Ananthrya Karmaya ආනන්තර්ය කර්මය

👉 ආනන්තරීය පාප කර්මය කරන්නෝ නියත වශයෙන් ම නිරයේ උපදියි. ඔවුන් මේ ජීවිතය අත්හරිද්දී හැකිලූ අතක් දිගු කරන්නා සේ නිරයේ උපදින බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක.
♦️ මව මැරීම, පියා මැරීම, බුදුරදුන්ගේ ලේ ද්වේෂ සිතින් සෙළවීම, රහතන් වහන්සේ ඝාතනය සහ සංඝ භේදය ඒ ආනන්තරිය පාප කර්ම පහයි.
🔷 මව හෝ පියා දරුවකු විසින් දැන දැන ඝාතනය කරනු ලැබුවහොත් එය ආනන්තරික පාප කර්මයක් වන ආකාරයත්, ඒ දරුවා නො දැන මව හෝ පියා ඝාතනය වුවහොත් එය ආනන්තරික පාප කර්මයක් නො වන ආකාරයත් විමසා බලමු.
මේ පිළිබඳව නිවැරැදිව දැනුවත්වීම පිණිස මෙසේ සිතන්න. බොහෝ දරුවන් මවුපියන්ගේ කරුණු කාරණා නිසා අසරණ වන අවස්ථාවන් අපේ සමාජයේ කොතෙකුත් තිබෙනවා.
👉 යම් පුරුෂයෙක් සුරාවට මත්ව තම බිරියට පහර දෙන විටක දී ඇයගේ පුතා මව බේරා ගැනීමට යැයි සිතා පියාට පහර දීමේ දී එම පියා මියගියහොත් ඒ පුතා ආනන්තරික පාප කර්මයකට හසුවේද? කියන කරුණ විමසන්න ඕනේ.
🔹 යම් පියෙකු යම් කරුණක දී තම කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිව මවට තදින් පහර දෙද්දී මව බොහෝ පීඩාවට ලක්වෙනවා. මේ සිදුවීම දකින දරුවාට එය ඉවසිය නො හැකි වෙනවා. එම අවස්ථාවේ දී ඒ දරුවාට තම පියා සමඟ දැඩි කෝපයක් හට ගන්න පුළුවන්. හිතට ද්වේශයක් එන්න පුළුවන්. ඔහු මව බේරා ගැනීමේ අදහසින් තාත්තාට පහර දෙනවා. ඒ ප්රහාරයෙන් අවාසනාවන්ත ලෙස පියා මිය ගියහොත් පියා මැරීමේ ආනන්තරික පාප කර්මයට මෙම පුතා ගොදුරු වෙනවා.
නමුත් මෙතැනදී තවත් පැතිකඩක් තිබෙනවා. ඒ අවස්ථාවේ දී පුතා පියාට පහර දුන්නේ පියා මැරීමේ චේතනාවකින් නො වෙන්න පුළුවන්. එහෙනම් එතැන ආනන්තරික පාප කර්මයක් සිදුවන්නේ කොහොම ද?
පුතා පහර දුන්නේ පියා මරණ අදහසක් නැතිව මව බේරා ගැනීමේ අදහසින් වෙන්න පුළුවන්. නමුත් එතැන ඝාතන ක්රියාවලියක් සිදු වෙනවා. බොහෝ විට මේ පහරදීම සිදුවන්නේ තාත්තා අම්මාට කරන හිංසාව බලාගෙන ඉන්න බැරි නිසානේ. අම්මා බේරා ගන්නවා කියන අදහස පමණක් එතැන තියෙන්නත් පුළුවන්. ඒ අදහසත් සමඟ අම්මා කෙරෙහි ඇතිවන අනුකම්පාව , කරුණාව, ඉස්මතුවීම නිසා අර ඝාතන චේතනාව යටපත් වෙනවා. අම්මා බේරා ගන්නවා කියන කරුණ මත අර ප්රහාරයට ලක්වීමෙන් පියා මියයයි කියන හැඟීම වසා ගන්නවා. එහි දී තමන් කරන ක්රියාව වරදක් ලෙස නො පෙනෙන්නේ ඒ හැඟීම යටපත් වීම නිසයි. නමුත් පහරක් ගසන විට ම මරණ චේතනාව පහළ වූවානම්, එතැන දී ආනන්තරිය පාප කර්මයක් සිදුවෙනවා.
👉 ඔබගේ දැන ගැනීම පිණිස මේ සම්බන්ධව විසුද්ධි මාර්ග ග්රන්ථයේ සඳහන් වන කාරණයක් පැහැදිලි කරන්නම්.
