Dharmashoka Rajathuma ධර්මාශෝක රජතුමා

ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 215ක් ගෙවී ගිය යුගය යි. චන්ද්‍රගුප්ත මහා ඇලෙක්සැන්ඩර් හමු වූයේ ගනුදෙනුවක් වෙනුවෙනි. තම රාජ්‍යයේ රජු සමඟ ආරවුලක පැටලී සිටි හෙතෙම අධිරාජ්‍යයාගෙන් උදව් ඉල්ලා සිටියේ රාජ්‍යය පැහැර ගැනීම පිණිස යි. එනමුත් අධිරාජයා එය ප‍්‍රතික්ෂේප කළේ ය. පසු ව තනි ව සේනා සංවිධානය කළ ඔහු එකල මගධය පාලනය කළ, නන්ද වංශිකයින් පරදවා එම රාජ්‍යය අත්පත් කර ගත්තේ ය. මගධයේ මෞර්ය රජ පෙළපත ඇරඹූ මූලිකයා වූයේ චන්ද්‍රගුප්ත යි. වසර විසි හතරක් වූ ඔහුගේ පාලන කාලය තුළ දී මගධය පෙරටත් වඩා විශාල රාජ්‍යයක් බවට පත් විය.

එය කෙතරම් ශක්තිමත් වී ද යත්, විටෙක ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියෙකු වූ සෙලියුකස් විසින් එය අත්පත් කරගැනීමට ගත් උත්සාහය අත්හැර දැමුවේ චන්ද්‍රගුප්තගේ යුධ ශක්තිය දැක භ‍්‍රාන්ත වීමෙනි. චන්ද්‍රගුප්ත රජුගේ පාබල හමුදාවේ සෙබලුන් ලක්ෂ හයකි. අශ්වාරෝහක බළඇණියේ සෙබලූන් තිස් දහසක් ද ඇතුන් සහිත බළඇණියේ සෙබලුන් නවදහසක් ද විය. සටන අතහැර දැමූ සෙලියුකස් ඉන්දුගඟ තෙක් වූ ඇලෙක්සැන්ඩර් පාලන කලාප ද දෑවැදි කොට ග‍්‍රීක කුමරියක් රජු හට සරණපාවා දී සම්බන්ධය තර කොට ගත්හ.

චන්ද්‍රගුප්ත රජුගේ පුත් බිංදුසාර රජුට බිසෝවරු දහසයක් හා පුතුන් එකසිය එකක් සිටියහ. බිංදුසාර රජුගේ අභිෂේක බිසව ධංමා නම් සුරූපී කුමරියකි. ඇගේ නම, ඇතැම් උතුරු ඉන්දීය ග‍්‍රන්ථවල ලියැවෙන්නේ සුහදාංගනී නමිනි. මේ දේවියගේ වැඩිමල් ම පුත‍්‍රයා උපදින විට ඇයට කිසිඳු විලිරුදාවක් ඇති නො විණ. එබැවින්, ඔහු හට ‘අසෝක’ යන නම අන්වර්ථයෙන් තැබිණි. ඈ හට තිස්ස නමින් තවත් පුතෙකු ද වී ය.

‘අසෝක’ දඩබ්බර ය. රළු ය. එබැවින් ඔහු බිංදුසාරගේ සිත් ගත් දරුවා නො වී ය. එනමුත්, කුමක් දෝ වාසනාවකට ධංමා බිසොව ‘අසෝක පුතු’ හට දැඩි ලෙස පේ‍්‍රම කළා ය. පියාගේ අකමැත්ත දුටු ඈ ඔහු ව වෙන්කොට ඇති දැඩි කළා ය.

කාලයත් සමඟ අසෝක තරුණයෙකු බවට පත්විය. රණශූරී තීක්ෂණ බුද්ධියක් සහිත අයෙක් බවට පත් විය. එනමුත් ඔහුගේ දඩබ්බර ගති නම්, සැඟව නො ගියේ ය. මේ සමයේ, තක්සිලාවේ රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇති විය. එය මැඩ පවත්වනු සඳහා පිටත් ව යාම භාර වූයේ අසෝක කුමරුන් හට යි. කුමරුන්ගේ අසාමාන්‍ය පිළිවෙත් හේතුවෙන්, යුද්ධයකින් තොර ව ම කැරැල්ල මැඩපවත්වා රාජ්‍යය අත්පත් කරගත්තේ ය. මේ ජයග‍්‍රහණයෙන් විශ්මයට පත් වූ පියරජු, අසෝකයන් අවන්තියේ යුවරජු වශයෙන් පත්කොට උදේනි රාජ්‍යයට පිටත් කළහ.

