ඖෂධ ගිලන්පස පූජාවේ අනුසස්

අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල් සීනි සූකිරි සීනි බෝල පැණි සකුරු මී පැණි තලතෙල් යන මේවාත් සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.
මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.
අම්බපාන-ජම්බුපාන -චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුස්කපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජා කෙරෙති. අඹ, ජම්බු, අටිකෙසෙල්, ඇටනැතිකෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියලි මුද්‍රප්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.
පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ය.
1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්‍රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි‍්‍රය විප්‍රයෝග දුකකට පත් නොවීම.