Kuti Pujawe Anusas කුටි සෙනසුන් පිදීමේ අනුසස්

කුටි සෙනසුන් පිදීමේ අනුසස්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං

විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච

දදෙය්‍ය උජුභූතේසු විප්පසන්නේන චේතසා
තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං
යං සෝ ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ති

ශ්‍රද්ධාවන්ත පිංවතුනි,
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරිහත් වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළ, සේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්‍රකාශ වුණේ. මේ ගාථා පෙළ, විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ, සේනාසනක්ඛන්දකයේ පහසුවෙන් දැකගන්න පුළුවන්. ඒ දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරම විහාර පූජාවේදී අසූහාරදහසක් තරම් පිරිස ඒ පින අනුමෝදම් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මුලින් ම විහාර පූජාවක් කෙරුණේ රජගහ නුවර බිම්බිසාර මහ රජ්ජුරුවන් විසින් කරන ලද වේළුවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොව ද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව, මාස දෙකක් ඇතුළත විසි දහසකට වඩා රහතන් වහන්සේලා බුදු සසුණේ පහළ වූ නිසා, මහා විහාරස්ථාන දහ අටක් රජගහ නුවර අවට බොහෝ දෙනෙක් ඉදි කරලා සඟ සතු කොට පූජාකරන්නට යෙදුනා. ඒවගේම සැවැත් නුවර පූර්වාරාමය නමින් දෙමහල් ප්‍රාසාදයක් කාමර දාහක් ඇති විහාරය, විසිහත් කෝටියක ධනය වැය කිරීමෙන් විශාකා මාතාව විසින් ද පූජා කරන්නට යෙදුනා. ඒ පූජාවසානයේ එතුමිය තමන්ගේ දරු මුනුපුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැඟිල්ල වටේ ප්‍රදක්ෂිණා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍ය කිය කියා පිං අනුමෝදම් වුණා.
පිංවතුනි, අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපිද සිටිද්දී තමංගේ මාලිගාව අළුත්වැඩියා කරගන්න වටිනා දැව සොයාගෙන වනාන්තරයකට ගියා. ඒ යනකොට දැක්කා, ඒ ආරණ්‍ය සේනාසනයේ වෙසෙන සිල්වතුන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනවා. උන්වහන්සේ ගේ දර්ශනයෙන් හිත පහදවාගත් මේ බෝසතාණන් වහන්සේ, බෝසත් සිටුවරයා, ඒ අඩිපාර දිගේ ආරණ්‍යට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නෙ බලන්ඩ. බැලුවාම කුටියක් සෙනසුණක් නෑ, ගල් ගෙයක්-බිංගෙයක් නෑ, ගහක් මුළ ඉඳලා තියෙන්නෙ. මෙතුමා කල්පණා කළා, මේ ස්වාමීන් වහන්සේ අපට වාගෙ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත්, කසාවතක් හැඳපෙරවගෙන මේ සීතල, උණුසුම, බඩගින්න, පිපාස, මැසි-මදුරු පීඩා, අවු-වැසි-සුළං පීඩා විඳගෙන, මේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙළෙසුන් දමනය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද, මෙවැනි උතුමන් ට කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලා, තමන්ගේ ගමන නවත්තලා, ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන්, එතැන තමංගේම දෑතින් දැව සපයලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින් ම ඇඳක් හැටියට හදලා, පුටුවක් හැටියට හදලා, පැත්තකට වෙලා බලාන හිටියා. ස්වාමීන් වහන්සේ බොහෝම දුර බැහැර ඉඳලා පිණ්ඩපාතෙ යන්න තියෙන්නෙ, එනකොට හවස් වෙනවා, දානෙ වලඳලා ඉර අවර උණාට පස්සේ එතෙන්ට වැඩලා, මේ කුටියට ඇතුල් වෙලා වාඩි උණා. මේ බෝසතාණන් වහන්සේ වැඳනමස්කාර කරලා කිවුවා, “ස්වාමීනි, මේ වාගෙ කුටි සෙනසුන් ඔබවහන්සේලාට කැප ද?” “එසේය පිංවත, මේක මට බොහෝම උපකාරකයි. මීට ඉස්සර මං මේ ගහ මුල හිටියා, වැස්සට තෙමුනා, පිනි බෑවා, මැසි මදුරු පීඩා අනන්තයි, සතුන් සර්පයන් පවා එනවා, අනේ මට මේ කුටිය හදාපු ඔබගේ දෑත සිතූ පැතූ සම්පත් ලැබෙන පිං අතක්, සුරතුරක් වාගේ වේවා!” කියලා පිං දුන්නා. ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිවුවා “ස්වාමීන් වහන්ස, මේක තාවකාලික කුටියක්, කොළ අතු වලිං හෙවිලි කරලා තියෙන්නෙ, ස්වාමීනි මට අවසරයි, මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණයෙන් මහණදම් පුරන්නට කුටියක් හදනවා. එච්චරත් නෙමෙයි ස්වාමීනි, මම ඉන්න මගේ ගේ අහවල් තැන තියෙන්නෙ, මගේ අඹුදරුවන් සහිතව ඔබවහන්සේ ගේ කැපකරු දායකයන් බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමීනි, ඔබවහන්සේ ගමේ පිඬු සිඟා වැඩියාම දානෙ ලැබුණා හෝ නොලැබුණා හෝ, මගේ නිවසට වඩින සේක්වා! මම හැම දවසේම ඔබවහන්සේ ට කැපසුරුප් බන්දනයෙන් උපස්ථාන කරන්ඩ ඇප වෙනවා” කියලා පොරොන්දු වුණා. ඊලඟට මෙතුමා, ඒ සමීපයෙහි බිම සුද්ධ කරලා, ස්ථාවර කුටියක් හැදුවා. කුටියට අවශ්‍ය වන ඇඳ-පුටු-ඇතිරිලි, කොට්ට-මෙට්ට සහිත සියළුම ශ්‍රමණ පරිෂ්කාරත් සම්පූර්ණ කළා. ඒ වගේම පැන් පහසුවට පොකුණකුත් හැදුවා. ජලය පානයට ලිඳකුත් හැදුවා. මිදුලක් හදලා, වටේට ඉණි වැට හදලා, සතුන්ගෙන් කරදර නොවෙන්ඩ ආරක්ෂාව ද සැළසුවා. සියල්ල කරලා, ස්වාමීන්වහන්සේ ට පූජා කරල, වඩාහිඳෙවුවා. දිනපතා තමංගේ ගෙදර දානය පිරිනැමුවා. දිනපතා සුව දුක් සොයා බැලුවා. උන්වහන්සේ ද ඒ සෙනසුණ පරිහරණය කරමින්, සීල සමාධි ප්‍රඥා පුරලා, නොබෝ දිනකින් සවුකෙළෙස් නසා මහා රහත් භාවයට පත් වී වදාළා. රහතන් වහන්සේනමක් හැටියට බොහෝ කළක් වැඩ ඉඳලා, ඒ කාලෙ අවුරුදු විසිදහසක් ආයුෂ නෙ, එච්චර කළක් වැඩ ඉඳලා පිරිණිවන් පෑවා, ඒ ආදාහන කටයුතු පවා මෙතුමා ගේ අතින් සියල්ල සිද්ධ කළා.
මේ පුදුම පිංකමක් නේද, එක ස්වාමීන්වහන්සේනමක් වුනත්, එතුමානන් ගේ හිතේ පහළ වුණේ “මගේ මේ කුටිය, මගේ මේ උපට්ඨානය, අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහාසංඝරත්නයට වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙවෙයි, එතුමාණන් ගේ ප්‍රාර්ථනාව වූයේ “මේ සෑම කුසළයක් මට අනාගතයේදී ලොවුතුරා බුදුබව පිණිස වේවා!” කියන පැතුමයි. ඒ වගේම ඒ කුසළ බලයෙන් එතුමාණන් ඉන් පසු මනුශ්‍යයන්ට පරමායුශ අවුරුදු අසංඛ්‍යයක කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. එයින් හත් වැනි වාරයේදී මහා සුදස්සන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු අසූහාරදහසක් මවුපියන් ගේ හෙවනේ සැපෙන් කුමාර ජීවිතයක් ගෙවුවා. තවත් අවුරුදු අසූහාරදහසක් උප රජකෙනෙක් හැටියට පියාණන් ට සහයෝගෙන් රාජ්‍යයට සහාය වුණා. ඊලඟට තමන් ම සක්විති රජ වුණා.
සක්විති රජ වෙලා බොහෝ කාලයක් ගත වෙන අතරත එතුමාණන් ට හිතුනා දානයක් දෙන්ඩ මේ රටවැසියන්ට. “මෙන්න මෙතනයි මං දානයක් දෙන්නේ” කියලා, දංසැලක් හදන්ඩ තැනක් හිතුවා, පහුවදා ගිහින් බලනකොට අංග සම්පූර්ණ දංසැලක් පහල වුණා. “මෙතන මං උයනක් හදන්න ඕනෙ, මෙතන මං පොකුණක් හදන්න ඕනේ” හිතන හිතන සියල්ල උන්වහන්සේට පහල වුණා. මොකද, අර එක ස්වාමීන්වහන්සේ නමකට රහත් වන තුරු අර කුටි සෙනසුන් කරවලා, පැන් පොකුණු කරවලා, පහසුකම් සැළසූ මේ කුසළයේ බලයෙන් සිතූ පැතූ සියල්ල පහල වුණා. ඒ ස්ථානයෙහි කල්පවෘක්ෂත් පහල වුණා. අන්තිමේදී රට වැසියන්ට දැනුම් දීලා අවුරුදු අසූහාරදහසක් තිස්සේ දිව්‍යමය ආහාඅර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා.
ඔය අතර රටවැසියෝ කල්පණා කළා රජ්ජුරුවන්ට කෝටි ගාණක මුදලක් එකතු කරගෙන ගෙනැත් දෙන්ඩ හැදුවා. රජ්ජුරුවෝ ප්‍රතික්ෂේප කළා, “මේ එකක්වත් මට එපා, මට මේ තියෙන දේවල් දීලා ඉවර වෙන්නේ නෑ, ඒ නිසා ඔබලා කැමති දෙයක් කරන්නැ’යි” කිවුවා. රටවැසියෝ එකතු වෙලා කථා කළා “අපි එහෙනම් මහ රජ්ජුරුවන්ට අළුත් ම අළුත් මාලිගාවක් හදමු” කියලා තැනක් කථා කළා “මෙන්න මෙතැනයි හදන්නේ” කියලා. රජ්ජුරුවන් ගේ පිනේ මහිමය කොහොමද, අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර අසූහාරදහසක් ඇති, විශාල ප්‍රාසාදයක් පහල වුණා. පුදුම ආශ්චර්‍යයක් නේද? පස්සේ රජ්ජුරුවන්ට මේ ප්‍රාසාදය පිරිනැමුවා.
රජ්ජුරුවෝ කල්පණා කළා, “මං මේකෙන් හොඳ වැඩක් ගන්න ඕනේ” කියලා, තමං ගේ වැඩිමල් පුතාට ඔටුනු පළන්දවලා, මේ මාලිගාවට ගොඩ වුණා. නිවේදනය කළා “මට දානය ගේන එක උපස්ථායකයෙක් ඇර, කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි” කියලා. මාලිගාවට ඇතුල් වෙන පියගැටපෙළ රියන් දාහතරක් උසයි, එතන ගොඩවෙලා, හිතේ අධිශ්ටානයක් කළා, කාම විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු! ව්‍යාපාද විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!, විහිංසා විතර්කය මෙතැන නවතිනු, මින් ඉදිරියට නොයනු!” කියලා තමං ගේ හිතට අණක් දෙනකොට ම අර පූජනීය ස්වාමීන් ව්හන්සේට මඟඵල නිවන දක්වා උපකාර කළ පිනේ මහිමයෙන් ඒ පියගැටපෙළේ මුඳුනේදීම මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ධ්‍යාන පහල වුණා. ධ්‍යාන ලාභියෙක් හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලා, දවසක්-දෙකක්, අවුරුද්දක්-දෙකක් නෙමෙයි, අවුරුදු අසූහාරදසක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී එතුමාණන් ට හිතක් පහල වුණා මගේ නෑදෑයෝ දකින්ඩ ඕනෙ කියලා. නෑදෑයන්ටත් හිතක් පහල වුණා අපේ මහරජ්ජුරුවෝ දකින්ඩ ඕනේ කියලා. තමං ගේ උපස්ථායකයට කිවුවා මැද මිදුලේ පටු ඇඳක් පණවන්ඩ කියලා. මේ පටු ඇඳේ ඇල වුණා දකුණු ඇලයෙන්,
අග්‍ර මහේෂිකාව භද්‍රා දේවිය ඇතුළු අසූහාරදහසක් බිසෝ වරුත්, දරුවොත්, මැති-ඇමතිවරුත්, නෑදෑයොත්, විශාල සංඛ්‍යාවක් මේ මාලිගාවෙ මැද මිදුලට ආවා. ඒ වේලාවේ දී, මේ භද්‍රා කියන අග මෙහෙසිය රජ්ජුරුවන් ගේ පැවැත්ම ගැන හිතුණා “රජ්ජුරුවෝ අද අපවත් වේදෝ” කියලා. කිසිම ලෙඩක් පේන්ට නෑ, හිතක් පහල වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා, “ස්වාමීනි, ඔබ වහන්සේට මාලිගා ම අසූහාරදහසක් මේ ජම්බුද්වීපයේම තියෙනවා. ඒ කාලේ නගරවල් අසූහාරදහසේ අසූහාරදහසක් රාජ මාලිගා, අසූහාරදහසක් මාලිගා වගේම සියළු දේවල්, මංගල ඇතුන් අසූහාරදහසයි, මංගල අශ්වයන්, මංගල රථ, මඟුල් කඩු, මඟුල් ඔටුණු, ඔක්කෝම අසූහාරදහස බැඟින් තියෙනවා. ඒ වගේම එක එක නගරයක රාජකීය පැන් පොකුණු අසූහාරදහස බැගින්, මේ විදියට එකක් නෙමෙයි, සියල්ල ම අසූහාරදහස