Description of the Left Tooth Relic වාම දළදා වහන්සේ පිළිබද විස්තරය

 ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි අද්ධින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං

දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි.

වාම දළදා වහන්සේ වැඩමකල පිළිවෙල කථාව

01 ඉන්දියාව
02 අනුරාධපුරයට
03 තිස්සමහාරාමයට
04 පොළොන්නරුවට
05 කොත්මලේට
06 බෙලිගලට
07 පඬි රටට
08 පොළොන්නරුවට
09 දඹදෙණියට
10 කෝට්ටේ රාජධානියට
11 කොත්මලේ බෙංගමුව විහාරයට
12 දෙල්ගමුවට
13 සෙංකඩගල නුවරට

මෙහි සඳහන් වන බොහෝ කරුණු පොත පත ආශ්රයෙන් සහ වෙබ් අඩවි ආධාරයෙන් පළ කරන අතර මෙහි ඇති යම් කරුණක වෙනසක් ඇතිනම් අප්රමාදිව අපව දැනුවත් කරන්න කටයුතු කරන්න මන්දයත් අනාගත පරම්පරාවක් නිසා අපි නිවැරදි දෙයක් සමවිටම ඉදිරිපත් කළ යුතු නිසා විශේෂයෙන් භාග්යවතුන් වහන්සේ කරුණු පිළිබඳව. ඔබ සැම කරන්නාවූ නිවැරදි කිරීම අප විසින් වීමට ගිය ලොකු වැරැද්දක් අප හට පෙන්වා දුන් බව අපි නිතැතින්ම පිළිගන්නෙමු තෙරුවන් සරණයි

ලක්දිවට වැඩමවීම

දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස තිබුනි. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීම‍ට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සළකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වන්දනා කරුවන් සේ සැරසී දන්තධාතුව හේමමාලාගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් තිබුණ දන්තධාතුව, දන්ත සහ හේමමාලාවන් විසින් රහසින් ඉවත් කර ගත්හ. මෙම දෙදෙනා ගුහාශිව රජුගේ පුතා සහ දියණිය බව කියැවේ. දාඨාවංශය, දළදා සිරිත සහ වංශකථාවක් වූ මහාවංශය ආදි ශාස්ත්‍රිය කෘතිවල ඉහත දෙපල දන්ත ධාතුව ලංකාවට රැගෙන ඒමේදි එය රැක ගැනීම සඳහා ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඒවායින් මිදුණු ආකාරය විස්තර කර ඇත. කුමරා සහ කුමරිය සන්‍යාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු (කොළඹ සිට සැතපුම් 5 නැගෙනහිර දෙසින් පිහිටි) කැළණි විහාරයේ ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත.

දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දෙවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ. අවසානයේ දන්ත ධාතුව ලංකාවේ එවකට අගනුවර වූ අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ.

අනුරාධපුර යුගය

4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය අතර තුර කාලය දක්වා මහාවංශයෙහි දළදාව ගැන සඳහන් වන්නේ අවස්ථා කීපයකදී පමණි. එසේ වුවද චීන සංචාරක භික්ෂුවක් වූ ෆාහියැන්, දන්ත ධාතූන් වහන්සේට කළ වැඳුම් පිදුම් සහ ඒ සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන බොහෝ විස්තර සඳහන් කර ඇත. එකී භික්ෂුව 5 වැනි සියවසේදී අභයගිරි ආරාමයේ වැඩ වාසය කර ඇත. මෙම භික්ෂුවගේ විස්තරයන්ට අනුව කීර්ති ශ්‍රී මේඝවන්න රජු විසින් 4 වැනි සියවසේදී ආරම්භ කරන ලද පෙරහැර අති ශ්‍රී විභූතියෙන් යුතුව නොකඩවා පවත්වාගෙන එන ලදී. දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහැරකින් වඩමවා අලංකාර ලෙස චාරිත්‍ර විධි පුද පූජා සහිතව මාස තුනක් ප්‍රදර්ශනය කරන ලදි. මහාවංශයේ තිබෙන ස්වල්පයක් වූ තොරතුරුද දන්ත ධාතු සාහිත්‍යයේ එන විස්තරද පාදක කර ගෙන බැලු විට රජවරු විසින් දන්ත ධාතුව මනා ලෙස සුරකින ලද බව සහ දන්ත ධාතුව රාජ්‍ය ආරක්ෂකයා වූ බවත් පැහැදිලි වේ. ඇතැම් රජවරු තම නමේ මුලට “දාඨා” (දත) යන්න එක් කිරීමට තරම් උනන්දුවක් දැක්වූහ. උදාහරණ වශයෙන් දාඨොපතිස්ස, දාඨාප්පභූති, දළ මුගලන් ආදි නම් දැක්වීය හැක. මෙයින් පෙනී යන්නේ එම රජවරු දළදා වහන්සේ සමග තිබුණු සමීප සම්බන්ධතාවයයි.

දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්‍රමණ සහ රට අභ්‍යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ඓතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්ත ධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය.

පොළොන්නරු යුගය

පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල – ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනි.

නේත්‍ර මංගල්‍යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්‍රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැබේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි.

ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු රජතුමාගේ සමකාලිනයෙකු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්‍රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්‍රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක් එම රජු වෙත යැවීමෙනි. මෙයට බුරුම ජනතාව විසින් මහත් භක්තියෙන් ගෞරවාදර දක්වා තිබේ.

විජයබාහු රජුගේ මරණයෙන් පසුව එළඹි කාලය දේශපාලන ක්ෂේත්‍රයේ ඛේදජනක යුගයක් විය. රට වෙනස් වෙනස් පාලකයින්ගේ පාලනයට නතුවූ අතර ඔවුහු දුර්වල පාලකයෝ වූහ. මෙහි ප්‍රථිපලයක් ලෙස බොහෝ බෞද්ධ පූජනීය ස්ථාන විනාශයට පත් විය. මෙවැනි තත්වයක් තුළ දළදාවට හා පාත්‍ර ධාතුවට අනතුරක් වේ යැයි කල්පනා කළ භික්ෂූණ් වහන්සේලා එම ධාතුන් වහන්සේලා රහසින් ඉවත් කර ගෙන වඩාත් ආරක්ෂා ස්ථානයක් වූ දකුණු ප්‍රදේශයේ රෝහණ දේශයට ගෙන ගියහ. ක්‍රි.ව.1153 දී පළමු වැනි පරාක්‍රමබාහු රාජ ප්‍රාප්තියත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය නැවත වරක් ස්ථාවර විය. මහා පරිමාණ වාරි කර්මාන්ත නැවත ප්‍රතිසංස්කරණය කරමින් කාලය අපතේ නොහැර එම රජතුමා ආගමික පුනර්ජීවනය සඳහාද කැප වූයේය. පොළොන්නරුවේ දැනට ඉතිරිව තිබෙන ආගමික ගොඩනැගිලි ඔහු බෞද්ධාගම සම්බන්ධයෙන් කළ අමිල, අපරිමිත මෙහෙය සිහි කරන ස්මාරක වශයෙන් නටබුන් තත්වයේ පවතී.

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුවෙහි සහ පාත්‍රා ධාතුවේ භාරකාරත්වය තහවුරු කරමින් එකි පූජනීය වස්තුවල ආරක්ෂාව පිණිස නගර මධ්‍යයෙහි නව මන්දිරයක් කරවූයේය. ජේතවන ආශ්‍රමයේ කවාකාර සිද්ධස්ථානයක් තුළ දන්ත ධාතුව ප්‍රදර්ශනය කරවූ පුද්ගලයා මෙම රජතුමා යයි කියනු ලැබේ. මෙම මන්දිරය පුරාණ නගරයේ උතුරු අන්තයේ තිවංක පිළිම ගෙයට ආසන්නයේ තිබෙන නටබුන් වූ මන්දිරය විය හැක.

දන්ත ධාතුන් වහන්සේට සහ පාත්‍රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්‍රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස පෙනෙයි.

දඹදෙනි යුගය

13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය පිරිහුනි. කාලිංග මාඝගේ ආක්‍රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු අතින් ප්‍රබෝධවත් වූ කාලයක් විය.

මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්‍රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්‍ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්‍රයා වූ පසුව දෙවැනි පරාක්‍රමබාහු ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්‍රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්‍රීය සාහිත්‍ය කෘති රචනා කළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධය.

