Ambatta Sutta අම්බට්ඨ සූත්‍රය

ස්ථානය  –  කෝසල ජනපදයේ ඉච්ඡා නම් ගමේ ඉච්ඡා නම් වනරොද

බමුණු මත ඛණ්ඩනය කිරීම. පොක්ඛරසාතී බ්‍රාහ්මණයාගේ ගෝලයාගේ අම්බට්ඨ යන්ගේ කුල වාදය මූලික කරගෙන දේශනා කිරීම

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ විග්‍රහය

අම්බට්ඨ සූත්‍රය

එක් සමයෙක භගවත් බුදුරජුහු මහත් මහණමුළුවක් හා කොසොල්රටැ සැරිසරන්නාහු ඉච්ඡානඞගල නම් බමුණුගමට වැඩියහ. ඔබ එහි ගමට නොදුරැ පිහිටි වනලැහැබැ වෙසෙති.

එ සමයෙහි පොකුරුසැත් නම් බමුණු ඇදුරා කොසොල් රජුගෙන් පඬුරු විසින් ලත් උක්‍කටඨා නම් නුවරට අධිපති වැ වෙසෙයි. හෙතෙම බුදුරජුන් ඉචඡානඞගල වනලැහැබැ වසන පවත් ඇසී, මිනිසුන් අතරැ නැගී ගිය බුදුගුණ කතාව ද ඇසී, හේ සිය දෙටු අතැවැසි අම්බට්ඨ නම් මණෙවුහු බණවා “මහණ ගොයුමන් පිළිබඳ වැ පැන නැග පැතිරැ පවත්නා ගුණකතාව සබා එකෙක් ද?” යි හේ ගොස් විමසා එවයි කී ය. “එය කෙසේ දැනගනිම් ද?” යි හේ පුළුවන.

“අප වේදයන්හි බුදු වන හෝ සක්විති වන මහපුරිස්හු කෙරෙහි වන මහපුරිස්ලකුණු දක්වා ඇත. එ මගින් දත මැනැවැ” යි පොකුරුසැත් කීය. “මැනැවැ” යි අම්බට්ඨයා ගුරු බස පිළිගත. පොකුරුසැත් බමුණු තමා අතැවැසි පිරිසක් පිරිවර කොට දී අම්බට්ඨ සිය රියෙන් ම යැවී ය.

අම්බට්ඨ තෙම බුදුරජුන් වෙත ගියේ ය. ගොස් තමා උඩඟුබැවිනුත් සැහැරජුන් කෙරෙහි බැඳගත් පරණ එදිරියක් ඇති බැවිනුත් බදුරජුනටත් සැහැරජුනටත් ගැරැහුම්මුවින් නොයෙක් දෑ කීයේ ය. සැහැරජුන් ගෙන් ඔහුට වරදෙක් වත් වී දැ? යි බුදුරජුහු පුළුවුත්හ. “එසේ යැ’යි හේ වූ පවත් කී ය. “ඒ පමා දොසට කමන්නැ” යි බුදුරජුහු වදාළහ. එහෙත් හේ වඩාලා ම සැහැරජුනට ගරහන්නට වන. “දැන් මොහු මන් බින්දැ යුතු යැ”යි බුදුරජුහු සැලැකූහ.

ඔහු ගේ පරපුර කිමැ යි විචාළහ. හේ තමා කණහායන පරපුරැ එකෙකැ යි පැවැසී. බුදුරජුහු කණහායන පරපුරේ වතගොත හෙළි කරනුවෝ, සැහැරජුන් ඔකාවස් රජකුලෙහි වූවන් බව ද, කණහායන යනු එක් ඔකාවස් රජක්හු ගේ දැස්සක රජු නිසා ලත් කණහ (කෘෂණ) නම් දරුවක්හු පරපුරක් බව ද වදාළහ. තමා සැහැ රජුන් මුල් පියාණන් ගේ දැස්සක දරුවාගේ පරපුරට අයත් බව නොපිළිගෙන නිහඬ වනුවට තැත් කළ ද, එයට ඉඩ නො ලැබිණ. හේ එය පිළිගත. මෙයින් ඔහු මන් බුන.

