බෝධි පූජා තැබීමේ පුණ්‍ය විපාක

“පංච දීපිකා” මහ රහත් තෙරණිය බෝධීන් වහන්සේ ළඟ පහන් පූජාවක් පවත්වා තිබිණි.
අතීතයේ බුදුරජාණන්වහන්සේලා ළඟ මහා පිංකම් කරගනිමින් ආ මෙම මහ රහත් තෙරණින් වහන්සේ පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර උපත ලැබුවාය. ඇය තරුණ වයසේ දී විහාරයෙන් විහාරයට සංචාරය කරමින් යන්නේ එක් අමාවක දවසකදී බෝධි වෘක්ෂයක් ළඟට පැමිණියා ය. ඇය බෝරුක ළඟ වාඩිවී සිත පහදවාගෙන ටික වේලාවක් සිටියා ය. එම මොහොතෙහි ඉතාම දැඩි ශ්‍රද්ධාවකින් ගෞරවයකින් අත්දෙක ඇඟිලි බැඳගෙන වැඳගෙන සිටින විටදී මෙසේ සිතුවාය.
“බුදුරජාණන් වහන්සේගේ ගුණය ප්‍රමාණයක් කිරීමට නොහැකි නම්, බුදුරජාණන් වහන්සේ අසමසම නම්, මට ප්‍රාතිහාර්යය පෙන්වන සේක්වා. මෙම බෝධිය බබලන සේක්වා.”
මෙසේ මෙනෙහි කරනවාත් සමඟම මුළු බෝධියම බබලන්නට විය. ඉතා විශාල සතුටක් ඇතිවූ මෙතුමිය එතැන රෑ දාවල් දෙකේම දින හතක් ගත කළා ය. හත්වැනි දිනයෙහි විශාල පහන් පූජාවක් ද කළා ය. රාත්‍රියෙහි දල්වන ලද එම පහන් පසුවදා ඉර පායනතුරුම දැල්වුණි.
මෙම මහා පිංකම ගැන එතුමියට ඇතිවූයේ බලවත් සතුටකි. නිතර නිතරම සිහිවූයේ ඒ මහා පිංකමයි. ඇය එතැන් පටන් මරණින් පසු දෙව්ලොව සහ මිනිස් ලොව පමණක් ම සැරි සැරුවාය. ඇය මිය ගොස් උපත ලැබූ තව්තිසා දෙව්ලොව, නිතර පහන් දැල්වෙන සුන්දර විමානයක් ලැබුණි. ඇයට දකින්නට කැමති හිතෙන හැම දෙයක්ම අතර මග ඇති බාධා ඉවත්වී පෙනෙයි.
විවිධ අවස්ථා වලදී උපත ලබා දෙවිවරු අසූවකට අග මෙහෙසිය වූවා ය. කොතැනක උපත ලැබුවත් ඒ හැම තැනම ඉතාම ආලෝකමත් වෙයි.
අවසන් ආත්ම භාවය මිනිස් ලොව උපත ලබන විටදී ඉපදුන ප්‍රසූතාගාරයම ආලෝකමත් විය. ඇය ඉපදුනේද, ඉතා ධනවත් කුළවත් නිවසකයි. උපත ලබා හත් හැවිරිදි වයසේදී මව්පියන්
ගෙන් අවසර ගෙන පැවිදි උපසම්පදාව ලැබුවාය. නොබෝ කළෙකින්ම විදර්ශනා වඩා ‍රහත්වූ පසුව මෙම තෙරණින් වහන්සේ මෙසේ කීවා ය.
” මම මණ්ඩපයක හෝ ගසක් මුල හෝ ප්‍රාසාදවල හෝ ගුහාවල හෝ ශුන්‍යාගාරවල හෝ ධ්‍යාන වඩන විට පහන් පහක් දැල්වෙයි.”
“මගේ දිවැස පිරිසිඳු විය. මම සමාධියෙන්ම කුසළය වැඩුවෙමි. අභිඥ්ඤාවන්ගෙන් කෙළවරටම ගියෙමි. පහන් පසෙහි බලය මෙය යි.”
මීට කල්ප ලක්ෂයකට පෙර කළ ඒ මහා පහන් පූජාවෙන් දෙව් මිනිස් සැප ලබා අන්තිම භවයෙහි මහා රහත් තෙරණියක් වූ මෙතුමිය ඒ අතීත භවයන් බලා අතීත විස්තරය දේශනා කළහ.
(ථේරීඅපදානය, පංචදීපිකා ථේරී අපදානය)
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි!
*** අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගේ පිංකම්හි ආනිසංස පොතෙන් උපුටා ගන්නා ලදී…***