21. Prakeerna Waggaya ප්‍රකීර්‍ණක වර්‍ගය

21-1 ගඞ්ගාරෝහණ කථාව

මත්තාසුඛපරිච්චාගා පස්සෙ චෙ විපුලං සුඛං
චජෙ මත්තාසුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං.

ඉදින් ස්වල්පමාත්‍ර සුවයක් හැරීමෙන් මහත් වූ සුවය (යම් හෙයෙකින්) දක්නේ ද, එ හෙයින් මහත් වූ නිවන් සුව දක්නා (කැමැති වූ) නුවණැත්තේ ඒ මඳ වූ සුවය හරනේ ය.

21-2 කුකුළුබිත්තර කෑ දැරිය

පරදුක්ඛූපදානෙන අත්තනො සුඛමිච්ඡති
වෙරසංසග්ගසංසට්ඨො වෙරා සො න පරිමුච්චති.

(අනුන් තළා පෙළා ගැති කොට ගෙණ) පරහට දුක් දීමෙන් යමෙක් තමාට සුව කැමැති වේ නම්, හෙ තෙම (බිණුවාහුට පෙරළා බිණීම ය, ගැසුවහුට පෙරළා ගැසීමය යන ආදීන් උනුනට කරණ ලද) වෛර සංසර්‍ගයෙන් මිශ්‍ර වූයේ වෛරයෙන් නො මිදෙන්නේ ය. (වෛර වශයෙන් සතතයෙන් දුකට පැමිණෙන්නේ යී සේ යි).

21-3 නො කටයුත්තෙහි යෙදුනු භික්‍ෂූන් වහන්සේලා

යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති
උන්නලාතං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.

යමක් මහණුන් විසින් කටයුතු නම් එය (ඒ පාමොක් සිල් රැකුම් ධුතාංග පිරීම් ආදිය) හැරැ පියන ලද්දේ ද, මහණුන් විසින් නො කටයුතු (සිරුර සැරැසීම් ආදි) අකාර්‍ය්‍යය වනාහි කරණු ලැබේ ද, (හුවන ලද මාන නල ඇති, ස්මෘතිවිප්‍රවාසයෙන්) ප්‍රමාදි වූ ඒ පුඟුලන්ගේ කාමාදි ආස්‍රවයෝ වැඩෙන්නාහ.

යෙසඤ්ච සුසමාරද්ධා නිච්චං කායගතා සති.
අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො
සතානං සම්පජානානං අත්‍ථං ගච්ඡන්ති ආසවා.

යම් කෙනකුන් විසින් කාගියාසී භාවනාව සතතයෙන් මොනොවට වඩන ලද ද, මහණුන් විසින් කටයුතු (සිල් පිරුම් දුහඟ වැඩුම් භාවනායෙහි ඇලීම් යන) කාර්‍ය්‍යයෙහි සතතකාරී වූ ඔහු (ශරීරමණ්ඩන පරිෂ්කාර මණ්ඩනාදි) අකාර්‍ය්‍යය නො සෙව්නාහ. සිහි ඇති, (චතුසම්පජඤ්ඤ වසයෙන්) සම්පජානකාරී වූ ඒ පුඟුලන්ගේ ආස්‍රවයෝ පරික්‍ෂයයට (විනාශයට) යන්නාහ.

21-4 ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.

(තෘෂ්ණා නැමැති) මව ද, (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතදෘෂ්ටි උච්ඡේදදෘෂ්ටි නැමැති) ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද (රහත්මඟ නැණ නැමැති) කගින් වනසා, (නන්‍දිරාග නැමැති) අයකැමියා සහිත (ද්වාදශායතන නැමැති) රට ද වනසා, බාහිතපාප බ්‍රාහ්මණ තෙම (රහත් තෙම) නිදුක් වැ (නිවන් පුර) යන්නේ ය.

මාතරං පිතරං හන්ත්‍වා රාජානො ද්වෙ ච සොත්තියෙ
වෙය්‍යග්ඝපඤ්චමං හන්ත්‍වා අනීඝො යාති බ්‍රාහ්මණො.

(තෘෂ්ණා නැමැති) මව ද (අස්මිමාන නැමැති) පියා ද, (ශාශ්වතෝච්ඡේදදෘෂ්ටි නැමැති) බමුණු රජුන් දෙදෙනා ද (රහත්මඟ නුවණ නැමැති කගින්) නසා, (විචිකිච්ඡා නැමැති) ව්‍යාඝ්‍රසංචාර මාර්‍ගය පස්වනු කොටැති නීවරණ ද නසා, (ක්‍ෂීණාස්‍රව) බ්‍රාහ්මණ තෙමේ නිදුක් වූයේ නිවන්පුර යෙයි.