🔹 ආවරණයකින් සම්පූර්ණයෙන් ම වැසූ සතෙක් කාමරයක ඉන්නවා. එහෙම සතෙක් මෙතැන ඉන්නවා කියා කවුරුත් දන්නවා. ඉතින් මේ සතා මරණ චේතනාවෙන් යුතුව කෙනෙක් අර ආවරණයෙන් වහලා ඉන්න සතාට පහර දෙනවා. පසුව ඒ සතා මිය ගියා ද කියා බලන්න ආවරණය ඉවත් කරනවා. එවිට ඔහු දකින්නේ මව හෝ පියා මියගොස් සිටින ආකාරය යි. දැන් එතැන ආනන්තරික පාප කර්මයක් සිදු වෙනවා ද? අර පුද්ගලයා හිතුවේ එතැන හිටියේ සතෙක් කියලයි. අම්මා හෝ තාත්තා මරණ අදහසක් හෝ ස්වභාවයක් ඔහු තුළ තිබුණේ නැහැ. නමුත් කෙනකු මරණ අදහසක් ඔහු තුළ තිබුණා. ඒ චේතනාවෙන් යම්කිසි ක්රියාවක් කළා නම්, ඒ ක්රියාව තුළ කවුරුහරි මැරුණා නම්, ඒ මැරුණේ අම්මා හෝ තාත්තා නම්, එතැන ආනන්තරීය පාප කර්මය සිදුවෙනවා. අම්මා හෝ තාත්තා බව දන්නවා නම්, මරන්නේ නැහැනේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒක හරි. නමුත් මෙතැන දී ආනන්තරීය පාප කර්මය සම්පූර්ණ වීමට අවශ්ය ක්රියාකාරකම් සියල්ල සිදු වී තිබුණා. ආනන්තරීය පාප කර්මයක් සිදුවීමට අවශ්ය කෙරෙන ක්රියාවලිය තුළදී මූලිකව බලපාන්නේ අම්මා හෝ තාත්තා බව දැන ගැනීම නොවෙයි. මෙහිදී ප්රධාන වන්නේ මරණ චේතනාව යි. ඒ මරණ චේතනාව ඇතිව උපක්රමයක් යෙදීම තුළ යමෙක් මැරෙනවා නම්, ඒ මැරෙන තැනැත්තා අම්මා හෝ තාත්තා වුණොත් එහිදී ආනන්තරිය පාප කර්මය සිදුවෙනවා.
🔹 ඒවාගේ ම කෙනෙකුට තමන්ගේ මව්පියන්ගෙන් කෙනෙක් මරණයට පත් කිරීමට වුවමනාවක් ඇති වෙනවා යැයි සිතමු. එවිට දිනක් මේ අම්මා හෝ තාත්තා හිසේ සිට දෙපතුළ දක්වා පොරෝණයකින් වසාගෙන නිදි යැයි සිතමු. නිදාගෙන ඉන්නේ තම මව්පියන්ගෙන් කෙනෙක් බව පුතා හොඳින්ම දන්නවා. ඒ අවස්ථාවේදී මේ නිවසේ තවත් සාමාජිකයෙක් මවගේ ඇඳට පැමිණ ඒ පොරෝණයටම ගුලි වී නිදි යැයි සිතන්න. මේ අතරේ මව අවදි වී ගියා යැයි සිතන්න. ඇඳේ දැන් නිදාගෙන සිටින්නේ අනෙක් පුද්ගලයා යි. පුතා මරණ චේතනාවෙන් යුතුව කාමරයට පැමිණ පොරවාගෙන නිදා සිටින්නා තම මව යැයි සිතා තමන් ගෙනා ආයුධයෙන් ඔහු අම්මාට පහර දීලා පොරෝණය ඉවත් කර බලනවා මැරුණා ද කියා. නමුත් මියගොස් සිටියේ අනෙක් සාමාජිකයා යි. දැන් මෙතැන ආනන්තරික පාප කර්මයක් සිදු වෙනවා ද? නැහැ. අම්මා කියා හිතාගෙන මැරුවත් මැරුණේ වෙනත් පුද්ගලයෙක් නිසා එතැන ආනන්තරික පාප කර්මය සිදුවන්නේ නැහැ. එසේ නො වන්නේ පුතාගේ පහරින් අම්මා මිය ගියේ නැති නිසයි. එයින් වෙනත් කෙනෙක් මියගිය බව ඇත්තයි. නමුත් ඒ අම්මා නොවෙයි. එසේනම් චේතනාවත් සමඟ මෙතැන තිබෙන සම්බන්ධය අපි හොඳින් තේරුම් ගන්න ඕනෑ.
