Anisansa to the flower offering මල් පූජාවේ අනුසස්

පදුම හිමි පදුමුත්තර බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පුජා කළ පිනෙන් මල් පෙති ගණනට සක්විති රජ ව ඉපදුණ හ. හත්සිය වතාවක් පෘථිවි රාජ්‍ය කළ අතර අවසානයේ නිවන් සුව ලැබීමට ද ඒ පින හේතු වු බව දක්වා ඇත.
තවද තිඋප්පල මාලිය හිමි විපස්සී බුදුරජුට උපුලු මල් තුනක් පුදා කල්ප 91 ක් දුගතියට නොයන ලදි. මේ පිනෙන් තුන්සිය වතාවක් සක්දෙව් රජ වී ඉපදිනා හ. පන්සිය වතාවක් සක්විති රජ වුණ අතර එම පිනම අවසානයේ නිවන් සුව ලැබීමට හේතු විය.
සත්තුප්පලමාලක තෙරුණිය පෙර ජිවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ සිතින් සිහි නුවණින් පිදූ පිනෙන් වාර හැත්තෑ හතක් දෙව්ලොවට අධිපති සක්දෙවිදුගේ බිරිඳ ව උපන්නාහ. එම මලෙහි පාට සුවඳ දෙකම ඇයට හැම දිවියකදීම හිමි වු අතර අවසානයේ නිර්වාණ අවබෝධය පිනිස ද ඒ පිනම හේතු වු බව දක්වා ඇත.
ඊට අමතරව මල් පිදීමේ ආනිසංස ලෙස

01. මහත් බෝග සම්පත් ඇත්තෙකු වීම
02. පහත් කුල වල නොඉපදි උසස් කුල වලම ඉපදීම
03. කැමති කැමති යාන වාහන ලැබිම
04. බෝහෝ අගනා වස්ත්රවභරණයන්ට ලාභි වීම
05. සෑම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්ර වීම
06. උසස් කීර්තියක් ඇත්තෙකු වීම
07. සෑම කල්හිම බෝහෝ පිරිවර ජනයා ඇත්තෙකු වීම
08. තම පිරිස කිසිවෙකුට භේද කර විය නොහැකි වීම
09. ඥාතීන් අතර උසස් ශ්රේ්ෂ්ඨ අයෙකු වීම
10. ශීත උෂ්ණ දේශගුණ වලින් පීඩාවට පත් නොවීම ආදී ය සදහන්ව ඇත.

මල් පුදන්නේ කුමට ද?
එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?
මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි.
මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ.
උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්කම් දෙකකි. වැඳුම් පිදුම් මෝඩ වැඩ සැටියට පෙනෙන්නේ ආගම නො දත්, පරලොවක් ඇති බව නො දත් පින් පව් නො හඳුනන අයට ය.
මල් පිදීමෙන් බොහෝ කල් දෙවි මිනිස් සැප ලබා අන්තිමට නිවන් දැක දුක් කෙළවර කර ගත් අය ගේ තොරතුරු දැක්වෙන කථා බොහෝ ගණනක් බෞද්ධ පොත්වල එන්නේ ය. රජගහ නුවර එක් උපාසිකාවක් චෛත්‍යයට පුදන්නට මල් සතරක් ගෙන යද්දී පැටවකු ඇති දෙනක විසින් ඇණ මරාදමනු ලැබ, මල් ගෙනයාමේ පිනෙන් ම තව්තිසා දෙව්ලොව උපන් බව විමානවත්ථූ පාලියෙහි ඇත්තේ ය. බුදුනට මල් පිදීමේ අනුසස් කොතරම් මහත් ද යන බව එයින් සලකා ගත හැකි ය.
***පහන් කීපයකින් ආලෝකවත් කළ හැකි චෛත්‍යමලු බෝමලු විහාරගෙවල සියගණන් පහන් දල්වා තෙල් නාස්ති කරන්නේ කුමට ද?
සෑමලු ආදියෙහි පහන් දල්වන්නේ ඒ ස්ථාන ආලෝක කිරීම පරමාර්ථය කරගෙන නොව බුදුන් වහන්සේට පහන් පිදීමක් වශයෙනි. බුදුන් වහන්සේට එක පහනක් පුදන්නා හට එක පහනක් පිදීමේ කුශලය ලැබේ. දෙක තුනක් පුදන්නාට දෙක තුනක් පිදීමේ කුශලය ලැබේ. සැදැහැවත්හු බොහෝ පින් සිදුකර ගැනීම සඳහා සිය ගණන් දහස් ගණන් පහන් පුදති.