21-5 යකුන්ගෙන් රැකුනු දරුවා

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං බුද්ධගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර බුදුගුණ ඇරැබැ උපදනා සිහිය ඇත්තේ ද, ඒ ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ. (බුදුගුණ සලකා ගෙණ යෙහෙන් නිදා යෙහෙන් පුබුදින්නාහ).

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං ධම්මගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර) ධර්‍මය අරබයා උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං සඞ්ඝගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් සඟගුණ ඇරබැ උපන් සිහිය ඇද්ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච නිච්චං කායගතා සති.

යම් කෙනකුන්හට දහවලුත් රෑත් නිතර (ද්වත්තිංසාකාර වශයෙන් හෝ නවසීවථිකා වශයෙන් හෝ චතුධාතුවවත්‍ථාන වශයෙන් හෝ අජ්ඣත්තික නීලකසිණාදී වශයෙන් හෝ) කය ඇරැබැ උපදනා සිහිය ඇද්ද, ඒ ගොයුම් සව්වෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව පුබුදින්නාහ.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා.
යෙසං දිවා ච රත්තො ච අහිංසාය රතො මනො.

යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් අහිංසාභාවනායෙහි (කරුණා භාවනායෙහි) ඇලුනේ ද ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා පිබිදීමෙන් පුබුදිත්.

සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතමසාවකා
යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනො.

යම් කෙනකුන්ගේ සිත දහවලුත් රෑත් (මෙත්) බවුන්හි ඇලුනේ ද, ඒ ගොයුම්සව්වෝ හැම කල්හි මනා ව පුබුදිත්.

21-6 වැදෑරට වැසි භික්‍ෂූ නමක්

දුප්පබ්බජ්ජං දුරභිරමං දුරාවාසා ඝරා දුඛා
දුක්ඛො’සමානසංවාසො දුක්ඛානුපතිතද්ධගූ
තස්මා න චද්ධගු සියා දුක්ඛානුපතිතො සියා.

(භෝගසම්පතුත් බන්‍ධුජනයාත් හැර දමා) මෙ සස්නැ මහණ වීම දුෂ්කර ය. (උගහට ය.) පැවිදි වූවහු විසින් ද (පිඬු සිඟා දිවි පැවැත්වීම් ද සිල් රැක්මෙන් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය පිරීම් ද වශයෙන්) සස්නෙහි සිත ඇලැවීම දුෂ්කර ය (උගහට ය). ගෘහයෝ හෙවත් ගෘහවාසයෝ (ගිහිගෙහි වසන්නවුන් විසින් තමහට ඉසුරු ව සිටින්නවුනට කළ මනා කාර්‍ය ද පරිජනයාටත් මහණබමුණනට ත් කටයුතු සංග්‍රහ ද ඇති බැවින්) දුක් හ. (උගහටයහ.) අසමාන අදහස් ඇත්තවුන් හා එක් වැ විසීම ද දුක් ය (උගහට ය). සසර නැමැති අදන් මඟට පැමිණියේ දුක විසින් ලුහුබඳනා ලදහ. එ බැවින් සසර අදන් මඟට පැමිණියෙක් නො වන්නේ ය, සසර දුක විසින් ලුහුබඳනා ලද්දෙක් ද නො වන්නේ ය.

21-7 චිත්ත ගහපතියා

සද්ධො සීලෙන සම්පන්නො යසොභොගසමප්පිතො
යං යං පදෙසං භජති තත්‍ථ තත්‍ථෙව පූජිතො.

(තෙරුවන් ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද කම්පල ඇදැහීම ලක්‍ෂණ කොට ඇත්තාවූ ද) ලොවී ලොවුතුරු සැදැහැ ඇති, ගිහි ශීලයෙන් යුත් (පිරිවර ද ධනධාන්‍ය ද සත් ආර්‍ය ධන ද යන) විවිධ යසසින් හා භෝගසම්පතින් යුක්ත වූ කුලපුත්‍ර තෙම යම් යම් පෙදෙසක් භජනය කෙරේ ද (යම් යම් පෙදෙසකට එළැඹේ ද) ඒ ඒ සියලු තන්හි දී (දෙව්මිනිසුන් විසින්) මහත් ලාභසත්කාරයෙන් පුදනු ලදුයේ වන්නේ ය.

21-8 චූලසුභද්‍රා

දූරෙ සන්තො පකාසන්ති හිමවන්තො’ව පබ්බතො
අසන්තෙත්‍ථ න දිස්සන්ති රත්තිං ඛිත්තා යථා සරා.

(උත්සන්න කුසල් මුල් ඇති, භාවිත භාවනා ඇති) සාධූහු දුරැ සිටියාහු ද, හිමවත්පව්ව මෙන් බුදුනුවණට ප්‍රකට වෙති. මෙහි (මේ ලොව ම ගරු කොට සිතන) අඥාන පුද්ගලයෝ රෑ විදුනා ලද ඊයක් මෙන් නො පැණෙත්.

කරුවල රාත්‍රියක විදින ලද හී තලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද චුන්දසූකරික ලඟ බුදුමඟයාමට හේතු සම්පත් නැති බැවින්ද සසර පුරා ගෙන ආ පාපකර්මයන්ගෙන් ඔහු යටපත් කර ඇති බැවින්ද බුදු නුවණට ඔහු හමුවූයේ නැත. අනන්ත වූ කරුණාවෙන් තුන්ලොවක් සනසා වදාළ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුදුනෙතටවත් පාපි පුද්ගලයා දිස්වන්නේ නැහැ. අපි කරනා කුසලා කුසලකර්ම දම්වැලේ පුරුක් මෙන් භවයෙන් භවය බැදීගෙන අප සමග පැමිණෙනවා. අප සසර පුරාගෙන යන්නේ අප කරන කුසල් අකුසල් පමණයි.

සසරපුරා කුසලධර්මපුරා අනන්ත බුදුවරයින් වහන්සේලා හමුවේ පාරමී පුරා සිටි චූල සුභද්‍රා ගව්සිය ගණනක් දුරින් සිටියද බුදු නුවණින් දුටුසේක. බුදුරජාණන් වහන්සේ චූලසුභද්‍රා අරභයා මාතෘකා කළ ගාථාව දේශනා කළ සේක.

උග්ගනුවර උග්ගසිටුතුමා අනේපිඬු සිටුතුමාගේ හිතවත්ම මිතුරෙක්. දිනක් අනේපිඬු සිටුතුමා ඔහු මහත් හරසරින් පිළිගත්තා. නවාතැන් දුන්නා. අනේපිඬු සිටුතුමාගේ දියණියක් වන චූල සුභද්‍රා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කෙරෙහි අසීමිත ගෞරවයක්. භක්තියක් ඇතිව ජේතවනාරාමය ඇසුරේම හැදී වැඩුන කාන්තාවක්. උග්ගසිටුතුමාට අවශ්‍ය සෑම උපස්ථානයක්ම කරන්න පියාණන් විසින් චූලසුභද්‍රාට භාර කළා. බත්, මාලු ආදි සැම දෙයක්ම තම අතින්ම සකස් කර ඇය උග්ගසිටුතුමාට අවශ්‍ය සියලු පහසුකම් සැලැස්සුවා. චූලසුභද්‍රාගේ ආචාරසමාපත්තියට සිටුතුමා පැහැදුනා. ඇය තම පුතාට සරණ කරවා ගැනීමට ඔහුට සිතක් පහලවුනා. උග්ගසිටුතුමා මේ බව අනේපිඬු සිටුතුමාට දැන්නුවා.

උග්ගසිටුතුමා අචේලක වාදි මිසදිටු අයෙක්. එහෙත් තමාගේ හොදම මිතුරා බැවින් මෙය පැහැර හැරීමට නොහැකි වුනා. අනේපිඬු සිටුතුමා මෙම පුවත බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. උග්ගසිටුවරයා අචේලක වාදියෙක් වුවද , ඔහු මහත් හේතු සම්පත් ඇතියකු බවත් චූලසුභද්‍රා නිසා උග්ගනුවර අසූහාරදාහකට ධර්මාවබෝධය ලැබෙන බවත් බුදු නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය දී වදාළා. බුදුපාමොක් මහ සඟනට මහාදන්දී චූල සුභද්‍රා උග්ග සිටුපුතුට කරකාර බැඳ දුන්නා.