🔹 පුතෙක් කේන්තියෙන් පියෙකුට ප්රහාරයක් එල්ල කරන විට එතැන මරණ චේතනාවක් නැහැ කියා හිතන්න අමාරුයි. අම්මා බේරා ගැනීමේ අදහස ඉස්මතු වීමනිසා එතැන හිතේ ඇතිවෙන ද්වේශය යටපත් වෙනවා. එහෙම යටපත්වීම තුළ සැබැවින්ම මරණ චේතනාවක් එතැන නැහැ කියා අප හිතනවා. නමුත් සියුම් අයුරින් හෝ එවන් චේතනාවක් එතැන තිබෙනවා.
පුතෙක් තාත්තාට ප්රහාරයක් එල්ලකරන විට මරන්න නොවෙයි ගැහුවේ කියන එක බොහෝ වෙලාවකට හිත හදාගන්න කරන ප්රකාශනයක් පමණයි. අප නො දන්නවා වුණාට ඒ ප්රබල ද්වේශ සහගත ස්වභාවයත් සමඟම ම මරණ චේතනාවත් එනවාම යි.
🔹 එක් පවුලක පුතෙක් තමන්ගේ වාහනයට ගොඩවෙලා එය පිටුපසට කරන්න හදනවා. නමුත් ඔහුගේ පියා ඒ වෙලාවේ වාහනය පිටුපස්සේ යම් කාර්යයක් කරමින් සිටින බව පුතා දන්නේ නැහැ. පුතා වාහනය පිටුපසට කළා. තාත්තා ඒ වාහනයට යට වී මිය ගියා. මෙහි දී ආනන්තරිය පාප කර්ම විපාකයක් සිදු වන්නේ නැහැ. පුතා වාහනය පිටුපසට කළේ මේ වාහනය පිටිපස්සේ සිටින මගේ තාත්තා මරණයට පත්වේවා කියන අදහසින් නම් එසේනම් එතැන ආනන්තරික පාප කර්මය සිදුවෙනවා. නමුත් මරනවා කියන අදහසක් එතැන නො තිබුණ නිසා ඒ පාපයෙන් අර පුතා නිදහස් වෙනවා කියන එක අපට තේරුම් ගන්න පුළුවන්.
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
👉 මව පියා මැරීමේ ආනන්තරීය පාප කර්මය පිලිබඳ පැහැදිලි කිරීම තව දුරටත්…
මනුෂ්ය ජාතික දරුවකු විසින් මනුෂ්ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්ය්ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ.
◾️ සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්ය්ය කර්මය සිදු නොවේ.
◾️ තිරිසන් දරුවකුට මනුෂ්ය වූ මව හෝ පියා මැරීමෙන් ආනන්තර්ය්ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් සිදුවේ.
👉 මනුෂ්යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා මැරුයේ ද, ආනන්තර්ය්ය කර්මය ම සිදුවේ.
🔷මේ කරුණ පැහැදිලි කිරීම පිණිස චතුෂ්ක හතරක් මගින් බෙදා පැහැදිලි කර තිබේ.
1. ඒලක චතුෂ්කය
2. චෞර චතුෂ්කය
3. සංග්රාම චතුෂ්කය
4. පලාල චතුෂ්කය
🔸 ඒලක චතුෂ්කය
🔹 යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්ය්ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි.
🔹 මව හෝ පියා මරන්නට සිතා රාත්රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්ය්ය කර්මයක් නොවේ.
🔹 මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්ය්ය කර්මය වේ.
🔹 එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්ය්ය කර්මය නො වේ.
🔸 චෞර චතුෂ්කය
🔹 රාත්රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්ය්ය කර්මය වේ.
🔹 මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්ය්ය කර්මය නො වේ.
🔹 මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්ය්ය කර්මය වේ.
🔸 සංග්රාම චතුෂ්කය
🔹 යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්ය්ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි.
🔹 සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්ය්ය කර්මය වේ.
🔸 පලාල චතුෂ්කය
🔹 ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්ය්ය කර්මයක් නො වේ.
🔹 යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්ය්ය කර්මය සිදු වේ.
තෙරුවන් සරණයි !!!
අති පූජ්ය රේරුකාණේ චන්දවිමල හිමි
බෞද්ධයාගේ අත්පොත