Katina Anisansa කඨිනානිසංස

කඨිනානිසංස 01 කොටස

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස”
භාග්යවතුන් වහන්සේ වස් වසා වැඩ විසූ ස්ථාන
සාරා අසංඛෙය්ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ අප මහ බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙවු ලොවින් චුත වී පින්බර මහා මායා දේවියගේ මවු කුස ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක පිළිසිඳ ගත්හ. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක, මෙලොව එළිය දුටු මහා බෝධි සත්වයන් වහන්සේ අවුරුදු 29 දී ගිහි ගෙය අත්හැර අභිනිෂ්ක්රමණය කළහ. වයස අවුරුදු 35 දී දුෂ්කරක්රියා අවසානයේ අති උතුම් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ.
සත්සතිය ගත කළ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී, පස්වග තවුසන්ට “ධම්ම චක්ක පවත්තන සූත්රය” දේශනා කළ සේක.
මේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින, ඉර බසින්නට පෙර ම බුදු පියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්රය දේශනා කර අවසන් වූහ. මෙදිනම වැසි සමය ද ආරම්භ විය. භාග්යවතුන් වහන්සේ, “මේ ඇසළ පුර පසළොස්වක පොහෝ දින සැන්ඳෑ භාගයේදී, මේ වස්සාන සෘතුවේදී මේ ඉසිපතන මිගදායේ දී ම වාසය කරන්නෙමි.” යැයි සිතූ සේක. ඒ බුදු පියාණන් වහන්සේගේ පළමු වස් විසීමයි.
භාග්යවතුන් වහන්සේ වස් විසූ ස්ථාන
01. පලවෙනි වස – බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්ර දේශනාව අවසානයේ දී එහිම වස් වසා වැඩ වසන්නට අධිෂ්ඨාන කර ගත්හ.
02. දෙවෙනි වස – රජගහනුවර වේළුවනාරාමයෙහි වස් වසා වැඩ විසූහ.
03. තුන් වැනි වස – රජගහනුවර වේළුවනාරාමයෙහිම වස් වසා වැඩ විසූහ.
04. සතර වැනි වස – රජගහනුවර වේළුවනාරාමයෙහිම වස් වසා වැඩ විසූහ.
05. පස් වැනි වස – විශාලා මහ නුවර සමීපයේ මහා වනයෙහි කූටාගාර ශාලා නම් විහාරයේ වස් විසූහ.
06. සය වැනි වස – මකුල පර්වතයට වැඩම කර එහි වස් විසූ සේක.
07. සත් වැනි වස – තව්තිසා දිව්ය ලෝකයට වැඩම කර එහි වස් විසූ සේක.
08. අට වැනි වස – භද්ද දේශයේ සුංසුමාරගිරපුරය අසල වූ භේසකලා වනයට වැඩම කර එහි වස් විසූ සේක.
09. නව වැනි වස – කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වස් විසූ සේක.
10. දහ වැනි වස – පාරිලෙය්ය නුවර සමීපයේ වනයෙහි එහි වැසියන් කරවූ පන්සලක වස් විසූ සේක.
11. එකොළොස් වැනි වස – මගධ රට දක්ඛිණාගිරි නම් ජනපදයෙහි “ඒකනාලා” නම් බමුණු ගමේ වස් විසූ සේක.
12. දොළොස් වැනි වස – වේරංජා නුවර උදය නම් ධනවත් බමුණාගේ ආරාධනාවෙන්, වේරංජා නුවර “නලේරූ” කොසඹ රුක අසල පන්සලෙහි වස් විසූ සේක.
13. දහතුන් වැනි වස – චාලිකා නගරය අසල චාලිකා පර්වතයේ වූ විහාරයේ වස් විසූ සේක.
14. දහ හතර වැනි වස – සැවැත්නුවර ජේතවනාරාමයේ වස් විසූ සේක .
15. පහළොස් වැනි වස – කිඹුල්වත්පුර නිග්රෝධාරාමයේ වස් විසූ සේක.
16. දහසය වැනි වස – ආලවක යක්ෂයා හික්මවා අලව් නුවර වස් විසූ සේක.
17. දහ හත්වන වස – රජගහනුවර වේළුවනාරාමයෙහි වස් විසූ සේක.
18. දහ අට වැනි වස – චාලිය පර්වතයට වැඩම කර එහි වස් විසූ සේක.
19. දහ නව වැනි වස – චාලිය පර්වතයෙහිම වස් විසූ සේක.
20. විසි වැනි වස – රජගහනුවර වසා වැඩ විසූ සේක.
21. විසි එක්වන (21) වස්සාන කාලයේ සිට හතලිස් හතර වන (44) වන වස්සාන කාලය දක්වා වස්සාන කාළ විසි හතරම (24) සැවැත්නුවරම වස් වසා වැඩ විසූ සේක. ඉන් වස්සාන කාල දහ අටක් (18) ජේතවනාරාමයේ වැඩ විසූහ. ඉතිරි වස්සාන කාල හය (06) පූර්වාරාමයෙහි වැඩ විසූ සේක.
අප මහ බෝධිසත්වයන් වහන්සේ උතුම් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු ව, අතීත බුද්ධශාසන වල බුදුපියාණන් වහන්සේලා ට අනුව වස් වසා වැඩ විසූ සේක. එහෙත් භික්ෂූන් වහන්සේලාට වස් වසා වැඩ වසන්නට විනය නීති පනවා නොතිබිණි. භාග්යවත් බුදුපියාණන් වහන්සේ යම් කරුණක් මතු වූ විට, විනය නීති පනවන සේක. කරුණක් මතු නොවූ විට විනය නීති නොපනවන වන සේක.
සම්බුද්ධත්වයෙන් මුල් වසර විස්ස තුළ විනය නීති නොපැන වූ සේක.
විනය නීති පැනවීමට ආරාධනා කිරීම.
සම්බුදු මෑණියන් වහන්සේ වේරංජා නුවර වස් වසා වැඩ වසන සමයෙහි එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ සමඟ සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව, සැරියුත් මහා රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වෙත වැඩම කළ සේක. පිංවත් සැරියුත් තෙරුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අසා සිටියේ අතීතයේ වැඩ සිටි බුදුපියාණන් වහන්සේලාගේ ශාසන අතර කුමන බුද්ධශාසන බොහෝ කාලයක් පැවතියාද? කුමන බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවැතුණේ නැද්ද? කියායි.
එයට බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“ශාරීපුත්රයිනි, විපස්සි භාග්යවතුන් වහන්සේගේ ද, සිඛී භාග්යවතුන් වහන්සේගේ ද, වෙස්සභූ භාග්යවතුන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කල් පැවැතුනේ නැත. ශාරීපුත්රයිනි, කකුසඳ භාග්යවතුන් වහන්සේගේ ද, කෝණාගමන භාග්යවතුන් වහන්සේගේ ද, කාශ්යප භාග්යවතුන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කල් පැවැතුනි” යැ යි වදාළ සේක.
එවිට සැරියුත් මහරහතන් වහන්සේ නැවතත් ඇසුවේ,
“බුදුපියාණන් වහන්ස, විපස්සී භාග්යවතුන් වහන්සේගේ ද, සිඛී භාග්යවතුන් වහන්සේගේ ද, වෙස්සභූ භාග්යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවතුන් නැත්තේ, කුමන හේතුවක් නිසාද? එයට හේතුව කුමක්ද? එයට ප්රත්යය කුමක්ද කියා යි.”
එයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ,
“ශාරීපුත්රයෙනි, විපස්සී භාග්යවතුන් වහන්සේ ද සිඛී භාග්යවතුන් වහන්සේ ද, වෙස්සභූ භාග්යවතුන් වහන්සේ ද, ශ්රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්නට උත්සාහ රහිත වූහ. ඒ බුදුපියාණන් වහන්සේලාගේ සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ස්වල්ප ද විය. ශ්රාවකයන්ට ශික්ෂාපද ද නො පණවන ලදී. ආණාපාතිමොක්ඛය නො උදෙසන ලදී.” යැයි දේශනා කළ සේක.
ඒ භාග්යවත් බුදුපියාණන් වහන්සේලා සහ ප්රධාන මහ රහතන් වහන්සේලා පිරිණිවන් පෑමෙන් පසුව, විවිධ කුළවලින් විවිධ ගෝත්ර වලින් පැවිදි වූ පසු කාලීන ශ්රාවකයෝ, ඒ ශාසනයන් වහා ම අතුරුදන් කළහ. ශාරීපුත්රයෙනි, විවිධ මල් වර්ග නූලකින් ගොතන්නේ නැතිව මල් ආසනයක තැන්පත් කර තිබියදී සුළඟකින් ඒවා ගසා ගෙන යන්නේ යම්සේ ද,
“එපරිද්දෙන් ම, ශාරීපුත්රයෙනි, ඒ භාග්යවත් බුදු පියාණන් වහන්සේලාගේ සහ ප්රධාන ශ්රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව, පසුකාළීනව පැවිදි වූ පශ්චිම ශ්රාවකයෝ ඒ ශාසනයන් වහා ම අතුරුදන් කළහ.”
“ඒ භාග්යවත් බුදු පියාණන් වහන්සේලා තමන්ගේ සිතින් ශ්රාවකයන්ගේ සිත පිරිසිඳ දැන ශ්රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ රහිත වූහ.” (විනය නීති නොපැන වූහ….)
ශාරිපුත්තයිනි, “විපස්සී” භාග්යවතුන් වහන්සේගේ ද, “සිඛී” භාග්යවතුන් වහන්සේගේ ද, “වෙස්සභූ” භාග්යවතුන් වහන්සේගේ ද, ශාසනය බොහෝ කල් නොපවතින්නට හේතුව මෙයයි.”
මේ අවස්ථාවේදී සැරියුත් මහරහතන් වහන්සේ නැවතත් මෙසේ ඇසූ සේක.
“බුදු පියාණන් වහන්ස, කකුසඳ භාග්යවතුන් වහන්සේගේත්, කෝනාගමන භාග්යවතුන් වහන්සේගේත්, කාශ්යප භාග්යවතුන් වහන්සේගේත්, ශාසනය බොහෝ කල් පවතින්නට හේතුව කුමක්ද?”
“ශාරීපුත්රයෙනි, “කකුසඳ” භාග්යවතුන් වහන්සේ ද, “කෝණාගමන” භාග්යවතුන් වහන්සේ ද, “කාශ්යප” භාග්යවතුන් වහන්සේ ද, ශ්රාවකයන්ට විස්තර වශයෙන් දහම් දෙසන්නට උත්සාහවත් වූහ. ඒ බුදු පියාණන් වහන්සේලාගේ සුත්ත ය, ගෙය්ය ය, වෙය්යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන නවාංග ශාස්තෘශාසනය බොහෝ විය. ශ්රාවකයන්ට ශික්ෂාපද ද පණවන ලදී. ප්රාතිමෝක්ෂය ද උදෙසන ලදී.
ඒ භාග්යවත් බුදු පියාණන් වහන්සේලාගේ සහ ප්රධාන ශ්රාවකයන්ගේ පරිනිර්වාණයෙන්, විවිධ කුල වලින් ගෝත්රවලින් පැමිණ, පැවිදි වූ පසු කාළීන ශ්රාවකයෝ ඒ ශාසනයන් ඉතා දීර්ඝ කාලයක් පවත්වාගෙන ගියහ.”
“ශාරීපුත්රයෙනි, මල් ආසනයක තැන්පත් කර ඇති විවිධාකාර මල් නූලකින් මනාව බැඳ තිබේනම් සුළඟට විසුරු විය නොහැක. එයට හේතුව, එම මල් මනාව බැඳ තිබූ නිසයි. ශාරීපුත්රයෙනි, එපරිද්දෙන්ම, ඒ භාග්යවත් බුදු පියාණන් වහන්සේලා සහ ප්රධාන ශ්රාවකයින් පිරිනිවීමෙන් පසුව, විවිධ කුල වලින් ගෝත්රවලින් පැමිණ සසුන් ගත වූ පසු කාලීන ශ්රාවකයෝ ඒ ශාසනයන් බොහෝ දිගු කලක් තැබූහ.”
“ශාරීපුත්රයෙනි, යම් කරුණෙකින් “කකුසඳ” භාග්යවතුන් වහන්සේගේත්, “කෝණාගමන” භාග්යවතුන් වහන්සේගේත්, “කාශ්යප” භාග්යවතුන් වහන්සේගේත් ශාසනය දිගු කලක් පැවතුනාද, මේ එයට හේතුව යි, මේ එයට ප්රත්යය යි” වදාළ සේක.
බුදු පියාණන් වහන්සේ එසේ දේශනා කිරීමත් සමගම පින්වත් සැරියුත් මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරගෙන, බුදු පියාණන් වහන්සේ දෙසට ඇඳිලි බැඳගෙන මෙසේ ආරාධනා කළහ.
“එතස්ස භගවා කාලො, එතස්ස, සුගත කාලො, යං භගවා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙය්ය, උද්දිසෙය්ය පාතිමොක්ඛං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතික”
“භාග්යවතුන් වහන්ස, යම් හෙයෙකින් මේ ශාසනය දිගුකල් පවත්නක්, බොහෝ කල් පවත්නක් වන්නේ ද, එසේ වීමට භාග්යවතුන් වහන්සේ ශ්රාවකයන්ට ශික්ෂාපද පනවන සේක්වා. පාමොක් උදෙසන සේක්වා. භාග්යවතුන් වහන්ස, මෙය එයට කාළය යි. සුගතයන් වහන්ස, මෙය එයට කාළය යි.” යැයි විනය නීති පනවන්නට ආරාධනා කළහ.
බුදු පියාණන් වහන්සේ එම ආරාධනාව පිලිගනිමින් සුදුසු කාලයේ දී එය සිදුකරන බව මෙසේ දේශනා කළහ.
“ශාරීපුත්රයෙනි, බලාපොරොත්තු වන්න. ශාරීපුත්රයෙනි, බලාපොරොත්තු වන්න. තථාගතයන් වහන්සේ එයට කාළය දන්නේ ය. ශාරීපුත්රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්මයෝ, සඞ්ඝයා කෙරෙහි පහළ නොවෙද්ද, ඒ තාක් ශාස්තෘන් වහන්සේ ශ්රාවකයන්ට සිල් පද නො පණවයි, පාමොක් නො උදෙසයි.”
ශාරීපුත්රයෙනි, යම් කලෙක මේ ශාසනයෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘන් වහන්සේ එම ආස්රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්රාවකයන්ට සිල් පද පණවයි, පාමොක් උදෙසයි.”