පිංගලවත්ස නම් ආජීවකයෙක් කුමරුන්ගේ ජන්ම ශක්තිය හඳුනාගෙන, පියරජුගෙන් පසු රජකමට අසෝකයන් හැර වෙනත් අයෙකු නැති බව නිරන්තරයෙන් ඔහුගේ මනසට ඇතුළු කළහ. මේ හේතුවෙන් අසෝක කුමරුන්ගේ සිත තුළ රණකාමීත්වයත් බලකාමීත්වයත් රෝපණය වන්නට විය. අවසානයේ, පියරජුගේ මරණයෙන් පසු තම පියාණන්ගේ අනෙකුත් පුතුන් එකුන් සියය ම මරා රජකම උරුම කරගත්තේ ය. ගුරුගේ වචනයෙන් දිරිගත් හෙයින් දෝ රාජ්‍යය ලැබූ පසු අසෝක රජු විසින් ආජීවකයන් හට බොහෝ ලෙන් විහාර සකසා දී ඇති බව ඓතිහාසික මූලාශ‍්‍රවල සඳහන් ය. මෙයින් ඇරඹි අශෝක රජුගේ පාලන කාලය තුළ අධිරාජයෙකු වීමේ පිපාසය සංසිඳවමින් සිව්දෙස දිග්විජය කිරීම ඇරඹිණ. එම උත්සාහය අවසන් වූයේ කාලිංග දේශය ද අත්පත් කරගෙන, ‘චණ්ඩාසෝක’ යන නාමය ද අන්වර්ථ වීමෙනි.

අවසානයේ දී සිදු වූ කාලිංග සංහාරය එතුමාගේ ජීවිතය වෙනස් කිරීමට සමර්ථ විය. තැන තැන ගොඩ ගැසුණු හිස් දුටු එතුමා, ඒ සියල්ල තමා දිනූ කාලිංග දේශයේ වැසියන්ගේ බව තේරුම්ගෙන, සංවේගයට පත් විය. මිනිස් ඝාතනයෙන් සංවේගයට පත් ව සිටි අධිපතිභාවයෙනුත්, රණශූරත්වයෙනුත් මිනිස් ලොව දැවැන්තයෙකු වූ චණ්ඩාසෝකයන්, නිග්‍රෝධ නම් කුඩා සාමණේර රහතන් වහන්සේ නමකගේ සංසුන් ගමන් විලාසය දැක පැහැදී, රාජසභාවේ දී දහම් අසා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරමින් තෙරුවන් සරණ ගියේ ය.

අසෝක රජුගේ බිසෝවරු කිහිප දෙනෙකු ගැන ම ඓතිහාසික මූලාශ‍්‍රවල සඳහන් වේ. ලක්දිව ඓතිහාසික ග‍්‍රන්ථයක් වන මහාවංසයට අනුව, යුවරජ සමයේ දී අසෝකයන්ගේ බිසව වූයේ වේදිසගිරියේ දේවී නම් සිටු දියණියකි. ඇය වේදිසා නමින් ද ප‍්‍රකට ය. සිටු දියණියක් වුවත් ඇය ශාක්‍ය වංශික කාන්තාවකි. දේවී බිසොවට මහින්ද නම් පුතෙකු ද මිත්තා නම් දියණියක් ද විය. අසෝක රජු රාජ්‍යයේ රජු වශයෙන් අභිසෙස් ලැබූ පසු ඔහු සමඟ වාසය කිරීමට ඇය අගනුවරට නො ගිය බව මූලාශ‍්‍ර ග‍්‍රන්ථවල සඳහන් ය. ඇතැම් විට ඇගේ සිටුඋපත නිසා අගබිසව ලෙස අභිසෙස් ලබන්නට යම් විරෝධයක් පැණ නැගුණා විය හැකි ය. එනමුත්, අශෝකයන් විසින් ඇය නො සලකා හරින ලද බවක් දක්නට නැත. ඔහු විසින් වේදිසාවේ නැවතුණු තම පැරණි ප‍්‍රියම්බිකාව පිළිබඳ නිතර සොයා බලා තිබේ.