මෙම දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ධාතුන් වහන්සේලා බෙලිගලෙන් නැවත ගෙන්වා ගෙන දඹදෙනිය පර්වතය අසල රජ මාළිගාව කිට්ටුවෙන් මන්දිරයක් සාදා එම ධාතු තැන්පත් කළේය. දළදා පූජාවලිය ග්‍රන්ථයට අනුව රජතුමා ධාතුන් වහන්සේලා ශ්‍රී වර්ධනපුර නම් ඔහුගේ උපන් නගරයට ගෙන ගියේය. එහිදී අති උත්කර්ෂවත් ලෙස පුද පූජා පවත්වන ලදී. ඔහු දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි දළදා මන්දිරයක් තැනුවේය. එහි දළදාව තැන් පත් කර උත්සවාකාරයෙන් පුද පූජා පැවැත්වූයේය.

පරාක්‍රමබාහු රජතුමා යටතේ වූ සමෘද්ධිමත් සහ සාමකාමි යුගය ජාවා රටෙන් පැමිණි ආක්‍රමණිකයෙකුවූ චන්ද්‍රභානු නිසා අවුල් සහගත තත්වයට පත් විය. කෙසේ නමුත් රජතුමා මෙම ආක්‍රමණිකයා පලවා හැර රට නැවත ස්ථාවර තත්වයට ගෙන ඒමට සමත් විය. එක්තරා නියං සමයකදී දළදා වහන්සේ දළදා මන්දිරයෙන් ඉවතට ගෙන පෙරහැරක් පැවැත්වූ බවට වාර්තා වේ. ඔහු දන්ත ධාතුව තම සිහසුනේ වඩා හිඳුවා දින හතක් මුළුල්ලේ එයට පුද පූජා පවත්වමින් සිට තම රාජ්‍යය දළදා වහන්සේට පූජා කළේය. එයින් පසු නියඟය අවසාන විය. දළදා වහන්සේට ලැබෙන ගෞරවය රාජ්‍ය උරුමයේ සංකේතයක් බව මෙම සිදු වීමෙන් පෙනී යයි.

දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්‍රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය.

මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ – පබ්බත) ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය සීගිරිය බලකොටුවට සමාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්‍රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්‍රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ රජු චන්ද්‍රබානු පරාජය කොට නැවත ලක්දිව සාමය උදා කළේය.

බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්‍රදායයක් පවත්වා ගෙන ගොස් ඇත.

ඔහුගේ පාලන කාලය අවසන් වීමත් සමගම වාගේ ශ්‍රී ලංකාව නැවතත් දරුණු නියඟයකට මුහුණපාන ලදී. ඒ අතරම ආර්යචක්‍රවර්තී නම් රණ කාමියෙකු යටතේ දකුණු ඉන්දියාවේ පාන්ඩ්‍ය දේශයෙන් එල්ල වූ ආක්‍රමණයට ද ගොදුරු විය. ඔහු රට විනාශ කොට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ද සමගින් ධනයද කොල්ලකා පාත්‍ර ධාතුව හා දන්ත ධාතුව පාන්ඩ්‍ය රජු වූ කුලසේකරට භාර දුන්නේය. ඊළඟට රජ පැමිණි තුන් වැනි පරාක්‍රමබාහු රජු පාන්ඩ්‍ය දේශයේ අගනුවරට ගොස් එහි රජු සමග සුහදව සාකච්ඡා කොට ධාතුන් වහන්සේලා ආපසු ලංකාවට රැගෙන අවුත් නැවතත් පුද පූජා පැවැත්වීමේ කටයුතු ආරම්භ කළේය. සඳහන් කළ යුතු සිත් ගන්නා කාරණයක් නම් මෙතරම් කල් ගත වුණු පසුව වුවද පොළොන්නරුවේ දළදා මන්දිරය හොඳින් පැවැතීමයි. රජු ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කර එම ධාතුන් වහන්සේලා පැරණි නගරය වූ පොළොන්නරුවේ පිහිටි ඉහත සඳහන් දළදා මන්දිරයේ තැන්පත් කළේය. ඒ වන විට එය අතහැර දමා තිබුනේය. මාර්කො පෝලෝ නම් සුප්‍රසිද්ධ සංචාරකයාගේ සටහන් වලට අනුව චීන අධිරාජ්‍යයෙකු වූ කුබ්ලයි ඛාන් ද දන්ත ධාතුව පාත්‍ර සහ කේශධාතු ඉල්ලා රජු වෙත දූතයෙකු එවා ඇත. කෙසේ නමුත් රජතුමා සැබැ දන්ත ධාතුව වෙනුවට ව්‍යාජ දත් දෙකක් යවා කුබ්ලයි ඛාන් සෑහීමට පත් කළේය. කුබ්ලයි ඛාන් අධිරජයා ඒවා මහත් හරසරින් පිළිගෙන පුද පූජා වන්දනා මාන කිරීමට කටයුතු යෙදුවේය.