ඔහු පිරිසැ වූ බමුණු කුමරුවන් ඔහු දැස්සක පුතැ යි හෙලා කතා කරන ඉඟියක් පැනුණෙන් බුදුරජුහු අමබටඨයා සනසනුවෝ, ඔහු පරපුරැ මුල් පිය කණහයා ගේ පියා ඔකාවස් රජක්හු බව ද දක්වා සැහැරජුන් හා ඔහු ගේ නෑසැබැඳියාවක් ඇති නිසයා ද වදාරා ඔවුන් නිහඬ කළහ.

ඉක්බිති ලෝවහර පරිදි කැත් බමුණු කුල දෙකෙන් කැත්හු ම වඩා උතුම්බවට කරුණු බමුණු කියමනින් ම දැක්වූහ:

“බතතියො සෙටෙඨා ජජනෙතසමිං
යෙ ගොතතපටිසාරිණො
විජජාචරණසම්පනෙනා
සො සෙටෙඨා දෙවමානුසෙ”

මේ සනත් කුමාර බඹහු කීවකි.

(“සිය පරපුර සිහි කරන ජන මුළුයෙහි කැත් තෙමේ උතුම. දෙව්මිනිසුන් අතුරෙහි විදු සරණ (විද්‍යා චරණ) දෙකින් යුතුයේ උතුම” යනු එහි අදහස ය.)

මෙ බස් ඇසූ අමබටඨ තෙම සිය සමය අනුව සලකනුයේ “විදුහූ (විද්‍යා) නම් තුන් වේදයෝ ය. සරණ (චරණ) නම් පන්සිල් ය. මෙ දහම් අප තුළ ඇත. එබැවින් විදු සරණ දෙකින් යුතුයේ දෙව්මිනිසුන් අතුරැ උතුම් ම තැනැත්තේ වේ නම්, උතුම් ම අය අපි යැ” යි සිතී ය. මෙසේ සිතා, “ඒ සරණ (චරණ) නම් කවර යැ? විදු නම් කවරැයැ?” යි පුළුවුත. “බමුණනට ම මෙය සුදුසු යැ, සෙස්සනට නො සුදුසු යැ” යන ඈ විසින් බමුණුදහම්හි ජාතිවාදකථායෙහි එන විදු සරණ දෙක එ නමින් තමන් අදහස් නො කරන බව බුදුරජුහු වදාළහ. එවිට අමබටඨ තෙම බුදුරජුන් අදහස් කරන විදුවත් සරණත් කවරැ? යි පුළුවුත.

බගවත් බුදුහු (යටැ බ්‍රහමජාල සාමඤඤඵල සූත්‍රයන්හි දැක්වූ පරිදි) පළමුකොට සිල් ද එයට පසු සමාධි ප්‍රඥා ද දැක්වූහ.

බගවත් බුදුහු ලොවැ පහළ වෙති. ගැහැව් ආදීන් අතුරෙන් කිසිවෙක් ඔබ දහම් අසයි. බුදුන් කෙරේ පැහැද, ගිහිගෙයි දොස් සලකා ඔබ වෙත පැවිදි වෙයි. හේ පාතිමොකඛ සංවරයෙන් හැවුරුණේ, මනා ආචාරගෝචර දෙකින් යුතු වැ, සවල්ප වරද පවා මහ නපුරක් සේ දක්නා සුලු වැ වෙසෙයි. පිරිසිදු දිවෙල ඇතිවැ ඉඳුරන්හි වැසූ දොර ඇති වැ, බොජුනැ පමණ දන්නේ, සිහිනුවණින් යුතු ව ලද පසයෙන් සතුටු වැ වෙසේ.

