මහා කාශ්‍යප ස්ථවිරයන් චරිතය

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාරානන් වහන්සේ ලොව පහළ වී හංසවතී නම් නගරය උපනි:ශ්‍රය කොට වැඩ වෙසෙන කල්හි ඒ නගරයෙහි අසුකෝටීයක් ධනය ඇති වේදේහ නම් කෙළඹියෙක් වාසය කළේ ය.

දිනක් හෙ තෙමේ සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරදුන් වැඳ පුදා එකත් පසෙක වාඩි විය.

එකෙනෙහි තථාගතයන් වහන්සේ ‘එතදග්ගං හික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදනං යදිදං නිසභො’ යි ඒ බුදුසස්නෙහි තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධුතවාදීන් අතරින් අග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක.

උපාසක තෙමේ එය අසා ඉතා ප්‍රසන්නව ධර්‍මදේශනාවසානයේ ජනයා නැගිට ගිය කල්හි පියුමතුරා බුදුරජාණන් වහන්සේ වැඳ හිමියනි, හෙට දින මාගේ ශික්ෂාව ඉවසා වදාරන සේක්වා’ යි සැළ කළේ ය.

‘උපාසකය, භික්ඛුසංඝයා බොහෝ වෙත’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමිනි, භික්ෂුන් වහන්සේලා කොපමණ වන්නාහූ ද? ‘උපාසකය, සැටඅටදහසක් ය’ යි වදාළසේක. ‘ස්වාමිනි, එක් සාමණේර නමකුදු විහාරයෙහි ඉතිරි නොකොට සැමදෙනා වහන්සේ සමඟ මාගේ ශික්ෂාව පිළිගන්වා සේක්වා’ යි උපාසක කීය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. වේදේහ උපාසක තෙමේ තමාගේ ආරාධනාව තථාගතයන් වහන්සේ පිළිගත් බව දැන ගෙට ගොස් මහා දානයක් පිළියල කොට දෙවන දිනයෙහි තථාගතයන් වහන්සේට කාලය සැලකර යැවූයේ ය.

තථාගතයන් වහන්සේ මහත්වූ බික්සඟන හා ඔහුගේ නිවසට වැඩ වදාරා පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. බික්සඟන ද වැඩ සිටි සේක. උපාසක ද බුදුරදුන් සමිපයෙහි හුන්නේ ය.

ඒ අතර මහානිසඟ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන්නාහු ඒ විදියට පැමිණිය හ. උපාසක තෙමේ උන්වහන්සේ දැක නැගිට ගොස් තෙරුන් වහන්සේ වැඳ ‘ස්වාමිනි, ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිති. නුඹ වහන්සේ ද මේ ගෙට වඩිනු මැනව’ යි කීය. ‘උපාසක, නොවටනේ ය’ යි තෙරුන් වහන්සේ කීහ. එකල්හි උපාසක තෙමේ තෙරුන්වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වී ය. ඉක්බිති උපාසකතුමා ගෙට පිවිස බුදුරදුන් සමිපයෙහි හිඳ ‘ස්වාමිනි, මහානිසඟ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මෙහි වැඩ සිටිතියි කිව ද මේ ගෙට පිවිසෙන්නට නො කැමති වූහ. ස්වාමිනි, කිමෙක් ද? ඒ තෙරුන් වහන්සේ නුඹ වහන්සේට ද වැඩි ගුණ ඇත්තෝ දැ’ යි විචාළේ ය.

බුදුවරුන්ට ගුණමසුරුබවක් නැත. උන්වහන්සේ ගුණැතියන්ගේ ගුණ නො අඩු කොට පවසන්නාහ. එකල්හි බුදුන් වහන්සේ වදාරන සේක්, ‘එසේය උපාසක, අපි වනාහි භික්ෂාව බලාපොරොත්තුවෙන් අනුන්ගේ ගෙවල හිඳින්නෙමු. ඒ භික්ෂුව එසේ නො හිඳින්නේ ය. අපි ග්‍රාමාන්ත සේනාසනයන්හි වෙසෙමුය, ඒ මහණ ආරණ්‍යයෙහි ම වෙසෙන්නේය, අපි පියැසි යට වෙසෙන්නමුය, ඒ මහණ අවකාශයෙහි ම වෙසෙන්නේය’ යි උන්වහන්සේ ගේ ගුණ නො අඩු කොට වදාල සේක.

මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණයෙහි පැහැදී සිටි උපාසකතුමා තථාගතයන් වහන්සේගේ වචනය අසා වඩාත් පැහැදී ‘මට අන් සැපතක් කුමටද? මමද අනාගතයෙහි එක් බුදුසස්නක ධුතවාදීන්ගෙන් අග්‍රවෙමි’ යි සිතා නැවතත් බුදුන් වහන්සේට අරාධනා කොට සත් දිනක්ම මහදන් දී සත්වන දිනයෙහි බුදුපාමොක් මහසඟනට තුන්සිවුරු ද පුදා ශෘස්තෘන් වහන්සේගේ පාමුල වැදහෙව ‘ස්වාමිනි, සත්දිනක් දන්දුන් මම ඒ පිනේන් අන් දිව්‍යසම්පත්තියක් හෝ ශක්‍ර – බ්‍රහ්ම සම්පත්තියක් හෝ නො පතමි. මගේ මේ පුණ්‍යකර්මය අනාගතයේ එක් බුදු කෙනෙකුන් ගේ ශාසනයෙහි මහානිසහ ස්ථවිරයන් වහන්සේ විසින් පත් තැනට පැමිණීමට හේතු වෙවා’ යි පැතී ය.

එකල්හි තථාගතයන් වහන්සේ ‘මේ උපාසක මහත් තනතුරක් පතයි, ඔහුගේ ඒ පැතුම මුදුන් පත් වන්නේ දෝ’ යි අනාගතය බලා වදාරනසේක් සිද්ධ වන බව දැක, උපාසක ඔබ අගනා තනතුරක් පැතුයෙහි ය. අනාගතයෙහි කල්ප අසංඛයකින් ගෞතම නමි බුදු කෙනෙක් පහළ වන්නේ ය. ඔබ මහාකාශ්‍යප යන නමින් ඒ බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ ය’ යි වඳාල සේක. එය අසා උපාසකතෙමේ බුදුරදුන්ගේ ප්‍රකාශනයක් නොවරදින බැවින් කල්පලක්ෂයකින් ලැබෙන තනතුර ගැන සෙට ලැබෙන දෙයක් ගැන සේ ප්‍රිතියට පැමිණියේ ය. හෙතම ඉන් පසුව ද දානාදී බොහෝ පින්කම්කොට මරණින් පසු දෙව්ලොව උපන.

අරහං ගුණයෙන් යුත් පදුමුත්තර බුදුරදුන්ට පුජාසත්කාර කිරීමේ පිනෙන් හෙතෙමේ ඉතා දීර්ඝ කාලයක් දෙව්මිනිස් දෙගතියෙහි අනේකප්‍රකාර සැප සම්පත් ලබා, මෙයින් අනුඑක්වන කප විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළව බන්ධුමතී නගරය උපනි:ශ්‍රාය කොට වැඩ වෙසෙන කල්හි දෙව්ලොවින් ච්‍යුතව එක් පිරිහුණු බමුණු ගෙයක උපන්නේ ය.

එකල්හි විපස්සී බුදුන්වහන්සේ සත් වසරකට වර බැගින් ධර්ම දේශනා පවත් වන සේක. දහම් දෙසන දිනය ළං වන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේහි පතළ කරති. ඒ ආරංචිය පැතිරෙත්ම දහම් ඇසිමට යාම සඳහා මිනිසුන් අතර ඉමහත් කළබලයක් ඇතිවෙයි. ඒ ආරංචිය බ්‍රහ්මණයාට ඇසිණ. ඔහු ඉතා දුප්පතෙකි. ඔහුට හැදිමට තිබුණේ එක් වස්ත්‍රයක් පමණෙකි. ඒ නිසා ඔහුට ඒකශාටක බ්‍රහ්මණය යි ද කියති. ඔහුගේ බිරියට හැදිමට තිබුණේ ද එකම වස්ත්‍රයකි. මේ දෙදෙනාටම පෙරවිමට එක් වස්ත්‍රයක් තිබුණ. එබැවින් ඔවුන් දෙදෙනාට එකවර පිටත යා නො හැකි විය. බමුණා පිටත යන කල්හි බැමිණිය ගෙයි රඳවා ඒ වස්ත්‍රයෙන් කය වසා ගෙන යයි. බැමිණිය යන කල්හි බමුණා ගෙයි රුඳෙයි.