සැවැත්නුවර සිට ගව් එකසිය විස්සක් පමණ දුරවූ උග්ගනුවරට චූල සුභද්‍රා පෙරහරින් කැඳවාගෙන ගියා. අනේපිඬුසිටු මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ඇය පිටත්කර හැරී යාමෙන්, උග්ගසිටු මැදුරේද අචේලක පූජකයින් කැඳවා උත්සවය සංවිධානය කර තිබුණා. අචේලක පූජකයින්ට වැඳ නමස්කාර කරන ලෙස උග්ගසිටු හා බිරිය තම ලේලියට දන්වා සිටියා. නිර්වස්ත්‍ර පූජකයින්ට වැඳීම ඇය ප්‍රතික්ෂේප කළා. ඇය පිළිකුලින් ඉවත්ව ගියා. “අපගේ රහත් ශ්‍රමණයන් වහන්සේලා පිළිකුල් කරන්නේ ඔබගේ ශ්‍රමණයන්ගේ අමුතු ගුණ තියනවාද? නැන්දණිය තම ලේලියගෙන් ඇසුවා. “මාගේ ශ්‍රමණයන් වහන්සේලාගේ සන්සුන් ඉදුරන් ඇත. සන්සුන් ගමන් ඇත. බිමට හෙලූ දෙනෙතින්ම ගමන් ගන්නා සේක. දොඩමලු නැත. ලැබීමෙන් උඩගු නොවේ. නොලැබීමෙන් කම්පාද නොවේ. යසසින් , තුතියෙන් සැපෙන් උඩගු නොවේ. අයසසින්, ගැරහුමෙන්, දුකින් කම්පා නොවේ.” යනුවෙන් චූල සුභද්‍රා පැවසුවා. “එසේ නම් අපටත් බලාගන්න ඔබේ ශ්‍රමණයන් අපේ නිවසට කැදවන්න. නැන්දණිය කිව්වා. “හොඳයි, මා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පන්සියයක් නිවසට වඩමවන්නම්. ඒ සඳහා අවශ්‍ය දාන කටයුතු සූදානම් කරන්න. “ චූල සුභද්‍රා කීවා. ගව් එකසිය විස්සක් දුර සිටින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කෙසේ කැදවන්නේදැයි මෙම අය තුල සැකයක් සහ මවිතයක් ඇති වුනා.

චූල සුභද්‍රා සමන්මල් අට මිටක් නෙලාගෙන ප්‍රාසාදයේ සත්වන මහලට ගියා. දෙව්රම් වෙහෙර දෙස බලා ගත් ඇය තුනුරුවන් ගුණ සිහි කරමින් තුනුරුවන් නමස්කාර කර මෙසේ ප්‍රාර්ථනා කළා. “ ස්වාමීනි , භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේගේ කුලුපග දායිකාව වන මේ චූලසුභද්‍රාවගේ අහිංසක ආරාධනය පිළිගන්නා සේක්වා! මා දිනකට තෙවරක් දෙව්රම් වෙහෙරට පැමිණ ඔබ වහන්සේට නමස්කාර කළා. ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට නොකඩවා දන්වැට පිළිගැන්නුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පන්සියයක් හෙට උග්ගසිටු මැදුරට දානය සඳහා වඩින සේක්වා! මෙසේ ප්‍රාර්ථනා කළ චූලසුභද්‍රා සමන්මල් අටමිට අහසට විසි කළා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ සිවු පිරිස්මැද දහම් දෙසමින් වැඩ සිටියා. චූලසුභද්‍රා අහසට විසි කළ සමන්මල් බුදුරජාණන් වහන්සේ මතුයෙහි වියනක් මෙන් සිටියා.

බණ ඇසීමට පැමිණ අනේපිඬු සිටුතුමා බණ අසා අවසානයේ පසුදින දානයට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. “සිටුතුමා හෙට දින දානය මා පිළිගෙන අවසානයි” බුදුරජාණන් වහන්සේ වදාළා . “ස්වාමීනි , කිසිවෙක් දනට ආරාධනය කරනවා .

මා දුටුවේ නැතැ’යි සිටුතුමා ප්‍රකාශ කළ විට” සිටුතුමා ඔබගේ දියණිය චූල සුභද්‍රා හෙට දින දානය සඳහා ආරාධනා කළා. සත්පුරුෂයෝ දුර සිටියද, අභිමුඛව සිටින්නාක් මෙන් ප්‍රාර්ථනා මාත්‍රයෙන්ම පෙනේ”යයි බුදුරජාණන් වහන්සේ වදාළා.

