මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රිය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.

බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රිය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.

මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රිය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.

පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.

මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.