ස්තුති පූජාවෙ ආනිශංස

මල්, පහන්, සුවඳ දුම්, සුවඳ සුණු, සුවඳ පැන්, සුවඳ දෑ, ආහාර-පාන-වස්ත්‍ර යන ආදී මනුෂ්‍යයන් කැමැති වන දෙයකි. ඇතැම්හු මිල මුදලට වඩා ස්තුතියට කැමැත්තෝය. ඔවුන් ගෙන් මුදලක් දී කරවා ගත නොහෙන වැඩක් ස්තුතියෙන් කරවා ගත හැකිය. ස්තුතියෙන් සැමදෙනා ම සතුටු කරවිය හැකි ය. සතුටු වන දෙයක් වන ස්තුතිය ද පූජා කළ යුතු දෙයකි. රජුන් සතුටු කරවා ඔවුන්ගෙන් ප්‍රයෝජන ලබනු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණ ගී ගයා ඔවුනට ස්තුතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්තෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවි හා කන්නලව් නමින් හඳුන්වන වාක්‍යයන් ද කියමින් දෙවියන්ට ස්තුති පූජා කරති. ඇතැම්හු ස්තුති ගීතිකා ස්තුති වාක්‍යය පත් වල ලියා හෝ මුදණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති. එසේ කරන්නේ මේ ස්තුතිය හැමදෙනම කැමති වන්නක් බැවිනි. රාජාදී සෑමදෙනාම කැමති වන උසස් අයට පිරිනමන ඒ ස්තුතිය මල් පහන් සුවඳ ආදිය සේ රත්නත්‍රයට පූජා කිරීමට ද සුදුසු ය. එබැවින් ඇතැම්හු ලොවුතුරා බුදුවරයන් කෙරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගාථා කියා උන්වහන්සේලාට ස්තුති පූජා කළහ. වැඳීම මල් පහන් ආදියෙන් පිදීම පිනක් වන්නාක් මෙන් ස්තුතියෙන් පිදීම ද පිනක් වේ. රත්නත්‍රය ගුණවලින් යුක්ත කොට ගොතා ඇති වන්දනා ගාථා, වන්දනා වාක්‍යයන් කීම රත්නත්‍රයට ස්තුති පූජාවකි. ගුණ සිහි කරගැනීමට පමණක් නොව ස්තුති පූජාවක් වශයෙන්ද ඒ ගාථා වාක්‍ය‍යන් කිය යුතු ය.
ස්තුති පූජාවේ අනුසස්
අතීතයේ එක් කපෙක හිමවත දකුණු දිග එක් භූමිභාගයක අසපුවෙක තව්සෙක් මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්ය‍යවරයෙකු සොයමින් වනයෙහි ඇති මූල ඵලයන් ආහාර කොට ගනිමින් විසුවේ ය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ලොව පහළව සිව්සස් දෙසමින් මහජනයා සසර සයුරෙන් එතෙර කරවන්නට වන්හ. බුදුන් ලොව පහළව අට වසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූ පුවත තව්සාට ද සැලවිය. තාපස තෙමේ ඉමහත් ප්‍රීතියට පැමිණ අසපුව හැමද ගිනි නිවා තවුස් පිරිකර ගෙන බුදුන් දක්නා රිසියෙන් නික්ම ගොස් සුමේධ බුදුන් වහන්සේ වෙසෙන චන්දවතී නම් නගරයට එක් දිනකින් ම පැමිණියේය. එසමයෙහි සුමේධ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරමින් උන් සේක. තාපස තෙමේ ජන සමූහයා පසු කොට ඉදිරියට ගොස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාථා කියා උන්වහන්සේට ස්තුති කළේය.
තුවං සත්ථා ච කේතු ච ධජො යූපො ච පාණිනං,
පරායනො පතිට්ඨා ච දීපො ච දීපදුත්තමො.

ස්තුති පූජාවෙ ආනිශංසනෙපුඤ්ඤො දස්සනෙ වීරො තාරෙසි ජනතං තුවං,
නත්ථඤ්ඤො තාරකො ලොකෙ තවුත්තරීතරො මුනෙ.

සක්කා භවේ කුසග්ගෙන පමෙතුං සාගරුත්තමෙ,
නත්වෙව තව සබ්බඤ්ඤු ඤාණං සක්කා පමෙතවෙ.

තුළා දණ්ඩෙ ඨපෙත්වාන මහිං සක්කා ධරෙතවෙ,
නත්වෙව තව පඤ්ඤාය පමාණමත්ථි චක්ඛුම.
ආකාසො මිනිතුං සක්කා රජ්ජුයා අංගුලෙන වා,
නත්වෙව තව සබ්බඤ්ඤු සීලං සක්ක පමෙතවෙ.