ධර්මදේශනා දිනය පැමිණි කල්හි බමුණා භාර්යාවට කථා කොට ‘සොදුර, තී දහම් ඇසිමට යන්නේ රාත්‍රියේ දී ද නැතහොත් දවාලෙහි දැ’ යි කී ය. ‘හිමියනි, ස්ත්‍රීන්ට රාත්‍රීයෙහි යාම දුෂ්කරය. මම දවල් යමි ය’ යි බමුණා ගෙදර නවතා ඕ තොමෝ ඒ වස්ත්‍රය පොරවා උපාසිකාවන් හා එක්ව දහම් ඇසුමට ගියා ය. ඇය දහම් අසා පැමිණි කල්හි රාත්‍රී කාලයේ බමුණා ඒ වස්ත්‍රයෙන් උඩුකය වසා දහම් ඇසිමට ගියේ ය.

එසමයෙහි විපස්සි බුදුරජාණන් වහන්සේ මහ පිරිස මැද අලංකෘත ධර්මාසන මතුයෙහි වැඩ හිඳ අතිමධුර වු බ්‍රහ්මස්වරයෙන් අසනුවන්ගේ කන්හි මී හෙලන්නාක් මෙන් මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් ඇසුවා වු ඒකශාටක බමුණාට ප්‍රථම යාමයේදීම ඉමහත් ප්‍රිතියක් ඇති විම.

ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රය හකුළා තථාගතයන් වහන්සේට පුදන්නට සිත් විය. එකෙනෙහිම ඔහුට දහසක් ආදිනව දක්වමින් මසුරු බව උපණ.’ අප දෙදෙනාටම පිටතට යන්නට ඇති මේ වස්ත්‍රය දුන්හොත් අපට ගෙයිම සිටින්නට වෙති’ යි ඔහු එය නොපුදන්නට තීරණය කර ගත්තේ ය. මධ්‍යම යාමේ දී ද ඔහුට ශරිරය පවා පිණායන බලවත් ප්‍රිතිය උපණ. එහෙත් ඔහුට වස්ත්‍රය නොදිය හැකි විය. පෙර සේම දීමෙන් වන නොයෙක් අමාරුකම් ගැන සිතා නොදෙන්නට සිතා ගත්තේ ය. පශ්චිම යාමයේ දී ඔහුට මහත් වූ ප්‍රිතිය උපණ. ‘පසු කුමක් වුවත් මේ අත්‍යුත්තම ධර්මයෙන් මා පිනවන මුන්වහන්සේට මේ වස්ත්‍රය පුදමි’ යි වස්ත්‍රය හකුළා ශාස්තෲන් වහන්සේ පාමුල තැබීය. ඔහුට එයින් වඩාත් ප්‍රිතිය ඇති විය. ඒ ප්‍රිතියෙන් අත්පොළසන් දීණ. ‘මා දිනුවා! මා දිනුවා!!! ’ යි ඔහුගේ මුවින් මහ හඩින් ඉබේම කියවිණ.

බන්ධුම රජතුමා ද එහි දහම් අසමින් සිටියේ ය. රජුන්ට මා දිනුවා යන හඬ බිය සැක ඇති කරන්නෙක. එය ඔවුන්ට අප්‍රිය හඩකි. එබැවින් රජතුමා ‘ඔහු කුමක් කියන්නේ දැ’ යි විමසිමට පුරුෂයකු යැවිය. ඒ පුර්ෂයා ගොස් ඇසු කල්හි, ඒකශාටක බ්‍රහ්මණ කියනුයේ ‘අන්‍යයෝ කඩු දුනු ආදිය ගෙන යුධ කොට පරසේනාවන් දිනාගන්නාහ, එය ආශ්චර්‍යයක් නොවේ, මම වනාහි පස්සෙන් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවා දමන්නාක් මෙන් මසුරු සිත මැඩ, පොරවා සිටි සළුව දශබලධාරින් වහන්සේට පිදුවෙමිය, මම ඒ මසුරුකම දිනිමි’ යි කීය.

පුරුෂ තෙමේ රජතුමාට ඒ කරුණ දැන්වීය. එකල්හී රජතුමා ‘තථාගතයන් වහන්සේට පූජාවක් කළ යුතු බව අපට නො තේරුණේය, බමුණාට ඒ බව වැටහුණේය’ යි සතුටු වී ඔහුට සළු යුවලක් යැවීය බ්‍රහ්මණ එය පිළිගෙන ‘මේ රජු කලින් තුෂ්ණීම්භුතව සිටි මට කිසිවක් නොදි බුදුරදුන්ගේ ගුණ කී නිසා මට වස්ත්‍ර දුන්නේ ය. බුදුන්ගේ ගුණ කී නිසා මට මේ වස්ත්‍ර දුන්නේ ය. බුදුන්ගේ ගුණ කීම නිසා ලද මේ වස්ත්‍ර මට කුමට ද? මේවාත් බුදුනටම පුදමි’ යි ඒ වස්ත්‍ර ජෝඩුවද බුදුන්ගේ පාමුල තැබිය.

රජතුමා ‘බ්‍රහ්මණයා කුමක් කළේ දැයි ’ විචාරා ඒ වස්ත්‍ර ද ඔහු බුදුනට පිදුවේ ය යි අසා නැවතත් බමුණාට සළු දෙකක් යැවීය. ඒවාද ඔහු බුදුනට පිදුවේ ය. ඒ බව අසා රජු නැවත ඔහුට සළු සතරක් යැවි ය. ඒවාද ඔහු බුදුනට පිදුවේ ය. යවන වස්ත්‍ර බමුණා විසින් බුදුරදුන්ට පුදත් පුදත්ම රජු ද ඔහුට දෙගුණ දෙගුණ කොට වස්ත්‍ර යැවීය. රජතුමා වස්ත්‍ර දෙතිස දක්වා යැවු කල්හි බ්‍රහ්මණ තෙමේ ‘මෙසේ වස්ත්‍ර පිදිම වැඩි වැඩි කොට ගැනිමක් වැනිය’ යි තමාට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර ගෙන තිසක් බුදුන්ට පිදුවේ ය. එතැන් පටන් ඒකාශාටක බමුණු බුදුරදුන් හා විශ්වාසිකයෙක් විය.

දිනක් ඒකාශ්ටක බ්‍රහ්මණ ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු දැක, රජු තමා පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය පොරවා ගෙන දහම් අසන්නය’ යි කීය. බ්‍රහ්මණ තෙමේ ‘මේ වටනා කම්බිලිය මාගේ මේ කුණුකය වසනවාට වඩා මෙයත් බුදුරදුන්ටම පිදීම යහපතැ’යි සිතා ගඳ කෙළියෙහි තථාගතයන් වහන්සේ සැතපෙන ඇඳමත වියනක් කොට තබා ගියේ ය.

එක් දවසක් රජු විහාරයට ගොස් ගඳකෙළිය තුළ බුදුරදුන් සමිපයෙහි හිඳගෙන සිටියේ ය. තථාගත ශරිරයෙන් නික්මෙන ෂට්වර්ණ රශ්මින් වැදි ඒ කම්බිලිය අතිශයින් බැබලෙමින් තිබිණ. රජු කම්බිලිය දැක හැඳින ‘ස්වාමිනි, මේ අපගේ ය, අප විසින් මෙය ඒකශාටක බ්‍රහ්මණයාට තෑගි කරන ලද්දේ ය’ යි කීය. ‘මහරජ, ඔබ විසින් මේ කම්බිලියෙන් බ්‍රහ්මණයා පුදන ලද්දේ ය, බ්‍රාහ්මණයා විසින් එය අපට පුදනු ලද්දේ ය’ යි වදාළහ.

එකල්හි රජු ‘මේ බ්‍රහ්මණයා යුතුකම් දන්නේ ය, අපි ඔහු මෙන් යුතුකම් නො දනිමුය’ යි ඔහු කෙරෙහි පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජන සැම දෙයකින්ම අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක නම් දානයක් දී පුරෝහිත තනතුර ද දුන්නේ ය.

