Solosmasthana සොළොස්මස්ථාන

මහියංගනං නාගදීපං,කළ්‍යාණං පදලාංඡනං,දිවාගුහං දීඝවාපී,චේතියංච මූතියංගනං,තිස්සමහා විහාරංව,බෝධිමරිචවට්ටියං,සොණ්ණමාලී මහා චේතියං,ථූපාරාම භයාගිරං,ජේතවනං සේලචේතියං තථා කාචරගාමකං,ඒ‍තේ සෝළසඨානානි,අහං වන්දාමි සබ්බදා

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන් වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතූන් වහන්සේ හා කේශ ධාතූන් වහන්සේලා ද සේරුවාවි මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතූන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර‍ය හා එය පුරා ධාතුන් වහන්සේලා ද මේ දිවයිනට ගෙනෙන ලදහ. ඒ ධාතූන් වහන්සේලා මේ දිවයිනේ නොයෙක් දිශාවල දාගැබ් ආදියෙහි වැඩ සිටිති. පාත්‍ර‍ ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥයන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයෙහි පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍යය කරවන ලදි. නාගදීපයේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිණිපලඟක් කල්‍යාණි චෛත්‍යයේ පිහිටා තිබේ. එහි ම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් ද ඇති බව කියති. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන ද සොළොසෙකි.

සොළොස්මස්ථාන

01 මහියඞ්ගණ චෛත්‍යය
02 නාගදීප චෛත්‍යය
03 කල්‍යාණි චෛත්‍යය
04 සමන්තකූට පර්වතය
05 දිවාගුහාව
06 දීඝවාපි චෛත්‍යය
07 මුතියංගන චෛත්‍යය
08 තිස්සමහාරාම චෛත්‍යය

09 ශ්‍රී මහා බෝධීන් වහන්සේ
10 මිරිසවැටි සෑය පිහිටි
11 රුවන්වැලි මහසෑය
12 ථූපාරාමය
13 අභයගිරිය
14 ජේතවනය
15 සේල චෛත්‍යය
16 කතරගම කිරි වෙහෙර

අටමස්ථාන

01 ශ්‍රී මහා බෝධීන් වහන්සේ
02 මිරිසවැටි සෑය පිහිටි
03 රුවන්වැලි මහසෑය
04 ථූපාරාමය
05 අභයගිරිය
06 ජේතවනය
07 ලෝවාමහාපාය
08 ලංකාරාමය

01 මහියඞ්ගණ චෛත්‍යය

තැන්පත් ධාතූන් වහන්සේලා

සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති

බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුන් පොහෝදා

දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවූයේ ද ඒ දින ම ය.

අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් මාස නමයක් ගත වූ පසු එළඹුණ දුරුතු පුන්පොහෝ දින උන්වහන්සේ ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදී සිදුවීම් රැසක් දුරුතු පුන් පොහෝදා සිදුවී තිබේ

ඒ සමඟ ම දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනය උදාවිය. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික පිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍ය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වූ සේක. මෙයින් බියට පත් යක්ෂයින්ට අනුකම්පා කර ඔවුන් ගිරි දිවයිනකට පළවා හැරි උන්වහන්සේ ඉන් අනතුරුව ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක.

 

බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ ” සරභූ ” නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.

වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය

02 නාගදීප චෛත්‍යය

නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ බුදත්වයෙන් පස් වන වර්ෂයේය. චූලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී. එහිදි කරුනු අවබෝධ කරගත් රඡවරු මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ. අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ. නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය. එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.
වන්දනා ගාථාව
භගිනීසුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යඟිං නිසින්නෝ,
මුණිධම්ම මදේසයී මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං

03 කල්‍යාණි චෛත්‍යය

බුදු රඡාණන් වහන්සේගේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය. එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක් වැඩසිටි බවට සාක්ෂි වේ.
වන්දනා ගාථාව
ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි

04 සමන්තකූට පර්වත මුදුන

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි. එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ. කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන් සිර්පාදස්ථානයේ වන බව “අඔගමු”ලිපියේ සටහන් වේ.
වන්දනා ගාථාව
කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
ලංකාමහීවරවධු මකුටෝපමානං
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං

05 දිවාගුහාව

සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි. මෙම දිවා ගුහාව වර්තමානයෙහි හදුනාගෙන ඇත්තේ සිරිපා මලුවේ සි‍ට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවාලෙනයි.
වන්දනා ගාථාව
ලංකා මහිවරවධු මකුටායමානේ
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං

06 දීඝවාපි චෛත්‍යය

බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. ක්‍රි.පු 137 දී සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. එළාර දුටුගැමුණු සටනේදී සිංහල සේනාවන්ට සහල් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙනි.
වන්දනා ගාථාව
නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝ
ඛණං සමාපත්තිසුඛං සමප්පයී
සරීරධාතුං හි නිධාන කාරිතං
නමාමි චේතිං සිරි දීඝවාපිකං

07 මුතියංගන චෛත්‍යය

දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත. මුතියංගන විහාරය පිහිටා ඇත්තේ වර්තමාන බදුලු දිස්ත්‍රික්කයෙහිය. බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩම කළ තෙවැනි ගමනේදී මුතියංගන චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බවට විශ්වාස කෙරේ. මෙම සෑ ගර්භයේ බුදු සමිදුන්ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටිති.බුදු රජාණන් වහන්සේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මෙයයි.
වන්දනා ගාථාව
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සිංහල අර්ථය
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි

08 තිස්සමහාරාම චෛත්‍යය

බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.
වන්දනා ගාථාව
නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ
පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
අකාරයී තිස්ස නරිස්සරෝතං
ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ

09 ශ්‍රී මහා බෝධීන් වහන්සේ

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.
සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.
අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්‍රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්‍රියා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.
මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.
දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරු වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්‍රධාන හේතුවකි.
වන්දනා ගාථාව
යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සාමී

10 මිරිසවැටි සෑය

ක්‍රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්‍රි.ව. 913-922 රජකළ පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
වන්දනා ගාථාව
අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං

11 රුවන්වැලි මහසෑය

දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.
වන්දනා ගාථාව
අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං

12 ථූපාරාමය

සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ. මෙය ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.
වන්දනා ගාථාව
පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්‍යා

13 අභයගිරිය

බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්‍රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්‍රතිසංස්කරණය කළහ.
වන්දනා ගාථාව
කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි

14 ජේතවනය

ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්‍යය ද වේ.
වන්දනා ගාථාව
පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි

15 සේල චෛත්‍යය

මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.
වන්දනා ගාථාව
සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි

16 කතරගම කිරි වෙහෙර

බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.
වන්දනා ගාථාව
යහං සමාධිං ගතවා තහිං මුනී
නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
නමාමහං කාචරගාම චේතියං
Dhamma Deepa