අසෝක රජු හට ‘අසන්ධිමිත‍්‍රා’ නම් තවත් බිසවක් ද සිටියා ය. රජුගේ තිස්වැනි රාජ්‍ය වර්ෂයේ දී ඇය මිය ගොස් තිබේ. ඉන්පසු එතුමාගේ අගබිසොව බවට පත් වූයේ තිස්සාරක්ඛා නම් තරුණ රූමත් කුමරියකි. පසු කලෙක අධිරාජයාගේ අවධානය තමන්ටත් වඩා ගයාවේ මහ බෝධියට පවතින බව දැනගෙන, ඉරිසියාවෙන් උමතු වී මහබෝධියට විසකටු ගසා වනසා දැමුවේ ඇය යි. දිව්‍යාවදානයේ සඳහන් පරිදි රජුගේ ‘පද්මවතී’ නම් තවත් බිසවක් ගැන විස්තර වේ. ඇය හට කුණාල නම් පුතෙකු වී ය. කුණාල කුමරුගේ ඥාති මවක විසින් ඔහු ව පසු කලෙක අන්ධ කළ බව කියැවේ. සෙල්ලිපිවලට අනුව, මේ අයුරෙන් අසෝක රජු හට යටත් පිරිසෙයින් පුතුන් සිව් දෙනෙක් පමණ සිටි බව පැහැදිලි ය. කෙසේ නමුත්, අධිරාජයාගේ අවධානය වැඩිපුර ම දිනා සිටියේ වේදිසාවේ දරුවන් බව පසුකාලීන ව දිගහැරුණ ඉතිහාසය සාක්ෂි දරයි.

සිව්දිග දිග්විජය කළ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අසූහාර දහසක් වෙහෙර විහාර තනවා ධර්ම සංගායනාවක් ද, ශාසනික ශෝධනයක් ද සිදුකළ අශෝක අධිරාජයාගේ කැපී පෙණුනු විප්ලවීය ශාසනික සේවාව නිසා, පසු කලෙක ඔහු ‘ධර්මාශෝක’ යන නමින් අන්වර්ථ වී ප‍්‍රසිද්ධ විය. ඔහුගේ පාලන කාලය තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් අතර, බුද්ධභූමි සියල්ල හඳුනාගෙන ඒ ඒ ස්ථානවල අශෝක කුලූනු පිහිටුවීම කැපී පෙනෙන්නකි. එමෙන් ම දිනූ අධිරාජ්‍යය තුළ ධාර්මික පාලනයක් ගෙන යාම සඳහා ඒ ඒ රාජ්‍යයන් වෙනුවෙන් ධාර්මික දිවි පෙවෙතක් ගත කළ තමාට හිතෛශී පිරිසක් ප‍්‍රාදේශීය රජවරුන් ලෙස පත් කරවා ඒ සෑම රාජ්‍යයක ම අනුගමනය කළ යුතු නීතී රීති සහ ආඥා ටැම් ලිපි වශයෙන් සටහන්කොට පිහිට වූහ. මෙම අශෝක ටැම් ලිපි යුග ගණනාවක් තිස්සේ ඇදී ආ බෞද්ධ රාජ වංශයන්හි පෙරැළියක් ඇති කළ පැනවීම් ගණනාවකින් ම යුක්ත ය. කිසිදු රජෙකු මින්පෙර පනවා නැති ආඥා නීති රීති සමුදායක් ඒ තුළ දැකිය හැකි ය. සැබැවින් ම, චණ්ඩාශෝකයන් ‘ධර්මාශෝක’ බවට පත් වූ බව සනාථ කරන්නේ මෙම ධම්ම ලිපි තැන්පත් ටැම් ලිපි බව අත්‍යන්තයෙන් ම ඉස්මතු කළ යුතු කරුණකි.

මෙකී, සියලූ ටැම් ලිපිවල අන්තර්ගත කරුණු ගොනු කළහොත් එය මෙසේ දැක්විය හැකි ය.

01. සත්ව ඝාතනය තහනම් කිරීම සහ සියලූ ජීවීන්ගේ ජීවිත උසස් කොට සැලකීම.

02. මිනිසුන්ට සහ සතුන්ට ප‍්‍රතිකාර කරන ක‍්‍රම දෙකක් ඇති කිරීම. ඖෂධ ශාක රෝපණය කිරීම සහ ඖෂධ ශාලා පිහිටුවීම.