දෙවැනි බුවනෙකබාහු (1293 – 1313) පොළොන්නරුවේ සිට දන්ත ධාතුව ඔහුගේ අගනුවර වූ කුරුණෑගලට වැඩම කරවා එහි තනන ලද මන්දිරයක තැන්පත් කළ බවත් වාර්තා වී ඇත.

ඊළඟට රජ වූයේ සිව්වැනි පරාක්‍රමබාහු රජතුමාය. එතුමාගේ කාලයේ ආගමික පුනර්ජීවනයක් ඇති විය. දළදා සිරිත නම් ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට දළදාව සම්බන්ධ පූජා විධි එක්තරා ක්‍රමානුකූල පිළිවෙලකට නැවත සංවිධානය කළේය. තවත් වැදගත් කරුණක් වූයේ පුද පූජා වල පාලනය සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උත්තරමූල ආශ්‍රමයේ නායක හිමියන් වෙත පැවරීමයි. මෙම උත්තරමූල නම් ආයතනය අනුරාධපුර අභයගිරි විහාරයෙන් බිහිවුවකි.

දළදා වහන්සේට අදාළ කථා ප්‍රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු මධ්‍යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්‍ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි.

කෝට්ටේ යුගය

මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධනපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ වීරබාහු රජතුමාය. මෙම පාලන සමයේදි චීනය ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් විය. චීන සෙනෙවියෙකු වූ චෙන් හෝ දිවයින ආක්‍රමණය කර රජු අල්ලා ගත්තේය. ඔහු රජු සහ දන්ත ධාතුව චීනයට රැගෙන ගොස් එවකට චීන අධිරාජ්‍යයයාට ඉදිරිපත් කළේය. කෙසේ වුවද විවාදයට බඳුන් වුවද වඩාත් විශ්වාසයෙන් යුතු විස්තර වලින් කියැවෙන්නේ චීන සෙන්පතියා දන්ත ධාතුව රැගෙන නොගිය බවයි. ඒ වෙනුවට ඔහු දන්ත ධාතුවට නියමිත චාරිත්‍ර පූජා විධි පවත්වා දිවයිනෙන් පිටත් වූ බවයි. මධ්‍යතන යුගයේ විශිෂ්ඨ රජෙකු ලෙස සැළකෙන හයවැනි පරාක්‍රමබාහු වැනි රජවරුන් විසින් පවත් වන ලද පෙරහැරවල්, උත්සව සහ පුද පූජා වල තොරතුරු වාර්තා වලින් ඉහත අදහස තහවුරු වෙයි. මේ රජතුමා දන්ත ධාතුව සඳහා තෙමහල් මන්දිරයක්ද දන්ත ධාතුව බහා තැබීම සඳහා රත්‍රන් කරඬු හතරක් ද තනවා දන්ත ධාතුන් වහන්සේගේ සේවය පිණිස අණ පනත් කිහිපයක්ද පැනෙව්වේය.

මෙම කාලයෙන් පසුව පළමු යටත් විජිත බලවේගය වූ පෘතුග්‍රීසීන් 1505 දී පැමිණි අතර බෞද්ධ ක්‍රියා කාරකම් වල පිරිහීමක් දක්නට ලැබුනි. වැඩි විස්තර කියන්නේ නම් රාජ්‍ය පාලනයේ ඇති වූ වියවුල් තත්වයන්, පෘතුග්‍රීසි සහ ලන්දේසින්ගේ මිෂනාරී ක්‍රියා කාරකම්, සහ වෙනත් ව්‍යසනකාරි හේතූන් නිසා දළදාවෙහි ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂූණ් වහන්සේලා විසින් දළදාව ආරක්ෂිත ස්ථානයට ගෙන යන ලද බව සඳහන් කළ යුතුය. මෙපරිදි දන්ත ධාතුව රැගෙන යන ලද්දේ ඊළඟ රාජධානිය වූ සීතාවකටයි. සීතාවක රාජ්‍යය පාලනය කරන ලද්දේ මායාදුන්නේ රජු විසිනි. දාඨාදාතු වංශ කෘතියට අනුව දන්ත ධාතුව රත්නපුරයට ගෙන යාමට ප්‍රථම එය මුල්ගිරිගල තරම් ඈත දකුණේ ප්‍රදේශයකට ද අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යන ලදී. අවසානයේ දන්ත ධාතුව සඟවන ලද්දේ රත්නපුරයේ දෙල්ගමුව විහාරයේය. 1592 සිට 1603 දක්වා මහනුවර රජ වූ විමලධර්මසූරිය රජතුමා විසින් ඉහත කී දෙල්ගමුව විහාරයේ සිට දැනට දන්ත ධාතුව තැන්පත් කර තිබෙන මහනුවරට දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ලදී.

