23. Naaga Waggaya නාග වර්‍ගය

23-1 මාගන්‍දිය අල්ලස් දී කළ ගැහැට

අහං නාගො’ව සඞ්ගාමෙ චාපතො පතිතං සරං.
අතිවාක්‍යං තිතික්ඛිස්සං දුස්සීලො හි බහුජ්ජනො.

යම් හෙයකින් ලෞකික මහ ජන තෙම ශීලසංවරයෙන් විනිර්මුක්ත ද එ හෙයින් දුන්නෙන් ගිලිහී තමන් වෙරැ හුණු ශරප්‍රහාරයන් ඉවසන ඇතකු මෙන් මම් (මෙරමාගේ) රළු බස් ඉවසමි.

දන්තං නයන්ති සමිතිං දන්තං රාජා’භිරූහති
දන්තො සෙට්ඨො මනුස්සෙසු යො’තිවාක්‍යං තිතික්ඛති.

බොහෝ දෙනා රැස් වන තැනකට දැමුනු සතකු පමුණුවත්, රජ ද දැමුනු ඇතකු හෝ අසකු පිට නගී. යමෙක් රළු බස් ඉවසා ද හෙ තෙම සිවු අරියමගින් දාන්ත වූයේ මිනිසුන් අතුරෙහි උතුම් වෙයි.

වරමස්සතරා දන්තා ආජානීයා ච සින්‍ධවා
කුඤ්ජරා ච මහානාගා අත්තදන්තො තතො වරං.

අශ්වතරයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. අජානේය නම් අශ්වයෝ ද දැමුනාහු උතුම් වෙත්. සෛන්‍ධව අශ්වයෝ ද දැමුනාහු මැ උතුම් වෙත්. ඇත්තු ද දැමුනාහු මැ උතුම් වෙත්. ඔවුන් හැම දෙනාට වඩා තමා දමනය කරණ ලද්දේ උතුම් වෙයි.

23-2 ඇතුන් හේ කිරීම දත් මහණෙක්

න හි එතෙහි යානෙහි ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති.

මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුනු, (අපර භාගයෙහි අරීමඟ වැඩීමෙන්) මනා වැ දැමුනු සිතින් දාන්ත වූයේ, සිහිනෙනුදු නොගිය විරූ (දාන්තභූමි වූ) නිවන දෙසට යම්සේ යේ ද, එසේ මේ (ඇත් අස් ආදි) යානවලින් යෑ හැකි නො වන්නේ ය.

23-3 පුතුන් බසට රැවටුනු මහලු බමුණා

ධනපාලකො නාම කුඤ්ජරො කටුකප්පභෙදනො දුන්නිවාරයො.
බද්ධො කබලං න භුඤ්ජති සුමරති නාගවනස්ස කුඤ්ජරො.

ධනපාලක නම් (මාතෘපෝෂක) ඇත් තෙම දෙකන් සිලින් වැහෙන තීව්‍ර වූ මද ඇත්තේ, කිසිවක්හු විසින් නොවැළැකිය හැකි වූයේ, (ඇත්හලට ගෙණවුත් විසිතුරු තිරයෙන්) පරික්‍ෂිප්ත කරණ ලදුයේ, (රජහු එළැවූ නොයෙක් රසවුලෙන් යුත්) රාජ භෝජනය පවා (මාතෘවියෝගයෙන් දුඃඛිත බැවින්) නො කන්නේ ය. ඒ ඇත් තෙම (මව වසන) නාගවනය ම සිහි කරන්නේ ය.

23-4 කොසොල් රජුගේ බත් බුදීම

මිද්ධී යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සම්පරිවත්තසායී.
මහාවරාහො’ව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්‍දො.

පුරුෂ තෙම යම් කලෙක මිද්ධබහුල (ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ) වේ ද, ( පමණ නොදැන බොහෝ කොට කන්නේ වේ ද, (කුඩු දඹුකඩ නියුඩු කැඳ ආදි) සූකරභක්තයෙන් පුස්නා ලද (ස්ථූල ශරීර ඇති) මහ ගම්හූරකු මෙන් (හුන් සිටි තැන) නිදන්නේ ම පෙරැළි පෙරැළි හෝනේ වේ ද, තිලකුණු මෙනෙහි කැරුමක් නැති ඒ අඥාන තෙම නැවැත නැවැත මවු කුසට එළැඹෙන්නේ ය (ගර්‍භවාසයෙන් නො මිදෙන්නේ ය).

23-5 යකින්නක කළ ගැහටෙක්

ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං
යෙනිච්ඡකං යත්‍ථකාමං යථාසුඛං
තදජ්ජහං නිග්ගහෙස්සාමි යොනිසො
හත්‍ථිපමභින්නං විය අඞ්කුසග්ගහො.

