18. Mala Waggaya මල වර්‍ගය

18-1 ගෝඝාතක පුත්‍රයා

පණ්ඩුපලාසො’ව දානි’සි යමපුරිසා’පි ච තං උපට්ඨිතා.
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.

දැන් (සිඳි බිමැ හුනු) පඬු පැහැ පරණලා පතක් මෙන් විහි. යමදූතයෝ ද තට එළැඹ සිටියහ. (හෙවත් මරණය තට එළැඹ සිටියේ ය). පරිහානිමුඛයෙහි ද සිටියෙහි ය. පරලොව යන තට කුසල් නැමැති මාර්ගෝපකරණයෙකුදු නැත්තේ ය.

සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනඞ්ගණො දිබ්බං අරියභූමිමෙහිසි.

ඒ තෝ තමහට (නැව බුන් කල්හි පිහිට වන) දිවයිනක් (මෙන් කුසල් නමැති පිහිටක්) කරව. (කරන්නෙහි දු) වහා වෑයම් කරව. (එහි ලා) නුවණැති වව. (සන්තානයෙන්) පහ කළ රාගාදි මල ඇත්තෙහි, එහෙයින් ම රාගාදී අඞ්ගණ නැත්තෙක් වූයෙහි, දිව්‍යානුභාව ඇති (නොහොත් ශෝභාවත්) ආර්‍ය්‍යභූමියට (හෙවත් ශුද්ධාවාසයට) පැමිණෙන්නෙහි ය.

උපනීතවයො ච දානි’සි සම්පයාතො’සි යමස්ස සන්තිකෙ
වාසො’පි ච තෙ නත්‍ථි අන්තරා පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.

දැන් තෝ ගියා වූ වයස් ඇත්තෙහි ද වෙහි. (තුන් වයස් ම ඉක් මැ) මරුමුවෙහි සිටියෙහි. යමයා සමීපයට (මරුමුවට) යන්නට සැරැසී සිටියෙහි. තට අතුරෙහි වාසයකුදු නැත. පරලොව යන තට අතරමඟ ලැග්මෙකුදු නැත. තට මාර්ගෝපකරණයෙකුදු නැත.

සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනඞ්ගණො න පුනං ජාතිජරං උපෙහිසි.

හේ තෝ තමහට පිහිටක් කරව. වහා වීර්‍ය්‍ය කරව. කුසල් කිරීමෙහි නුවණැති වව. දුර ලූ රාගාදි මල අත්තෙහි, එ හෙයින් ම (රාගාදි) අඞ්ගණ නැත්තෙහි, නැවත ජන්මජරාව්‍යාධිමරණයනට නො පැමිණෙන්නෙහි ය.

18-2 ශ්‍රද්ධාවත් බ්‍රාහ්මණයෙක්

අනුපුබ්බෙන මෙධාවී ථොකථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො.

(ධර්මොජස්ප්‍රඥායෙන් සමන්‍විත) ප්‍රාඥ තෙම ක්‍ෂණක්‍ෂණයෙහි (ලද ලද අවකාශයෙහි) මඳ මඳ කොට කරන්නේ, ස්වර්‍ණයේ ආගන්තුක වූ කෘත්‍රිම දෝෂ දවන රන්කරුවෙකු මෙන්, තමාගේ කෙලෙස්මල දුරු කරන්නේ ය.

18-3 ඉණිකුණුව උපන් මහණෙක්

අයසා’ව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමෙව ඛාදති
එවං අතිධොනචාරිනං සකකම්මානි නයන්ති දුග්ගතිං.

යකඩින් ම නැංගාවූ මලය එයින් ම නැඟ එය ම යම් සේ කා ද, එසේ ම සිවුපසය පස් විකා පරිභෝග කරණ ප්‍රඥායෙන් ඉක්මුනුහු (හෙවත් පසය නොපස්විකා වළඳන මහණා) ස්වකීය ඒ පාපකර්‍මයෝ දුගතියට පමුණුවන්නාහ.

18-4 ලාලුදායී ස්ථවිරයන් වහන්සේ

අසජ්ඣායමලා මන්තා අනුට්ඨානමලා ඝරා
මලං වණ්ණස්ස කොසජ්ජං පමාදො රක්ඛතො මලං.

හදාළ ශාස්ත්‍රයෝ නොපිරුවීම මල කොටැතියහ. ගෘහයෝ වීර්‍ය්‍ය නොකිරීම මල කොට ඇත්තාහ. ශරීරවර්‍ණයට කුසීත බව මලයෙක. (කෙත්වත් ඈ) රක්නාහට ප්‍රමාදය මලයෙක (කිලිටෙක).

18-5 සොරසැමියන් සොයා ගිය ගැහැණි

මලිත්‍ථියා දුච්චරිතං මච්ඡෙරං දදතො මලං
මලා වෙ පාපකා ධම්මා අස්මිං ලොකෙ පරම්හි ච.

ස්ත්‍රියට දුශ්චරිතය (ධූර්‍තවීම) මලයෙක (කිලිටෙක). දන් දෙන්නාහට මසුරුබව මලයෙක (කිලිටෙක). අකුශල ධර්‍මයෝ මේ ලොව ද පර ලොව ද ඒකාන්තයෙන් මලයෝ ය (කිලුටු ය)

තතො මලා මලතරං අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්‍වාන නිම්මලා හොථ භික්ඛවො.

මහණෙනි, ඒ සියලු මලයට වඩා අධිකතර මලයක් තොපට දක්වමි. (දුඃඛාදි අට තැන පැවැති නො දැන්මැ යි කියන ලද) අවිද්‍යාව මහත් ම මලය ය (කිලුට ය). මේ අවිද්‍යා නැමැති මලය (රහත් මග නුවණින්) පහකොට නිර්‍මල වවු.

18-6 වෙදකම් කළ මහණෙක්

සුජීවං අහිරිකෙන කාකසූරෙන ධංසිනා
පක්ඛන්‍දිනා පගබ්භෙන සංකිලිට්ඨෙන ජීවිතං.

පවෙහි හිරි ඔතප් නැති, ගසා කෑමෙහි සුරු කවුඩකු වැනි වූ, මෙරමා ගුණ මකන, ගෙන් ගෙට දිවෙන සුලු, බුහුටි වූ, කිලිටි ආජීව ඇති මහණහු විසින් ජීවත් වීම සුවසේ කට හැක්කේ ය.

හිරීමතා ච දුජ්ජීවං නිච්චං සුචිගවෙසිනා
අලීනෙනාපගබ්භෙන සුද්ධාජීවෙන පස්සතා.

පාපයෙහි හිරි ඔතප් ඇති, පිරිසිදු කායකාර්‍මාදිය සතතයෙන් සොයන සුලු වූ, ප්‍රගල්භ රහිත (බුහුටි නොවූ), (අනෙස්නෙන් දුරු වූ බැවින්) පිරිසිදු ආජීව ඇති, එය ම සරු කොට දක්නා මහණහු විසින් ජීවත් වීම දුකසේ කටයුතු ය (රූක්‍ෂ ජීවිකායෙන් ජීවත් විය යුතු ය.)

18-7 පන්සියයක් උපාසකයෝ

යො පාණමතිපාතෙති මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති පරදාරං ච ගච්ඡති.

යමෙක් පණ නසා ද, බොරු කියා ද. (මේ) සත්ලොවෙහි නොදුන් දෑ පැහැරැ ගනී ද, පරඹුවන් කරා යේ ද,

සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජති
ඉධෙව පොසො ලොකස්මිං මූලං ඛණති අත්තනො.

යම් මිනිසෙක් රහමෙර පීමෙහිත් යෙදේ ද, මෙබඳු පුඟුල් තෙම මෙ ලොව්හි දී ම තමාගේ ප්‍රතිෂ්ඨාමූලය කණන්නේ ය.

එවං භො පුරිස ජානාහි පාපධම්මා අසඤ්ඤතා
මා තං ලොභො අධම්මො ච චිරං දුක්ඛාය රන්‍ධයුං.

භවත් පුරුෂය, (අකුශල) ධර්‍මයෝ සංයම නැත්තෝ යැ යි මෙසේ දනුව. ලෝභය ද ද්වේෂය ද යන අකුශලමූලයෝ දෙදෙන තා බොහෝ කලක් නරකාදි දුකට නො පමුණුවත්වා.

18-8 තම නෑයන් උසස් කොට දැක් වූ තිස්ස මහණ

දදාති වෙ යථා සද්ධං යථා පසාදනං ජනො
තත්‍ථ වෙ මඞ්කු යො හොති පරෙසං පානභොජනෙ
න සො දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.

ජන තෙමේ ශ්‍රද්ධාවට අනුරූප පරිද්දෙන්, තමාගේ ප්‍රසාදයට අනුරූප පරිද්දෙන්, අනුනට දෙන්නේ ය. ඒ පානභෝජයනයෙහි යම් මහණෙක්, (රූක්‍ෂ දැ ලදැ යි) දොම්නස් ඇත්තේ වේ ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවලෙක වත් රාත්‍රියෙක වත් සමාධියකට නො පැමිණෙන්නේ ය.

යස්ස චෙතං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං.
ස වෙ දිවා වා රත්තිං වා සමාධිං අධිගච්ඡති.

යම් මහණකු විසින් වනාහි මේ මකු බව මුලින් සිඳුනා ලද ද, (අවිද්‍යා තෘෂ්ණා නැමැති) ක්ලේශමූලය මොනවට නසන ලද ද, හෙ තෙම ඒකාන්තයෙන් දාවල් හෝ රෑ හෝ සමාධියට පැමිණෙන්නේ ය.

18-9 බණ ඇසූ උපාසක

නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො ගහො
නත්‍ථි මොහසමං ජාලං නත්‍ථි තණ්හාසමා නදී.

රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම ඩැහැගැන්මෙක් නැත. මෝහය හා සම දැලෙක් නැත. තෘෂ්ණාව හා සම නදියෙක් නැත.

18-10 මෙණ්ඩක සිටානෝ

සුදස්සං වජ්ජමඤ්ඤෙසං අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ජානි ඔපුණාති යථා භූසං
අත්තනො පන ඡාදෙති කලිං’ව කිතවා සඨො.

අනුන්ගේ අණුමාත්‍ර වූ වරද සුව සේ දැක්ක හැක්ක. තමාගේ වූ කලි මහත් වූ වරද ද දැක්ක නොහෙන්නේ ය. ඒ අනුන්ගේ වරද සොයන පුද්ගල තෙම මඳ වූ ද අනුන්ගේ දෝෂයන් උස් තැනෙක සිට රොඩු බොල් පොළන එකක්හු මෙන් පොළන්නේ ය (නගා පාන්නේ ය). තමාගේ වූ කලි මහත් වරද පවා වසන්නේ ය. (පැටි කරන්නේ ය, වළහන්නේ ය). කොළ පැලැලි ආදියෙන් සිරුර මුවහ කරණ වංචක ලිහිණිවැද්දා මෙනි.

18-11 උජ්ඣානසඤ්ඤී ස්ථවිර

පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩ්ඪන්ති ආරා සො ආසවක්ඛයා.

අනුන්ගේ වරද දක්නා සුලු වූ, සතතයෙන් අනුන් උදහන සුලු වූ (අනුන්හට දොස් කියන සුලු වූ) ඒ මහණහට ආස්‍රවයෝ වඩනාහ. හෙ තෙම රහත් බැවින් දුරු යි.

18-12 සුභද්‍ර පරිව්‍රාජක

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ
පපඤ්චාභිරතා පජා නිප්පපඤ්චා තථාගතා.

අහසෙහි පිය සටහනෙක් නැත. බාහිර ශාසනයෙක මාර්‍ගස්ථඵලස්ථ මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත (සත්ත්‍වලෝක සංඛ්‍යාත) ප්‍රජාව (තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත) ප්‍රපංචයෙහි ඇලුනේ ය. තථාගතවරු ප්‍රපංච රහිතයෝ ය.

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ
සඞ්ඛාරා සස්සතා නත්‍ථි නත්‍ථි බුද්ධාන ඉඤ්ජිතං.

අහසෙහි පිය සටහනෙක් නැත. සස්නෙන් බැහැර මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත. බුදුවරුන්ගේ (තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන් අතුරෙහි යම් ඉංජිතයක් නිසා සංස්කාරයෝ ශාශ්වත හ යි ගණිද්ද එසේ වූ) එක ද ඉංජිතයෙක් නැත.

Donations
You cannot copy content of this page