හේ පණිවායෙන්, අයිනාදනින්, මෙවුන්දමින්, මුසවායෙන්, පෙහෙසුන්බසින්, පරොස්බසින්, බොල් තෙප්ලෙන් වැළැකේ. පැල වන දෑ පැල වුණු දෑ සිඳුමෙන් බිඳුමෙන්, රෑ බොජුනෙන්, නටනු ගනුවයනු විසුළුදස්න යන මෙයින්, මල්ගඳවිලෙවුන් දැරුමෙන්, උසසුන් මහසුන් කෙරෙන්, රන්රිදී මසුකහවනු පිළිගැන්මෙන්, අමු ධාන්‍ය පිළිගැන්මෙන්, අමුමස් පිළිගැන්මෙන්, ගැහැනුන් දැරියන් පිළිගැන්මෙන්, දැසිදසුන් පිළිගැන්මෙන්, එළු බැටෙළු කුකුළු ඌරු ඇත් ගෙරි අස් වෙළෙ¼ඹ යන සතුන් පිළිගැන්මෙන්, ගිහියනට දූත මෙහෙවර කැරුමෙන්, ගනුදෙනු කැරුමෙන්, තුලාකූටාදි හොර මිනුමෙන්, අල්ලස්ගැනුම් රැවැටුම් නිකති සාචියෝග යන මෙයින්, ඡේධන වධබන්‍ධනාදියෙන් වැළැක්කේ වෙයි.

බීජගාම භූතගාම සිඳීමෙන්, සනනිධිකාර පරිභෝගයෙන්, විසුළුදස්නෙන්, දූකෙළියෙන්, උස් යහන් මහ යහන් පරිභෝගයෙන්, ඇඟ අඩු තැන් පිරැවීමටත් කය සැරැසීමටත් කරුණු වන දැයින්, තිරිසන් කතායෙන්, උනුන් හා බැණ දොඩාගැන්මෙන්, දුත මෙහෙවරෙන්, කුහන ලපනයෙන්, තිරිසන් විදුයෙන්, වැරැදි දිවෙලින්, ලකුණු සතරෙන්, රජුන් ගේ ජය පරාජය කීමෙන්, දෝසතරින්, වැසිනියඟ ආදීය කීමෙන්, ආවාහ විවාහාදිය පිණිස නකත් කීම් ආදියෙන්, ශානතිකර්‍මාදියෙන්, වැළැක්කේ වෙයි. මේ ඔහු ගේ සිල් ය.

මුදු නැ අබිසෙස් ලත්, බිඳී ගිය සතුරන් ඇති රජක්හු සෙයින්, අසංවරයෙකින් පහළ විය හැකි කිසිදු බියක් තමාට නො වන බව් දක්නා හේ සිය සතන්හි කාවිසිමුනි තිදොරැ සුව විඳී.

හේ ඇස් ඈ සයිඳුරන් ද හවුරා රැක ගනී. ඉදිරියට යෑම් පෙරළා ඊම් ඈහි සිහියෙන් නුවණින් යුත් වෙයි. කයට පමණ වූ සිවුරෙන් ද කුසට පමණ වූ අහරින් ද තෘප්ත වනුයේ, යන තැනට පියාපත් බර පමණක් ගෙන යන කුරුල්ලකු සේ තමා යන තැනට පාසිවුරු පමණක් ගෙන යෙයි. මෙසේ ලත් පසයෙන් සතුටු වෙයි.

සිල්ගුණ, ඉඳුරන් හැවුරුම, සිහි නුවණ, ලද දැයෙහි සතුට යන මෙයින්යුත් වු හේ ජනයා ගෙන් තොර කිසි සෙනස්නක් බෙජෙයි. පසුබතැ පළක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය කමටහනට යොමු කොට එළවා හිඳියි.

හේ අභිධ්‍යා ව්‍යාපාද ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ඡ විචිකිච්ඡා යන නීවරණ කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. යම්සේ ණය ගෙන කිසි වැඩෙක යොදා එයින් මහත් ධන ඉපැයූයේ, ගත් ණය දී ඉතිරි වූ දෑ අඹුදරුවන් රක්නට පොහොනා නියා දැක සතුටට පැමිණෙයි ද, යම්සේ අහරැ රිසිය ද නැති දුඹුල් ගිලනෙක් බෙහෙත් ගෙන සුව ලබා සතුටට පැමිණෙයි ද, යම්සේ සිරගෙයි වැටුණෙක් තමා සතු දේපොළ නො විසඳා ම සුව සේ එයින් මිදුණේ සතුටු වෙයි ද, යම්සේ තමා රිසි පරිදි පවතිනු නොහැකි අනුන් යටතේ වසන ඟසයෙක් පසු කලැ නිදහස් ව සිය කැමැත්ත පරිදි හැසිරෙන්නේ සතුටට පැමිණෙයි ද, යම්සේ උවදුරු සහිත කතරමඟට බට දනවතෙක් සුවසේ එය තැරැ සිය ගමට පැමිණ සතුටු වෙයි ද, එසේ ම හෙ තෙම ණය ගිලන්බව් ඈ බඳු වූ තමා කෙරේ පවත්නා නීවරණයන් දැක, පසු ව ඔවුන් තමා ගෙන් දුරු වූ නියා ද දැක සතුටට පැමිණෙයි.

සතුටු වූ ඔහු තුළ ප්‍රීතිය වෙයි. ප්‍රීතියට පැමිණියහු ගේ නාම කය සංසිඳෙයි. සංසුන් නම්කයැත්තේ සුව විඳී. සුවපත්තහු සිත එකඟ වේ.

මෙසේ වූ හේ අකුසලුන් කෙරෙන් වෙන් වැ සමාධි වඩා පළමු රූ දහන් ලබයි. එයට පසු පිළිවෙළින්දෙවෙනි රූදහන තෙවෙනි රූදහන සිවුවන රූදහන ලබයි.

මේ පළමුවන දෙවෙනි සිවුවන රූදහන් ලැබ වසනු ඔහුගේ සරණදහම් (චරණධම¡) ය.

මෙසේ සිවුවන දැහැනින් සිත නිසල වූ කලැ, එය විවසුන් නුවණ අතට යොමු කෙරෙයි: “මේ කය රූපී යැ, මහාභූත සතරින් පහළ වූයෙක, මාපියන් ගේ සුකුරුසෝණිත දෙකින් උපන්නෙක, බත් ඈ අහරින් වැඩුණෙක, අනිස වූ දැයෙක, දුගඳ හරනට සුවඳවිලෙවුන් ඉළියැ යුත්තෙක, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු ය. එහෙත් බිඳෙන සුලු ය, විසිරෙන සුලු ය, මා සිත මේ මෙ බඳු කයැ ලැග්ගේ ය, බැඳුණේ යැ” යි හේ සලකයි. මෙය ඔහු ලත් විදුවෙක (විද්‍යාවෙක)

තව ද හේතමා සිත එකඟ කලැ, ඉදුහු උපදවනුවට යුහු කලැ, මනෝමය සිරුරක් මවා පාන්නට සිය සිත යොමු කෙරෙයි. මේ සිරිරෙන් හැම අඟපසඟින් යුත් මන්මුවා සිරුරක් මවා පායි. මේ ද ඔහු ලත් විදුවෙක. හේ දැහැනින් සිත නිසල වූ කලැ ඉදුවිද (ඍදධිවිධ) නුවණ පිණිස සිත යොමු කෙරෙයි. නොයෙක් ඉදුහු කෙරෙයි. පියෙව්යෙන් එකෙක් වූ හේ බොහෝ දෙනෙක් වැ පෙනෙයි. බොහෝ වැ පෙනී සිටැ යලි එකෙක් වෙයි. අනුන් ඉදිරියේ පෙනී සිටී, නොපෙනී ද සිටී, අහසැ මෙන් කිසිවෙකැ නො ගැටී බිත්තියෙන් පවුරෙන් පව්වෙන් පිටතට විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවැ ගැලෙයි, මතුªවෙයි. පියහසර කරන කුරුල්ලකු සෙයින් අහසැ ද පළඟින් යෙයි. එසා මහ තෙදැති සඳහිරුහු අතින් පිරිමදී. බඹලොව දක්වා ද සියල්ල කයින් තමා වශයෙහි පවත්වයි. මේ ද ඔහු ලත් විදුයෙක.

(දැහැනින්) සිත එකඟ වැ නිසල වූ කලැ, හේ දිවකන් නුවණ ලබනුවට පිරියම් කෙරෙයි. එය ලැබ ළඟ දුර දෙක්හි දෙවියන් ගේ ද මිනිසුන් ගේ ද හඬ අසයි. මේ ද ඔහු ලත් විදුයෙක.

හේ යට කී පරිදි (දැහැනින්) සිත එකඟ වැ නිසල වූ කලැ පරසිත් දන්නා නුවණ ලබනුවට පිරියම් කෙරෙයි. එය ලැබ එයින් මෙරමා ගේ සිත දැන ගනී. ඒ ඒ කෙලෙසුන් ඇති සිත ඒ ඒ කෙලෙස් ඇති සිතැ යි ද, එකි එකී කෙලෙසුන් ;ගන් මිදුණු සිත මිදුණු සිතැ යි ද දනී. මේ ද ඔහු ලත් විදුවෙක.

හේ මෙසේ දැහැනින් සිත එකඟ වැ නිසල වැ පැවැති කලැ, පෙර අත්බව් දක්නා නුවණ ලබනුවට පිරියම් කෙරෙයි. හේ එය ලැබැ එක් ජන්මයක් ද ජන්ම දෙකක් ද යන ඈ පිළිවෙළින් උඩත්පිරිසෙයින් කප් බොහෝ ගණනක් නොයෙක් සැටියෙන් වූ පෙර අත්බව් සිහි කරයි. මේ ද ඔහු ලත් විදුවෙක.

හේ සිත දැහැනින් එකඟ වැ නිසල වැ සිටි කලැ, දිවැස ලබනුවට පිරියම් කෙරෙයි. එය ලැබ එයින් ඒ ඒ කුසල් අකුසල් කරන්නවුන් ද, මියෙන්නට ළං වැ සිටියවුන් ද, මියැ කම් වූ පරිදි උපන්නවුන් ද දකී. මේ ද ඔහු ලත් විදුයෙක.

හේ දැහැනින් සිත එකඟ වැ නිසල වැ සිටි කලැ කෙසෙල් නසන නුවණ ලබනුවට පිරියම් කෙරෙයි, එය ලබයි. මේ දුකැ යි, මේ දුක් මුලැ යි, මේ දුක්නිරොදැ යි, මේ දුක් නිරොදට යන මඟ යි, ඇති සැටියෙන් දනියි. මේ ආසාව යැ යි, මේ ආසවසමුදය යි, මේ ආසවනිරෝධයැ යි, මේ ආසවනිරෝධයට යන පිළිවෙතැ යි තතු වූ පරිදි දනියි.

මේ දන්නා දක්නා ඔහු සිත කාමාසව භවාසව අවිජජාසව යන තුන් ආසව කෙරෙන් මිදෙයි. අනතුරු වැ “මා සිත ආසව කෙරෙන් මිදිණැ” යි ඔහුට පස්විකුම්නුවණ පහළ වෙයි. “බව් උපත නැවැතිණ, බඹසර වැස නිමැවිණ, කෙලෙස් නසනුවට කළ යුතු සියල්ල කොට නිමැවිණ. මෙහි ලා තවත් කළ යුතු දැයෙක් නැතැ” යි හේ දැනගනී. මේ ඔහු ලත් උසස්තම විදුව ය.

මෙසේ මෙකී අටවිදුයෙන් ද ඉහතැ කී සරණින් ද යුත් වූ මහණ තෙමේ විදුයෙන් යුත් තැනැත්තේ යැ යි ද, සරණින් යුත් තැනැත්තේ යැ යි ද කියනු ලැබේ. මේ විදුසපුවටත් (විජජාසමපදාවටත්) සරණසපුවටත් (චරණසමපදාවටත්) වැඩිතරම් වූ කිසි දු අන් විදුසපුවෙක්, අන්සරණසපුවෙක් නැත.

මේ ලොවුතුරු විදුසරණසපුවට අවාමුව (නැසෙන මග) සතරෙක් ඇත. රුක්නෙන් වැටුණ පල වළඳා දිවි රක්නා (පවතතඵලභෝජී) තවුස් බව එකෙක. අල මුල් ගෙඩි වළඳා දිවි රක්නා තවුස් බව එකෙක. ගිනි පුදන තවුස් බව එකෙක. මේ තුන් තවුසට ම බල නැතියක්හු සතරදිගින් එන මහණ මෙ සස්නැ පැවිදි වැ තුන් සික පුරනු නො හැක්කාහු තවුස් පැවිද්ද පහසු යැයි සලකා සිවුරු හැර තවුස් පැවිද්ද ගනියි. සිය කැමත්ත පරිදි විසිය හැක්කැයි ඔවුන් අනුව තවත් අය ද එයට බැඳෙති. මෙසේ වීමෙන් කල් යෑමේදී සසුන් පැවිද්ද අතුරුදහන් වේ. එ බැවින් තවුස් පැවිද්ද ශාසනික පැවිද්දේ අපායමුඛයයි. සසුන් පැවිද්දේ විනාශයට ළං ව ඇති වන එකෙකි.

බමුණනට දන්දෙනුවට සතරමංසන්දියෙක දන්හලක් පවත්වනු එකෙක. මොහු විදුසරණසපුයෙහි වනස්මුව (සස්නැ පැවිද්දේ වනසට ළං වැ ඇති වන දෑ) සතර ය.

බුදුරජුහු මෙය විසතරයෙන් වදාරා, මේ තවුස්පැවිද්ද ගන්නාහු උඩ කී චරණ හා විද්‍යා හා ඇති සස්නැ පැවිද්දා ගේ වතාවත් කරුවන් බඳු හ යි පැවැසූ හ. ඉක්බිති අමබටඨයාත් ඔහු ගුරු වූ පොකුරුසැතාත් එසේ වූ සසුන්වනස්මුව වූ තවුස්පැවිදිකම් පමණකුදු නැති ගිහිගෙයි පස්කම් සුව විඳින්නවුන් බවත්, මෙසේ වූ ඔවුන් ලොවුතුරා විදුසරණසපුයෙන් බැහැරැ ම සිටුනා බවත්, එවන් පොකුරුසැත් බමුණු “බඹා පිටුපතුලින් උපන් මුඬුමහණුනට තෙවිඳු දත් බමුණන් හා මොන කතා දැ”යි ඔවුන් පිරිහෙලා අමබටඨයාට ඉගැන්වීම පොකුරුසැත්හු ඔහුට කළ ලොකු වරදක් බවත් වදාළහ.

තව ද බමුණන් අටටක වාමක වාමදෙව වෙසසාමිතත යමතගගි අංගීරස භාරදවාජ වසිටඨ කසසප භගු යන ඉසිවරුන් පෙරැ ගැයූ කියූ දෑ උන් අනුව ගයනු කියනු ම මුත් ඔවුන් පිරූ ගුණදහම් නොපුරන බවත් අමබටඨයා ලවා ම කියවා, ඔහුත් ඔහු ගුරුත් දෙදෙනා ම ඉසිවරුන් නො වෙති යි ඉසිබව පිණිස පිළිපන්නෝ හෝ නො වෙතියි ද වදාළ හ.

මෙයට පසු අමබටඨ තෙම බුදුරජුන් ගේ දෙතිස්මහපුරිස් ලකුණු පිරික්සා, සිය ගුරුහු වෙත ගියේ ය. ගොස් “මහණ ගොයුමාණන් පිළිබඳ ව නැගී ගුණකතාව සබා යැ”යි ද ඔබ මහපුරිස්ලකුණු ඇතියෝ යැ” යි ද සැළ කළහ.