කලින් කිසිවකුගේ සැළකිල්ලට භාජනය නොවි සිටි ඒ දුප්පත් බමුණා හට මෙතරම් සැළකිලි කරන්නට රජුට සිත වුයේ අරහං ගුණයෙන් යුත් තථාගතයන් වහන්සේට වස්ත්‍ර පුජා කිරිමේ කුශල බලයෙනි. එබදු ගුණ නැති අනිකකුට වස්ත්‍ර සහසක් වස්ත්‍ර දසදහසක් දුන්ද එබදු විපාකයන් නො ලැබෙන්නේ ය.

මහත් සම්පත්තියට පැමිණියා වූ බ්‍රහ්මණ තෙමේ සිව් සැටක් සලාක බත් පිහිටුවා දිනපතා දන් දී තවත් නොයෙකුත් පින්කම් ද කොට ආයු කෙළවර නැවත ද දෙව්ලොව උපන්නේ ය.

සසර සැරිසරන්නා වූ ඒකශාටක බ්‍රාහ්මණ තෙමේ මේ කල්පයෙහි කෝණාගමණ – කාශ්‍යප යන දෙබුදු වරයන් වහන්සේට අතර කාලයේ බරණැස් නුවර කුල ගෙයක උපන්නේ ය. ඔහු එක් දිනක් වනයෙහි ඇවිදිනා වේලෙහි ගංතෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුකෙනෙකුන් නුවාවකට රෙදි මඳ වීමෙන් හකුලා තබන්නට සැරසෙනු දැක, ‘ස්වාමිනි, සිවුර හකුළන්නේ කුමක් නිසා දැ’ යි අසා නුවාවකට රෙදි මදි වීම නිසා බව දැන තමා පොරවා සිටි උතුරු සළුව උන් වහන්සේට පුදා ‘මේ පිනෙන් උපනුපන් භාවයෙහි මට කිසිවකින් අඩුවක් නො වේවා’ යි පැතීය.

එදින ඔහුගේ නිවසේ ඔහුගේ බිරිය හා නැගෙණිය ඔවුනොවුන් කෝලාහල කරමින් ඉන්නා අතර ඒ පසේ බුදුන් වහන්සේ ඔහුගේ නිවස සමීපයට පිඬු සිඟා වැඩි සේක. එකල්හි නැගෙණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනමා ‘මේ නපුරු ගැහැණියගෙන් යොදුන් සියයකින් දුරුවේවා’ යි පැතීය.

ඔහුගේ බිරිය මිදුලේ සිට නැගෙණියගේ ප්‍රාර්ථනාව අසා ‘මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රාමණයාට වළදන්නට නො දෙමි’ යි සිතා පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන පිණ්ඩපාතය විසි කර දමා පාත්‍රයට මඩ පුරවා පසේ බුදුන්ට දුන්නා ය. අනිත් තැනැත්තී, එය දැක ‘මෝඩිය, වුවමනා නම් මට බනින්න, ගසන්න, මෙවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පාත්‍රයේ බත් විසි කොට මඩ දමා දීම යුතු නැතැ’ යි කීවාය.

එකල්හි ඔහුගේ භාර්යාවට නුවණ පහළ විය. ඕ පසේබුදුන් වහන්සේ අතින් පාත්‍රය ගෙන මඩ ඉවත් කොට සොදා පිරිසිදු කොට සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතු මධුර පුරවා මතුයෙහි පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පුජා කොට ‘මේ පිණ්ඩපාතය සේ ම උපනුපන් තැන මාගේ ශරිරය ද අලෝකවත් වේවා’ යි පාර්ථනා කළා ය ඒ අඹුසැමි දෙදෙනා ඉන් පසු ද දිවි ඇති තාක් පින් කොට දෙවුලොව උපන්නෝය.

උපාසක තෙමේ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි බරණැස් නුවර අසු කෙලක් ධනය ඇති සිටුවරයෙකුට පුත්ව උපන්නේය. ඔහුගේ බිරියද ඒ කාලයේ එවැනිම සිටුගෙයක උපන්නේය. වැඩිවිය පැමිණ කල්හි ඕ ඒ සිටුපුත්‍රයාට බිරියක් වශයෙන් ගෙනන ලද්දී ය. ඇයට එතෙක් විපාක නුදුන් පසේබුදුන්ගේ පාත්‍රයට මඩ දැමු පාපය විපාක දෙන්නට විය. සැමියාගේ ගෙට ගිය සැටියේම ඇගේ ශරිරයෙන් පරණ වැසිකිළියක මෙන් දුගඳ නික්මෙන්නට විය. සිටු ගෙය, වැස්ම ඉවත් කළ වැසිකිළියක් මෙන් ගඳ ගසන්නට විය. ‘මේ ගඳ කොයිවුන් එන්නේදැ’ යි ඇසු සිටුපුත්‍රයා හට මේ අලූත් මනාලියගේ ගඳය’ ය කී කල්හී ඔහු මනාලිය ආ යානයෙන් ම ආපසු යැවීය. ඇය නැවත නැවතත් ස්වාමිවරුන්ට පවා දෙන ලදුව සත් තැනකින් ඒ ගඳ නිසා ආපසු එවන ලද්දී ය. සිය නිවසේ ඉන්නා කල්හි ඇයගේ ඒ දුගඳ නැත.

පිනෙන් පව ගෙවීම

එසමයෙහි කාශ්‍යප දශබලධාරීන් වහන්සේ පිරිනිවුණු සේක. උන්වහන්සේගේ ධාතූන් සඳහා රන් ගඩොලින් චෛත්‍යක් කරන්නට පටන් ගත්හ. එකල්හි සිටුදු ‘සත් තැනකින්ම ආපසු එවන ලද මාගේ ජිවිතයෙන් කවර ප්‍රයොජනයක් දැ’ යි සිතා තමාගේ ආභරණ සියල්ලම උණු කරවා ගඩොල් කැටයක් කරවුවාය. ඒ රන්ගඩොලය දිගින් රියනක් හා පළලින් වියතක් පමණ ද විය. ඝන සතරගුලක් විය. ඕ ඒ රන්ගඩොලය හා හිරියල් මනෝසීල බදාම ද මානෙල් මල් මිටි අටක් ද ගෙන චෛත්‍ය කරන තැනට ගියා ය. ඒ වේලාව එක් ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක් ගඩොල් කැටයක් මදි වී සිටි වෙලාව විය. සිටු දුව එහි ගොස් ’ මේ ගඩොලය චෛත්‍යහි තබා බඳින්න යයි චෛත්‍යය බඳින්නාට කීවා ය. මැණීයනි, ඔබ ආයේ හොඳ වෙලාවකය. අප සිටියේ මේ ගඩොල් පෙල සම්පුර්ණ කිරීමට ගඩොලයක් නැතිවිය. ඔබ අතින්ම ඔය ගඩොලය මෙහි තබන්නය’ යි සෑය බඳින්නා කීය. ඕ එහි ගොස් බදාම යොදා ගඩොලය එහි තබා එය මත මානෙල් මල් පුුදා වැඳ ‘මේ පිනෙන් උපනුපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත් මුවෙන් මානෙල් මල් සුවඳත් සුවදත් විහිදේවා’යි පැතුවාය.

එකෙනෙහිම ඇය පළමුවර ගෙන ගිය සිටු පුත්‍රයාහට ඇය සිහි විය. නගරයෙහි නැකැත් කෙලියක් ආරම්භ කරන ලද්දේ ය. සිටු පුත්‍රයා ‘එකල තමාට ගෙන ආ සිටුදු කොහිදැ’ යි යි සේවකයන්ගෙන් විචාළේය. ‘ඇගේ ගෙයිම ඇතය’ යි සේවකයෝ කීහ. නැකත් ක්‍රීඩාව සඳහා ඇය නැවත ද ගෙන එව්’ යයි සිටුපුත්‍රයා කීය. ඔවුන් ඇය වෙත ගොස් වැඳ සිටි කල්හි ‘කුමට ආවහු දැ’ යි ඕ විචාළා ය. සේවකයො ඒ පුවත ඇයට දැන්වුහ. ‘ දරුවෙනි, මාගෙ ආභරණ සියල්ල චෛත්‍යට පුජා කළෙමි. දැන් මට පැළඳ යාමට ආභරණ නැතැය’ ඕ යි කීවාය. සේවකයො ඒ බව සිටුපුත්‍රයාට දැන්වුහ. එකල්හි සිටුපුත්‍රයා ‘පළඳනා ලැබිය හැකිය. ඇය ගෙන එන්නය’ යි කීය. ඔවුහු කුමරිය කැඳවා ගෙන ආහ. ඇය පැමිණී වහාම මුළු ගෙයිම සඳුන් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. සිටුපුත්‍රයා පුදුම වී ‘පෙර මෙහි පැමිණි කල තිගේ සිරුරෙන් කුණුගඳ විහිදුනේය. දැන් තිගේ කයින් සඳුන් සුවඳ නික්මෙන්නේ ය, මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන්නේ ය, මේ ආශ්චර්ය්‍යය කිමෙක් දැ’ යි ඇසීය. ඕ සිදු වු සියල්ල සිටුපුත්‍රයාට කීවාය.