මේ (අනවස්ථිත) සිත පෙර කැමැති අයුරින් කැමැති අරමුණෙහි සුව සේ බොහෝ කල් සැරි සරා ඇවිද්දේ ය. එය අද මම් නුවණින් ගිලි හුනු මද ඇති ඇතකු නිගන්නා අකුසක් ගත් ඇතරුවක්හු සෙසින්, නිගන්නෙමි (වළකන්නෙමි).

23-6 බද්ධේරක ඇතා

අප්පමාදරතා හොථ සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං පඞ්කෙ සන්නො’ව කුඤ්ජරො.

නොපමාබව්හි ඇලුනෝ වවු. සිය සිත (නානා අරමුණෙන් වළකා) රකිවු. ගැඹුරු මඩෙහි ගැලුනු ඇතු (වෑයම් කොට එයින් නැගී ගොඩැ පිහිටියා) මෙන් තෙපි (යෝනිසෝමනස්කාරයෙන් යුක්ත ව වීර්‍ය කොට) තමන් කෙලෙස් දුදුලෙන් ගොඩැ නඟවු.

23-7 පාරිලෙය්‍යක ඇතා

සචෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි
චරෙය්‍ය තෙනත්තමනො සතීමා.

ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණ මිත්‍රයකු ඉදින් ලද්දේ වී නම්, සියලු උපද්‍රව තාක් මැඩ, ඔහු හා සතුටු සිතැති වැ සිහි නුවණින් යෙදී වසන්නේ ය.

නො චෙ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහා
එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙ’ව නාගො.

ප්‍රඥාව ඇති, තමා හා සමග වසන්නට නිසි, යහපත් වාස ඇති, ධෘතිසම්පන්න, කල්‍යාණමිත්‍රයකු ඉදින් නො ලද්දේ වී නම්, දිනන ලද (අතට පත්) රට හැර පියා එකලා වැ වනයට වැද තවුස් පැවිද්ද ගත් මහාජනක රජු මෙන් ද, (ඇත්මුළ හැර පියා) රක්‍ෂිත වනයෙහි (හුදෙකලාවැ වසන) මාතඞ්ග ඇතු මෙන් ද, ගණයා හැර එකලා වැ වසන්නේය.

එකස්ස චරිතං සෙය්‍යො
නත්‍ථි බාලෙ සහායතා
එකො චරෙ න ච පාපානි කයිරා
අප්පොස්සුක්කො මාතඞ්ගරඤ්ඤෙව නාගො.

එකලාහුගේ වාසය උතුමි. (දෙලෝ වැඩ නොදක්නා) අනුවණයා කෙරෙහි (ශීල ධූතාංග විදර්‍ශනා මාර්‍ගඵල ත්‍රිවිද්‍යා අභිඥා නිර්‍වාණ යන මේ) සහාය බව නැත. (ඔහු නිසා එය ලැබිය නො හැක්ක.) එ හෙයින් ගණයා හැර එකලා වැ වසන්නේ ය. මඳ වූ ද පව් නො ම කරන්නේ ය. ගණයා හැර වෙනෙහි වසන මාතඞ්ග (පාරිලෙය්‍යක) ඇතු මෙන් (ගණ පරිහරණයෙහි) නිරුත්සාහ වැ වසන්නේ ය.

23-8 මවුපියනට කෑම්බීම් සැපයූ භික්‍ෂූන් වහන්සේ

අත්‍ථම්හි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛා යා ඉතරීතරෙන
පුඤ්ඤං සුඛං ජීවිතසඞ්ඛයම්හි
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාණං.

කටයුත්තක් උපන් කල්හි (එය සපයන්නට සමත්) යහළුවෝ සුවයහ. හීන වූ ද ප්‍රණීත වූ ද, මඳ වූ ද බොහෝ වූ ද, (තමා සතු පසයෙකින් උපදනා) යම් සතුටෙක් ඇද්ද, එය සුව ය. මරණය ළං වූ කල්හි මහත් කොට කළ පින සුව ය. සියලු සසර දුක දුරැ ලීම (හෙවත් රහත්බව) සුව ය.

සුඛා මත්තෙය්‍යතා ලොකෙ අථො පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකෙ අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා.

ලොවැ, මවු කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. නැවැත පියා කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. ලොව මහණුන් කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය. නැවැත (බුදු පසේබුදු රහත් යන) ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයන් කෙරෙහි මොනොවට පිළිපැදීම සුව ය.

සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛො පඤ්ඤාය පටිලාභො පාපානං අකරණං සුඛං.

ශීලය (තරුණයනට ද වෘද්ධියනට ද එක සේ හොබනා බැවින්) ජරා වයස දක්වා සුව ය. (ලොවී ලොවුතුරා) සැදැහැව නිසල වැ පිහිටියා සුව ය. (ලොවී ලොවුතුරා) නුවණ ලැබීම් සුව ය. පව් නොකිරීම සුව ය.

Donations
You cannot copy content of this page