The Four Tooth Relics සතර දළදා වහන්සේ

සතර දළදා වහන්සේ

සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. “දළදා” යනුවෙන් හදුන් වන්නේ “රදනක” නම් වූ දත් විශේෂයයි.

රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට “දාඨා” යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව “අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි” සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය “සෝමාවතී මහ සෑය” නම් වෙයි.

02  දකුණු උඩු දළදා වහන්සේ

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක “සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?” යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක “මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?” යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන “මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි” යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)

හේමමාලා හා දන්ත කුමරු
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

04  වම් උඩු දළදා වහන්සේ

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.

උතුරු පාකිස්තානයේ හා ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක්
පුරාණ ගන්ධාර දේශයට අයත්ව තිබූ බව සැලකේ.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

ගයාන් චානක විදානපතිරන මහතා විසින් රචිත ධාතු විස්තරය නම් ග්‍රන්ථ යෙන් උපුටා ගන්නා ලදි

Donations