රහතන් වහන්සේලා පන්සියයක් සමග බුදුරජාණන් වහන්සේ උග්ග සිටුමැදුරට වැඩම කළා. බුද්ධ තේජසින් බබලමින් වඩින බුදුරජාණන් වහන්සේ දුටු උග්ගසිටුහට ප්‍රසන්න සිතක් එක්වරටම පහළ වුනා. බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගිය උග්ගසිටු සතියක් පුරා මහා දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ සිටුවරයාගේ අදහස්වලට අනුරූපව ධර්මදේශනා කළා. උග්ගසිටු ඇතුලු සුවාසු දහසක් දෙන ධර්මාවබෝධය ලබා තෙරුවන් සරණ ගිය උපාසක පිරිසක් බවට පත්වුනා.

මාතෘකා කළ ගාථාවේ සත්පුරුෂයන් යනුවෙන් හඳුන්වන්නේ පෙර සසර පුරා මහත්වූ පුන්‍යක්‍රියා කරමින් ප්‍රාර්ථනා සිද්ධි ඇතිකරගෙන රාගාදී කෙලෙස් සංසිදුවා කුසල් පුරවාගෙන පැමිණි උතුමන්ය. මෙම උතුමන් ගව් සිය දහසක් දුර සිටියද, බුදු නුවණට පෙනේ. ගව් එකසිය විස්සක් දුර සිටි චූල සුභද්‍රවගේ ප්‍රාර්ථනය බුදුනෙතට දිස්වූයේ ඇය සසරපුරා වර්ධනය කරගෙන ආ සත්පුරුෂ ගුණ නිසාය. පරලොවක් ගැන නොසිතන ගිහියාද, ආමිෂයෙහි ගිජුව මහණ ධම් නොපුරන්නාවූද, ගෙදර දොර කෑම් බීම් ඇදුම් පැලදුම් නැතිව අගහිකකම් නිසා පැවිදිවන්නා වූ පැවිද්දාද අසත්පුරුෂ යනුවෙන් හැඳීන්වේ. කරුවල රාත්‍රියක විදින ලද හීතලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද චුන්දසූකරිය ලඟ බුදුමඟයාමට හේතු සම්පත් නැති බැවින්ද සසර පුරා ගෙන ආ පාපකර්මයන්ගෙන් ඔහු යටපත් කර ඇති බැවින්ද බුදු නුවණට ඔහු හමුවූයේ නැත. අනන්ත වූ කරුණාවෙන් තුන්ලොවක් සනසා වදාළ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුදුනෙතටවත් පාපි පුද්ගලයා දිස්වන්නේ නැහැ. අපි කරනා කුසලා කුසලකර්ම දම්වැලේ පුරුක් මෙන් භවයෙන් භවය බැදීගෙන අප සමග පැමිණෙනවා. අප සසර පුරාගෙන යන්නේ අප කරනා කුසල් අකුසල් පමණයි. කරනා කුසලකර්ම තම සෙවනැල්ල මෙන්ද, අකුසලකර්ම ගැල අදින ගොනා පිටුපස පැමිණෙන ගැල් සකමෙන් පසුපසම ලුහුබඳින බවද ධම්මපදය යමකවග්ගයේ පළමු ගාථා දෙකින් පැහැදිලිවෙනව. ක්‍ෂණසම්පත්තිය සහිත මනුස්ස ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසර දුකින් අත්මිදීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර
– සමණ ධම්ම හිමි
BUdusarana.lk

21-9 එකවිහාරික ස්ථවිරයන් වහන්සේ

එකාසනං එකසෙය්‍යං එකො චරමතන්‍දිතො
එකො දමයමත්තානං වනන්තෙ රමිතො සියා.

(ගණසඞ්ගණිකායේන් ද ක්ලේශ සඞ්ගණිකායෙන් තොර වැ) හුදෙකලා ඉඳීම සෙව්නේ ය. (මාහැඟි යහන්හි නුමුදු සිහි එළවා මූලකර්‍ම ස්ථානයෙන් යෙදී හෝනා) ඒකශය්‍යාව සෙව්නේ ය. (පිඬු සිඟා ජීවත් වන බැවින්) අකුසීත වැ (සිවු ඉරියවුහි ම) හුදෙකලා ව පවතිමින් හුදෙකලා වැ තමා දමනය කරණ මහණ තෙම ගැඹුරු වෙනෙහි ම ඇලුනෙක් වන්නේ ය. (හුදෙකලා වැ වැස මිස ආකීර්‍ණවිහාරී වැ තමා දමනය කරන්නට නො පිළිවන් බැවිනි.)

Dhamma Deepa