“තා හා මහණ ගොයුමාණන් හා කිසි කතාබහෙකුත් වී දැ” යි බමුණු ඇසී ය. බුදුරජුන් හා තමා අතරැ වූ කතාව මුළුල්ල ම හේ කී ය. එය ඇසූ පොකුරුසැත් බමුණා අමබටඨයාට ගැරැහී ය. කිපී පයින් පැහැරැ ඔහු බිමැ හෙළී ය. එකෙණෙහි ම බුදුරුන් දක්නට යනු කැමැති විය. සෙසුබමුණෝ පොකුරුසැත්හට “මහණගොයුමන් දක්නට යනුවට දැන් කල් නොවෙ යි. සෙට යත හැකි” යි කිවූ ය. බමුණු ද සිය ගෙහි කැවිලිපෙවිලි සකසවා යානයන්හි ලවා, පසු දාට එළි වෙන වේලේ උකකටඨායෙන් ඉචඡානංගලය බලා නික්මුණේ ය. එයට නොදුරු වෙනෙහි බුදුරජුන් වැඩ ඉන්නා තෙනට ගියේ ය.

බුදුරජුන් දැක පිළිසඳර කතා කොට පසෙක හිඳ “පින්වත් ගොයුමාණන් වහන්ස, අප අතැවැසි අමබටඨ මණෙවු මෙහි ආයේ දැ?” යි විචාළේ ය.

“එසේ යැ” යි බුදුරජුහු වදාළහ.

“ඔබගේත් ඔහුගේත් කිසි කතාබහෙකුත් වීදැ?” යි බමුණු ඇසී ය.

“එසේ යැ”යි බුදුරජුහු වදාළහ.

“ඒ කෙබඳු කතාබහෙක් දැ?” යි බමුණු ඇසී ය.

බුදුරජුහු මුල පටන් සියලු කතාව වදාළහ. එවිට පොකුරුසැන් තෙම ඉපින්වත් ගොයුමාණන්වහන්ස, අමබටඨයා ලාමක ය. පින්වත් ගොයුමාණන් වහන්සේ අමබටඨයාට කමා කරන සේක් වා” යි කීය. “බමුණ, අමබටඨ තෙම සුවපත් වේ වා” යි බුදුරජුහු වදාළහ.

ඉක්බිති පොකුරුසැත් තෙම බුදුරජුන් දෙතිස් මහපුරිස්ලකුණු පිරික්සා දැන, “මොහු බුදුහු මැ යැ” යි නිසැක විය. එයට පසු බික්සඟන සහිත බුදුරජුනට නිමැතුම් කොට තමා පිරිවෙස්නට වැඩම කරවා දන් දුන.

බුදුරජුහු බොජුන් වළඳා ඉක්බිති දානකථා, ශීලකථා, සවර්‍ගකථා, කාමදෝෂ, කාමලාමකතා, කාමසංක්ලේශතා, නිෂ්කාමතායෙහි අනුසස් යන පිළිවෙළකතාව වදාළහ. එයට පසු සිවුසස් දෙසූහ. එයැසූ පොකුරුසැත් සෝවාන් වී ය.

ඉක්බිති බමුණු තෙම බුදුරජුන් දම් දෙසූ නියාවට පසසා, අඹුදරුවන් නෑදෑයන් මෙහෙකරුවන් සහිත වැ වචන යෙන් ද තමන් තෙරුවන් සරණගිය බව සැළ කළේ ය.

(අමබටඨයා ගේ මන් මැඬීම ලොවැ වහර පරිදි කැත්කුලය බමුණුකුලයට වඩා උසස් බව, වෛදික විද්‍යාචරණයනට වඩා ශාසනික විද්‍යාචරණ උතුම් බව, තවුස්පැවිද්ද සස්නැ වැනැස්මට ළං වැ පහළ වන බව යවන මෙතෙක් දෑ මෙයින් දැක්විණ)
අග්ගමහා පණ්ඩිත

බලංගොඩ ආනන්ද මෛත්‍රය මහානාහිමි

Donations

You cannot copy content of this page