පින් පව් හඳුනන්නා වූ බුදුගුණ දන්නා වූ පින්වත්හු මෙබඳු පින්කම් දැක සිත සතුටු කර ගෙන පින් අනුමෝදන් වී අනුන් කරන පිනෙන් ද ප්‍රයෝජන ලබති. බාලයෝ ‘නිකම් පහන් දල්වා රටේ ඇති තෙල් විනාශ කරති’යි අනුන් කරන පින්කම්වලට සිත නරක් කර ගෙන මරණින් මතු අපා ගත වෙති. මල්ල රජුන් ගේ ධාතු පූජාව ගැන සිත් නරක් කර ගත්තා වූ අසූසය දහසක් මිථ්‍යාදෘෂ්ටිකයන් ඒ පවින් අපාගතවූ බව “ මිච්ඡාදිට්ඨිකා සමණස්ස ගොතමස්ස පරිනිබ්බුත කාලතො පට්ඨාස බලක්කාරෙන සාධු කිළිතාය උපද්දුතම්භ, සබ්බේ නො කම්මන්තා නට්ඨාති උජ්ඣායන්නා මනං පදොසෙත්වා ජලාසීති සහස්සමත්තා අපායෙ නිබ්බුත්තා” යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කොසොල් රජතුමා ගේ අසදෘශ දානය ගැන සිත දුෂණය කර ගත් කාල ඇමති එපවින් මෙලොවදී ම තනතුරෙන් පහවූ බව දම්පියාටුවාවෙහි දක්වා තිබේ. තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා භවෙ නප්පසංසන්ති දානං
ධිරො ව දානං අනුමොදමානො
තෙතෙව සො හොති සුඛී පරත්ථ

අනුන් ගේ දීම්වලට ද කැමති නො වන තද මසුරෝ දෙව්ලොවට නො යන්නාහ. බාලයෝ දානයට ප්‍රශංසා නො කරන්නාහ. නුවණැත්තේ දානය අනුමෝදන් වෙමින් එයින් මරණින් මතු සැපවත් වන්නේ ය.
***බෞද්ධයන් විසින් සරණ සමාදානය සඳහා භාවිත කරන, ‘ බුද්ධං සරණං ගච්ජාමි’ යනාදි වාක්‍ය තුන ‘ මම බුදුවෙමි. මම ධර්‍මය වෙමි. මම සඟ වෙමි’යි තේරුම් කරති. එසේ තේරුම් කිරීම හරි ද?
‘ මම බුදුවෙමි’ යි වර්තමානය ගැන සලකා කියනවා නම් ඒ තැනැත්තා බුදු වී නැති බැවින් එය මුසාවකි. අනාගතාර්ථය සලකා කියනවා නම් එය ප්‍රාර්ථනයක් වේ. සරණ සමාදානයක් එයින් නො වේ. ධර්මය යි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ යන මේ නවයට හා ත්‍රිපිටකයට ය. කිසි කලෙක පුද්ගලයකුට ධර්මය විය නො හැකි ය. පුද්ගලයකුට ධර්මය නො විය හැකි බැවින් “ මම ධර්මය වෙමි” යි කීම කිසි තේරුමක් නැති උමතු කථාවකි. සංඝයාය කියනුයේ බුදුන් වහන්සේ ගේ පැවිදි පිරිසට ය. එක් එක් පුද්ගලයෙක් සංඝයා නො වේ. කවර ආකාරයකින්වත් එක් පුද්ගලයකුට පුද්ගල සමූහයක් නො විය හැකි ය. එබැවින් “ මම සඟ වෙමි” යි කීමත් කිසි ම තේරුමක් නැති උමතු කථාවෙකි. බුදුන් වහන්සේ අනුශාසකයාය, සංඝයා උන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ ය. “ බුදුවන්නේත් මම ය. සඟ වන්නේත් මම ය” යි කීම පියා වන්නේත් මම ය. මගේ පුතා වන්නේත් මම ය” යි කීම වැනි විහිළු කථාවෙකි.
