මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.

එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.

මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.

නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.