අටව්සි බුදුවරු

මෙසේ අප මහා බෝසතාණන් වහන්සේට ප්‍රථම විවරණය දුන් දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ඒ කල්පයේ උන් වහන්සේට ප්‍රථමයෙන් තණ්හංකර, මේධංකර, සරණංකර යන නම් ඇති බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වූහ. අනතුරුව දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් මේ මහා භද්‍ර කල්පයේ බුදු බවට පත් වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග ගත් කළ අප මහා බෝසතුන් පාරමී දම් පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය පුරා පහළ වූ බුදුරජාණන් වහන්සේලා ගණන සත් විස්සකි. ඊට අප සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේත් එකතු කළ කල අටවිසි බුදුරජාණන් වහන්සේලා සම්පූර්ණ වේ. අටවිසි බුද්ධ පූජා යනු මේ බුදුරජාණන් වහන්සේලා නම් වශයෙන් සිහි කරමින් බුද්ධ පූජා පැවැත්වීමයි.

සත් බුදුවරු

සත් බුදුවරු යනු මේ කපේ පහල වූ බුදුරජාණන් වහන්සේලා සිව් නම සමග එයට පෙර පහල වූ විපස්සි, සිඛි, වෙස්සභු යන නම් ඇති බුදුවරු තුන් නම එකතු කර වන්දනා කිරීම සහ පුද පූජා පැවැත්වීම පිණිස සකසා ගත් සීට්ටුවකි. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දුටු බොහෝ පිංවත් උතුමන් වහන්සේලාගේ පාරමී පිරිම ආරම්භ වන්නේ මේ සත් බුදුරජාණන් වහන්සේලා ගේ කාල සීමාව ඇතුලත වේ. මේ සත් බුදුරජාණන් වහන්සේලා පහල වීමට පෙර කිසියම් සත්ත්ව කෙනෙක් ශ්‍රාවක බෝධියෙන් සසරින් එතෙර වීම පිණිස පාරමී පිරීම ඇරඹුවා නම්, ඒ පිංවත් සත්ත්වයින් අතුරින් කෙනෙක් මේ වන විට සසරේ සිටීමට කාරණා නොපෙනේ.

අනාගත බුදුවරු

අතීත බුදුවරු මිස අනාගත බුදුවරු පිළිබඳ කතා එතරම් ප්‍රචලිත නැත. මෙතේ බෝසතුන්, හෙවත් තව්තිසා දෙව්ලොවදී අභිධර්ම දේශනාව පවත්වා සකස්ස පුරයට දෙවාරෝහණ පූජා විඳිමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක පැහැදී පැවිදි වූ අජිත තෙරුන් පිළිබඳව මිස වෙන බෝධිසත්ත්ව කෙනෙකුන් ගැන කතාවක් ධර්ම දේශනාවක හෝ අසන්නට ලැබී නැත. එසේ වුවත් අනාගත කාලයේ ලොව පහල වන්නා වූ බුදුරජාණන් වහන්සේලා දසනමක් ගැන විස්තරයක් අපට හමු විය. ලෝ වැඩ තකා එය බෙදා ගමු.

මෙහි අවස්ථා සම්බන්ධය පහත පරිදි වේ.

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:

ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රිය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද? යනුවෙනි.

එසේ විමසූ සාරිපුත්ත තෙරුන්ට තථාගතයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය යනුවෙනි.

ඒ දශවිධ බුදුරජාණන් වහන්සේලාගේ නම් පහත පරිදි වේ.

01 මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ – අජිත තෙරුන් වහන්සේ
02 රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ – රාම රජතුමා
03 ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ – පසේනදී කොසොල් රජතුමා
04 ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ – අභිභූ දෙව්රජු
05 නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ – දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා
06 රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ – චඞකි බ්‍රාහ්මණයා
07 දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ – සුභ බ්‍රාහ්මණයා
08 නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ – තොදෙය්‍ය බ්‍රාහ්මණයා
09 තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ – ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා
10 සුමඞගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ – පාරිලෙය්‍යක හස්ති රාජයා

පසු සටහන:

ඉහත විස්තරය අප වෙත ලැබුණේ විද්‍යුත් තැපෑලෙනි. අන්තර්ගත කරුණු වල දුර්ලභත්වය එය දෙතිස් කතාවේ පල කරනු ලැබීමට හේතු විය. මූලාශ්‍ර ගැන එහි සඳහන් වන හැඳින්වීම පහත අයුරින් වේ.
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.

සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි – සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝසත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි.

අනාගත බුදුවරු සහ ඉහත කොටස් දෙක මා විසින් උපුටා ගත් අතර මෙහි යම් කොටසක් දෝෂ සහිත නම් මා කෙරෙහි අනුකම්පාවෙන් මා හට එය දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.