03. Chitha Waggaya චිත්ත වර්‍ගය

3-1 මේඝිය ස්ථවිරයන් වහන්සේ

ඵන්‍දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං.

නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙයින්) චපල වූ (අනවස්ථිත වූ), රක්නට දුෂ්කර වූ, (දුසිරිත් කෙරෙන් වළක්වන්නට දුෂ්කර වූ) සිත නුවණැත්තේ ඍජු කරන්නේ ය. හීවඩුවා හීදංඩක් ඇද මැඩ ඉදි කරන්නාක් මෙනි.

වාරිජො’ව ථලෙ ඛිත්තො ඔකමොකත උබ්භතො
පරිඵන්‍දතිදං චිත්තං මාරධෙය්‍යං පහාතවෙ.

උදක සංඛ්‍යාත වාසස්ථානයෙන් නගන ලද, ගොඩ බිම තබන ලද මසකු මේ (අභාවිත) සිත (නොයෙක් අරමුණෙහි පරිභ්‍රමණ වශයෙන්) සැලෙන්නේ ය. (එහෙයින් ම) මරධෙයය ( ක්ලේශවෘත්තය) පහ කටයුතු යි.

3-2 අප්‍රසිද්ධභික්‍ෂුවකට සැලකූ ප්‍රසිද්ධ උපාසිකාවක්

දුන්නිග්ගහස්ස ලහුනො යත්‍ථකාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං.

නිගන්නට (මට්ටු කැරැ ගන්නට) නොපිළිවන්, ලඝු වූ (වහා ඉපිද වහා බිඳෙන සුලු), (යුතු හෝ අයුතු) යම් කැමැති අරමුණෙක ගෙන සුලු වූ සිත (අරී මඟින්) නිපොපි කිරීම මැනැවි. මේ සිත දැමුනේ (නිපොපි කැරුනේ) මඟපල සුව ද නිවන් සුව ද එළවන්නේ ය. (එහෙයිනි)

3-3 සසුනෙහි නො ඇලුනු මහණෙක්

සුදුද්දසං සුනිපුනං යත්‍ථකාමනිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී චිත්තං ගුත්තං සුඛාවහං.

දක්නට ඉතා නොපිළිවන්, ඉතා සියුම් වූ, යම් කැමැති අරමුණෙක බැස වැටෙන සුලු වූ සිත නුවණැත්තේ රක්නේ ය. සිත (නොයෙක් අරමුණෙහි විසිර පැවැත්ත නො දී එක් භාවනා අරමුණෙහි පිහිටුවා) රක්නා ලද්දේ ලොවී ලොවුතුරා සුව එළවන්නේ ය.

3-4 භාගිනෙය්‍යසඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ

දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්‍ධනා.

(යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය.

3-5 චිත්තහත්‍ථ ස්ථවිරයන් වහන්සේ

අනවට්ඨිතචිත්තස්ස සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස පඤ්ඤා න පරිපූරති.

(දහවෙයියා රැසෙක හිඳු වූ කණුවක් මෙන් කලෙක නිවටු ව ද කලෙක තවුස් ව ද කලෙක ගිහි ව දැ යි යන ආදි වශයෙන්) අනවස්ථිත සිත් ඇති, (බෝපැකි) දහම් නොදන්නා, (අචල ප්‍රසාදයෙහි නො පිහිටි හෙයින් හෝ සැදැහැ මඳ හෙයින්) ඉපිලෙන සැදැහැ ඇත්තාහට (කාමාවචරාදි ප්‍රභේද ඇති) ප්‍රඥාව නො පිරෙයි.

අනවස්සුතචිත්තස්ස අනන්වාහතචෙතසො
පුඤ්ඤපාපපහීණස්ස නත්‍ථි ජාගරතො භයං.

රාගයෙන් නොතෙත් වූ සිතැති, ද්වේෂයෙන් නොපැහැරුණු සිතැති, (රහත්මඟින්) කුසල් අකුසල් ප්‍රහීණ කළ, (ශ්‍රඬාදී පංච ජාගර ධර්‍මයෙන් යුක්ත බැවින්) නො නිදන රහත්හට කෙලෙසුන්ගෙන් බියෙක් නැත.

3-6 පන්සියයක් විදර්‍ශක භික්‍ෂූහු

කුම්භූපමං කායමිමං විදිත්‍වා නගරූපමං චිත්තමිදං ඨපෙත්‍වා.
යොධෙථ මාරං පඤ්ඤායුධෙන ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා.

මේ ශරීරය කුඹල්බඳුනක් වැනි යැ යි දැන, මේ විදර්‍ශනාචිත්තය ස්ථිර නුවරක් සේ තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් ක්ලේශමාරයා පහරින්නේ ය. උපදවන ලද තරුණ විදර්‍ශනාව රක්නේ ය. සමාපත්තිය ගෙය කොට ගෙණ එහි නො වසන්නේ ය.

3-7 පූතිගත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ

අචිරං වතයං කායො පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො නිරත්‍ථං’ව කලිඞ්ගරං.

මහණ, තාගේ මේ කය නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැති ව, ඉවත ලන ලදු ව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේ ය.

3-8 නන්‍ද එඬේරා

දිසො දිසං යන්තං කයිරා වෙරී වා පන වෙරිනං
මිච්ඡාපණිහිතං චිත්තං පාපියො න තතො කරෙ.

සොරෙක් සොරකු දැක ඔහුට යම් නපුරක් කෙරේ ද, බද්ධ වෛර ඇතිපුද්ගලයෙක් වෙර බඳුනකු දැක ඔහුට යම් අවැඩක් කෙරේ ද, වරදවා පිහිටුවන ලද සිත එයට වඩා ඔහු පවිටකු කරන්නේ ය.

3-9 සොරෙය්‍ය සිටුතුමා

න තං මාතා පිතා කයිරා අඤ්ඤෙ වාපි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසො නං තතො කරෙ.

ඒ කරුණ සිය මව නො ද කරන්නී ය. පිය තෙම නො ද කරන්නේ ය. සෙසු නෑයෝ නො ද කරන්නා හ. මොනොවට පිහිටුවන ලද සිත ඒ කුශලක්‍රියාවන්හි පිහිටීම් හේතුවෙන් ඒ පුද්ගලයා වඩා උතුමකු කරන්නේ ය.

Donations
You cannot copy content of this page