රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.

දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.