පහන් පූජාවේ අනුසස්

“දීපදෝ හොති චක්ඛුදො ” යනුවෙන් පහන් දෙන,පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයාණන් වහන්සේ වදාළ සේක.ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි . එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකි ය.ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේ ය. පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි . උපනූපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත් මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි .

Most Ven.Renukane Chandawimala Thero අතිපූජ්‍ය රේනුකානේ චන්දවිමල හිමි

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂ්යයෙක් ව සිට බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහදන් දී අවසාන දිනයෙහි පිරිවර සහිත තථාගතයාණන් වහන්සේට වටිනා වස්ත්ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ ” දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදෑ ” යි ඇසීය. ” උපාසකය , එය සඳහා ප්රදීපදානය දෙන්නට වටනේය ” යි සංඝයා වහන්සේ වදාළහ .ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය.ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙම කාශ්යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කශ්යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්යය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්යය වටා සර්ව රාත්රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කෙළේ ය.
– පුණ්යෝපදේශය
රේරුකානේ චන්දවිමල මහනාහිමි

පහන් පිදීමෙහි අනුසස් පවසන අනුරුද්ධ ථෙරාපදානය

සුමේධ සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපන් මෙතුමන් පැහැදුණු සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේට පහනක් පුදා ඇත.ගෞතම බුදු සසුනෙහි දිවැස් ලාභීන් අතර අගතැන් ලැබීමට හේතු වී ඇත්තේ එම කුශලය යි.මෙතැන් සිට අනුරුද්ධ ථෙර චරිතාපදානය විමසා බලමු.
“මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ සියලු මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාට නායක වු විවේකීව වැඩ වාසය කරන්නා වූ සුමේධ නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. මම එසේ විවේකීව වැඩ සිටියා වු භාග්‍යවත් සුමේධ බුදුපියාණන් වහන්සේ වෙත එළඹ දොහොත් මුදුන් දී වැඳ මෙසේ ඇයැදියෙමි. මහා වීරයන් වහන්ස,ලෝක නායකයාණන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, රුක් මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබ වහන්සේට මම පහනක් පුදමි. සියල්ල තමන් වහන්සේම අවබෝධකොට ගත්තාවු වාදින් අතුරින් ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජාණන් වහන්සේ මාගේ පහන් පූජාව ඉවසූහ. එයින් සතුටට පත් වූ මම යන්ත්‍රයක් යොදා ගස්, පොතු වලින් සකසා ගත් පහන් වැටි සියයක් පිදුවෙමි. මා විසින් පුදන ලද ඒ පහන් නො නිවී සතියක් එක දිගට දැල්වී ය.
එයින් ඇති වූ සිතේ සතුටින්ද සිත්හි වූ ප්‍රාර්ථනයෙන්ද මම මිනිස් සිරුර අතහැර දෙවි විමනක ඉපදුනෙමි. දෙව්ලොව උපන් මට මැනවින් නිර්මිත වූ විමානයක් විය. එය හාත්පසින් දිලිසෙයි. ඒ පහන් පූජාවේ අනුසස් ය. එකල්හි මාගේ හාත්පස යොදුන් සියයක් බබළයි. සියලු දෙවියන් අභිභවා සිටියෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. දෙව්ලොව අධිපති වූ සක්දෙවි රජව කල්ප තිහක් දිව්‍ය රාජ්‍ය කළෙමි. ඒ කාලය තුළ කිසිවෙක් මා ඉක්මවා නොගියහ. හෙවත් මට අවසන් නොකළහ. මේ පහන් පූජාවේ අනුසස්ය. මම විසි අට වරක් සක්විති රජ වුණෙමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙකම එකලෙස ආලෝකයෙන් දුටුවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය.”
“ඤාණය නමැති ඇසින් මා දසදහසක් සක්වළ (ලෝක) දකිමි, ගෞතම සර්වඥ ශාසනයෙහි පැවිදිව දිවැස ලැබූවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය. ඒ භාග්‍යවතුන් වහන්සේට මම පැහැදුණු සිතින් පහනක් පිදුවෙමි. එහි අනුසස් මම විසින් පෙර සඳහන් කරන ලද පරිදි බොහෝ සෙයින් වින්දෙමි. අවසන් අත්බවෙහි ගෞතම බුදු සසුනෙහි ඉපිද මහණව දිවැස් ලැබුවෙමි.”
“මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද අෂ්ටවීමෝක්ෂයෝද ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි “