රංසිමුනි බුදුරදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.