03. රාජ්‍ය පාලකයින්ගේ කාර්යයන් නියම කිරීම සහ ප‍්‍රාදේශීය රාජ්‍යයන්හි කාර්යභාරයන් පැහැදිලි කරදීම

04. ධර්මචරියාවේ ඇති වැදගත්කම අවධාරණය කරදීම

05. ධර්මානුශාසනා පැවැත්විය හැකි පරිණත පුරෝහිතයින් පත්කිරීම සහ ඔවුන්ගේ වගකීම් පැහැදිලි කරදීම

06. රාජ්‍ය කටයුතු ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දීම

07. සියලූ ජනකොටස් සහ සියලූ පාර්ශවයන් කෙරෙහි සමානාත්මතාවයෙන් සැලකීම පිණිස උපදෙස් දීම

08. ප‍්‍රාදේශීය රජතුමාගේ විනෝදය පිණිස සහ පෞද්ගලික ජීවිතය පිණිස පවතින වැඩිමනත් කාලය රටවැසියන් කෙරෙහි වෙන් කිරීම පිණිස උපදෙස් දීම.

09. මහා ඉහළින් උත්සව පැවැත්වීමට වඩා ගුණධර්ම පිරීම උසස්කොට සැලකීම

10. ජනප‍්‍රියත්වය හිස් දෙයකි. ඉන් ලාභයක් ඇති නො වේ. තමාගේ පාපී ජීවිතය අවසන් කොට යහපත් කරන්නේ ධාර්මික දිවි පෙවෙත බව අවධාරණය කොට උපදෙස් දීම.

11. සියලූ දානයන් පරදා ධර්මදානය දිනන බව අවධාරණය කිරීම

12. අන්‍ය අදහස් දරන ලබ්ධිකයින්ට සැලකීම තම පාර්ශ්වයේ දියුණුව ඇති කරන්නක් බව පෙන්වා දීම.

අශෝක රජුගේ ටැම්ලිපි බෙහෙවින් රාජ්‍ය පාලනය ධාර්මික කරවීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් විය. සිරකරුවන් හට අවශ්‍ය විට දයාව ද මරණයට කැපවූවන් වෙනුවෙන් අභියාචනා කිරීමට කල් දීම ද එතුමාගේ ධාර්මික ප‍්‍රතිපත්තීන් අතර කැපී පෙනෙන්නකි. එනමුත්, මරණීය දණ්ඩනය ඉවත් කිරීමට ධර්මාශෝක පාලන සමයේ වුව ද නීති සම්පාදනය වී නො තිබුණු බව නම් කිවමනා කරුණකි.

ධර්මාශෝකයන්ගේ ධාර්මික පාලන තන්ත‍්‍රය පැහැදිලි කරගත හැකි ධම්ම ලිපි නොහොත් ටැම් ලිපි කිහිපයක උපුටන අප මෙහි දී ගෙනහැර දක්වමු. එය කියැවීමෙන් එතුමා තුළ කොයිතරම් පැහැදිලි ධාර්මික පාලන ප‍්‍රතිපදාවක් තිබුණේ ද යන්න පාඨකයාට පැහැදිලි කරවන්නේ වත්මන් පාලන ක‍්‍රමයන්හි පරිහානිය පිළිබඳ සිහිගන්වා රළු සංවේගයක් ද ජනිත කරවමිනි.

(බොහෝ කරුණු දැක්වීමට ඉඩකඩ ශේෂ වීම පිණිස, පළමු ටැම් ලිපිය පමණක් පැරණි බ‍්‍රාහ්මීය භාෂාවෙන් දක්වා ඇත.)

දිල්ලි – තෝප‍්‍රා ටැම් ලිපිය (උතුරු මුහුණත 1)
දෙවානපියෙ පියදසි ලාජ හෙවං ආහා
සඩුවිසති වසා භිසිතෙන මෙ ඉයං ධංමලිපි ලිඛාපිතා
හිදත පාලතෙ දුසංපටිපාදයෙ අංනත අගායා ධංමකාමතාය අගාය පලිඛායා අගාය සුසුසායා අගෙන භයෙනා අගෙන උසාහෙනා
එය චූ ඛෝ මම අනුසටියා ධංමාපේඛා ධංමකාමතා වා සුවෙ සුවෙ වඩිතා වඨිසති චෙවා
උපරිසා පි ච මෙ උකසවා ගෙවයා චා මජ්ක්‍ධිමා චා අනුවිඨියංති
සංපටිපාදයං ති චා අලං චපලං සමාදපයිතවෙ
හෙමෙවා අංන
මහාමාතා පි එස හි විධියා ඉයං ධංමෙන පාලනා ධංමෙන විධානෙ
ධංමෙන සුඛියනා ධංමෙන හොති ති

අර්ථය
දේවානම්පියදස්සී (ධර්මාශෝක) රජතුමා මෙසේ කියයි.
මේ ධම්ම ලිපිය මා විසින් ලියන ලද්දේ අභිෂේකයෙන් පසු විසිහයවන වසරේ දී ය.
සුචරිතවත් දිවිපෙවෙතට ඇලූම් නො කොට, මනා සිහිනුවණක් නො මැති ව, මහත් වූ කීකරුකමක් ද නො මැති ව, බලවත් උත්සාහයකින් තොර ව මෙලොවත් පරලොවත් සැප ලැබීම දුෂ්කර ය.
එහෙත් මාගේ උපදෙස් නිසා සුචරිතවත් දිවිපෙවෙතකට ගරු කිරීමත්
සුචරිතවත් දිවිපෙවෙතකට ඇලූම් කිරීමත් දිනෙන් දින වර්ධනය වී තිබේ.
උත්තම වූ ද හීන වූ ද මධ්‍යම වූ ද මගේ නියෝජිතයෝ සුචරිතයෙහි හැසිරෙමින් ඒ අනුව කටයුතු නො කරන චපල සිත් ඇතියන් ද එහි සමාදන් කරවීමට තරම් ශක්තියක් ලබයි.
එසේ කරන කල්හි ඈත පිටිසර වෙසෙන මහාමාත්‍යවරු ද ඒ අනුව ක‍්‍රියා කරති.
ඊට හේතුව ඔවුන්ට මෙසේ විධාන කොට ඇති බැවිනි.
එනම්:
රටවැසියන් හට ධාර්මික ව රැකවරණය දෙන්න.
ධාර්මික විධානයන් ලබා දෙන්න.
ධාර්මික ව ඔවුන් සැපවත් කරන්න.
තමා ද ධාර්මික දිවිපෙවෙතක පිහිටන්න.

දිල්ලි – තෝප‍්‍රා ටැම් ලිපිය (උතුරු මුහුණත 2)
දේවානම්පියදස්සී (ධර්මාශෝක) රජතුමා මෙසේ කියයි.
ධර්මය යහපත් ය. ධර්මය යනු කුමක් ද? එයට ඇතුළත් වන්නේ මොනවා ද?
පව් නො කිරීම, කුසල් වැඞීම
කරුණාව, අතහැරීම, චතුරාර්ය සත්‍යය සහ සැබෑ පිරිසිදු බව උපදවා ගැනීම යි.
දඬුවම් පිණිස නියම වූවන්ගේ දෑස් පාදා කුසලය අකුසලය පෙන්වා දුන්නෙමි.
දෙපා සිව්පා සතුන් කෙරෙහි ද, බොහෝ පක්ෂීන් හා ජලජ ජීවීන් කෙරෙහි ද
අභය දානය දී ජීවිත් වීම පහසු කරවා ඇත.
වෙනත් බොහෝ යහපත් දෑ ද මා විසින් සිදු කර ඇත.
මේ බව පැවසීම පිණිස මෙම ධම්ම ලිපිය ලියන ලදි.
මේ සියල්ල මාගේ ජනයා ද අනුගමනය කරත්වා.
මේ ප‍්‍රතිපදාව බොහෝ කල් පවතීවා.
මේ කරුණු යමෙක් මනාකොට පිළිපදී ද
ඔවුහු තම ජීවිතයට යහපතක් ම සිදුකර ගනිති.

දිල්ලි – තෝප‍්‍රා ටැම් ලිපිය (උතුරු මුහුණත 4)
දේවානම්පියදස්සී (ධර්මාශෝක) රජතුමා මෙසේ කියයි.
අභිෂේකයෙන් විසි හය වැනි වසරේ දී මා විසින් මෙම ධම්ම ලිපිය ලියවන ලදී.
මාගේ පරිපාලක නිලධාරීහු සිය දහස් ගණන් මිනිසුන් පිරිවරා සමාජ සත්කාරයන්හි නිරත වේ.
අවශ්‍ය පරිදි පරිත්‍යාග කිරීමේ සහ දඬුවම් නියම කිරීම ඔවුන්ගේ වගකීම්වලට එක් කළෙමි.
ඒ මක් නිසා ද යත්, බියක් ඇති නො කොට,
විශ්වාසනීය ලෙසින් රටවැසියන්ගේ සුබසෙත වටහා ගැනීම පිණිසත්
පහසුකම් දීමනා තෑගි බෝග ආදිය සපයා දීම පිණිසත් ය.
මගේ පරිපාලක නිලධාරීහු දුකසැප විසඳන අයුරු දනිති.
ධර්මයට දිවි පුදා වෙසෙන අය හා එක් ව රටවැසියන් සුඛිතමුදිත කරති.
එයට හේතු ව ඔවුන් හා එක් වීමෙන් මෙලොව පමණක් නො ව පරලොව ද සැප සැලසිය හැකි වීම යි.
පරිපාලක නිලධාරීහු මට අවනත විය යුතු ය.
මාගේ අපේක්ෂාව දත් අයට ද ඔවුහු අවනත විය යුතු ය.
ඔවුහු මාව සතුටු කරවන්නා හා සමානව ම ජනතාව ද සතුටු කරවිය යුතු ය.
නුවණැති මවක විසින්, තම දරුවා ව මැය විසින් හොඳින් රැකබලා ගනීවි යැයි සිතා
කිරිමවක භාරයට පත්කොට සතුටු වන පරිද්දෙන්
රටවැසියාගේ යහපත සහ සැපත වෙනුවෙන් මා විසින් මෙම ප‍්‍රාදේශීය පරිපාලකයින් පත් කර ඇත.
ඔවුන්ගේ කාර්යයන් නිර්භයව, විශ්වාසනීය ලෙෂ සහ බාධාවකින් තොර ව ඉටුකිරීම සඳහා දිය හැකි දක්ෂිණා සහ දණ්ඩණ මෙම පරිපාලකයින්ගේ කැමැත්ත පරිදි සිදුකිරීමට මා විසින් පනවන ලදි.
අධිකරණ කටයුතුවල දී ද, දඬුවම් දීමේ දී ද
ඔවුන් විසින් අපක්ෂපාතී ව කටයුතු කළ යුතු යැයි මා අදහස් කරමි.
දඬුවම් ලැබ සිරගෙයට නියම වූවන් සහ මරණයට නියමවූවන් වෙනුවෙන්
යම් සහනයක් ලබා දීම උදෙසා නඩු තීන්දුවේ සිට දින තුනක්
දඬුවම ක‍්‍රියාත්මක නො කොට අභියාචනා කාලයක් ලබා දිය යුතු ය.
යම් හෙයකින් ඔවුන් නිදහස් කිරීමට හෝ ජීවිත දානය ලබා දීමට ඥාතියෙකු වත් ඉල්ලා සිටියේ නැතිනම්,
ඔවුන් හට හොඳින් කෑම බීම ලබා දී කවා පොවා
මරණින් මතු ජීවිතය හෝ සැපවත් කරවීමේ අදහසින් යුතු ව
උපෝසථ සිල් රැකීම පිණිස අවස්ථාව ලබා දිය යුතු ය.
එයින් මා අදහස් කළේ,
අභියාචනා කාලය අවසන් වුවත්
ඔවුන් මතු ආත්මභාවයේ සැප ලැබිය යුතු ය.
අලූත් අලූත් ගුණධර්මයන් හි පිහිටීමත්, ඉන්ද්‍රිය සංවරයත්, දන් දීමේ ගුණයත්
රටවැසියා අතර මා විසින් වර්ධනය කරනු ලැබේ

