Karma Vipaka කර්ම විපාක

ප්‍රාණඝාත කර්මයාගේ විපාක

01 ප්‍ර‍තිසන්ධි විපාක

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි

02 ප්‍ර‍වෘත්ති විපාක 

කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.

කාම මිථ්‍යාචාරයේ විපාක

කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.

අදත්තාදාන කර්මයාගේ විපාකයෝ

අන් සතු වස්තුව සොකරම් කළ අය මෙලොව දී ම බොහෝ නින්දා ලබති. අත් පා ගල් පොලු ආදියෙන් පහර ලබති. සමහර විට අනුන් ගෙන් පහර කා තිරිසනුන් සේ තැන් තැන්වල මැරෙති. පෙර රජවරු සොරුන්ට අත් පා කන් නාසා කැපීම හිස කැපීම උල හිඳවීම ආදි නොයෙක් දඬුවම් කළෝ ය. දැනුදු සොරුන් අසු වුව හොත් සිරගෙයි ලෑම් කස පහර දීම් ආදියෙන් දඬුවම් කරති.

මරණින් මතු සොරකම් කළ අය නරකයෙහි ඉපිද ගින්නේ දැවෙමින් බොහෝ කල් දුක් ලබති. ප්‍රේත ව ඉපද බත් පැන් නැතිව, විළි වසා ගැනුමට වස්ත්‍ර‍ නැති ව, වාසස්ථාන නැතිව, කිසිවකුගේ පිහිටකුත් නැතිව, සාගින්නෙන් පිපාසාවෙන් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. තිරිසන් ව ඉපද දහස් ගණන් ජාතිවල වස්තු හිමියන්ට බර ඇදීම් ආදියෙන් දුක් විඳිති.

අපායෙන් මිදී මිනිසත් බව ලැබූ කල්හි දු, ඇට නහර මතු වූ කුණු තැවරුණා වූ ශරීර ඇති ව, උකුණන් පිරුණු හිස් ඇති ව, නොයෙක් රෝග ඇති ව, ඉරුණු කිලිටි වස්ත්‍ර‍ ඇතිව, ශෝකයෙන් යුතුව, ගිය ගිය තැන දී ගැරහුම් ලබමින් ගෙදොරක් පාසා සිඟා ඇවිදින්නෝ වන්නාහ. බොහෝ දුරට පාපය ගෙවුණු කල්හි දු ඉතා අමාරුවෙන් බත් පැන් ලබන්නා වූ දිළින්දෝ වෙති. ඔවුන් විසින් ධනය සැපයීමට කරන ව්‍යායාමයෝ ද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති. අමාරුවෙන් ධනය ලැබුයේ ද ඔවුන් කෙරෙහි එය නො පවතී. මා පියාදීන් ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එද ඔවුන් අතේ වැඩි කල් නො පවතී. ඔවුනට නිතර ම නැතය නැතය කියා තැවි තැවී සිටින්නට ම සිදු වේ. මෙ සේ අදත්තාදානය මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන් සතු වස්තුව විෂ මෙන් සලකා ඒවා ගැනීමෙන් වළකිත්වා!

බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

කේලාම් කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත් නම් කර්මය අල්ප සාවද්‍ය වේ. ගුණවතුන් බිඳවීම මහා සාවද්‍ය වේ. සත්‍ය කරුණක් කියා බිඳවීම අල්ප සාවද්‍ය වේ. අමුතුවෙන් බොරු ගොතා කියා බිඳවීම මහා සාවද්‍ය වේ. කේලාම් කීමට හේතු වූ ක්ලේශය්ගේ මන්ද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. ක්ලේශයන් තියුණු වූ කල්හි රෞද්‍ර‍ වූ කල්හි මහා සාවද්‍ය වේ. කේලාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

Dhamma Deepa