මූලාශ්‍රයන් ඇසුරෙන් දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා ධාතු චාරිත්‍ර ආදී පොත පත ලියැවුණි. මේ සෑම ග්‍රන්ථයකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඒ සමඟම ලක්දිවට එල්ල වූ විවිධාකාර සතුරු ආක්‍රමණවලදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට රැගෙන ගිය ආකාරය, දළදා වහන්සේ උදෙසා නොකඩ කොට පුද පූජා පැවැත්වූ ආකාරය පසුකාලීනව ලියැවුණු දළදා සිරිත, දළදා පූජාවලිය ආදී පොත්පත් වල ද සඳහන් වෙයි. දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි විශිෂ්ටම කෘතියයි.

මහනුවර සෙංකඩගලපුර වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයාගේ පරම පූජනීය වස්තුවයි. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සුපින්බර පුවත නිසා අද දළදා සාහිත්‍ය ගැන සඳහන් පොත් පත් බහුල වී තිබෙයි.

ලක්දිව කිත්සිරිමෙවන් රාජ්‍ය කාලයේ කළිඟු රටේ රජු යුද්දෙන් පැරදී රජුගේ දියණිය වූ හේමාමාලා කුමරිය , දන්ත කුමරු සමඟ බමුණු වෙස්ගෙන ලක්දිව අනුරපුරයේ ඉසුරුමුණිය වෙත දළදා වහන්සේ රැගෙන ආහ. පින්බර හේමමාලා කුමරිය බොහොම ශ්‍රද්ධා භක්තියෙන් දළදා වහන්සේ කරඬුවක තබාගෙන කෙස් කළඹෙහි සඟවා ගත්තේ එහි ආරක්ෂාවටයි. ඒ කරඬුව අදත් දළදා මාළිගාවේ කරඬුවෙහි විරාජමානව බැබළෙයි.

මේ සුවිශේෂී පූජා වස්තුව නිසාම දළදා සාහිත්‍ය ගැන දීර්ඝ කාලීනව ලියැවුණු පොත පත බහුලයි. එහෙත් එයින් විද්‍යමාන වන්නේ ඉන් කිහිපයක් පමණි. අනුරාධපුර යුගයේ ලියැවුණු එළු දළදා වංශයේ ඇති කරුණු තහවුරු කරගත්තේ චූල වංශයෙනි. එය අද අභාවයට පත් වුණත් පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ කාලයේ ධර්මකීර්ති නම් ස්වාමීන් වහන්සේ නමක් එළු දළදා වංශය පාලියට නැගුවේ දාඨා වංශය නමිනි. ශබ්ද රසයෙන් පිරි මෙහි ගාථා 415කින් සමන්විතය. එහි සඳහන් වූයේ සම්බුද්ධ පරිනිර්වාණයේ සිට කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ පුවත පිළිබඳ සවිස්තරයයි. එසේම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පුජාවන් මෙන්ම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳවත් මෙහි සඳහන් විය. චූල වංශ කථා සාහිත්‍යය මේ ගැන සාක්ෂි දරයි.

