Nadun Rajamaha Viharaya Kirella නැදුන් රජමහ විහාරය කිරිඇල්ල

Nadun Rajamaha Viharaya Kirella නැදුන් රජමහ විහාරය කිරිඇල්ල

නැදුන් රජ මහා විහාරය – කිරිඇල්ල
සබරගමු පලාතේ පිහිටා ඇති ප්රධාන මල්වතු මහා විහාර පාර්ශවයට අයත් සියම් මහා නිකායික විහාරස්ථාන පහෙන් එකක් ලෙස ‘කිරිඇල්ලේ නැදුන් රජ මහා විහාරය’ නම් දරා තිබේ. ලක් දිව අවසන් වරට රජ කළ ශ්රි වික්රම රාජසිංහ රජතුමා විසින් සිය ආරාධනය අනුව මුතුවන් අකුරින් ධර්ම ග්රන්ථය ලියා දීම ගැන සතුටට පත්වී එම ග්රන්ථය රචනා කළ උගත් ධර්මධර භික්ෂුන් වහන්සේ නමක් වූ කරඳන දේව රක්ඛිත මහා ස්ථවිරයන් වහන්සේට ව්යංඤජනයට ‘මියනදළු’ කඩා ගැනිම සඳහා ඉඩම් කැබැල්ලක් පූජා කොට ඇත. මෙය අක්කර 12000 ක් පමණ වන නින්ද ගමකි. මෙම භුමි භාගය ආශ්රිත ව ‘නැදුන් රජ මහා විහාරය’ පිහිටා ඇත.
සිරිපා අඩවියෙන් ගලා බසින කළු ගංගා නදියේ සුවබර පහස ලබමින් සැනැසෙන කිරිඇල්ල ගම් ප්රදේශය, කළු ගංගාවෙන් උතුරා යන ජල කඳට යටවන පහත් බිම් සහිත ප්රදේශයකින්ද, සෑම පැත්තකින්ම අහස උසට නැගී වට වී තිබෙන කඳු වළල්ලක් සහිත දර්ශනයන් ගෙන් ද, මෙම විහාර භුමිය අලංකාර වි ඇත. ගං වතුරට ඔරොත්තු දෙන ලෙස නැදුන් ලීයෙන් මෙම විහාරය නිම කර තිබිම සුවිශේෂ කරුණකි. ලංකාවේ විශාල ම හා සුවිශේෂ ලක්ෂණයන්ගෙන් යුත් ඇත්දළ යුගලය ද මෙම විහාරය සතුව ඇත. මෙම ඇත්දළ යුගලයේ උස අඩි 7 අඟල් 7ක් පමණ වේ.
නැදුන් රජමහා විහාරය පිළිබඳ තවත් තොරතුරු
රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ සිට සැතපුම් 6ක් පමණ දුරින් කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම පූජ්ය භූමිය පිළිබඳ ගැඹුරු ඉතිහාසයක් ඇත.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරය සීතාවක පළමුවෙනි රාජසිංහ රජු සමයෙහි සිට ප්රසිද්ධියක් උසුලයි. ක්රි.ව 1581 සිට 1593 වකවානුවේ පළමුවෙනි රාජසිංහ රජු හින්දු ආගම වැලද ගැනීම නිසා මෙම විහාරය ද හුදෙකලා වූ බව පැවසේ.
මෙකල වැඩසිටි උඩකරඳන දේව රක්ඛිත නම් හිමිනමකගේ අත් අකුරු කලාව ගැන පැහැදුණු පළමුවෙනි රාජසිංහ රජු තමන්ට මැදුම් සඟියක් ලියා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පරිදි මැදුම් සඟිය නම් ග්රන්ථය ලියා රජුට පිළිගැන්වීම නිසා සතුටට පත් පළවෙනි රාජසිංහ රජු විසින් අක්කර 8305 පමණ නින්දගමක් දේවරක්ඛිත හිමිට පූජා කොට ඇත. මෙම ලියවිල්ල සබරගමු මහනුවර දිසා ඇමති ලෙස කටයතු කළ අබයකෝන් මුදියන්සේ විසින් රාජ නියෝග මත ලියවා අත්සන් කර දී ඇත. මෙම ලේඛනයට අනුව මෙම දේපල සඳහා උරුමය නැදුන් රජමහා විහාරවාසී භික්ෂූන්ට පමණි.
මෙම විහාරයේ විහාර මන්දිර තුනකි. ඉන් එක් විහාරයක් ටැම්පිට විහාරයකි. එම විහාරය නැදුන් ලීයෙන් තනා ඇත. නැදුන් ලීයෙන් තනා ඇති බුද්ධ ප්රතිමාවක් එහි දක්නට ඇත. එය නැදුන් ලීයෙන් සාදන ලද ආසනයක් මත තැන්පත් කර ඇත. සීතාවක යුගයේ දේව සංකල්පය ඉස්මතු වූ බැවින් සමන්-විශ්ණු දේව පිහිට දක්නට ඇත. විහාරයේ මල් ආසන කිරි ගරුඩ වලින් නිමකර ඇත.
දුටුගැමුණු රජුගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතුගේ ඇත්දළ යුවල මෙම විහාරයේ තැන්පත් කර ඇති බව සැලකේ. පළමු රාජසිංහ රජු විසින් පසුකාලීනව මෙම විහාරයට සැලකිල්ලක් දැක්වූ බව ද හිරිහැරයක් පීඩාවක් නොකළ බවද පැවසේ.
උපුටාගැනීම : කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල.වෙබ් අඩවිය
Dhamma Deepa