බැඟින් තියෙනවා, ඒ සියල්ලට හිමිකම් ඇතුව නැවතත් අපේ රජ පවුලේ ම පහල වෙන්ඩ ප්‍රාර්ථනා කෙරෙත්වා!” කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බෝසතාණන්වහන්සේ කිවුවා භද්‍රා දේවීන්ට, “දේවීන් වහන්ස. එහෙම කියන්ඩෙපා, මෙහෙම කියන්ඩ, දෙවයන්වහන්ස, ඔබ වහන්සේට මේසා විසාල සම්පත් අසූහාරදහස බැඟින් තියෙනවා, අලපතක දියත්තක් රැඳෙන් නැතුවා වගේ, නෙළුම් මලක, නෙළුම් කොලේක දිය රැඳෙන් නැතුවා වගේ මේ කිසිවක් ගැන ආශාව තබා නොගන්නා සේක්වා!” කියලා ආරාධනා කරන්ඩ කිවුවා. ඒ විදිහට ආරාධනා කළා – කඳුළු වගුරවමින්. ඒ වෙලාවේ බෝසත් මහා සුදස්සන රජ්ජුරුවෝ සෑම දෙනාට කථා කරලා කිවුවා, “මං කුඩා කාලයේ පටන් නිති පංසිල් රැක්කා. පොහොය අටසිල් රැක්කා. මවුපියන් ජීවත් ව ඉන්න කාලෙ මන් මැනෙවින් උපස්ථාන කළා. මං උප රජ කම අවුරුදු අසූහාරදහසක් කළා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මහා දානයක් මං පිරිනැමුවා. අවුරුදු අසූහාරදහසක් තිස්සේ මා මේ සීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන, භාවනා වඩමින් මේ මාලිගාවේ සුවසේ විවේක වත් පිරුවා. නෙක්ඛම්මය පිරුවා. මඟේ ජීවිතය පුරා මා රැස්පත් කරගත්ත සෑම කුසලයක් මඟේ මේ නෑදෑයෝ, මගේ මේ රට වැසියෝ අනුමෝදං වෙත්වා! ඒ වගේම මා අතින් මගේ ජීවිත කාලය තුළ යම් ප්‍රමාද දෝශයක් මේ අයට ඇතොත්, ඒ සියල්ලට සමා වෙත්වා! මම අනාගතයේදී බඹ ලොව ඉපිද, ඉන් නොනැවතී මතු අනාගතයේ ලොවුතුරා බුදු පදවිය ලබනවා, ඔබ සෑම දෙනාටත් ඒ බුදු සසුණේ දී නිවන් සුව අත් වේවා!” කියලා නෙත් දෙක පියා ගත්තා. පුදුම ආශ්චර්‍යයක් නේද? සතෝ-සම්පජානකාරී ව, නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගෙන සුව නින්දට වැටුනා වගේ එහෙම්මම නිරුද්ධ වෙලා බඹ ලොව උපන්නා.
නැවත නැවත නැවත මනුලොව ඉපදෙමින්, පහල වෙමින්, බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම ආත්මභාවයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහලව, ලොවුතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සර්වඥයන් වහන්සේ ගේ ශාසනයේ තමයි මේ කුටි සේනාසන පූජාව සිද්ධ වුණේ. දන් මෙතන සඳහන් වුණා, ඒ මහා බෝසතාණන් වහන්සේ කුටිය පොජා කළේ “මේ කුටි සේනාසනය, මේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අශ්ටාර්යපුද්ගල මහා සංඝරත්නයට, සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරමින්, සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින්, ධ්‍යාන, අභිඥා, මාර්ගඵල නිර්වානාවබෝධය කරගැනීමට උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ වාගේ අද මේ කුටි සෙනසුන් පූජා කළ සෑම දෙනාගේම චිත්ත සංතානෙ අධිශ්ඨානය වන්නේ, “මේ නාඋයන ආරණ්‍යය සේනාසන වාසී සිල්වත්, ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනය වැය කිරීමෙන් ගොඩනැඟූ කුටි-සේනාසන සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කරගනිමින්, සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සියල්ල මුදුන් පමුණුවාගනිමින්, ආයු, වර්ණ සැප, බල ප්‍රඥා ඇතිව, ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විපස්සනා ඥාණ වඩමින්, තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා!” කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටි සේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනව, දැන් සළකා බලමු…
සීතං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච
සිරිංසපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨියෝ
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී
ලේනත්ථඥ්ච සුඛත්ථඥ්ච ඣායිතුංච විපස්සිතුං
මේ සේනාසනය පරිහරණය කිරීමේදී එම සිල්වතුන් වහන්සේලාට ලැබෙන පහසු විහරණ දහතුනක් මේ ගාථා දෙකෙන් කියවෙනවා. ඒ පහසු විහරණ තමයි,
සීතං උණ්හං පටිහංතේ – සීතලෙන් වෙන පීඩා වළකිනවා, උණුසුමෙන් වෙන පීඩා වළකිනවා.
තතෝ වාලමිගානි ච – නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා.
සිරිංසපේ ච මකසේ – බඩ ගානා සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවා, මකසේ – මදුරුවන් ගෙන් වෙන පීඩා වළකිනවා
සිසිරේ චාපි චුට්ඨියෝ – පිනි බෑමෙන් සිදු වන විපත්ති වළකිනවා, වර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,
තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී – නපුරු දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවා, දැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා
ලේනත්ථඥ්ච – ඒ කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධි-ප්‍රඥා පූරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා
සුඛත්ථඥ්ච – එම සේනාසනය සිවු ඉරියවුවේම සමථ, විපස්සනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා
ඣායිතුංච විපස්සිතුං – ධ්‍යාන-අභ්ඥා උපදවා ගන්න උපකාර වෙනවා, විදර්ශනා ඥාණ දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා
මේ ආනිශංස දහතුනක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා, සඳහන් වුණා. ඊලඟට සඳහන් කළේ ගාථාවෙන්,
විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච
විහාරදානං සංඝස්ස අග්ගං බුද්ධේන වණ්ණිතං – මේ සංඝයාට විහාරයක්, කුටියක්, සෙනසුණක්, සක්මනක්, රාත්‍රි ස්ථානයක්, දිවා ස්ථානයක්, ඒ වගේම ගිණිහල් ගෙයක්, යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිශංස වසයෙන් මහත්ඵල ගෙනදෙන බව සර්වඥයන් වහන්සේ වර්ණනාත්මකව දේශණා කරනවා.
තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ
විහාරේ කාරයේ රම්මේ වාසයෙත්ථ බහුස්සුතේ – එනිසා නැනවත් බෞද්ධයන් විසින් සිත්කළු වූ, නත්නම් ප්‍රසාදනීය වූ කුටි-සෙනසුන් විහාර කරවා බහුශෘත, ආගම බහුශෘත, අධිගම බහුශෘත උතුමන් වහ්නසේලා වඩා හිඳුවා ගනිත්වා!
තේසං අන්නඥ්ච පානඥ්ච වත්ථසේනාසනානිච – ඒ වගේම එම සිල්වතුන් වහන්සේලාට චීවරයද, සේනාසනයද, පිණ්ඩපාතයද, ගිලන්පසයද කියන මේ සිවු පසයෙන් උපස්ථාන කෙරේවා!
තේ තස්ස ධම්මං දේසෙන්තී සබ්බදුක්ඛාපනූදනං – ඒ සිල්වතුන් වහන්සේලා, තමං මේ සිවුපසය පිළිඅරගෙන, පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටි සෙණසුන් පූජා කළ පිංවතුන්ට

නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk)

නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk)

තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,

තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk)

අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය https://pitaka.lk)

තෙරුවන් සරණයි..!

Donations