“ශාරීපුත්රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් චිරරාත්රයන්ගෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ නොවෙත්. ශාරීපුත්රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ චිරරාත්රයන්ගෙන් මහත්වයට පැමිණියේ වේ ද, මේ ශාසනයෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘන් වහන්සේ ඒ ආස්රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”
“ශාරීපුත්රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් ස්ථවිර මධ්යයම නවක වශයෙන් විපුලත්වයට මහත්ත්වයට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ නොවෙත්. ශාරීපුත්රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ විපුලත්වයට මහත්ත්වයට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘන් වහන්සේ එම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”
“ශාරීපුත්රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ නොවෙත්. ශාරීපුත්රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ වෙත්. එවිට ශාස්තෘන් වහන්සේ එම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”
“ශාරීපුත්රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ බහුශ්රැතියෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ නොවෙත්. ශාරීපුත්රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ බොහෝ උගත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්රවස්ථානීය ධර්මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘන් වහන්සේ එම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.”
“නිරබ්බුදො හි සාරිපුත්ත, භික්ඛුසඞ්ඝො නිරාදීනවො අපගතකාළකො සුද්ධො සාරෙ පතිට්ඨිතො. ඉමෙසං හි සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.”
“ශාරීපුත්රයෙනි, භික්ෂුසඞ්ඝ තෙමේ නිරර්බුද ය, නිදොස් ය, දුසිල් මහණුන්ගෙන් තොර ය, පිරිසුදු ය, සිල් ආදි සරුදහම්හි පිහිටියේ ය. ශාරීපුත්රයෙනි, මේ පන්සියක් මහණුන් අතුරෙන් යම් පැසුළු මහණෙක් වේ ද, හෙතෙමේ සෝවන් ය, අපායෙහි නො හෙනසුලු ය, නිවණට නියත ය, සම්බෝධිය ම පිහිට කොට ඇත්තේ ය”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
මේ ආකාරයට බුදු පියාණන් වහන්සේ විනය නීති පනවන්නට තවමත් සුදුසු කරුණක් එළඹ නැති ආකාරය පෙන්වමින් සුදුසු කාලය පැමිණි පසු එය සිදු කරන බව දේශනා කළහ.
වස් වසා වැඩ වසන්නට තවමත් විනය නීති පනවා නොතිබුණු අතර, බුදුපියාණන් වහන්සේ වස්සාන සමයෙහි භික්ෂූන් වහන්සේලාත් සමග වේරංජා නුවර වස් වසා වැඩ විසූහ.
වස්කාලය අවසානයේ දී බුදු පියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ දේශනා කළ සේක.
“ආචිණ්ණං ඛො පනෙතං ආනන්ද තථාගතානං යෙහි නිමන්තිතා වස්සං වසන්ති, න තෙ අනපලොකෙත්වා ජනපදචාරිකං පක්කමන්ති. ආයාමානන්ද වෙරඤ්ජං බ්රාහ්මණං අපලොකෙස්සාමා”ති.
“ආනන්දය, බුදු පියාණන් වහන්සේලා යම් කෙනෙකුන් විසින් ආරාධනා කර වස් වසා වැඩ සිටියාද, ඔවුන්ට නො කියා ජනපදයන්ගේ සැරිසැරීමට නො නික්මෙත්. යන මෙය තථාගතයන්ගේ පුරුදු ධර්මතාවකි. ආනන්දය යමු. වේරඤ්ජ බ්රාහ්මණයාට දැනුම් දෙමු”යි වදාළ සේක.
බුදු පියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේත් සමඟ වේරඤ්ජා නුවර බ්රාහ්මණයාගේ නිවසට වැඩම කර ඔහුගේ ආරාධනාව අනුව වස් වසා වැඩ විසූ බව දැනුම් දී ඔහුගේ පසුතැවිල්ලද සංසිදවා ජනපද චාරිකාවේ වැඩම කළහ.
බුදු පියාණන් වහන්සේ එසේ වේරංජා නුවර උදය නම් ධනවත් බමුණාගේ ආරාධනාවෙන්, වේරංජා නුවර “නලේරූ කොසඹ රුක” අසල පන්සලෙහි බුද්ධත්වයෙන් 12 වන වස වස් වසා වැඩ විසූ සේක.
වස් එළඹෙන්නට විනය නීති පැනවීම.
බුදුපියාණන්වහන්සේ සම්බුද්ධත්වයෙන් පළමුවැනි වසර විස්ස තුළ, වස් වසා වැඩ වසන්නට භික්ෂූන් වහන්සේලාට විනය නීති පැනවූයේ නැත. නමුත් භාග්යවතුන් වහන්සේ අතීතය බුද්ධ ශාසන වල බුදුපියාණන් වහන්සේලාට අනුව ප්රධාන ශ්රාවකයන් වූ වහන්සේලා සමඟ වස් වසා වැඩ විසූහ.
සම්බුද්ධත්වයෙන් වසර විස්සක් ගිය තැන භික්ෂූන් වහන්සේලා ප්රමාණය අතින් විශාල විය. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා වස්සාන සමයේත් එක් තැනක වැඩ වාසය කරන්නේ නැතිව කැමති ආකාරයට ජනපදවල හැසිරෙන්නට විය.
වස්සාන සමයේත් ජනපදවල හැසිරෙන භික්ෂූන් වහන්සේලාව දුටු මිනිසුන්, “භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක ශ්රමණයෝ සීත කාළයේත්, උෂ්ණ කාලයේත්, වස්සාන කාලයේත්, නිල් තණ මඩිමින් ඒකේන්ද්රිය ජීවීන් වෙහෙස කරවමින් බොහෝ කුඩාපානීන් විනාශයට පමුණුවමින් චාරිකාවේ සැරිසරයි. මේ අන්ය තීර්ථකයෝත් වැරදි ධර්මයක් කීවත් වස්සාන කාලයේ එක තැනකම සිටී. මේ කුරුල්ලෝත් ගස් අග කැදලි තනා ගෙන ඒවායේ වස්සාන කාලය ගෙවයි. එහෙත් මේ ශ්රමණ ශාක්ය පුත්ර භික්ෂූන් වහන්සේලා හෙමන්තයෙහිත්, ගිම්හානයෙහිත්, වස්සානයෙහිත් නිල් තණ මඩිමින් එකින්ද්රිය ජීවීන් පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් ජනපද චාරිකාවේ හැසිරෙයි.” කියා අවමන් කළහ. නින්දා කළහ. දොස් කීහ. .” මහජනතාව මෙසේ දොස් කියන විට, එය දැන ගත් භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේට දැනුම් දුන්හ. මේ කරුණ නිමිතිකරගෙන භාග්යවත් බුදුපියාණන් වහන්සේ,
“අනුජානාමි භික්ඛවෙ, වස්සං උපගන් තු”
“මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි”
යැයි දේශනා කළහ.
ඉන් පසු වස් එළඹිය යුත්තේ කවදාදැයි භික්ෂූන් වහන්සේලාට දැනගන්නට අවශ්ය විය.
භාග්යවතුන් වහන්සේ වස්සාන සෘතුවේ වස් වසන්නට අනුදැන වදාළහ.
ඉන්පසු භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම් කොපමණ ඇද්දැයි දැන ගන්නට අවශ්ය විය. භාග්යවතුන් වහන්සේ
“මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීමය කියා වස් එළඹීම් දෙකක් තිබේ. ඇසළ පුණු පොහෝ දිනයෙන් පසුදිනයෙහි (අවපෑළවියෙහි) පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණු පොහොයෙන් මසක් ඉක්ම ගිය පසු, පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යැයි දේශනා කළහ.
අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
මිණිපුර අමාශාන්ති තපෝවනය
පැල්වාඩිය
රත්නපුර.

“කඨිනානිසංස” 02 කොටස

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස”
වස් විසීම ඇසළ අව පෑළවිය දිනටම යොදා ගන්නේ ඇයි?
අවුරුද්දකට සෘතු තුනක් තිබේ. එසේම මාස දොළසක් තිබේ. එක් සෘතුවකට මාස හතරක් සහ උපෝසථ අටක් තිබේ. එක් මාසයකට පුර පක්ෂය , අව පක්ෂය ලෙස පක්ෂ දෙකක් තිබේ.
ඉල් මස අව පෑළවිය දිනයේ පටන් මැදින් පුර පසළොස්වක දක්වා කාලය හේමන්ත සෘතුව වේ. මැදින් මස අව පෑලවියේ පටන් ඇසළ පුර පසළොස්වක දක්වා කාලය ගිම්හාන සෘතුව වේ.
ඇසළ මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා කාලය වස්සාන සෘතුව වේ. මේ සෑම සෘතුවකම තුන් වැනි සහ හත් වැනි උපෝසථයන් චාතුද්දසී උපෝසථ වේ. වර්ෂයකට චාතුද්දසී උපෝසථ හයක් ලැබේ. (උපෝසථය – පොහොය කිරීමට නියමිත පෝය දවස, චාතුද්දසී, පණ්ණරසී, සාමග්ගී ලෙස උපෝසථ තුනක් තිබේ.)
එක් සෘතුවක එම තුන්වැනි සහ හත්වැනි උපෝසථ හැර ඉතිරි උපෝසථ පණ්ණරසී උපෝසථ වේ. එවිට පණ්ණරසී උපෝසථ හයක් ලැබේ. වසරකට පණ්ණරසී උපෝසථ දහ අටක් ලැබේ.
එක් වර්ෂයකට ඇති සෘතු තුනක් (03) මාස දොලසක් (12) පක්ෂ විසි සතරක් (24) තිබෙන අතර, චාතූද්දසී හයක් (06) පණ්ණරසී දහ අටක් (18) ලෙස ගත් විට උපෝසථ විසිහතරක් (24) ලැබේ.
භික්ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම ප්‍රාතිමෝක්ෂය උදෙසීම කළ යුත්තේ චාතුද්දසී උපෝසථයේ හෝ පණ්ණරසී උපෝසථයේ ම වේ. සාමග්ගී උපෝසථයක් නැතිව, වෙනත් කිසිම දිනක උපෝසථ කර්මය නො කළ යුතු ය.
වස්සාන සෘතුව පටන් ගන්නේ ගිම්හාන සෘතුවේ අටවන පෝය වන ඇසළ පුර පසළොස්වක අවපෑලවිය (පුරපසළොස්වක පසු වූ පළමු වන දිනය. චන්ද්‍ර මාස ක්‍රමයේ අව පක්ෂයේ පළමුවන දිනය) දිනයේ ය. භික්ෂූන් වහන්සේලා ඇසළ පුර පසළොස්වක පොහෝ දින පොහොය කොට, අව පෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. පෙරවස් එළඹෙන්නට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා, වස්සාන සෘතුවේ දෙවන පෝය වූ, නිකිණි මස පුර පසළොස්වක පෝය දිනයෙහි පෝය කොට, අවපෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතු ය.
මේ දින දෙකෙන් එක් දිනකදී හෝ වස් එළඹෙන්නේ නැති භික්ෂූන් වහන්සේට දුකුළා ඇවතක් වේ. ( න භික්ඛවේ! වස්සං න උපගන්තබ්බං, යෝ න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස)
වස් වසන්නට ගිහි පින්වතුන් කරන ආරාධනාව.
ගිහි පින්වතුන් ආරාධනා කළත් නොකළත් භික්ෂූන් වහන්සේලා විසින් අනිවාර්යයෙන්ම වස් එළඹීම කළ යුතුම වේ. බොහෝ නුවණැති ගිහි පින්වතුන් විසින් තමන්ට සිදුකරගත හැකි මහත් ඵල, මහානිසංස දායක කුසලයන් නුවණින් සලකා, මහා සංඝරත්නයට ආරාධනා කරනු ලැබේ.
වස් ආරාධනා පාඨය:-
“භන්තේ ඉමස්මිං විහාරේ. ඉමං තේ මාසං වස්සං උපේථ. ඉධ වස්සං උපේථ. මයං තුම්හාකං චතු පච්චයෙහි උපට්ඨහේම.”
“ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම වස් තුන් මාසය, මෙම විහාරස්ථානයෙහි වස් වසා වැඩ වසන සේක්වා! අපි ඔබ වහන්සේලාට, සිව්පසයෙන් උපස්ථාන කරන්නට බැඳී සිටින්නෙමු.”
මේ ආකාරයට හෝ තමන්ට කැමති ආකාරයකට ගිහි පින්වතුන් විසින් සංඝරත්නයට ආරාධනා කරනු ලැබේ.
දායක පින්වතුන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් වසන්නට ආරාධනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, භික්ෂූන් වහන්සේලාගේ ඇසුර ලබාගෙන, තමන්ගේ ගුණධර්ම දියුණු තියුණු කර ගැනීම යි. උතුම් ආධ්‍යාත්මික ප්‍රතිඵල ලබා ගැනීම යි.
සිව්පසයෙන් උපස්ථාන කරන්නට කරන වස් ආරාධනාවට වඩා, ගුණධර්ම දියුණු තියුණු කරගෙන ධ්‍යාන මාර්ග ඵල ආදිය උපදවා ගැනීමේ අරමුණෙන් ගිහි පින්වතුන් කරන වස් ආරාධනාව උසස්ම වස් ආරාධනාව වේ.
වස් කාලය තුළ භික්ෂුන් වහන්සේලා එක තැන නැවතී භාවනා කර්මස්ථාන වැඩීම සිදු කරනු ලබයි. ඒ නිසා ගිහි දායක පින්වතුන්ට ද සාමාන්‍ය කාල වලට වඩා, සීල, භාවනාදී ගුණ ධර්ම වඩන්නට හැකියාව ලැබෙන “පුණ්‍ය කාලය” වස්සාන කාලයේ වේ.
මේ උතුම් කාලය පින්බර කර ගන්නට ගිහි පින්වතුන් “පාටිහාරිය පක්ඛ උපෝසථය” සමාදන් වෙයි.
“පාටිහාරිය පක්ඛ උපෝසථය” කියන්නේ, භික්ෂූන් වහන්සේලා වස් එලඹෙන තුන්මාසය ඇතුළත අධිෂ්ඨාන කර සමාදන්ව රකිනා අෂ්ඨාංග සීලය යි. මාස තුනම අෂ්ටාංග සීලය රකින්නට නොහැකිනම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කර රකිනා අෂ්ටාංග සීලය හෝ එසේත් නොහැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කර රකිනා අෂ්ඨාංග ශීලය හෝ පාටිහාරිය පක්ඛ උපෝසථය වේ.
වැසි සලුව
වස්සාන කාලයේ චාරිකාවෙහි වැඩම නොකරන භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙහි වැඩම කරනු ලැබේ. මේ වස්සාන කාලය නිසා එක දිගටම වසින වැස්සෙන් භික්ෂූන් වහන්සේලා තෙමි පීඩාවට පත් වන්නට විය. විශාඛා මහෝපාසිකාව මෙය දැක බුදු පියාණන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමි” යැයි කියා ඊට අවසර ඉල්ලුවා ය.
බුදුපියාණන් වහන්සේ ඊට අවසර දී “මහණෙනි වැසි සළු අනුදනිමි.” යැයි වැසි සළුව නියම කළ සේක.
වැසි සලුව කියන්නේද සිවුරකි. එය තනිපට සිවුර දෙපට සිවුර අඳන සිවුරට වඩා දිග පළලින් වැඩි ය. අඳින්නට පුළුවන් වෙන්නේ වැසි සාර මාසය තුළ පමණි.
මේ වැසි සලුව කැප කරුවන්ට තමන් වහන්සේ විසින්ම කියා හෝ පිළියෙල කරගත යුතු ය. සොයාගත හැකි ය. එහෙත් එය සෑම කාලයේ ම සෙවිය නොහැකි ය. වස්සාන සෘතුව පටන් ගන්නට පෙර, ගිම්හාන සෘතුව අවසන් වන්නට මසක් තිබිය දී, එය සෙවිය හැකි ය. ඊට ප්‍රථම සෙවීම හෝ පෙරවීම නොකළ හැකි ය.
(අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද “කඨිනානිසංස” නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී)
මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය
පැල්වාඩිය – රත්නපුර

“කඨිනානිසංස” 03 කොටස

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස”
මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ අතීත භවයක වස් ආරාධනාව…
මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පියුමතුරා බුදුපියාණන් වහන්සේගේ කාලයේ දී, “චිරරාත්‍රඤ්ඤ” භික්ෂුණීන් අතර අග තනතුරු ලැබීමට විවරණ ලැබුවා ය. පාරමිතා සම්පූර්ණ කරමින් දීර්ඝ සංසාරයේ පැමිණෙන විට එතුමිය, කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේත්, අප බුදුපියාණන් වහන්සේගේත් අතර බුද්ධ ශූන්‍ය කාලයේ බරණැස් නුවර පන්සියයක් දාසීන් අතර ජේෂ්ඨ දාසිය වී ඉපදුනා ය.
මෙම කාලයේ දී පන්සියයක් පසේ බුදුපියාණන් වහන්සේලා, “නන්දමූලක” කඳු බෑවුමෙන් ඉසිපතනයට වැඩම කර වස් වසන්නට සුදුසු කුටියක් තනවා ගන්නට අත්වැඩ කරුවන් සොයන්නට විය. මේ ප්‍රධාන දාසිය අනෙක් දාසීන්ටද කතා කර, සියලු දෙනාගේ ස්වාමිපුරුෂයන් ද පිංකමට එකතු කරගෙන, පන්සීයක් පසේ බුදු පියාණන් වහන්සේලාට අංගසම්පූර්ණ භාවනා කුටි තනවා , පැන් පොකුණු, ළිං, සක්මන් මළු, ඇඳ, පුටු, දානය වළදන භාජන ආදී සියල්ල සූදානම් කර, ඒ තුන් මස එහිම වස් වසා වැඩ වසන්නට ආරාධනා කළේ ය.
ඒ ආරාධනාව පිළිගත් පසේ බුදු පියාණන් වහන්සේලාට, සියලු දෙනා දින වෙන් කරගෙන, දානය පූජා කරන්නට විය. සමහර කාන්තාවන්ට දානය පූජා කරන්නට නොහැකි වූ දින වල දී මේ ප්‍රධාන දාසිය, තමන්ගේ ගෙදරින් ම දානය ගෙනවිත් පූජා කළා ය. මේ ආකාරයට තුන්මසක් පසේ බුදු පියාණන් වහන්සේලාට දානය පූජා කර වස් පවාරණය කළ දිනයේ දී, දාසීන් එකතුව එක සළුව බැගින් සළු පන්සියයක් පිළියෙල කර, නැවතත් එය වෙනස් කර, පන්සියයක් පසේ බුදු පියාණන් වහන්සේලාට, තුන්සිවුර බැගින් පූජා කළා ය.
දිවි ඇති තෙක් පින් කරගත් ඔවුන් එයින් චුත වූ පසුව උප්පත්තිය ලැබුවේ දිව්‍යලෝක වලයි. ඒ අතීත පිං බලයෙන් අප බුදුපියාණන් වහන්සේගේ කාලයේ දී සියලු දෙනා රහත් ව පිරිනිවන් පෑහ.
පින්කමක් ත්‍රිහේතුක උත්කෘෂ්ට වූ විට මහා ප්‍රතිඵල ලැබේ.
පුණ්‍යකර්ම කිරීමේ දී ප්‍රතිඵල ලැබෙන්නේ වියදම් කරන ප්‍රමාණයේ හැටියට වත්, එයින් ලැබෙන කීර්ති ප්‍රශංසා ආදියේ හැටියටවත් නොවේ. ප්‍රතිඵල ලබන්නට නම් ත්‍රිහේතුක උත්කෘෂ්ට මට්ටමක චිත්ත සන්තතිය පැවතිය යුතු ය.
කාම සුගති හතක් තිබේ. ඒ මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක හයත් වේ. මේවායේ ප්‍රතිසන්ධිය ලබන්නට, මහා විපාක සිත් අටෙන් එකක් ප්‍රතිසන්ධි සිත ලෙස පහළ විය යුතු ය. මේ විපාක සිත් ලැබෙන්නේ කුසල කර්ම ශක්තියට අනුකූලවම වේ. නුවණ යෙදීම හෝ නොයෙදීම මත මේ කුසල් සිත් කොටස් හතරකට බෙදේ.
1. ත්‍රිහේතුක උත්කෘෂ්ට
2. ත්‍රිහේතුක ඕමක
3. ද්විහේතුක උත්කෘෂ්ට
2. ද්වි හේතුක ඕමක ලෙසටය.
අලෝභ, අදෝස, අමෝහ යන ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක ප්‍රතිසන්ධි විපාක ලෙස ඤාණ සම්පයුත්ත මහා විපාක සිත් හතරෙන් එකක් උපදී. ඔහු කාම සුගතියෙහි උපත ලබා විපාක ආනිසංස ලෙස බොහෝ ලෞකික සැප සම්පත් ලබයි.
භව බෝග සම්පත් ලැබෙන, පිරිස් බලයද ලැබෙන පිංකම් කර නුවණද දියුණු කර ගනිමින්, භාවනාදිය ද වඩමින් ප්‍රර්ථනා බලයකුත් ඇතිව උපත ලබනවා නම් ඒ අයට කල්‍යාණ මිතුරන් ද ලැබීමෙන් බොහෝ වැඩ සිදු කර ගැනීමට ඉඩ ලැබේ. භාවනා වඩා ධ්‍යානත් මග ඵලත් උපදවා ගැනීමට හැකි වන්නේ මුහුකුරා ගිය නුවණක් ඇති මෙවැනි අයටය. ධ්‍යාන මාර්ග ඵල උපදවා ගැනීමට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් තිබිය යුතුය.
නුවණ දියුණු නොවී ස්වල්ප දැණුමක් ඇතිව කරනා කුසලයට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ගෙන දීමට ශක්තියක් නැත. එයින් ලැබෙන්නේද ද්වි හේතුක ප්‍රතිසන්ධියක්ම වේ. එවිට ප්‍රතිසන්ධි සිත ලෙස ලැබෙන්නේ ඤාණ විප්පයුත්ත මහා විපාක සිත් හතරින් එකක් වේ. ඔහු මිනිස් ලොව උපත ලබා ස්වල්ප සැප සම්පත් ලබා සතුටින් ජිවත් වෙයි. ඒ සම්පත් ලබන්නටද බොහෝ වෙහෙස මහන්සි විය යුතුය.
ද්වි හේතුක උත්කෘෂ්ට කුසලය යැයි කියන අලෝභ අදෝස යන හේතු දෙක පමණක් බලවත්ව යෙදෙන ඤාණ විප්පයුත්ත සිත් හතරින් එකකින් උපත ලබන පුද්ගලයා දුර්වල ත්‍රිහේතුකයාට බොහෝ සේ සමානය.
අංග විකල මන්ද බුද්ධිකාදී ලෙස ඉතා අසරණව උපත ලබන්නේ දුර්වලව යෙදුන අලෝභ අදෝස යන හේතු ඇති ඤාණ විප්පයුත්ත සිතකින් කරන ලද කුසල කර්ම බලයෙනි. ඔහුට ඤාණ විප්පයුත්ත විපාක සිත් නොලැබේ. ඔහුගේ ප්‍රතිසන්ධිය ඇති වන්නේ අහේතුක කුසල විපාක උපේක්ඛා සහගත සන්තීරණ සිතිනි.
නුවණින් තොරව, අනුන් කුසල් කරන හැටි දැක තරගයටත්, අනුන්ගෙන් ප්‍රශංසා ආදිය ලබා ගැනීම පිණිසත් කරන කුසල් මේ දුර්වල ඤාණ විප්පයුත්ත කුසල් වේ. අහේතුක සුගති ප්‍රතිසන්ධිය ලැබූ අයට ඉෂ්ට අරමුණු ලැබුනත් එයින් ඔහුට සතුටු වීමට ඉඩ නොලැබේ. මිනිසුන් අතර උපත ලැබීමෙන් උසස් ප්‍රතිඵල නොලැබේ.
මහා විපාක සිත් අටෙන් ප්‍රතිසන්ධිය ලැබූ අයට කර්ම ශක්තිය ඇති තාක් කල් ප්‍රවෘත්ති විපාක ලෙසද මේ මහා විපාක සිත් අට කර්මයට අනුකූලව හට ගනී.
වස්සාන කාලයක මේ කරුණු ගැන විශේෂයෙන්ම අවධානය යොමු කර ගිහි පින්වතුන් විසින් පින්කම්හි හැසිරී ප්‍රභල කුසල් උපදවා ගත යුතු ය.
වස් විසීම.
වස් වසන්නට බලාපොරොත්තුවන භික්ෂූන් වහන්සේ විසින්, වහලයක් ඇති, දොරක් ඇති, සෙනසුනක් සොයා ගත යුතු ය. එවැනි සෙනසුනක් ලැබුණෙ නැත්නම්, සෙනසුනක් කරවා දෙන්නට දායකයකුත් නැතිනම්, තමන් විසින්ම හෝ එවැනි සෙනසුනක් කරගත යුතු ය. සෙනසුනක් නැත කියා, වස් වසන්නේ නැතිව සිටින්නට නොහැකි ය.
වස් ආරාධනාවක් ඇතත් නැතත්, භික්ෂූන් වහන්සේ විසින්, ඇසළ පොහොය දින උපෝසථය කර, අව පෑළවිය දිනයේ දී තමා වස් වසන විහාරය අතුගා, පිරිසුදු කර, සවස් කාලයේ දී මල් පහන් පූජා කර, තුනුරුවන් වැඳ, පිරිත් සජ්ඣායනා කර, දෙවියන්ට, ඤාතීන්ට පින් දී, “ඉමස්මිං විහාරෙ ඉමං තේ මාසං වස්සං උපේමි.” ලෙස වස් එළඹිය යුතු ය.
වස් විසූ ස්ථානයෙන් බැහැරට යනවානම් සත්තාහකරණීයයෙන් බැහැරට යා යුතු ය.
“අනුජානාමි භික‍්ඛවෙ, සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන පහිතෙ: ගන‍්තුං, න ත්‍වෙව අප‍්පහිතෙ: – භික‍්ඛුස‍්ස, භික‍්ඛුණියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියා මාතුයාය ච පිතුස්සච. අනුජානාමි භික‍්ඛවෙ, ඉමෙසං සත‍්තන‍්නං සත‍්තාහකරණීයෙන පහිතෙ: ගන‍්තුං. න ත්‍වෙව අප‍්පහිතෙ. සත‍්තාහං සන‍්නිවත‍්තො කාතබ‍්බො.”
“මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකුන් වෙතට සත්තාහකරණීයයෙන් යන්නටත් පණිවිඩ නො එවූ කල්හි නොයන්නටත් අනුදනිමි. මහණෙනි, භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂමාණාව, සාමණේරයා, සාමණේරිය, මවද, පියාද යන මේ සත් දෙනා වෙතට පණිවිඩ එවූ කල්හි සත්තාහකරණීයයෙන් යන්නටත්, පණිවිඩ නො එවූ කල්හි නො යන්නටත් අනුදනිමි. සතියෙන් ආ පසු ඊම කළ යුතු ය.”
(අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද “කඨිනානිසංස” නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී)
මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය
පැල්වාඩිය – රත්නපුර

“කඨිනානිසංස” 04 කොටස”

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස”
පවාරණය කිරීම.
පවාරණය කියන වචනයට අදහස් දෙකක් තිබේ. එකක් නම් ප්‍රතික්ෂේප කිරීමයි. අනික ආරාධනා කිරීමයි.
පෙර වස් අවසන් වන පොහොය වන්නේ වප් පෝය දිනයි. පසු වස් අවසන් වන පෝය වන්නේ ඉල් පෝය දිනයි. මේ වස් අවසන් වන පෝය දිනයේ දී, සංඝරත්නයට ආරාධනාව කරනු ලැබේ. ඒ “දැකීම, අනුන් කියනු ඇසීම, සැක ඇතිවීම, යන මේ කරුණු තුනෙන්ම වරද ගැන තමන්ට අවවාද අනුශාසනා කරන ලෙස සංඝරත්නයෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් හෝ ඉල්ලීමයි. මෙහි ඉල්ලීම මහා පවාරණය වේ. මෙය වස් අවසන් කිරීම යැයි වැරදි ලෙස තේරුම් නොගත යුතු ය.
මහා පවාරණයෙන් පවාරණය කිරීම දින වශයෙන්, චාතුද්දසී පවාරණය, පණ්ණරසී පවාරණය, සාමග්ගී පවාරණය ලෙස තුන් ආකාරයක් වේ.
කරන පුද්ගලයන් වශයෙන්, සංඝ පවාරණය, ගණ පවාරණය, පුද්ගල පවාරණය යැයි තුන් ආකාරයක් වේ.
කටයුත්තේ ආකාර වශයෙන්, තේවාචික පවාරණය, ද්වේ වාචික පවාරණය, ඒක වාචික පවාරණය යැයි තුන් ආකාරයක් වේ.
වස් අවසන් වන පෝය දිනය වන්නේ වස්සාන සෘතුවේ අවසන් පෝය දිනය යි. එය හැම කාලයකදීම පණ්ණරසී පෝය දිනයක් වේ. උවමනාවක් ඇති විට එම දිනය වෙනස් කරගත හැකි ආකාරයක් ද තිබේ.
කඨින පූජා මහා පිංකම.
මෙවැනි පිංබර කාලපරිච්ඡේදයක් අවසානයේදී සිදු කරගත හැකි උසස්තම මහා පින්කමක් වන්නේ කඨින චීවර පූජා මහා පිංකමයි.
වප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී, පෙර වස් වසා වැඩ විසූ භික්ෂූන් වහන්සේලා, මහා පවාරණයෙන් පවාරණය කළ පසුව, අව පෑළවිය දිනයේ පටන්, ඉල් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා කාලය තුළ දී, එම භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටි, එක් විහාරස්ථානයකදී වසරකට එක් වරක් පමණක් කඨින චීවර මහා පූජාවක් සිදු කළ හැකි ය.
“කඨින” යන වචනයෙන් අදහස් කරනුයේ නො බිඳිය හැකි සිදුරු කළ නො හැකි කුශල කර්මය යන්නයි. කඨින චීවරදානය සියලු බුදු පියාණන් වහන්සේලා විසින් ප්‍රසංසා කරන ලද, බුදුපියාණන් වහන්සේලා ද එයට සහභාගි වුණ, සියලුම ආමිස දානයන් අතුර ඇති ඉතා උතුම් ම පින් කමකි. එය අටමහා කුශලයට ද අයත් වේ.
කඨිනය සඳහා වස්ත්‍රයක් දීමට සුදුසු අය.
කඨිනය අතුරන්නට වස්ත්‍රයක් ලබා දීමට සුදුසු අය හත් දෙනෙක් සිටී.
“කඨිනං කේන දින්නං වට්ටති? යේන කේනචි දේවේනවා, මනුස්සේනවා, පඤ්චන්නංවා, සහධම්මිකානං අඤ්ඤතරේන දින්නං වට්ටති.”
තේරුම: ” යම්කිසි මනුස්සයෙක් හෝ දෙවියෙකු හෝ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සාමණේරයෙක් හෝ සාමණේරියක් හෝ ශික්ෂමානාවක් හෝ දෙන ලද වස්ත්‍රය කඨිනයට සුදුසු වේ.” මේ අනුව මේ සඳහන් කළ අය කඨින පූජාවක් කිරීමට සුදුසු අය වේ.
කඨිනය ඉල්ලා ලබා ගත නොහැකියි. එය අහසින් වැටුනා හා සමාන විය යුතුයි. එහෙත් කඨිනය දිය යුතු ආකාරය නොදන්නා පිංවතෙක් විසින් එය කළ යුත්තේ කෙසේදැයි භික්ෂූන් වහන්සේගෙන් ඇසුවහොත්, එය කරන ආකාරය කියා දිය හැකි ය.
භික්ෂූන් වහන්සේ විසින් ඒ ඇසූ පින්වතාට හෝ පින්වතියට තුන් සිවුර අතරින් එක්තරා සිවුරකට සුදුසු වස්ත්‍රයක් අරුණ උදාවන මොහොතේ “කඨින දුස්සං දේම.” කියා දිය යුතු බව කිව යුතු ය. එම වස්ත්‍රයෙන් සිවුරක් මසන්නට, ඉඳිකටු, නූල් හා පඬුත් ඊට සහභාගි වන භික්ෂූන් වහන්සේලාට දානයත් දිය යුතු බව කිව යුතු ය. නමුත් කිසිසේත්ම “කඨිනයක් දෙන්න” යැයි ඉල්ලිය නොහැක.
කඨින විපත්ති
කඨිනයක් අතුළේ වුවත් කඨිණාස්තරණ විනය කර්මය සිද්ධියට නොපැමිණෙන කරුණු විසි හතරක් මහාවග්ගපාලියේ දේශනා කර තිබේ.
“මහණෙනි! කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේද?”

“කඨිනානිසංස” 04 කොටස" "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස" පවාරණය කිරීම. පවාරණය කියන වචනයට අදහස් දෙකක් තිබේ. එකක් නම් ප්‍රතික්ෂේප කිරීමයි. අනික ආරාධනා කිරීමයි. පෙර වස් අවසන් වන පොහොය වන්නේ වප් පෝය දිනයි. පසු වස් අවසන් වන පෝය වන්නේ ඉල් පෝය දිනයි. මේ වස් අවසන් වන පෝය දිනයේ දී, සංඝරත්නයට ආරාධනාව කරනු ලැබේ. ඒ "දැකීම, අනුන් කියනු ඇසීම, සැක ඇතිවීම, යන මේ කරුණු තුනෙන්ම වරද ගැන තමන්ට අවවාද අනුශාසනා කරන ලෙස සංඝරත්නයෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් හෝ ඉල්ලීමයි. මෙහි ඉල්ලීම මහා පවාරණය වේ. මෙය වස් අවසන් කිරීම යැයි වැරදි ලෙස තේරුම් නොගත යුතු ය. මහා පවාරණයෙන් පවාරණය කිරීම දින වශයෙන්, චාතුද්දසී පවාරණය, පණ්ණරසී පවාරණය, සාමග්ගී පවාරණය ලෙස තුන් ආකාරයක් වේ. කරන පුද්ගලයන් වශයෙන්, සංඝ පවාරණය, ගණ පවාරණය, පුද්ගල පවාරණය යැයි තුන් ආකාරයක් වේ. කටයුත්තේ ආකාර වශයෙන්, තේවාචික පවාරණය, ද්වේ වාචික පවාරණය, ඒක වාචික පවාරණය යැයි තුන් ආකාරයක් වේ. වස් අවසන් වන පෝය දිනය වන්නේ වස්සාන සෘතුවේ අවසන් පෝය දිනය යි. එය හැම කාලයකදීම පණ්ණරසී පෝය දිනයක් වේ. උවමනාවක් ඇති විට එම දිනය වෙනස් කරගත හැකි ආකාරයක් ද තිබේ. කඨින පූජා මහා පිංකම. මෙවැනි පිංබර කාලපරිච්ඡේදයක් අවසානයේදී සිදු කරගත හැකි උසස්තම මහා පින්කමක් වන්නේ කඨින චීවර පූජා මහා පිංකමයි. වප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී, පෙර වස් වසා වැඩ විසූ භික්ෂූන් වහන්සේලා, මහා පවාරණයෙන් පවාරණය කළ පසුව, අව පෑළවිය දිනයේ පටන්, ඉල් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා කාලය තුළ දී, එම භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටි, එක් විහාරස්ථානයකදී වසරකට එක් වරක් පමණක් කඨින චීවර මහා පූජාවක් සිදු කළ හැකි ය. "කඨින" යන වචනයෙන් අදහස් කරනුයේ නො බිඳිය හැකි සිදුරු කළ නො හැකි කුශල කර්මය යන්නයි. කඨින චීවරදානය සියලු බුදු පියාණන් වහන්සේලා විසින් ප්‍රසංසා කරන ලද, බුදුපියාණන් වහන්සේලා ද එයට සහභාගි වුණ, සියලුම ආමිස දානයන් අතුර ඇති ඉතා උතුම් ම පින් කමකි. එය අටමහා කුශලයට ද අයත් වේ. කඨිනය සඳහා වස්ත්‍රයක් දීමට සුදුසු අය. කඨිනය අතුරන්නට වස්ත්‍රයක් ලබා දීමට සුදුසු අය හත් දෙනෙක් සිටී. "කඨිනං කේන දින්නං වට්ටති? යේන කේනචි දේවේනවා, මනුස්සේනවා, පඤ්චන්නංවා, සහධම්මිකානං අඤ්ඤතරේන දින්නං වට්ටති." තේරුම: " යම්කිසි මනුස්සයෙක් හෝ දෙවියෙකු හෝ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ සාමණේරයෙක් හෝ සාමණේරියක් හෝ ශික්ෂමානාවක් හෝ දෙන ලද වස්ත්‍රය කඨිනයට සුදුසු වේ." මේ අනුව මේ සඳහන් කළ අය කඨින පූජාවක් කිරීමට සුදුසු අය වේ. කඨිනය ඉල්ලා ලබා ගත නොහැකියි. එය අහසින් වැටුනා හා සමාන විය යුතුයි. එහෙත් කඨිනය දිය යුතු ආකාරය නොදන්නා පිංවතෙක් විසින් එය කළ යුත්තේ කෙසේදැයි භික්ෂූන් වහන්සේගෙන් ඇසුවහොත්, එය කරන ආකාරය කියා දිය හැකි ය. භික්ෂූන් වහන්සේ විසින් ඒ ඇසූ පින්වතාට හෝ පින්වතියට තුන් සිවුර අතරින් එක්තරා සිවුරකට සුදුසු වස්ත්‍රයක් අරුණ උදාවන මොහොතේ "කඨින දුස්සං දේම." කියා දිය යුතු බව කිව යුතු ය. එම වස්ත්‍රයෙන් සිවුරක් මසන්නට, ඉඳිකටු, නූල් හා පඬුත් ඊට සහභාගි වන භික්ෂූන් වහන්සේලාට දානයත් දිය යුතු බව කිව යුතු ය. නමුත් කිසිසේත්ම “කඨිනයක් දෙන්න” යැයි ඉල්ලිය නොහැක. කඨින විපත්ති කඨිනයක් අතුළේ වුවත් කඨිණාස්තරණ විනය කර්මය සිද්ධියට නොපැමිණෙන කරුණු විසි හතරක් මහාවග්ගපාලියේ දේශනා කර තිබේ. “මහණෙනි! කඨිනය මෙසේ අතුළේ මෙසේ නො අතුළේ වේ. මහණෙනි, කඨිනය කෙසේ නො අතුළේ වේද?” 1. ලකුණු කළ පමණින් කඨිනය නො අතුළේ වේ. 2. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ. 3. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. 4. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ. 5. හිස් නූල් ඇදීම පමණින් කඨිනය නො අතුළේ වේ. 6. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. 7. අතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ. 8. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ. 9. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. 10. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. 11. අමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ. 12. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ. 13. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 14. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 15. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 16. තැන්පත් කොට තිබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 17. එක් රැයක් ම ඉක්ම යෑමෙන් නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 18. කප් බිංදු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ. 19. සඟල සිවුරු හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ. 20. උත්තරාසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ. 21. අන්තරවාසකය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ. 22. එදින ම කපන ලද මහ මඬුලු කුඩා මඬුලු සහිතව කළා වූ කඩ අතු පසෙකින් හෝ වැඩියක් කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වෙයි. 23. පුද්ගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නො අතුළේ වෙයි. 24. කඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වෙයි. මේ ආකාරයට අධිෂ්ඨාන කළ කර ගන්නට සුදුසු පරිදි සිවුර පිළිබඳ කළ යුතු දේ සම්පූර්ණ නොකළහොත්, ඒ සම්පූර්ණ නොකල සිවුරකින් කඨිනය අතුළේ වුවත් එය සිද්ධියට නොපැමිණේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ම කඨිනය ඇතිරිය යුතු ය. කඨිනය අහසින් වැටුන එකක් හා සමාන විය යුතුයි. ඉහත සඳහන් කරුණු අතර වර්තමානයේ දී මේ කරුණු දෙකට විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. “න නිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං” නිමිති කියා, කලින් ප්‍රකාශ කර, ලැබේ යැයි පෙර නිමිති දක්නට ලැබූ වස්ත්‍රයෙන් (සිවුරෙන්) කඨිනය ඇතිරීමට නොහැකිය. “මේ වගේ හොඳයි. මේ කඨින චීවරය ඒකට සුදුසුයි.” ලෙස නිමිති කිරීමෙන් ලබා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ වුවද එය සිද්ධියට නොපැමිණේ. “න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං” වටින් පිටින් කියා, හැඟවීම් කර, ආනිසංස කියා ලද වස්ත්‍රයෙන් කඨිනය ඇතිරීමට නොහැකිය. “කඨින දීම හොඳ පිංකමකි වෙන අවුරුදු වල නම් මේ කාලයේ කඨිනයක් දෙනවා. ඒත් මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නොපෙණේ.” ආදී ලෙස වටින් පිටින් කතා කොට උපදවාගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ වුවද සිද්ධියට නොපැමිණේ. (අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද "කඨිනානිසංස" නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී) මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය පැල්වාඩිය - රත්නපුර
1. ලකුණු කළ පමණින් කඨිනය නො අතුළේ වේ.
2. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය නො අතුළේ වේ.
3. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
4. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
5. හිස් නූල් ඇදීම පමණින් කඨිනය නො අතුළේ වේ.
6. දික් මැහුම් මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
7. අතු මූට්ටු කිරීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
8. දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුළේ වේ.
9. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
10. ඇතුල් නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
11. අමුතු රෙදි පටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුළේ වේ.
12. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය නො අතුළේ වේ.
13. මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරමි යි නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
14. අනුසස් කීමෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
15. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
16. තැන්පත් කොට තිබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
17. එක් රැයක් ම ඉක්ම යෑමෙන් නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
18. කප් බිංදු නො තැබූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුළේ වේ.
19. සඟල සිවුරු හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
20. උත්තරාසංග චීවරය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
21. අන්තරවාසකය හැර අනෙක් වස්ත්‍රයකින් කඨිනය නො අතුළේ වේ.
22. එදින ම කපන ලද මහ මඬුලු කුඩා මඬුලු සහිතව කළා වූ කඩ අතු පසෙකින් හෝ වැඩියක් කඩ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය නො අතුළේ වෙයි.
23. පුද්ගලයෙකුගේ ඇතිරීමෙන් විනා සංඝයාගේ හෝ සමූහයාගේ ඇතිරීමෙන් කඨිනය නො අතුළේ වෙයි.
24. කඨිනය මනා කොට අතුරන ලද වුවත් එය වස් විසූ විහාර සීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ ද, මෙසේ ද කඨිනය නො අතුළේ වෙයි.
මේ ආකාරයට අධිෂ්ඨාන කළ කර ගන්නට සුදුසු පරිදි සිවුර පිළිබඳ කළ යුතු දේ සම්පූර්ණ නොකළහොත්, ඒ සම්පූර්ණ නොකල සිවුරකින් කඨිනය අතුළේ වුවත් එය සිද්ධියට නොපැමිණේ.
භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ම කඨිනය ඇතිරිය යුතු ය. කඨිනය අහසින් වැටුන එකක් හා සමාන විය යුතුයි. ඉහත සඳහන් කරුණු අතර වර්තමානයේ දී මේ කරුණු දෙකට විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.
“න නිමිත්තකතෙන අත්ථතං හොති කඨිනං”
නිමිති කියා, කලින් ප්‍රකාශ කර, ලැබේ යැයි පෙර නිමිති දක්නට ලැබූ වස්ත්‍රයෙන් (සිවුරෙන්) කඨිනය ඇතිරීමට නොහැකිය.
“මේ වගේ හොඳයි. මේ කඨින චීවරය ඒකට සුදුසුයි.” ලෙස නිමිති කිරීමෙන් ලබා ගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ වුවද එය සිද්ධියට නොපැමිණේ.
“න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං”
වටින් පිටින් කියා, හැඟවීම් කර, ආනිසංස කියා ලද වස්ත්‍රයෙන් කඨිනය ඇතිරීමට නොහැකිය.
“කඨින දීම හොඳ පිංකමකි වෙන අවුරුදු වල නම් මේ කාලයේ කඨිනයක් දෙනවා. ඒත් මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නොපෙණේ.” ආදී ලෙස වටින් පිටින් කතා කොට උපදවාගත් වස්ත්‍රයෙන් කඨිනය අතුළේ වුවද සිද්ධියට නොපැමිණේ.
(අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද “කඨිනානිසංස” නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී)
මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනය
පැල්වාඩිය – රත්නපුර