සිටුපුත් මේ බුදු සස්න නෛයර්යාණිකයයි පැහැදී යොදුනක් පමණ වු ස්වර්ණ චෛත්‍යය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන රියනක් පමණ නෙළුම් මල් වලින් සැරසුවේ ය. ඔවුහු ආයු කෙළවර නැවත ද දෙවුලොව උපන්හ.

සිටුපත් දෙවු ලොවෙන් චුතව නැවත බරණැස් නුවුරට යොදුනක් දුරින් පිහිටි ගමක ඇමති පවුලක උපන්නේය. සිටු දූ දෙවුලොවින් චුතව රජ පවුලෙහි දෙටු දුවව උපන්නීය. ඔවුන් වැඩිවිය පැමිණි කල්හි කුමරුගේ ගමෙහි නැකත් කෙළියක් ඇරඹිණ. හෙතෙමේ නැකත් කෙළියට සැරෙසෙනු සඳහා මවගෙන් සළුවක් ඉල්ලීය. ඈ සෝදා පිරිසිදු කළ වස්ත්‍රයක් දුන්නාහ. ‘එය දළය’ යි කියා කුමරු ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති මව් අනික් සළුවක් දුන්නීය. එයද ප්‍රතික්ෂේප කළේය. ඉක්බිති අනිකක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මවු ‘දරුව මේවාට වඩා සියුම් වස්ත්‍ර ලැබීමේ පිනක් අපට නැත ය’ යි කීවා ය. මැණියෙනි, එසේ නම් මම ලැබෙන තැනකට යෙමි’ යි කුමරු කීය. ‘දරුව මම නුඔට අදම බරණැස් නුවර රජකම ලැබෙනවාට කැමැත්තෙමි’ යි මවු කීවා ය. ‘කීවාට මොහු කොහි යන්නේ ද? අතන මෙතැන ඇවිද කොහිවත් සිට මෙහි එනු ඇතැ’ යි මව සිතුවාය.

ඇමති පුත් අතීත කුශලයේ මෙහෙයීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් ගල් පුවරුවට වී හිස වසා පොරවා නිදා ගත්තේ ය. එය බරණැස් රජු කළුරිය කළ සත්වන දිනය විය. අමාත්‍යයයෝ රජුගේ අවසාන කෘත්‍යය සිදු කොට රජ මිදුලේහි රැස්ව ‘අප රජුට ඇත්තේ එක් දුවක් පමණය, පුත්‍රයකු නැත, රජකු නැතිව රාජ්‍යය පැවැත්වීම දුෂ්කරය, ඒ නිසා කෙනෙකු රජ කමට පත්විය යුතුය, රජ වන්නේ කවුරුන් දැ’ යි සාකච්ඡා කළහ. එකල්හි පුරෝහිත බමුණු ‘රජකමට කෙනෙකු තේරීමට කල් නො යැවිය යුතු ය. එයට පිනැතියෙකු සොයනු පිණිස ඵුස්සරථය යවමු’ යයි කීය. සෑම දෙන එයට එකඟ වුහ.

ඉක්බිති ඔවුහු රජුගේ මංගල රථයෙහි ශ්චේතච්ජත්‍රය සහිත පඤ්ව රාජ භාණ්ඩ තබවා, කුමදුවන් අසුන් සිවුදෙනකුන් එහි යොදවා රථයට යන්නට හැර පිටුපසින් තූර්ය්‍යනාද පැවැත්වුහ. රථය නැගෙනහිර දොරටුවෙන් නික්ම මගුල් උයන දෙසට ගමන් කරන්නට විය. ඇතැම්හු ‘පුරුද්ද අනුව අශ්වයෝ උයන දෙසට යති ය’ කියා නවත්තන්නට කථා කළහ. පුරෝහිත බමුණූ එයට ඉඩ නුදුන්නේය. රථය උයනට ගොස් කුමරු ප්‍රදක්ෂිණා කොට නැගීමට පිළියෙලව සිට ගත. පුරෝහිත තේමේ කුමරු ගේ පතුල් විවෘතකර බලා ‘මේ තේමේ දඔදිව පමණක් නොව සතරමහාද්වීපයට වුවද රජකමට සුදුසුය’ යි කියා නැවත නැවත ද තෙවරක් තූර්ය්‍යවාදනය කරවී ය. කුමරු මුහුණු විවෘත කොට බලා මහ පිරිස දැක, ‘කුමට මෙහි අවු දැ’ යි ඇසීය. ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේට රාජ්‍යය පැමිණියේය’ යි පුරෝහිත කීය. ‘රජතුමා කොහිදැ’ යි කුමරු ඇසීය ‘සිවිරජතුමා ස්වර්ගස්ථ විය.’ යි පුරොහිත කීය. ‘කොපමණ කල් ගතවී දැ’ යි කුමරු ඇසීය. ‘සත්දිනැකැ’ යි පුරෝහිත කීය. ‘රජුට දූ පුතුන් නැදැ’යි විචාළේය.’ දේවයන් වහන්ස, දුවක් පමණක් ඇතැ’ ය යි කීය. ‘එසේ නම් රජය කරමි’ යි කුමරු කීය.

පසේබුදුනට උතුරු සළුව පිදීමේ විපාකය මතුවීම

එකල්හි ඒ උයනහිම අභිෂේක මණ්ඩපයක් කොට රාජකුමාරිය සර්වාලංකාරයෙන් සරසා එහි පමුණුවා කුමරුන් රජයෙන් අභිෂේක කෙළේය. අභිෂේකයෙන් පසු කුමරුට හැදීමට ලක්ෂයක් වටිනා සළුවක් එළවුහ. එකල්හි කුමරු ‘මේ කුමක්දැ’ යි ඇසීය. දේවයන් වහන්ස, හැඳීමට සළුවෙකැ’ කීහ. ‘මේ සළුව දළසළුක් නොවේ ද? මෙයට සියුම් සළුවක් නැත්තේ දැ’ යි කුමරු ඇසීය. ‘දේවයන් වහන්ස, මිනිස්ලොව නම් මෙයට වැඩි සියුම් සළු නැතැ’ යි කීහ. ‘නුඔලාගේ රජු පිනැතියෙකු නොවෙති යි සිතිමි, රන් කෙණ්ඩියට පැන් ගෙනෙව්. වස්ත්‍ර ලබන්නෙමි’ යි කුමරු කීය. රන් කෙණ්ඩියට පැන් කුමරුට පිළිගැන්වූහ. කුමරු මුව සෝදා අත් සෝදා අතින් පැන් ගෙන නැගෙනහිර දිගට ඉස්සේය. එකිණෙහිම ඝන පොළොව බිඳ ගෙන කප්රුක් අටක් පැන නැංගේ ය. දකුණු බස්නාහිර උතුරුදිග්වලට ද පැන් ඉස්සේ ය. ඒ දිසාවල ද අට බැගින් කප්රුක් පැන නැංගේ ය. ඉක්බිති ඔහු එක් දිය සළුවක් හැඳ එකක් පොරවා මින් පසු ‘නන්ද රජුගේ රාජ්‍යයෙහි නූල් කටිනා ස්ත්‍රීහු නූල් නො කටිත්වා යි බෙර හසුරුවව්’ ය කියා සේසත් නංවා අලංකාරයෙන් සැරසී ඇතු පිටින් නුවරට ගොස් රජගෙට පිවිස මහත් සම්පත්තියකින් විසුවේ ය. ඒ පසේ බුදුනට උතුරු සළුව පිදීමේ විපාකය ය.

නන්ද රජතුමා මහා සම්පත්තියෙන් වැජඹෙන කල්හි එක් දිනක් දේවිය සම්පත් වළඳමින්ම කල් යවන එතුමා ගැන කණගාටු වන ආකාරයක් දැක්වුවාය. ‘දේවියෙනි මේ කිමෙක්දැයි’ රජු ඇසු කල්හි දේවිය ‘දේවයන් වහන්ස, අතීතයෙහි පින් කළ නිසා දැන් ඔබගේ සම්පත්තිය ඉතා මහත් ය. ඔබ වහන්සේ අනාගතය පිණිස කිසි පින්කමක් නො කරන්නාහු ’ යි කීවාය. එකල්හි රජතුමා ‘දේවියනි, කාහට දන් දෙමි ද සිල්වත්හු නැතැයි කීය. ‘දේවයන් වහන්ස මේ දඹදිව රහතුන්ගේ හිස් නැත. නුඹ වහන්සේ දානය පිළියෙල කරනු මැනවි. මම රහතුන් වහන්සේ සොයා දෙමි’ යි දේවිය කීවා ය. පසු දින රජතුමා ප්‍රාචීනද්වාරයෙහි දන් පිළියෙළ කරවී ය. දේවිය උදෑසන සිල් ඉටා ප්‍රසාදයේ උඩුමහල් තලයෙහි නැගෙනහිර දිගට හිස ලා බිම දිගා වී නමස්කාර කොට මේ දිසාවෙහි රහතුන් වහන්සේ වෙසෙන සේක් නම් සෙට මෙහි වැඩ වදාරා අපගේ භික්ෂාව පිළිගන්නා සේක්වා’ යි ආරාධනා කළා ය. එදිග රහතන් වහන්සේ නො වුහ. පිළියෙළ කළ සත්කාර දුගියන්ට හා යාචකයන්ට දුන්හ .පසු දින දකුණු දොරටුවෙහි දන් පිළියෙළ කොට එසේ කළාය. එදින රහත් හු නො පැමිණියහ. තෙවන දිනයේ බස්නාහිර දොරටුවෙහි දන් පිළියෙළ කර ආරාධනා කළා ය. රහත්හු නොපැමිණියහ. සිවුවන දිනයෙහි උතුරු දොරටුවෙහි දන් පිළියෙල කර ආරාධනා කළ කල්හි හිමාලයෙහි වෙසෙන පදුමවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගේ වැඩිමහලූ මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී සහෝදර පසේ බුදුවරුන් අමතා ‘නන්ද රජු ඔබ සැමදෙනා වහන්සේට ආරාධනා කරන්නේ ය. ඔහුගේ ආරාධනාව ඉවසන්න’ය යි වදාළහ. උන්වහන්සේලා ආරාධනාව ඉවසා පසු දින අනෝතත් විලෙහි මුව සෝදා අහසින් වැඩම කොට උත්තරද්වාරය සමීපයේදී පොළොවට බැස වදාළහ. මිනිසුන් රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, පන්සියයක් පසේබුදුවරු වැඩම කළහ’ යි රජුට කීහ.

රජතුමා දේවිය සමඟ එහි ගොස් වැඳ පසේබුදුවරුන් ප්‍රසාදයට වැඩම කරවා උන්වහන්සේලාට දන් දී අවසානයෙහි තමන් ජීවත් වන තාක් එහිම වැඩ වෙන ලෙස පසේබුදුවරුන්ට ආරාධනා කොට උන් වහන්සේලා ආරාධනාව පිළිගත් කල්හි උයනෙහි උන්වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පසේ බුදුවරුන් එහි වාසය කරවුහ.

රජයුවල දිනපතා පසේබුදුවරුන්ට උපස්ථාන කළහ. දීර්ඝකාලයක් ගත වීමෙන් පසු ඒ රජුගේ රටහි ප්‍රත්‍යන්ත ජනපදයක කැළඹිමක් ඇති විය. රජතුමාට එය සන්සිඳවන්නට යන්නට සිදු විය. රජතුමා ඒ බව දේවියට දන්වා අප්‍රමාදව පසේ බුදුවරුන්ට උපස්ථාන කරන ලෙස අවවාද කොට එහි ගියේය.

පසේ බුදුවරුන් පිරිනිවීම

රජතුමා ගිය තැන් පටන් දේවිය පසේ බුදුවරුන්ට සිරිත් පරිදි උපස්ථාන කළා ය. එතුමා ප්‍රත්‍යන්තය සන්සිඳවා පෙරළා පැමිණිමට කලින් පසේබුදුවරුන්ගේ ආයු ගෙවිණ. මහාපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රීයක් මුළුල්ලේහි ධ්‍යානසුඛයෙන් කල්යවා අරුණෝද්ගමනයේ දී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තු වී සිට ගෙනම පිරිනිවියහ. සෙසු පසේබුදුවරු ද එදින ඒ වේලාවෙහි පිරිනිවියාහූ ය.

දේවිය පසුදින පසේ බුදුවරුන් වළදන තැන ගොම ගාවා මල්විසිරුවා සුවඳ දුම් දී දන් පිළියෙල කරවා උන්වහන්සේලාගේ පැමිණිම බලාපොරොත්තුවෙන් සිටියා ය. පසේ බුදුහු නොපැමිණියා ය. බොහෝ වේලා බලා සිට ද පසේ බුදුවරුන් නො පැමිණෙන කල්හි ‘ආර්‍යයන් වහන්සේලා යම් කිසි අපහසුතාවයක් වී ඇති දැ යි බලා ගෙන එව’යි කියා පුරුෂයකු යැවිය. ඔහු ගොස් මහාපදුම පසේබුදුන් වහන්සේ වෙසෙන පන්සලෙහි දොර හැර බලා උන්වහන්සේ එහි නොදැක සක්මණෙහි බැලු කල්හි හේත්තු වී සිටිනු දැක සමිපයට ගොස් ‘ස්වාමිනි, රජ ගෙදරට වැඩමවීමට කාලය’ යි කීයේ ය. පසේබුදුන් වහන්සේගෙන් පිළිතුරන් නො ලත් කල්හි නිදා සිටිති යි සිතා උන්වහන්සේ ගේ පිටිපතුල අතගෑවේ ය. පිටිපතුල සිසිල්ව තදව තුබුණෙන් පිරිනිවි බව දැන දෙවන පසේ බුදුන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේ ද පිරිනිවි බව දැන තුන්වන පසේබුදුන් වහන්සේ වෙත ගියේ ය. මෙසේ ගොස් බලා සැමදෙනා වහන්සේම පිරිනිවි ඇතිබව දැන වහා රජ ගෙට ගොස් ඒ බව දේවියට දැන්වී ය. දේවිය හඬමින් නුවරුන් හා එහි ගොස් පසේ බුදුවරුන්ගේ සිරුරු අදාහන කරවා ධාතුන් ගෙන් චෛත්‍යක් කරවී ය.

රජු පැවිදිවිම

රජතුමා පසල්දනව්ව සන්සිඳවා පෙරලා එනුයේ පෙර ගමන් කළ දේවියගෙන් පසේබුදුවරුන්ගේ සුවදුක් විචාළේ ය. ‘දේවයන් වහන්ස, පසේබුදුවරයෝ පිරිනිවන් පා වදාළහ’ යි කීවා ය. එකල්හි රජතුමා ‘මෙතරම් පණ්ඩිත පසේබුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපට ඉන් මිදිමක් කොයින් දැ’යි සිතා නැවත නගරයට නො ගොස්ම උයනට ගොස් දෙටු පුතා ගෙන්වා ඔහුට රජය භාර කොට තෙමේ එහිම පැවිදි විය. ‘දේවිය ද මොහු පැවිදි වු කල්හි මම කුමක් කෙරෙම් දැ’ යි සිතා ඕ ද පැවිදි වුවා ය. ඔවුන් දෙදෙනා ධ්‍යාන භාවනා කොට ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නෝ ය.

නැවත මිනිස් ලොව ඉපදීම

ඔවුන් බ්‍රහ්ම ලෝකයේ වෙසෙන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා ක්‍රමයෙන් රජගහ නුවරට වැඩ වදාළ සේක. එකල්හි රජු බඹලොවින් ච්‍යුතව මගධරට මහාතීර්ථ නම් බ්‍රහ්මණ ග්‍රාමයෙහි උපන්නේ ය. ඔහු පිප්ඵලිමාණව නම් විය. දේවිය මදුරට සාගල නගරයේ කෝසියගොත්ත නම් බ්‍රහ්මණයාගේ අගමෙහෙසුන් කුස උපන්නා ය. ඕ බද්දකාපිළානි නම් වූවාය.

පිප්ඵලිමානව විසි අවුරුදු වයසටත් බද්දකාපිලානි සොලෙස් අවුරුදු වයසටත් පැමිණි කල්හි පිප්ඵලීමාණවගේ මාපියෝ ‘දරුව, දැන් ඔබ වැඩිවිය පැමිණ සිටින්නෙහි ය, කුලපරම්පරාව ඉදිරියටත් පැවැත්විය යුතු ය. ඔබට දැන් කුලකුමාරිකාවක් සරණ කර දීමට කාලය පැමිණ ඇතැ’යි කීය. පිප්ඵලිමාණව තෙමේ ‘මෑණියනි, පියාණෙනි, මට එබන්දක් නොකියනු මැනව, මම ඔබ දෙදෙනා ජිවත් වන තුරු ඔබ දෙපලට උපස්ථාන කර ඉන් පසු පැවිදි වන්නෙමි’යි කීහ. ඔවුහූ දින කිහිපයක් ඉක්ම ගිය පසු නැවතද ඒ යෝජනාව කළහ. ඔහු ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු මව ඔහුට එය ගැන නිතර කියන්නට වූවා ය.

පිප්ඵලිමාණව තෙමේ උපායකින් මවුගෙන් ගැලවෙන්නට සිතා රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ශෝභන ස්ත්‍රී රූපයක් කරවා එය මැනවින් ඔප ලවා වස්ත්‍ර හඳවා නානාලංකාරයෙන් සරසවා මවු කැඳවා ඇයට රන්රුව දක්වා ‘මැණියනි, මෙබඳු කතක් ලද හොත් ගෙයි වෙසෙමි, නො ලද හොත් නො වෙසෙමි’යි කීය.

බැමිණිය පණ්ඩිත බැවින් අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක, මොහු හා එක්ව පින් කළ කතක් ද සිටිය හැකි ය, ඇති නම් ඈ මේ රන්රුව සේම ශෝභන කාන්තාවක් විය හැකි ය. ඇය සෙවිය යුතුය’ යි සිතා බමුණන් අට දෙනෙකු කැඳවා ඔවුනට සංග්‍රහ කොට රන්රුව රථයක තබා මේ රූපයට සමාන රූ ඇති කාන්තාවක් අපට සෑහෙන පවුලකට දුටුහොත් එතැනට අත්තිකාරමයක් වශයෙන් මේ රූපය දී එත්වා’ යි කියා කාන්තාවක් සෙවිමට බමුණන් පිටත් කර යැව්වා ය.

‘බමුණෝ කොහි යම්දෝ ’ යි සිතන්නාහු ‘මදු රට ලස්සන කතුන් උපදනා රටෙක, අපි පළමු කොට එහි යමු’යි සිතා එහි ගොස් සාගල පුරයට ඇතුළු වූහ. ඔවුහු එහි දී ගෙන ගිය රන්රුව එක් නානතොටක තබා සැඟවී බලා සිටියහ. එදවස භද්‍රාකාපිලානීගේ කිරි මව ඇය නහවා සරසා සිරියහන්ගැබ හිදුවා තොමෝ නෑමට එන්නී රනිරුව දැක ‘භද්‍රා ය’ යි සිතා කිපි ‘මේ අවිනීත කෙල්ල කුමට මෙහි ඇවිත් ඉන්නී දැ’ යි තර්ජනය කොට කන්මුලට අතුල්පහරක් දිණ. ඇගේ අත්ල කලූ ගලකට ගැසු කලෙක මෙන් පුපුරු ගැසුවේ ය. ඕ පස්සට පැන ‘මේ රළු මහ බෙල්ලක් ඇත්තියට ස්වාමිදුව යි රැවටුණෙමි ය, මෑ අප ස්වාමිදුවට වස්ත්‍ර දිමටවත් නුසුදුසුය’ යි කීවා ය. එය ඇසු බමුණෝ ඇය වටා සිට ‘තිගේ ස්වාමි දුව එසේ ම දැ’යි ඇසුවෝ ය. ‘මැගේ කිනම් ලස්සනක් ද මගේ ස්වාමිදුව මැයට වඩා සියගුණයකින් දහස් ගුණයකින් ලස්සනය, ඈ දොළොස් රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් වුවමනා නැත’ය යි ඈ කීවාය. ‘එසේ නම් අපි එහි යමු’ය යි රන්රුව රථයෙහි තබා ගෙන ඇය හා ගොස් කෝශිය ගෝත්‍ර බ්‍රහ්මණයාගේ ගෘහද්වාරයෙහි සිට තමන්ගේ පැමිණිම දන්වා යැවූහ.

බ්‍රහ්මණයා ඔවුන් පිළිගෙන පිළිසඳර කොට ‘කොහි සිට අවුදැ’යි විචාරා ‘මගධරට මාතොට නම් ගම කපිල බ්‍රහ්මණයාගේ නිවසෙන් ය’ යි කී කල්හි ආ කරුණ විචාළේ ය. ඔවුහූ තමන් ආ කරුණ බමුණාට දැන්වූහ. එකල්හි බමුණා ‘යහපත දරුවනි, ඒ බ්‍රහ්මණ පවුල අප හා සමාන ජාති ගෝත්‍ර සම්පත් ඇති තැනක , දැරිය දෙන්නෙමි’ යි කියා ඔවුන් ගෙන ගිය පඬුරු පිළිගත්තේ ය. දැරියක් සෙවිමට ගිය බමුණෝ සුදුසු දැරියක් ලද බව කපිල බ්‍රහ්මණායාට දැන්වූහ. මාපියෝ දැරියක් ලද බව පිප්ඵලීමාණවට දැන්වූහ.

එකල්හි පිප්ඵලි මාණවක තෙමේ ‘මම එබඳු දැරියක් නොලබති යි සිතීමි. ලදුම්හ යි මොහු කියති, මෙය නවතාලීමට ඒ දැරියට රහසින් හස්නක් යවමි’ යි සිතා ‘භද්‍රාවෙනි, මාගේ බලාපෙරොත්තුව ගිහිව විසිමට නොව පැවිදි වීමට ය. ඒ නිසා මෙහි ඇවිත් අමාරුවට පත් නොවි තමාට සුදුසු සැමියකු ලබා ගන්න ය’යි රහසින් හසුනක් ලීවේ ය. භද්‍රා කුමරිය ද තමා සැමියකුට පාවා දෙන්නට යන බව අසා පිප්ඵලිමාණවට රහසින් හසුනක් ලීවා ය. එය ලීවේ තමා පැවිදි වන බලාපෙරොත්තුවෙන් සිටින නිසා පිප්ඵලි මාණවකහට අන් බිරියක් සොයාගත යුතු බව දැන්වීම සඳහා ය. ඔවුන් දෙදෙනාගේම හසුන් සේවකයන් අත යැවූහ. අතරමගදී එක් තැනකදී ඒ හසුන් දෙකම වැඩිහිටියන්ට හසු විය. ඔවුන් ඒවා බලා ඉරා දාමා අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදෙනාටම යැවූහ. වැඩිහිටියන්ගේ වුවමනාව අනුව කැමැත්ත නැති ඔවුන් දෙදෙනාගේ ම සමාගමය සිදු විය.

එදින පිප්ඵලීද මල් දමක් ගොතවා ගත්තේ ය. භද්‍රා ද මල් දමක් ගොතවා ගත්තාය. රාත්‍රී භෝජනයෙන් පසු සැතපීමට ගිය ඔවුහු යහන මැද මල්දම් තබා ‘යමෙකුගේ පැත්තේ මල් දම් මලානික වුවහොත් ඔහුට රාගසිත ඇති වූ බව දත යුතුය’ කියා එකිනෙකාගේ කයෙහි නො ගැටෙන සේ ඉතා පරිස්සමෙන් නිදි නො ලබා රාත්‍රීය ගත කළෝය. එක යහනෙහි ඔවුනොවුන් නොගැටී ශයනය කරන්නා වු ඔවුහු දවල් කාලයේ ද ඔවුනොවුන් මුහුණ බලා රාග සිතින් සිනාසීමකුදු නො කරන්නා හ.

ඔවුහු මාපියන් ජිවත්වනතාක් ධනපරිහරණයෙන් ද තොරව විසුහ. මාපියන් ඇවෑමෙන් ඔවුනට එය කරන්නට සිදු විය. පිප්ඵලි මාණවකට සත් අසූකෝටියක් ධනය හිමිව තිබිණි. ඔහුගේ කර්‍මාන්ත ප්‍රදේශය දොළොස් යොදුනක් විය. ඔහුට යන්ත්‍ර යෙදු වැව් සැටක් විය, අනුරාධපුරය පමණ ඇති ගම් තුදුසක් විය. ඔහුට ඇත් ඇණි තුදුසක් ද, අස් ඇණි තුදුසක් ද, රිය ඇණි තුදුසක් ද වූහ.

දිනක් ඔහු සරසන ලද රථයකට නැගී ජනයා විසින් පිරිවරන ලදුව කර්මාන්තයන් බලා ඇවිදින්නේ සීසෑ තැන්වලින් පණුවන් මතුකොට කාකාදීන් විසින් කනු දැක, ‘මොවුහු කුමක් කත් දැ’ යි අසා ‘අර්ය්‍ය, පණුවන් කති’යි කී කල්හි ‘මොවුන් කරන මේ පව හිමිවන්නේ කාට දැ’යි ඇසීය. ‘අර්ය්‍යයෙනී, ඒ පාපය හිමිවන්නේ ඔබටය’ යි ජනයෝ කීහ. එකල්හි පිප්ඵලි මානවක තෙමේ ‘මේ පාපය වන්නේ මට නම් මේ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක් ද? මේ සියල්ල භද්‍රාවට දී පැවිදි වන්නෙමි’ යි සිතා ගත්තේ ය.

එදින භද්‍රා ද ඇතුළු මිදුලෙහි තලසැළි තුනක් වනා කිරිමවුන් හා සිටින්නී කවුඩන් විසින් තල පණුවන් කනු දැක ‘මොවුන් කුමක් කත් දැ’ යි අසා ‘තල පණුවන් ය’ යි කී කල්හි ‘මෙහි පාපය වන්නේ කවරකුට දැ’ යි ඇසිය. කිරිමවුහු ‘ඔබට ය’යි කිවූය. ‘මෙතෙක් සතුන් කරන පාපය හිමිවන්නේ මට නම් ජාති දහසකිනුදු මට සංසාරයෙන් ගොඩ නැගෙන්නට නො පිළිවන්නේ ය, මේ ධන පරිහරණයෙන් මට ඇති යහපතක් නැත. මට වුවමනා සතර රියන් වස්ත්‍රයක් හා බත් නැළියකි. සැමියා පැමිණි කල්හි සියල්ල ඔහුට භාර දී පැවිදි වන්නෙමි’ යි භද්‍රා සිතුවා ය.

භද්‍රා හා පිප්ඵලි මානවක පැවිදිවීම

මානවක අවුත් ස්නානය කොට ප්‍රාසාදයට නැග මහඟු පලඟෙහි හිඳ ගත්තේය. ඔහුට චක්‍රවර්ති රජුගේ භෝජනය බඳු සුමිහිරි බොජුනක් එළවුහ. දෙදෙනාම ආහාර ගෙන සේවකයන් බැහැර වූ කල්හි විවේක ස්ථානයක අසුන් ගත්හ. මානවක තෙමේ බිරිඳ අමතා ’ සොඳුර, ඔබ මේ ගෙට එන කල්හි කොතෙක් ධනය ගෙන ආවෙහි දැ’ යි කීය. ‘හිමියෙනි, ගැල් පනස් පන් දහසකැ’ යි භද්‍රා කිවා ය. ‘ඒ සියල්ලත් මේ ගෙයි ඇති සත් අසු කෝටියක් ධනයත් සියළු ගම් බිමුත් ඔබටම පවරමි’ යි මානව කීය. ‘ඔබ කොහි යන්නට දැ’ යි භද්‍රා ඇසුවා ය.’ මම පැවිදි වන්නෙමි’ යි මානවක කීය. එකල්හි භද්‍රා කියන්නී ‘මමත් පැවිදි විමේ බලාපොරොත්තුවෙන් ඔබ පැමිණෙන තුරු සිටියෙමි’ යි කීවා ය.

ඔවුනට භවත්‍රය ගිනිගත් ගෙයක් සේ වැටහිණ. ඔව්හු වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍ර ගෙන්වා ගෙන ඔවුනොවුන්ම හිසකේ ඉවත් කර ගෙන ‘ලෝකයෙහි යම් රහත් කෙනෙක් වෙත්නම් අපගේ පැවිද්ද ඔවුන් උදෙසා ය’යි කහවත් හැඳ පොරවා කරෙහි පාත්‍ර එල්වා ප්‍රාසාදයෙන් බැස ගියෝ ය. ගෙයි විසු කිසිවෙක් ඔවුන් නො හැදින ගත්හ. ඔවුන් බමුණු ගමින් නික්ම දාසකර්මකාර ග්‍රාමද්වාර වලින් යන කල්හි එහි වැස්සෝ හැඳින ගත්හ. ඔවුන් හඩමින් පාමුල වැඳ වැටී ‘අප කුමට අනාථ කළෝ දැ’ යි කිවූහ. ‘දරුවනි, අපි භවත්‍රය ගිනිගත් ගෙයක් සේ පෙනී පැවිදි විමු. තොප එකිනෙකා නිදහස් කරන්නට ගියහොත් සියක් අවුරුද්දක් ද මඳවන්නේ ය. දැන් තොපි ම තොපගේ හිස් සෝදා ගෙන නිදහස් මිනිසුන් වශයෙන් ජිවත් වවු ’ ය යි කියා ඔවුන් හඩද්දි ම තාපස යුවළ නික්ම ගියහ.

පිප්ඵලි මාණවකහට පැවිදි වීමෙන් පසු ව්‍යවහාර වී ඇත්තේ කාශ්‍යප යන නාමය ය. මඟට පිළිපන් තාපසතුමා සිතනුයේ ‘මා පසුපස මුළු දඹදිව පමණ වටිනා ස්ත්‍රීරත්නයක් එන්නී ය. මෙසේ යන අප දන්නා සමහරුන් ‘පැවිදිවිත් මොහුනට වෙන් විය නොහැකැයි සිතනු ඇත. පැවිදි වී මොහු අකටයුත්තක් කෙරෙතියි අප කෙරෙහි සිත් දූෂ්‍යකර ගෙන ඇතමුන් අපායට ද යනු ඇත. එබැවින් මා විසින් මැය හැර යා යුතුය’ යි සිතී ය.

අඹුසැමියන් වෙන්වීම

ස්ථවිරතුමා යනුයේ දෙමන්සලකට පැමිණ එහි නැවතිණ. භද්‍රා ද පැමිණ ස්ථවිරයන් වැඳ සිටියා ය. එකල්හි ස්ථවිරතුමා කියනුයේ ‘සොදුර, තී වැනි ශෝභන ස්ත්‍රීයක් මා පස්සේ එනු දක්නා බොහෝ ජනයෝ ‘පැවිදි වීත් මොවුනට වෙන් විය නොහෙති’යි අප කෙරෙහි සිත් දූෂ්‍ය කර ගෙන අපායට යන්නාහ. එබැවින් මේ දෙමඟින් තී එක් මඟක් ගනුව, මම අනික් මඟ ගනිමි’ යි කීය.

එකල්හි භද්‍රා කාපිළානි කියන්නී ‘එසේ ය ආර්ය්‍යන් වහන්ස, මාගම පැවිද්දන්ට කිලූටෙක, මොවුහු පැවිදිවීත් වෙන් නොවෙති යි දොස් දකිති. නුඹ වහන්සේ එක් මඟක් ගනු මැනව, අප වෙන්වෙන්නෙමු’ යි තුන්යලක් තෙරුන් වහන්සේ පැදකුණු කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නැඟට ඇඳිලි බැඳ ‘කල්ප ලක්ෂයක් පැවති මිත්‍රසන්ථවය අද කෙළවර වන්නේ ය. ඔබ දකුණෙන් ඉන්නා ජාතියේ ය. මම වමින් ඉන්නා ජාතියේ ය. එබැවින් නුඹ වහන්සේට දකුණු මඟ සුදුසු ය. අපට වම් මඟ සුදුසුය’ යි කියා වම් මඟට පිළිපන්නීය. පින්වතුන් දෙදෙනා වෙන් වෙන කල්හි මහ පොළොව ගුගුරමින් කම්පා විය. අහස ගිගුරුවේ ය. සක්වළගල මහ හඬ නැංවී ය.

