවෙලට යොමුවන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසා බැලීම තුලින්ම ඒ ගිනි දෙන වැඩපිළිවෙලින් මිදෙන්නට හැකි බව එය නිරෝධ කරගන්නට හැකි බව විග‍්‍රහ කරගැනීම මේ ලිපි පෙලහි ප‍්‍රධාන අරමුණයි.
තමනුත් දැවෙන අනුන්වත් දවන්නාවූ මොහොතක් පාසා ඇවිළගත්තාවූ ගිනි සහිත වැඩපිළිවෙලක් අප තුල ක‍්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි පෙර ලිපියේදී ර්‍ණතාපය ර්‍ණ නම් නිරයට අදාල විස්තරයේදී අප විග‍්‍රහ කරගන්නට යෙදුනා.
අප‍්‍රමාණ දාහයක් ගෙන දෙන්නාවූ මේ මුළු සංසාර ගිනිජාලාවටම හේතුව නුවණින් දැක නිරෝධ කරගන්නට… නවතා දමන්නට… නිවාගන්නට හැකියාවක් ලැබීම පිණිසම තව දුරටත් ඒ කොටස විග‍්‍රහ කරගන්නට යෙදෙමු. තම තම නැණ පමණින් විමසා අනුමාන වශයෙන් හෝ තෝරාගන්නට උත්සාහ දැරීම තම තමන්ගේ යහපත පිණිසම වේවි.

Donations

You cannot copy content of this page