ධර්ම දානය

ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.

කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා – රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය.