20. Maarga Waggaya මාර්‍ග වර්‍ගය

20-1 ආ ගිය තැන් ගැණ කතා කළ භික්‍ෂූන් වහන්සේලා

මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා.

මාර්‍ග අතුරෙන් අෂ්ටාඞ්ගිකමාර්‍ගය (අෂ්ටමිත්‍යාත්‍වයන් දුරැ ලන බැවිනුත් සිවුසස්හි දුක් පිරිසිඳීම් ආදිය කරණ බැවිනුත්) උතුම් ය. (වාක්සත්‍යය සම්මතිසත්‍යය දෘෂ්ටිසත්‍යය පරමාර්‍ත්‍ථසත්‍යය යන මේ) සත්‍ය අතුරෙන් දුක්ඛසත්‍යාදි සත්‍යපද සතර (සත්‍යාර්‍ත්‍ථයෙන්) උතුම්හ. (ප්‍රත්‍යයයෙන් උපන් නොඋපන්) සියලු ධර්‍ම අතුරෙන් විරාගධර්‍මය (හෙවත් නිවන) උතුමි. දෙ පා ඇති සියලු සතුන් අතුරෙහි පසැස් ඇත්තේ (බුදුරජ තෙම) උතුමි.

එසො’ව මග්ගො නත්‍ථඤ්ඤො දස්සනස්ස විසුද්ධියා
එතං හි තුම්හෙ පටිපජ්ජථ මාරස්සෙතං පමොහනං.

(මාර්‍ගඵල) දර්‍ශනයාගේ විශුද්ධිය පිණිස මෙය ම මඟ ය. අන් මඟෙක් නැත. තෙපි මෙ මඟෙහි පිළිපදිවු. මේ අරී අටැඟි මඟ මරහු මුළා කරන්නේ ය. (කෙලෙස් මරසෙන් සහිත දෙව්පුත් මරහු වංචිත කරන්නේ ය.)

එතං හි තුම්හෙ පටිපන්නා දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතො වෙ මයා මග්ගො අඤ්ඤාය සල්ලසත්‍ථනං.

මේ අරී අටැඟි මගෙහි පිළිපන් තෙපි සියලු සසර දුක කෙළවර කරවු. රාගාදි ශල්‍යයන් මඬනා (නොහොත් රාගාදි උල් උදුරා ලන) (අනුශ්‍රව අනුමාන නැති වැ) ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැන නිවනට පමුණුවන මේ මාර්‍ගය ඒකාන්තයෙන් මා විසින් කියන ලදී.

තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති ඣායිනො මාරබන්‍ධනා.

මහණෙනි, දැන් තොප විසින් (කෙලෙස් තවන හෙයින් ආතප්ප නම් වූ) සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය කට යුතු යි. සර්‍වඥවරයෝ හුදෙක් නිවන් මඟ කියන්නාහු ම වෙති. (අත අල්ලා ගෙන නිවන් පමුණුවන්නෝ නො වෙති.) ධ්‍යායී වූ (හෙවත් ශමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුනු) යෝගාවචරයෝ මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමකවෘත්තයෙන්) මිදෙන්නාහු ය.

20-2 අනිත්‍යානුදර්‍ශනය වැඩූ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්‍ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවේධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වේදය, නිර්‍මල වීමට (නොහොත් නිවනට) මඟ ය.

20-3 දුඃඛානුදර්‍ශනය වැඩූ පන්සියයක් දෙනා වහන්සේ

සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු සංස්කාරයෝ (උදයව්‍යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විවසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්‍ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්‍යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).

20-4 අනාත්මදර්‍ශනය වැඩූ පන්සියයක් දෙනා වහන්සේ

සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්‍ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්‍යප්‍රතිවේධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්‍මල බවට (නොහොත් නිවනට) මඟ ය.

20-5 ප්‍රධානකර්මික තිෂ්‍යස්ථවිරයන් වහන්සේ

උට්ඨානකාලම්හි අනුට්ඨහානො
යුවා බලී ආලසියං උපෙතො
සංසන්නසඞ්කප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසො න වින්‍දති.