දිල්ලි – තෝප‍්‍රා ටැම් ලිපිය (උතුරු මුහුණත 5)
දේවානම්පියදස්සී (ධර්මාශෝක) රජතුමා මෙසේ කියයි.
අභිෂේකයෙන් විසි හය වන වසරේ දී මතු සඳහන් වන ජීවීන් නො මරන ලෙස නියෝග කළෙමි.
ගිරවුන්, සැළලිහිණියන්, අරුණපක්ෂීන්, සක්වාලිහිණින්, වන හංසයින්, නන්දිමුඛයින්, ගේලාටයින්, වවුලන්, රජ කිහිඹින්, දණ්ඩින්, අස්ථි රහිත මත්සයින්, වෙදවෙයක, ගංගාකුක්කුටක සංකු මත්සයින්, ඉදිබුවන්, ඉත්තෑවන්, ලේනුන්, සිමල, පිංගව,  ඕකපිංඩ, තිත්මුව, සුදුකොබෙයි, ගම්කොබෙයි, සහ ආහාරයට නො ගන්නා සියලූ සිව්පාවෝ ය.
එසේ ම, ගැබිනි කිරිදෙනුන් ද ඊරියන් ද නො මැරිය යුතු ය. මාස හයකට වඩා අඩු වයස් ඇති පැටවුන් ද නො මැරිය යුතු ය. කුකුළන් වඳ නො කළ යුතු ය. ප‍්‍රාණින් වසා ඇති දහයියා නො දැවිය යුතු ය.
හේතු රහිත ව සහ මස් පිණිස සතුන් දඩයම් කරමියි සිතා ලැව්ගිනි නො දැල්විය යුතු ය.
එක් සතෙකු පෝෂණය කිරීමට තවත් සතෙකු නො මැරිය යුතු ය.
චාතුර්මාසී දින තුන, තිෂ්‍ය නක්ෂත‍්‍ර දින, තුදුස්වක, පසළොස්වක සහ පෑලවිය යන දින තුනෙහි ද සියලූ උපෝසථ දිනයන් හි ද මසුන් ඇල්ලීම හෝ විකිණීම නො කළ යුතු ය.
මේ දිනයන්හි දී ඇත් වනයෙහිත්, කෙවුල් ගම්වල සතුන් ද නො මැරිය යුතු ය.
පක්ෂයේ අටවක තිථිය, තුදුස්වක පසළොස්වක, තිෂ්‍ය සහ පුනර්වාසු දින, චාතුර්මාසි දින තුනේ ද මංගල දිනයන්හි ද ගවයින්, එළු, කොටලූ, සහ ඌරු යන සතුන්ගේ කර ඇඹීම නො කළ යුතු ය.
තිෂ්‍ය සහ පුනර්වාසු දින, චාතුර්මාසි දින තුනේ ද චාතුර්මාස පක්ෂයේ දිනයන්හි ද
අශ්වයන් සහ ගවයන් හංවඩු නො ගැසිය යුතු ය.
මාගේ අභිෂේකයේ සිට විසි හය අවුරුද්දක් ඇතුළත ගෙවී ගිය මේ කාලයේ දී
බන්ධනගත වූවන් විසිපස් වාරයක් නිදහස් කොට ඇත්තෙමි.

මේ ආදී වශයෙන් ඉහත සදහන් ගොනු කිරීම් යටතේ වූ ටැම් ලිපි ගණනාවක් ධර්මාශෝක රජු විසින් පිහිටුවා තැබූහ. එතුමාගේ පරම අභිප‍්‍රාය වූයේ උතුම් ධර්මයට අනුව දිවිගෙවන ජනතාවක් බිහි කිරීම යි. උපතින් ඉතා රළු ගති ඇති රණකාමී අශෝකයන් ගෞතම බුද්ධ ශාසනයේ අනුහසින්, ඉතා දැහැමි සිල්වත් රජෙක් බවට පරිවර්තනය වූ ආකාරය සැබැවින් ම විශ්මය ජනක ය. එතුමාගේ දිග්විජය සේ ම, ධර්මදූත සේවාවන් ද දේශ දේශාන්තරයන්හි පැතිර ගිය බව නො දන්නා අයෙක් නැත. එම අද්විතිය ධර්මදූත ජාලයේ එක් පුරුකක ලක්වැසි අප ද ඇමිණී තිබීම වර්තමානයේ සියලූ ලාංකේය බෞද්ධයන්ගේ අස්වැසිල්ල බවට පත් ව තිබේ. තම පැරණි බිසොව වූ වේදිසා දේවීගේ පුත‍්‍ර රත්නය වූ මහින්දයන් සහ දියණිය වූ මිත්තා යන දෙදෙනා ම බුදු සසුනෙහි පැවිදි ව අරහත්වයට පත් වී ධර්ම විනයෙහි ව්‍යක්ත විශාරද භාවයට පත් වූ පසු අවස්ථා දෙකක දී ලක්දිව වෙත එවීමට තරම්, පේ‍්‍රමයක් මෙම කුඩා දිවයින කෙරෙහි පැවතීම අතිශයින් ම විශ්මිත ය. එපමණක් නො ව එකල ලක්දිව නරපතිඳුන් වූ තිස්ස රජු හට තමාගේ ගෞරව නාමය වන ‘දේවානම්පියදස්සි’ යන්න ලබා දී අභිසෙස් කිරීමට තරම් ලංකා ශාසනය ගැන එතුමා තුළ බලවත් අපේක්ෂාවක් පැවතියේ ඇතැම් විට, අනාගතය දක්නා රහතුන්ගේ අනුශාසනා හේතුකොට ගෙන විය හැකි ය.