බුදුරදුන් පෙර ගමන් කිරිම

මහා කාරුණික වු භග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩ වෙසෙන සේක් පොළොව සැලෙන හඬ ඇසී කවරකු නිසා පොළොව කම්පා වේදැ’ යි බලන සේක් පිප්ඵලි මාණවක භද්‍රාකාපිලානි යන දෙදෙනාගේ වෙන්වීම නිසා බව දැන, ‘මේ පින්වතුන් දෙදෙනා අප්‍රමාන ධනස්කන්ධයක් හැර මා උදෙසා පැවිදි වූහ. මා විසින් ද ඔවුනට සංග්‍රාහ කිරිම වටනේ ය’ යි ගඳකෙළියෙන් නික්ම කිසිවකු නො අමතා තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ පා සිවුරු ගෙන තුන් ගව්වක් දුර පෙර ගමන් කොට රජගහ නුවරට හා නාලන්දාවටත් අතර බහු පුත්‍රික නම් නුගරුක යට පර්‍යංකය බැඳ වැඩ හුන් සේක. එදා උන්වහන්සේ සාමාන්‍ය පැවිද්දෙකු මෙන් නොහිඳ ඔවුන්ට හැදින ගත හැකි වනු පිණිස අසු රියන් තැන් ගත බුදුරැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ හුන් සේක.

එකල්හි ඒ වනය කුඩ පමණක් වු ද රියසක් පමණවු ද ගෙවල් පමණවු ද බුද්ධරශ්මි පුඤ්ජයන් ඔබ මොබ ගමන් කිරීම නිසා හිරු දහසක් සඳ දහසක් පෑවු කලෙක මෙන් ආලෝකවත් විය. දිලිසෙන තාරකා සමූහයක් ඇති අහස මෙන් ද, මොනොවට පිපුණු සුදු රත් නෙළුම්මලින් ගැවසුණු ජලතලයෙන් මෙන් ද, වනය බැබලිණ. නුගරුකෙහි කඳ සුදු ය, පත් නිල්ය, ගෙඩි රතු ය, එදා සියලූ නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණ. මහකසුප් තෙරණුවෝ දුරදීම බුදුරදුන් දැක’ මුන්වහන්සේ මාගේ ශාස්තෘවරයාණෝය, මාගේ පැවිද්ද මුන්වහන්සේ උදේසාය’ යි දුටු තැන සිට නැමි නැමී තථාගතයන් වහන්සේ වෙත එලඹ තුන් තැනක් හිඳ වැඳ ‘සත්ථා මෙ භන්තේ භගවා, සාවකෝ හමස්මි, සත්ථා මෙ භන්තෙ භගවා, සාවකෝ හමස්මි’ යනුවෙන් ‘ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමිය, ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹ වහන්සේගේ ශ්‍රාවකවෙමි’ යි කීය.

කාශ්‍යප තෙරුන් වහන්සේට උපසම්පදාව දීම.

එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් ‘කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රවකයකු නො දැනම දනිමියි කියා නම් නො දැකම දකිමි යි කියා නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහි බිම වැටෙන්නේ ය, කාශ්‍යපය, මම වනාහි මේ චතුස්සත්‍ය ධර්මය දැන ගෙනම දනිමියි කියමි, දැකම දකිමියි කියමි’ යි වදාරා ‘තස්මාතිභ තෙ කස්සප එවං සික්ඛිතබ්බං’ යනාදීන් අවවාද තුනක් දී වදාළ සේක. කාශ්‍යපයන් වහන්සේ ඒ අවවාදත්‍රය අත්‍යාදර ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද පිළිගැනිම ම උන්වහන්සේගේ උපසම්පදාව විය. අනේක ප්‍රකාර උපසම්පදාවන් අතුරෙන් එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.

මහා කාරුණික වු බුදුරජාණන් වහන්සේ, අවවාද තුනෙන් මහාකසුප් තෙරුන් වහන්සේට උපසම්පදාව නමැති උත්තම තත්ත්වය ප්‍රධානය කොට තෙරුන් වහන්සේ ද සමඟ බහුපුත්‍රිකන්‍යග්‍රෝධ වෘක්ෂමූලයේ බැහැරව මඟට පිළීපන් සේක. බුදුන් වහ්නසේ මඳ දුරක් ගමන් කොට මඟින් ඉවත්ව, එක්තරා ගසක් මුලවැඩ හිඳිනු කැමැති ආකාර දැක්වූ සේක. තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ වැඩ සිටිනු කැමැත්ත දැක, තමන් වහන්සේගේ පටරෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුළහ.

සිවුරු මාරු කිරිම

ශාස්තෲන් වහන්සේ සඟළ සිවුර මත වැඩ සිටි සේක. ඉක්බිත් උන්වහන්සේ එය පිරිමදිමින් ‘කාශ්‍යපය, නුඹේ මේ පට දෙපට සිවුර මෘදුය’ යි වදාළ සේක. එකල්හි තෙරණුවෝ ‘ශාස්තෲන් වහන්සේ මගේ සිවුරෙහි මෘදු බව කථනය කරන්නාහ, උන්වහන්සේ මාගේ සිවුර පොරවනු කැමැත්තෝය’ යි සිතා ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ මේ පට පිළියෙන් කළ සඟළ සිවුර පිළිගන්නා සේක්වා’ යි වදාළහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘කාශ්‍යපය, පරිභෝගයෙන් දිරා ඇති මේ පාංසුකූල චීවරය නුඹට දැරිය හැකිදැ’ යි වදාළ සේක. හිමියනි, ලැබෙතොත් ඒ පාංසුකූල චීවරය පරිභෝග කරමි’ යි තෙරණුවෝ කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘මා විසින් මේ පාංසුකූල ගත් දිනයෙහි මහපොළොව සැලිණ. බුදුන් විසින් පරිභෝග කර දිරූ මේ චීවරය මඳ ගුණැතියකු විසින් පරිභෝග නොකළ හැකිය. මෙය පිළිගන්නට වටනේ පිළිවෙත් පිරිමට සමත් ජාති පාංශුකූලික භික්ෂුවක් විසින් ම යැ’ යි වදාරා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. ඉන්පසු තෙරුන් වහන්සේ විසින් පෙරවූ සිවුරු බුදුන් වහන්සේ පෙරටු සේක. බුදුන් වහන්සේගේ චීවරය තෙරුන් වහන්සේ පරිභෝග කළාහ. එකෙනෙහි මහා පොළොව කම්පිත විය.

තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම තෙළෙස් ධුත ගුණයන් සමාදන්ව සත් දිනක් පමණක් පෘථග්ජන භාවයෙන් සිට අටවන දිනයේ සව් කෙළෙසුන් නසා, අර්හත් ඵලයට පැමිණ වදාළ සේක. පසු කාලයේ දී සර්වඥයන් වහන්සේ මහා කාශ්‍යප ස්ථවීරයන් වහන්සේගේ ගුණ වදාරා “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධුතවාදානං යදිදං මහාකස්සපො” යනුවෙන් උන්වහන්සේ බුදු සස්නෙහි ධුතවාදීන්ගෙන් අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක.

(මේ මහාකාශ්‍යප චරිතය මනොරථපූරණී, සංයුත්ත නිකායට්ඨකථා, අපදානට්ඨකථා යන ග්‍රන්ථයන් හි දක්නා ලැබේ.)

මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට කල්ප ලක්ෂයක්ම දුර්ගතියකට පැමිණෙන්නට සිදු නොවි දෙව් මිනිස් දෙගතියෙහි නොයෙක් සැප සම්පත් ලැබිමට හා අප බුදුරදුන්ගේ සසුනෙහි අර්හත්ඵලයට පැමිණ ධුතවාදීන්ගෙන් අගතැන් ලැබිමටත් මූල හේතුව වුයේ පදුමුත්තර බුදුරදුන්ගේ අරහං ගුණය ය. මෙසේ ලොව්තුරා බුදුරදුන්ගේ අරහං ගුණයේ බලයෙන් උන්වහන්සේලා කෙරෙහි සිත පහදා ගැනිම වැඳීම උන්වහන්සේලාට වත් පිළිවෙත් කිරිම මල් පහන් ආහාර සුවඳදුම් වස්ත්‍රාදිය පිදීම යනාදීයෙන් නොයෙක් සම්පත් ලද පුද්ගලයන්ගේ චරිතකථා බොහෝ ගණනක් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඒවා ඒ ඒ ග්‍රන්ථවලින් බලාගත යුතුය.