මහාසමුද්දෙ උදකං ආකාසො ච වසුන්ධරා,
පරිමෙය්‍යානි එතානි අප්පමෙය්‍යාසි චක්ඛුම.
සුමේධ බුදුන් වහන්සේ ඔහුගේ ස්තුති පූජාව පිළිගෙන මහසඟන මැද හිඳ ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාළ සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසූ ඒ තවුසා ඒ පිනෙන් සත් සැත්තෑ කපක් දෙව් ලොව දෙව් සැප විඳින්නේ ය. දහස් වරක් දෙව්ලොව රජ වී රජය කරන්නේ ය. වාර සිය ගණනක් මිනිස් ලොව සක්විති රජ වන්නේය. ගණනින් නිම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජ සම්පත් ලබන්නේය. මොහු දෙව් වුව ද මිනිස් වුව ද හැම කල්හි පින්කම් කරන තියුණු නුවණැතියෙක් වන්නේ ය. මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි ගෞතම නම් බුදු කෙනෙක් වන්නේ ය. එකල මේ තෙමේ මිනිස් ලොව ඉපිද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදීම සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ දුක් කෙළවර කරන්නේ ය.
ඒ තාපස තෙමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලය දක්වා ඇති කල්ප තිස් දහහසක් වූ අතිදීර්ඝ කාලයෙහි එක වරකුදු දුර්ගතියට නො පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයෙහි සැරිසරා අප බුදුන් කාලයේ දී මිනිස් ලොව ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේ දීම රහත් ව:
“තිංස කප්ප සහස්සම්හි – යං ඤාණමථවිං අහං,
දුග්ගතිං නාභිජානාමි – ඵලං ඤාණස්ස ථොමනෙ.”
යනුවන් මම කල්ප තිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවණට යම් ස්තුතියක් කළෙම් ද ඒ පිනෙන් මේ වනතුරු දුර්ගතියට නො ගියෙමි. මෙය ඥානයට ස්තුති කිරීමේ ඵලයයි ප්‍රකාශ කළේය. මේ කථාව ඤාණාතවිකතෙරාපදාන යන නමින් අපදාන පාලියෙහි එන්නේ ය.
තෙරුවන් සරණයි !.
සදහම් අමා වැස්ස

භක්තිමත් චිත්තයෙන් ගෞරව පෙරදැරි ව බුද්ධාදි උත්තමයන් වහන්සේලාට ගී ගැයුම් ආදියෙන් ස්තුති පිරිනැමීම ස්තුති පූජාව ය.
රත්නත්‍ර‍යට ස්තුති වශයෙන් ගුණ කථනය කරන්නහුට එයින් වචනයක් පාසා පින් සිදු වේ. බොහෝ වචන ඇති වන්දනාවක් කියුව හොත් බොහෝ පින් සිදු වේ. ම් කාහට වුවත් වියදමක් නැති ව කළ හැකි උතුම් පින් කමෙකි.
වචන ස්වල්පයකින් කරන ස්තුති පූජාවෙන් ලැබෙන පිනට වඩා බොහෝ වචන, බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් වූ පිනක් අත්පත් වේ. ස්තුති ගීතිකා, ස්තුති වාක්‍ය වූ වන්දනා ගාථා සහ වන්දනා වාක්‍යයන් හැකි පමණ උගෙන ඒවා කියා වැඳීමෙන් වඩ වඩා පින් සිදු වේ.
මහ රහතන් වහන්සේලා අතුරෙන් කෙනකු වූ “සෝභිත” ස්ථවිරයන් වහන්සේ සුමේධ බුදුන් වහන්සේ ගේ කායේ දී එක්තරා තවුසකුව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා සයකින් උන් වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේධ බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුසස් මෙසේ ප්‍ර‍කාශ කළ සේක.
යමෙක් සිය සිතින් පහන් වූයේ මාගේ ඤාණයට ප්‍ර‍ශංසා කළේ ද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි. කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව්.
1.මේ තෙමේ සත් සැත්තෑවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුටු වන්නේ ය. දේවරාජ වූයේ දහස් වරෙක දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
2.නොයෙක් සිය ගණන් වාරවල චක්‍ර‍වර්ති රජවන්නේ ය. ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලබන්නේ ය.
3.හෙතෙමේ දෙවි වූයේ ද මිනිස් වූයේ ද පින් කරන්නා වූ නො අඩු කල්පනා ඇත්තා වූ තියුණු නුවණැතියෙක් වන්නේ ය.
4.කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් “ගෞතම” නම් වූ ශාස්තෘ වරයෙක් ලෝකයෙහි උපදින්නේ ය.
5.ඒ සස්නෙහි මේ තෙමේ ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. ඉපදීමෙන් සත් අවුරුදු වයසේ ම අර්හත්වයට පැමිණෙන්නේ ය
ආයුෂ්මත් “අධිමුත්ත” මහා රහතන් වහන්සේ ද පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී පැවිදි වසන සේක්, බික්සඟන පිරිවරා මඟ වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා “සමුද්ධරංසි මං ලොකං” යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේ ද මොහු අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මතුයෙහි “ගෞතම” බුදුන්ගේ සස්නෙහි පැවිදිව ෂඩභිඥා ඇති රහත් කෙනෙක් වන්නේ යයි වදාළ සේක.
පෙර බුදුවරයන් ගේ සසුන්වල ද මේ පූජාව පැවති බව අපදාන පාළියෙන් පෙනේ.වියදමක් නැතිව කළ හැකි මේ පින්කම සකළ සම්පත් ලබා දෙන මහඟු පින්කමකි.