පසු කාලීනව මේ මූලාශ්‍රයන් ඇසුරෙන් දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා ධාතු චාරිත්‍ර ආදී පොත පත ලියැවුණි. මේ සෑම ග්‍රන්ථයකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඒ සමඟම ලක්දිවට එල්ල වූ විවිධාරකාර සතුරු ආක්‍රමණවලදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට රැගෙන ගිය ආකාරය, දළදා වහන්සේ උදෙසා නොකඩ කොට පුද පූජා පැවැත්වූ ආකාරය පසුකාලීනව ලියැවුණු දළදා සිරිත, දළදා පූජාවලිය ආදී පොත්පත් වල ද සඳහන් වෙයි. දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි විශිෂ්ඨම කෘතියයි. කුරුණෑගල රාජධානියේ හතරවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ රචිත මෙහි කතුවරයා ලෙස පැවසෙන්නේ දෙව්රූ දම්පසඟිතාවන්ය. කුරුණෑගල යුගයේ පරාක්‍රම බාහු රාජ්‍ය කාලය දක්වා සංෂිප්ත විස්තරය සහ අතීතයේ සිට පැවැති දළදා පුද සිරිත පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගතය.

දළදා පූජාවලියේ කතුවරයා අඥාත ය. නමස්කාරයෙන් ඇරැඹෙන දළදා පූජාවලිය පොළොන්නරු යුගයේ රචනා වූ පාලි දාඨක වංශයේ සිංහල පරිවර්තනයකි.

අනුරපුරට වැඩම කරවූ දළදා වහන්සේ තැන්පත් කළ මාළිඟාව සොළී ආක්‍රමණයෙන් විනාශ විය. එම නිසා තිස්සමහාරාමයේ ථුපයක දළදා වහන්සේ තැන්පත් කළ බව පොත පතෙහි සඳහන් ය. එමෙන් ම සොළී ආක්‍රමණ අවසානයේ නැවත වතාවක් දළදා වහන්සේ් වැඩ සිටි ස්ථූපයෙන් වෙන්කරවා පොළොන්නරුවට වැඩම කරවූහ. මේ ඓතිහාසික පුවත පොත පතෙහි මෙන්ම තිස්සමහාරාමයේ සෙල්ලිපියක ද සඳහන් වෙයි. එබැවින් වාම දළදා වහන්සේ අනුරපුර යුගයේදී ම තිස්සමහාරාමයේ තැන්පත් කළ බව අපට පිළිගත හැකියි.

පොළොන්නරු යුගයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා පළමු වන විජයබා රජතුමා ඇප කැප විය. එතුමා තිස්සමහාරාමයේ වැඩසිටි දළදා වහන්සේ පොළොන්නරුවේ මාළිඟයක් තනා තැන්පත් කළේය. එහි ආරක්ෂාවට වේලයික්කාර ද්‍රවිඩ හමුදාවක් යෙදවූ බවට වේලයික්කාර සෙල්ලිපියට අනුව සඳහන් වෙයි. සෙල්ලිපිවල සඳහන් තොරතුරුත්, සාහිත්‍යය පොත පතෙහි සඳහන් තොරතුරුත් එකට ගැළපීමේදී ඒවා පසුකාලීන තොරතුරු ලෙස ඉතිහාසඥයන් විසින් විග්‍රහ කරනු ලැබ තිබේ. මෙසේ අනුරාධපුර යුගයේ දී දළදා වහන්සේට රැකවරණය සලසමින් බොහොම ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වූ අතර පසුව පොළොන්නරු යුගයේදී පළමුවන පරාක්‍රමබාහු රජතුමා බලයට පත් වූ අවස්ථාවේදී කාලිංග මාඝ යුද්ධයෙන් පොළොන්නරුව ආක්‍රමණය කළ නිසා දළදා වහන්සේ කොත්මලේට වැඩම කරවූහ. කාලිංග , මාඝ ආක්‍රමණය අවසානයේ දී තුන්වන විජයබා රජතුමා කොත්මලේ වැඩ සිටි දළදා වහන්සේ බෙලිගලට වැඩම කරවා තෙමහල් ප්‍රාසාදයක තැන්පත් කළහ. පළමු බුවනෙක බාහු රජතුමාගේ යුගයේ දී ආර්ය චක්‍රවර්තී විසින් දළදා වහන්සේ පඬි රටට රැගෙන යනු ලැබුවේය. එහි රාජ්‍ය කළ රජතුමාට දළදා වහන්සේ බාර දුන්නේය. ලක්දිව තුන්වන පරාක්‍රමබාහු රජතුමා පඬි රටේ රජතුමා සමඟ මිත්‍ර සබඳතා පවත්වා නැවත දළදා වහන්සේ ලක්දිව පොළොන්නරුවේ වඩා හිඳවූයේය.