මහින්දාගමනය සිදු වූයේ ධර්මාශෝක රජුගේ ශාසනික විප්ලවය හේතු කොට ගෙන ය. එය අවිවාදාත්මක කරුණකි. ඔහු ඉන්දියානුවෙක් වුව ද, ලක්දිවට සිදු කළ උපකාරය වසර දහස් ගණනකට පසු අද ද අප සැමගේ වාසනාව බවට පත් ව තිබේ. නිධානය බවට පත් ව තිබේ. විටෙක ඉන්දියානුවෙක් වූ බුදුරජාණන් වහන්සේ ද, තවත් විටෙක ධර්මාශෝකයන් ද, එතුමා නිසා ම මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ද ලක්දෙරණ වැසි දෙව් මිනිසුන් වෙනුවෙන් යහපත හිතසුව සැලසූහ. ඉන්පසු සිදු වූ කාලිංග මාඝ ආදි දකුණු ඉන්දීය ආක‍්‍රමණයන්ගේ සිට ගාන්ධිලා, රා ඕලා, සිංලා හරහා වත්මන් තමිල්නාඩු බලපෑම් දක්වා ඉන්දියාවෙන් ලක්දිවට සිදු වූයේ කෙනෙහිලිකම් ය. විනාශයන් ය. පළිගැනීම් ය. එදා මෙදා තුළ යම් ඉන්දීය රාජ්‍ය නායකයෙකුගෙන් ලක්දෙරණ සුවපත් වූවා නම්, අද පවා කෘතඥපූර්වක ව සිහිපත් කරන්නේ නම්, ඒ එකම නායකයා ‘ධර්මාශෝක අධිරාජයා’ ය. එතුමා මුළු දිවිය ම ගත කළේ තෙරුවනට උපස්ථාන කරමිනි. මිය යන මොහොතේ එතුමා අත ඉතිරි වූයේ නෙල්ලි ගෙඩියක් පමණි. සුව යහන බවට පත් වූයේ වෙහෙස නිසා හිස තියාගත් දාසියකගේ උකුලකිනි. දේශ දේශාන්තර දිග්විජය කළ අධිරාජයෙකු එසේ අවසන් ගමන් ගිය ද, එතුමාගේ අද්විතීය ශාසනික මෙහෙවරේ පුණ්‍යවිපාකයෙන් යළි මිනිස් ලොව ඉපිද, මහා මහින්ද නම් තම පුතණුවන්ගේ අනුශාසනා පරිදි ලක්දිව පැවිදි වී, සිල්ගුණදම් සපුරා අරහත්වයට පත් ව සසර සයුරෙන් එතෙර වී, බුදුරජුන්ගේ ලයෙන් උපන් ශ‍්‍රාවක රජවරුන්ගේ නිර්වාණ අධිරාජ්‍යයේ අභිසෙස් ලදහ.

මහින්දාගමනයේත්, දුමින්දාගමනයේත් පුරෝගාමියා වූ අපේ ධර්මාශෝක මහ රජු සිහි කොට සාදරයෙන් නමස්කාර කරමු…!

ඇසුර
මහාචාර්ය අභය ආර්යසිංහයන්ගේ
අසෝක ධංමලිපි

එච්. ජී. ඒ. වැන්සෙයිස්ට්ගේ
බෞද්ධ විශ්ව කෝෂය
සහ අන්තර්ජාල මූලාශ‍්‍ර

කළගුණක සටහන
විශ්වනාත් දේවප‍්‍රිය

උපුටා ගැනීම   Mahaamega 

Donations
You cannot copy content of this page