මම බුදු වෙමි. මම ධර්මය වෙමි. මම සඟ වෙමි. මේ වගන්ති පාලි භාෂාවෙන් කියනවා නම් කියයුත්තේ “ අහං බුද්ධෙධා හොමි, අහං ධම්මො හොමි, අහං සංඝො හොමි” කියාය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” කියා පාලියට නො පෙරළිය හැකි ය. මේ කාරණයෙන් ද ඉහත කී තේරුම් කිරීමේ ක්‍රමය කිසි තේරුමක් නැතියක් බව කාහට වුවත් තේරුම් ගත හැකි ය.
මේවා මෙසේ වරදවා තේරුම් කරන්නවුන් විසින් එය කරන්නේ ඔවුන් ගේ නො දැනීමක් නිසා නොව කෛරාටිකකම නිසා ය. මෙසේ තේරුම් කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නූගත් බෞද්ධයන් මුළාකොට ඔවුන් පන්සල්වලින් ඈත්කොට, භික්ෂූන් වහන්සේලාගෙන් ඈත් කොට තමන් ගේ ශ්‍රාවකයන් කරගෙන ඔවුන්ගෙන් ගරු බුහුමන් ලාභ සත්කාර ලැබීමට ය.
***‘ බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි පාඨවල නියම තේරුම කවරේද?
එක් එක් වචනයකින් කියැවෙන්නේ එක් අර්ථයක් ම නො වේ. සමහර වචනවලින් අර්ථ දෙක තුන කියැවේ. සමහර වචනවලින් හත අට දහය දොළහ කියැවේ. වචනයකින් කියැවෙන අර්ථය සලකා ගත යුත්තේ ඒ වචනය යෙදී ඇති තැනේ සැටියට තැනට ගැලපෙන පරිද්දෙනි. ගච්ඡාමි යන වචනය බෙහෙවින් යෙදෙන්නේ තැනකින් තැනකට යාම නමැති අර්ථය දැක්වීමට ය. සරණ සමාදානය එබඳු යාමක් නොවන බැවින් තැනකින් තැනකට යාම නමැති අර්ථය බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි නො ලැබේ.
බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයෙහි ‘ ගච්ඡාමි’ යන වචනයෙන් කියැවෙන්නේ දැනගැනීමය. පිළිගැනීමය. සේවනය කිරීමය. භජනය කිරීමය යන අර්ථයෝ ය. බුද්ධං සරණං ගච්ඡාමි යන පාඨයේ තේරුම බුදුන් වහන්සේ පිළිසරණක්ය කියා දැන ගනිමිය. සලකා ගනිමිය, සේවනය කරමිය යනුයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි දෙක්හි තේරුමත් එසේ ම සලකා ගත යුතු ය. බුදුන් සරණ යෙමිය කියන කල්හිද අර්ථය එසේම සලකා ගත යුතු ය. සරණ යාමය කියන්නේ කොහාටවත් යාමක් නොව පිහිටක්ය කියා දැන ගැනීම ය. පිහිටක්ය කියා සලකා ගැනීම ය. පිළිගැනීම ය.
බුද්ධං සරණං ගච්ඡාමි යනු මම බුදුවෙමිය කියා වරදවා තේරුම් කරන අය බුදුන් සරණ යෙමිය කියා යන්නේ කොහි ද? ඉහළ යනවා ද? පහළ යනවා ද? හරහට යනවා ද? යනාදි ප්‍රශ්න අසා නූගතුන් මුළා කෙරෙහි “ නූගත් අසරණයෝ මූළාවී ඔවුන් ගේ ශ්‍රාවකයෝ වෙති.
බුද්ධ රත්නය ධර්‍ම රත්නය සංඝ රත්නය යන උත්තම වස්තු තුන තමාට පිහිට තුනක් සැටියට සලකා ගැනීම පිළිගැනීම සරණ ශීිලය ය. බුද්ධං සරණං ගච්ඡාමි යානාදි පාඨ තුන කියන්නේ සරණ ශීලය සමාදන් වීමට ය. සරණ ශිලයෙහි පිහිටි තැනැත්තා උපාසක නම් වේ. බෞද්ධයා ය කියන්නේ ද ඔහුට ය. බුද්ධාදි රත්නත්‍රය තමා ගේ පිහිට ලෙස නො පිළිගන්නා අයට උපාසකත්වය නැත. ඒ නිසා ඔවුහු බෞද්ධයෝ නො වෙති.
බුදු නො වන ධර්‍මය නො වන සංඝයා නො වන තැනැත්තකු මම බුදු වෙමිය මම ධර්‍මය වෙමිය මම සඟ වෙමිය යි කීම නිකම් ම මෝඩ කථාවකි. මෙම බුදු වෙමිය ධර්මය වෙමිය සඟ වෙමිය යි කොතෙක් කීවත් එයින් ඒ තැනැත්තා බුදුවන්නේත් නැත. ධර්මය වන්නේත් නැත. සංඝයා වන්නේත් නැත. එයින් ඔහුට වන්නේ තිසරණයක් නැති වී අබෞද්ධයකු වීම පමණෙකි. කෛරාටිකයන් ගේ කියුම්වලට රැවටී එබඳු මෝඩකම් නො කෙරෙත්වා!

මහාචාර්ය රේරුකානේ චන්දවිමල
මහ නාහිමි

මල් පූජාවේ අනුසස්

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ උතුම් පූජාවක්. නිවන් දකිනා තුරු සැප විපාක ලැබෙන්නේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන, වැඩෙන සේ පින්කම සිදු කිරීමෙන් පමණ යි. ඕනෑවට එපාවට යමක් කළොත් ලැබෙන්නේ අපා දුක් විඳීම යි.
Mal pooja මල් පූජාවේ අනුසස්ගුණ සම්පත්, ඉන්ද්‍රිය සම්පත් දියුණුවෙන් සෝමනස්ස සහගත ව සන්තෝෂයෙන් යුක්තව පින්කම කළ යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත ව, මේ පූජාවෙන් මෙවැනි ඵල විපාක ලැබෙනවා යනුවෙන් කර්ම ඵල විශ්වාසයෙන්, නිවන් සම්පත් ලැබේවා යන පැතුමෙන් පින්කම සිදු කළොත් නිවන් දකිනා තුරු සැප විපාක ලැබෙයි.
බුද්ධ ශාසනයේ උත්තර නමින් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන් වහන්සේ මෙවැනි කතාවක් වදාළා. ‘මම සුමේධ බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේ ඍද්ධිවන්ත තාපසයෙක් මි. එක්තරා දවසක මා අහසින් වඩිද්දී ගසක් පාමුල වැඩ සිටි සුමේධ බුදුරජාණන් වහන්සේ දැක දේහ ලක්ෂණ අනුව මේ ලොව්තුරා බුදුකෙනෙක් බව සිතුවෙමි. එවැනි උතුමෙකුට යම් පූජාවක් කරනවා නම්, එය මහා පූජාවක් ය යන අදහසක් ඇති වුණි. නමුත් පූජා කරන්න අතෙහි කිසිවක් නොමැති බැවින් සමීපයේ ඇති කිනිහිරියා ගසින් මල් (මෙහි පුෂ්පයන්ගේ වර්ණය බුද්ධ දේහයේ වර්ණයට සමාන වෙයි) නෙළාගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් , ඕනෑකමින් මේ පූජාව ලොව්තුරා බුදු කෙනෙකුට පූජා කරනවා යැයි සැදැහැ සිතින්, දෝතින් ම ගෙන අසම සම ගුණැති බුදුරජාණන් වහන්සේට මල් පූජාව සිදු කළා. උතුම් ගුණ සිතෙහි දරාගෙන, ශ්‍රද්ධාදී ගුණ මතුකරගෙන, තමන් ද ශීලයක පිහිටාගෙන සිදු කළ මේ පූජාව මහත් ඵල වුණා.
තාපසතුමාගේ මරණාසන්න මොහොතේ ද මේ උතුම් පින්කම සිහියට නැඟුණා. මෙහි ආනිසංස සුමේධ බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා ම ඇති කල්ප තිස්දාහකම කවර ආත්මයකවත් සතර අපාගත වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොලුවෙක්, මන්දබුද්ධිකයෙක් , අවාසනාවන්තයෙක් , මිථ්‍යාවාදී කෙනෙක් වශයෙන් උපත ලැබුවේ නැහැ. මනුලොව මනුෂ්‍ය, රාජ, සක්විති සම්පත් ලැබුවා. දෙව්ලොව දිව්‍ය රාජ සම්පත්, බඹ ලොව ධ්‍යාන සම්පත් ලැබුවා. මෙලෙස සුගතිගාමී ව ගෞතම බුද්ධ ශාසනයේ දී දෙව් ලොවින් චුතවී මනු ලොව උපත ලබා තරුණ වියේ දී පැවිදි වී නොබෝ දිනකින් රහත් බව ලැබුවා. මෙලෙස කල්ප තිස්දාහකට පෙර කළ පින්කමේ අනුසස් වදාළ බව අපදාන පාලියේ සඳහන් වෙනවා.
එසේනම්, දිනපතා කරන පූජාවන් ආවාට ගියාට කරන්නට එපා. ශ්‍රද්ධා දී ගුණ මතුකරගනිමින් , පිරිසුදු දෑතින් නෙළාගත් මල් , නිසි පරිදි පැන් ඉස, ඉතිපි සෝ ගාථාව සජ්ඣායනා කර බුද්ධාසනය මතට රැගෙන යන්න. මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා යනුවෙන් සිත පහදවා ගෙන ලැබෙන පින මටත්, මිය ගිය ඥාතීන්ටත් , දෙවියන්ටත් නිවන් සැප ලැබේවා පැතුමෙන් දෙදණ නවා, නළලත බිම තබා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරන්න. දෙව්ලොව පතා කරන පින්කමෙහි සැප විපාක මද බවත්, නිවන් සැප පතා කරන පින්කමෙහි අනුසස් බහුල බවත් කල්පනාවෙන් වැඩි වැඩියෙන් උදාර පින්දහම් කිරීමට අවකාශ , අධිෂ්ඨාන තබා ගත යුතු යි. එක්තරා රහතන් වහන්සේ නමක් , තමන් වහන්සේ ඉහත ආත්ම භාවයක පියුමතුරා බුදුරජාණන් වහන්සේට සිදු කළ වැටකෙයියා මල් පූජාවෙන් කල්ප ලක්ෂයක් සුගතියක ම සැප විපාක විඳ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී නිවනට පත් වුණ බව ද , එවැනි ම මල් පූජාවක් සෑ රදුන් වහන්සේට සිදු කර සැප විපාක ලද බව ද අපදාන පාලියේ සඳහන් වෙනවා.
සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනෝම දස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ තාපසයෙක් ව එහි වාසය කළා. වනාන්තරයේ කුටි සකසාගෙන තාපසවරු හැත්තෑ හතර දහසක් සමඟ වාසය කළා. මේ ආරාමයට අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන , වතාවත් සම්පූර්ණ කර, දවල් දානයට පලතුරු වර්ග පූජා කර, අනතුරුව ගෝල බාල තාපසවරු හැත්තෑ හතර දාහස ලවා ම වනාන්තරයෙන් මල් නෙළාගෙන විත්, බුද්ධාසනය මත තැම්පත් කර විශාල මල් පූජාවක් සිදු කළා. එහි අනුහසින් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පැතූ පැතුම ඉටු වූ සැරියුත් තෙරුන් වහන්සේ මල් පූජාවේ ආනිශංස වදාළා. තාපස ජීවිතයේ පටන් ගෞතම බුදු සසුන දක්වාම මල් පූජාවේ අනුහසින් සතර අපාගාමී නොවූ උන් වහන්සේ මනුලොව, දෙව්ලොව උපත ලබමින් සියලු සම්පත් ලබාගෙන , පාරමී ගුණ ද දියුණුවෙන් ගෞතම මහ බෝසතාණන් වහන්සේ සමීපයේ ම වාසය කළා. උන්වහන්සේගේ බෝධිකාරක ධර්මයන්ට උදව් පදව් කළා. ආරක්ෂකයකු වශයෙන් ද වාසය කර පැවිදි ව ගෞතම බුද්ධ ශාසනයේ ඉර හඳ මෙන් බැබළෙමින් සාරිපුත්ත නමින් ප්‍රකට වුණා.
මේ අනුව ලොව්තුරා බුදු රදුන් උදෙසා කරන පූජාවන් අනර්ඝ යි. ඒ පින මෙපමණයි යනුවෙන් සඳහන් කරන්නට බැහැ. ඒ නිසා දිනපතාම උදේ , සවස මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න. එලෙස ධර්ම රත්නයට, සංඝ රත්නයට, පූජා වේවා යනුවෙන් සිතන්න. සියලු වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලාටත්, අනන්ත බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාටත්, මේ මල් වට්ටිය මම පූජා කරමි, පූජා වේවා, මේ පිනෙන් මට නිවන් සම්පත් ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර ගන්න. මෙවැනි අදහසින් කරන පින්කමෙන් තමන් රහත් ඵල ලබන තුරුම විපාක දෙනවා. ඒ නිසා ශ්‍රද්ධා දී ගුණ සිතෙහි තබාගෙන ම බුදු ගුණ සජ්ඣායනාවෙන් ම බුදුරජාණන් වහන්සේ උදෙසා පින්කම් සිදු කිරීමෙන් නිවන් දකිනා ජාති දක්වාම සුගතිගාමී ව වාසය කළ හැකියි. ඒ නිසා එක් ජීවිතයක් පස් පවින් වැළකී , ගුණ දහම් දියුණුවෙන් කටයුතු කළොත් සංසාරෙටම අගනා වෙයි. කිසිවෙකින් අඩු පාඩු නො වෙයි. ඉතිපි සෝ ගාථාව නිතර මෙනෙහි කරමින් බුදු ගුණ වඩන්න, මෛත්‍රිය වැඩි කර ගන්න, ලොවටම සෙත් පතන්න. බණ පොත් කියවීම, බුදුසරණ පුවත්පත කියවීම ආදිය සිදු කළ යුතු යි. මෙලෙස තමන් ඉතා පිරිසුදු සිතෙන් පාරමී ගමන යන්න. නිවන් මඟට බැස නිවන් සුව පතාම පින්දහම් සිදු කර ගන්න.
ඇතැමෙක් මල් පූජා පින්කම වැඩක් නැතැ’යි පැවසුව ද එවැනි දුර්මත ඉවතලමින්, ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට ගොස් නිවන් සුව පතාම මේ ගමන අවසානය දක්වාම යන්නට අවශ්‍යයි. මේ කරුණු කාරණාවෝ කවුරුත් බොහොම හොඳින් සිතට ගතට ගෙන, දස පාරමිතාවෝ පිරෙන සේ , ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන සේ පූජා සත්කාර වන්දනා මාන කළ යුතු යි. සෑම නිවසක ම බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. එය ගෞරව සම්ප්‍රයුක්තව තබාගෙන වැඳුම් පිදුම් කළ යුතු යි. ඇතැමුන් බුදුරජාණන් වහන්සේ ට වෙනම කුටියක් සකසා තිබෙනවා. මේවා අනන්ත ජාතිවල මාලිගා ලැබෙන පින්කම්. එය සැමටම කළ නොහැකි නම්, තමන්ට හැකි සේ වතාවත් ඉෂ්ඨ සිද්ධ කර ගන්න. මරණින් මතු කොහේ යනවා ද, නැවත බුදු කෙනෙක් හමු වෙනවා ද යනුවෙන් සිතන්නට බැහැ. ඒ නිසා කවුරුත් ලබාගත් බුද්ධ ශාසනය රැකගෙන හැකිතාක් උදාර පින්දහම් සිදු කර, බුද්ධාදී උතුමන් නිවී සැනසුණු, නිවන් පසක් කරගන්නට ලැබේවා!
අති පූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.

Dhamma Deepa