එකල ලක්දිව රාජ්‍ය කළ තුන්වන බුවනෙකබාහු රජතුමා පොළොන්නරුවේ වැඩසිටි දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවූවේය. මේ පින්වත් රජතුමා තමන්ගේ මාළිගාව සමීපයේම දළදා මාළිගයක් තනා එහි තැන්පත් කළ දළදා වහන්සේට දෛනිකව වත් පිළිවෙත් නිබඳවම සිදු කළේය. මුඛ පරම්පරාගතව ආ සිරිත් විරිත් තව දුරටත් ඉදිරියට රැක ගැනීමට අවශ්‍ය නිසා දාඨා ධාතු චාරිත්‍ර නමින් පොතක් ද රචනා කළේය.

හයවන පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේ දළදා වහන්සේ නැවත වතාවක් කෝට්ටේ රාජධානියට වැඩම කරවූහ. සංදේශ සාහිත්‍යයෙහි සඳහන් සේ දළදා මාළිඟයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. මෙහිදී දළදා වහන්සේ වැඩ සිටි කුටිය බාර වූයේ හිරිපිටිය රාළටයි. ඉන්පසු රජ වූ අන්‍ය ආගමිකයෙක් වූ ධර්මපාල රජතුමාගේ කාලයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසුවේය. හිරිපිටිය රාළ විසින් දළදා වහන්සේ කොත්මලේ බෙංගමුව විහාරයට වැඩම කරවනු ලැබීය. සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ පසුව පළමුවන විමල ධර්මසූරිය රජතුමා දෙල්ගමුවේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවර සෙංකඩගල නුවරට වැඩම කරවූයේය.

මහනුවර යුගයේ රචනා වූ කුඩා පද්‍යය සංග්‍රයක් වූ දළදා හටන පස්වන සියවසේ ලංකාවට පැමිණි පාහියන් භික්ෂූන් වහන්සේගේ දේශාඨන වාර්තාවෙහි සඳහන් වූ දළදා පෙරහර පිළිබඳව වර්ණනාත්මක විස්තරයක් ඇතුළත්ය.

ක්‍රි.ව 1818දී වැලිගල කිවිඳු විසින් රචනා කරන ලද දාඨාගොත් ප්‍රදීපයෙහි දළදා ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර ඇතුළත්ය.

ක්‍රි.ව 1925දී පමණ ලියැවුණු දළදා වතුර විශේෂිතය. දීර්ඝ කාලීන නියං සමයක දළදා ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසු මහ වැසි ඇද හැළීම වස්තු විෂය කරගනිමින් ලියැවුණේ දළදා වතුරයි. එය කවි 158කින් සමන්විතය.

කන්ද උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතයක්ව පැවැති යුගයේ දළදා පුවත පිළිබද ලියැවුණු අවසාන කෘතිය දළදා විත්ති වෙයි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයේ පැවැත්වූ පුද පූජාවල විස්තර කිරීමට රචනා කර ඇත. ඉංශ්‍රීසි ජාතිකයන් මහනුවර රාජ්‍ය ආක්‍රමණය කළ අවස්ථාවේ දළදා හිමියන් සඟවා තැබූ ආකාරය මෙහි සඳහන්ය.

කොළඹ යුගයේදී දළදා වංශ කාව්‍ය ලියැවුණි. පද්‍ය 238ක් වූ මෙහි කතුවරයා වන්නේ කේ. එම් සිල්වා මහතාය. ධර්මසේන හිමියන්ගේ පාලි දාඨාවංශයේ ආභාෂය මෙම කෘතියට ලැබී ඇත. තවද කොළඹ යුගයේදී දළදා කාව්‍ය, දළදා වරුණ ආදී කෘතීන් ද ලියැවුණි.

බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස බැබළෙන වාම ශ්‍රී දළදා වහන්සේ ගැන ලියැවුණු පොත පත දළදා සාහිත්‍යයයි. එය වර්තමානයේ මෙන්ම වසර දහස් ගණනක් මතු අනාගතයටත් මහඟු දායාදයක් වන්නේය.

දළදා සාහිත්‍යය
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
කාරක සංඝ සභික
රංගිරි දඹුලු රජමහා විහාරාධිපති
ආචාර්ය,
ගොඩගම මංගල නා හිමි

– ජම්මික ප්‍රබෝධනී වැලිකල

Copy Budusarana Page

Donations
You cannot copy content of this page