වීර්‍ය්‍ය කරන්නට සුදුසු කල්හි වීර්‍ය්‍ය නොකරණ මහණ තෙම ප්‍රථම යෞවනයෙහි සිටියේ ද, කායබලසම්පන්න වූයේ ද, ඉදින් ආලස්‍යයෙන් යුක්ත වූයේ නම් (බඩ පුරා බත් වළඳා පියා කිසි ද මහණදමක් නොකොට වැද හෝනේ ම වේ ද), (කාමවිතර්‍කාදී තුන් විතර්‍කයන් විසින්) මොනොවට යට ගලන ලද සම්‍යක්සංකල්ප චිත්ත ඇති, කුසීත වූ ඒ මහ මැලියා ප්‍රඥායෙන් දැක්ක යුතු ආර්‍ය්‍යමාර්‍ගය නො ලබන්නේ ය. (නැතහොත් ලොවී ලොවුතුරු ප්‍රඥාවට උපායක් නොලබන්නේ ය.)

20-6 ප්‍රේතයෙක් ව උපන් මහණෙක්

වාචානුරක්ඛී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ග ඉසිප්පවෙදිතං.

යමෙක් (චතුර්විධ වාග්දුශ්චරිත දුරැ ලීමෙන්) වචස රක්නා සුලු වේ ද, ත්‍රිවිධ මනෝදුශ්චරිත දුරැ ලීමෙන් මනසින් මොනවට හැවුරුනේ වේ ද, කයිනුත් (ත්‍රිවිධ කායදුශ්චරිත සංඛ්‍යාත) අකුසල් නො කරන්නේ ද, (කායදුශ්චරිතාදි) මේ තුන් කර්‍මපථ පිරිසිදු කරන්නේ ද; ඒ (පුද්ගල තෙම බුද්ධාදි) ඍෂින් විසින් පිළිවිදුනා ලද ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධ කරන්නේය (ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙන්නේ ය.)

20-7 පොඨිල ස්ථවිරයන් වහන්සේ

යොගා වෙ ජායතී භූරි අයොගා භූරිසඞ්ඛයො
එතං ද්වෙධා පථං ඤත්‍වා භවාය විභවාය ච
තථත්තානං නිවෙසෙය්‍ය යථා භූරි පවඩ්ඪති.

(පඨවිකසිණාදී අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) යෙදීමෙන් ලොවුතුරා නුවණ ඒකාන්තයෙන් උපදී. ඒ භාවනාමනසිකාරයෙහි නොයෙදීමෙන් (ලොවීලොවුතුරා) ප්‍රඥාවගේ විනාශය වේ. වැඩ පිණිස ද අවැඩ පිණිස ද පවත්නා වූ යෝගය ද අයෝගය ද යන මේ දෙමඟ දැන, යම් සේ ප්‍රඥාව වැඩේ නම්; එ සේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටුවන්නේ ය.

20-8 මහලු තෙරුන් පන් සියයක්

වනං ඡින්‍දථ මා රුක්ඛං වනතො ජායතී භයං
ඡෙත්‍වා වනඤ්ච වනථඤ්ච නිබ්බනා හොථ භික්ඛවො.

මහණෙනි, කෙලෙස් වනය සිඳිවු. වැලි දු රුක් නො සිඳිවු. කෙලෙස් වනයෙන් බිය උපදී. (භවෝත්පත්තිය කරවන) මහ කෙලෙස් වනය ද, (ප්‍රවෘත්තිවිපාකදායක) මඳ කෙලෙස් වනය ද රහත් මඟ නැණ සැතින් සිඳ වනරහිතයෝ වවු.

යාවං හි වනථො න ඡිජ්ජති, අණුමත්තො’පි නරස්ස නාරිසු
පටිබද්ධමනො’ව තාව සො වච්ඡො ඛීරපකො’ව මාතරි.

ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයාගේ ස්වල්පමාත්‍ර වූ ද තෘෂ්ණාවෙක් යම්තාක් කල් නො සිඳී පවත්නේ ද, ඒ තාක් ම හෙ තෙම මව කෙරෙහි (ප්‍රේමයෙන් ඇලුනු) කිරි බොන ලමා වස්සකු මෙන් ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිතැත්තේ ම වේ.

20-9 ස්වර්‍ණකාර ස්ථවිරයන් වහන්සේ

උච්ඡින්‍ද සිනෙහමත්තනො කුමුදං සාරදිකං’ව පාණිනා
සන්තිමග්ගමෙව බ්‍රූහය නිබ්බාණං සුගතෙන දෙසිතං.

(වප් හිල් දෙ මස වූ) සරත් කල්හි කුමුදු මලක් අතින් ගෙණ උදුරන්නක්හු මෙන්, තමාගේ තෘෂ්ණාව රහත්මඟනැණින් මුලින් සිඳුව. නිවන් පමුණුවන අටැඟි මඟ ම වඩව (තා සතන්හි උපදව). නිවන සුගත් බුදුහු විසින් යම් හෙයකින් දෙසන ලද ද එ හෙයින් එයට පමුණුවන අටැඟි මඟ ම උපදව.

20-10 මහාධන වෙළෙන්දා

ඉධ වස්සං වසිස්සාමි ඉධ හෙමන්ත ගිම්හිසු
ඉති බාලො විචින්තෙති අන්තරායං න බුජ්ඣති.

“වැසි සාර මස (මේ මේ කටයුතු කෙරෙමින්) මෙහි ම වෙසෙන්නෙමි. හිමත් සාර මස ද, ගිමන් සාරමස ද මෙහි ම වෙසෙන්නෙමි” යි මෙසේ (දෙලෝ වැඩ නොදන්නා) අණුවන තෙම නොයෙක් ලෙස සිතයි. අතුරෙහි තමහට වන ජීවිතාන්තරාය නො දනී.

20-11 කිසාගෝතමී

තං පුත්තපසුසම්මත්ත, බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝො’ව මච්චු ආදාය ගච්ඡති.

දරුවන් ද ගවමහිසාදීන් ද කරණ කොට (මා දරුවෝ රූ ඇත්තෝ ය බලැත්තෝ ය, නැණැත්තෝ ය , හැම කටයුත්තෙහි දක්‍ෂයෝ යැ යි මෙසේ දරුවන් නිසා ද , (නොලත් දෑ පැතීම් විසින් ද ලත් දැයෙහි ගිජු වීම් විසින් ද පස්කම්හි) විශේෂයෙන් ලග්න වූ සිත් ඇති ඒ පුරුෂයා නිදන ගමක් (නිදිගත් ගම් වැසියන් සමූහයක්) මුහුදට ඇදැ ගෙන යන මහ වතුරක් මෙන් මරණය තෙම (අපාය මුහුදට) හැරැ ගෙන යයි.

20-12 පටාචාරා

න සන්ති පුත්තා තාණාය න පිතා නාපි බන්‍ධවා
අන්තකෙනාධිපන්නස්ස නත්‍ථි ඤාතිසු තාණතා.

මරහු විසින් මඬනා ලද සත්ත්‍වයාට ආරක්‍ෂා පිණිස දූ පුත්තු නො වන්නාහ. පියා ද ආරක්‍ෂා පිණිස නො වන්නේ ය. වැලි (සෙසු මල් බෑ බුහුන ආදි) නෑයෝ ද ආරක්‍ෂා පිණිස නො වන්නාහ. නෑයන් කෙරෙහි ඔහුට පිහිට වන බවෙක් නැත්තේ ය.

එතමත්‍ථවසං ඤත්‍වා පණ්ඩිතො සීලසංවුතො
නිබ්බාණගමනං මග්ගං ඛිප්පමෙව විසොධයෙ.

මෙ කරුණ දැන, නුවණැත්තේ ශීලයෙන් රක්‍ෂිත ගෝපිත වූයේ, නිවනට යන මඟ වහා ම පිරිසිදු කරන්නේ ය.

Donations
You cannot copy content of this page