Arhatta Buddha අර්හත්ත බුද්ධ

භද්දිය මහරහතන් වහන්සේ

 

ලෞකික වශයෙන් කායික හා මානසික ආතති ගති නැති වීමටත්, අධික ශීත හා උෂ්ණයන්ගෙන් ආරක්ෂා වීමටත් විජිනිපත් පූජාව හේතු වේ. විශේෂයෙන් සත්වයාගේ සසර ගමනට හේතු වන අවිද්‍යාව හා නීවරණ දුරුකොට රාග, ද්වේශ, මෝහ ප්‍රහීණ වූ නිකෙලෙස් සිතකට මඟ පෑදේ.

 

 

මහා පින්කම් සිදු කරමින් , සසර සැරිසරමින් අවුත් අප ගෞතම බුදුරදුන්ගේ කාලයෙහි කිඹුල්වත් නුවර “කාළිඝෝධා” නමැති රජ කුමරියක කුසෙහි පිළිසිඳ දසමස් ඇවෑමෙන් බිහි වූ කුමරු භද්දිය නමින් හැඳින් විය. මහා සම්පත් හිමි වූ ඔහු රජකමට ද පත් විය. පෙර කරන ලද කුසල් ඇති භද්දිය රජතුමා තම හිතවත් මිතුරෙකු වූ අනුරුද්ධ කුමරු හා එක්ව ගොස් ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාරවරුන් ද උපාලි කපුවා ද සමඟ බුදුරදුන්ගෙන් පැවිද්ද ලබා වැඩිකලක් ගත වීමට පෙර රහත් භාවයට ද පත් වූහ. නිවන් අවබෝධ කිරීමත් සමඟ බුදුරදුන්ගේ අගතනතුරක් ලැබීමට කළ ප්‍රාර්ථනය හා අසීමිතව සිදු කළ පින්කම්වල බල මහිමය අගතනතුරු ලබා ගැනීම සඳහා භද්දිය මහරහතන් වහන්සේට හේතු විය.

අප ගෞතම සම්බුදු සසුනෙහි ආශ්චර්යවත් කුලීන භික්ෂූන් අතර අගතනතුර ලැබීමේ භාග්‍ය උදාකරගනු ලැබුවේ භද්දිය මහරහතන් වහන්සේ ය. ඒ පදුමුත්තර බුදුන්වහන්සේගේ නියත විවරණ ඇතිව ය. තවදුරටත් ඒ උසස් අගතනතුර ලැබීමට කවර පින්කම් කළ යුතුදැයි කල්ප ලක්ෂයකට පෙර භික්ෂූන් වෙතින් විමසූ විට එහි දී කළ යුතු ප්‍රධාන පින්කම අතර, ධර්මාසන පිදීම, ධර්මාසනයන්ට ඇතිරිලි පිදීම, ධර්ම දේශකයන්ට විජිනිපත් පූජා කිරීම, සුදුසු පරිදි ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම දේශකයන් වහන්සේ සඳහා කළයුතු වතාවත් සිදුකිරීම, ධර්මශාලා, විහාර , සංඝා වාස, පොහොය ගෙවල් සඳහා පහන් පූජා කිරීම ඇතුළු පින්කම් සිදු කළ යුතු බව ඒ අවස්ථාවල පෙන්වා දුන්හ.

ආසන පූජා කිරීම මහා කුසලයක්. ඒකාසනදායක හිමියන් පියුමතුරා බුදුරදුන්ට දඬුමැස්සක ආසනයක් පනවා දීමේ පිනෙන් බොහෝ වාර ගණනක් සක්දෙව් තනතුර හා සක්විති තනතුර ලැබූ බව අපදාන පාලියෙහි සඳහන් වේ. හේමක හිමියන් පියදස්සි බුදුරදුන්ට රන් පුටුවක් පූජා කිරීමෙන් දෙව්ලොව හා මිනිස් ලොව අපමණ යසස් සම්පත් ලබා ගත්තේ ය. ඇතිරිලි සහ විජිනිපත් (වටාපත්) පූජා කිරීමත් මහත් ආනිසංස ලැබෙන පුණ්‍ය ක්‍රියාවන් වශයෙන් දැක්වේ. ලෞකික වශයෙන් කායික හා මානසික ආතති ගති නැති වීමටත් අධික ශීත හා උෂ්ණයන්ගෙන් ආරක්ෂා වීමටත් විජිනිපත් පූජාව හේතු වේ. විශේෂයෙන් සත්වයාගේ සසර ගමනට හේතු වන අවිද්‍යාව හා නිවරණ දුරුකොට රාග, ද්වේශ, මෝහ ප්‍රහීණ වූ නිකෙලෙස් සිතකට මඟ පෑදේ.

දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් එකක් වූ ධර්ම දේශනය සුවිශේෂී පින්කමකි. සාමාන්‍ය සමාජයක් උසස් තත්ත්වයට පත් කිරීමට පමණක් නොව නිවන් අවබෝධ කර ගන්නා කෙනෙකුට ඒ සඳහා ද ධර්ම දේශනයකට සවන් දීම ඉතා වැදගත් වේ. අර්ථවත් වූ යහපත් ධර්ම දේශනයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතු බව පෙළ දහමෙහි විවරණය වේ. ඒ අනුපිළිවෙළ අනුව දහම් දෙසීමේ දී, අර්ථයට අදාළ කරුණු දක්වා දේශනා කිරීම, අනුකම්පාවෙන් දේශනා කරන්නක් වීම, ආමිෂයක් බලාපොරොත්තු නොවී කරන දේශනයක් වීම, තමා උසස් කොට අන් අය පහත් කොට පවත්වන දේශනයක් නොවීම යන කාරණාවන් ය.

ඕනෑම කෙනෙකුට මග ඵල ලැබීමට පරතෝඝෝස ප්‍රත්‍යය හෙවත් අන් අය දේශිත බණ පදයක් හෝ දෙසවන වැටෙන්නට අවශ්‍ය වේ. ධර්මය ඇසීමෙන් මග ඵල ලබන ක්‍රම සතරක් පිළිබඳව අංගුත්තර නිකායෙහි නෙය්‍යපුග්ගල සූත්‍රයෙහි සඳහන් වේ. එනම්, උග්ඝටිතඤ්ඤු යනු වහා අවබෝධ කිරීමෙහි සමත් ශ්‍රාවකයන් ය. යම් තරමක් පැහැදිලි කිරීමේ දී අවබෝධකර ගන්නා පුද්ගලයා විපචිතඤ්ඤ ලෙස හැඳින්වේ. ඤෙය්‍ය නාමයෙන් හැඳින්වෙන්නේ උත්සාහයෙන්, වෑයමෙන්, කලණ මිතුරු ඇසුරෙන් ක්‍රම ක්‍රමයෙන් ධර්මය අවබෝධ කරන පුද්ගලයා ය. පදපරම යනු කවර ක්‍රමයකින්වත් ධර්මය අවබෝධ කළ නොහැකි පුද්ගලයා ය. මෙවැනි සතරාකාර ගුණයන් ළඟා කර දෙන දේශනයක් පැවැත්වීම සඳහා ප්‍රයෝජනයට ගන්නා පුටුව, ඇතිරිල්ල, වටාපත ආදී සෑම දෙයක්ම පූජා කළ අයට නිරන්තරයෙන්ම මහත් වූ ආනිශංස ලැබෙති.