17. Croodha Waggaya ක්‍රෝධ වර්‍ගය.

17-1 රෝහිණියගේ අසුන්හල් පූජාව

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සඤ්ඤොජනං සබ්බමතික්කමෙය්‍යෙ
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.

ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය පහ කරන්නේ ය. (කාමරාගාදි) සියලු සංයෝජන ඉක්මෙන්නේ ය. නාමරූප දෙක්හි (මගේ රූපය මගේ වේදනාව යන ආදීන්) ඇලුම් නොකරන්නාවූ, (කෙලෙසුන් නැති හෙයින්) අකිංචන වූ ඒ පුද්ගලයා (කායික චෛතසික දුඃඛයෝ) අනුව නො පවත්නාහු ය.

17-2 දෙව්දුවකගේ පැමිණිල්ලෙක්

යො චෙ උප්පතිතං කොධං රථං භන්තං’ව ධාරයෙ
තමහං සාරථිං බ්‍රූමි රස්මිග්ගාහො ඉතරො ජනො.

යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත් වේගයෙන් දුවන රියක් වළක වළකා තමා කැමති තැනට මෙහෙයන්නාක්) මෙන් නිගන්නේ ද (වළකා ලන්නේ ද), ඒ පුගුලා රියැදුරැ යි මම් කියමි. රාජාදීන්ගේ අන් රියැදුරු ජන තෙමේ රස්මිග්‍රාහක (රැහැන ගන්නා) නම් වෙයි. (උතුම් රියැදුරු නම් නො වෙයි.)

17-3 උත්තරා සිරිමාවට කළ සත්කාරය

අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං.

ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.

17-4 ගැහැණියකට දෙව්ලොව උපතට කරුණු වූ පින්කම

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය දජ්ජාප්පසමිම්පි යාචිතො
එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ දෙවාන සන්තිකෙ.

සත්‍යය ම කියන්නේ ය. නො ම කිපෙන්නේ ය. ඉල්ලන ලදුයේ, දෙන දෑ ස්වල්ප වැ ඇති කල්හි නමුදු, එයින් මඳ දැයක් නමුදු දෙන්නේ ය. මේ කරුණු තුනින් දෙවියන් වෙතට යන්නේ ය.

17-5 බුදුන්ගේ පෙර දෑහි මවුපිය දෙදෙනෙක්

අහිංසකා යෙ මුනයො නිච්චං කායෙනසංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං යත්‍ථ ගන්ත්‍වා න සොචරෙ.

යම් මුනි කෙනෙක් අනුනට හිංසාවක් නො කෙරෙද්ද, සතතයෙන් කයින් සංවෘත වූවෝ ද, ඒ අශෛක්‍ෂි මුනිහු, සත්ත්‍වයෝ යම් තැනකට ගොස් ශෝක නො කෙරෙද්ද, මරණයක් නැති ඒ අමා මහ නිවන් නැමැති තැනට (අරමුණු කිරීම් වශයෙන්) පැමිණෙන්නාහ.

17-6 කුඩු කැවුමක් පිළිගැණීම

සදා ජාගරමානානං අහොරත්තානුසික්ඛිනං
නිබ්බාණං අධිමුත්තානං අත්‍ථං ගච්ඡන්ති ආසවා.

හැම කල්හි පිබිදැ සිටින (කෙලෙස් නින්දෙන් නො නිදන), දව රෑ දෙක්හි තුන් සිකෙහි හික්මෙන, කෙලෙස් පිරිනිවනෙහි ඇලුනු යෝගවචරයන්ගේ ආශ්‍රවයෝ විනාශයට යන්නාහ.

17-7 අතුල උපාසකයා

පොරාණමෙතං අතුල නෙතං අජ්ජතනාමිව
නින්‍දන්ති තුණ්හිමාසීනං නින්‍දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්‍දන්ති නත්‍ථි ලොකෙ අනින්‍දිතො.

අතුල ය, මේ ගැරැහුම් පැසැසුම් දෙක පුරාතන ය. මෙය අද පමණක් වූ දැයෙක් නො වේ. මුවෙන් නො බැණ උන්නවුනට ද නින්‍දා කෙරෙත්. බොහෝ කොට බණන සුල්ලන්ට ද නින්‍දා කෙරෙත්. මඳ කොට බණන සුල්ලහුට ද නින්‍දා කෙරෙති. (එහෙයින්) ලොවැ සර්‍වප්‍රකාරයෙන් අනින්‍දිත සත්ත්‍වයෙක් නම් නැති.

න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති
එකන්තං නින්‍දිතො පොසො එකන්තං වා පසංසිතො.

ඒකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ ඒකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්‍තමාන කාලයෙහි ද නැත්තේ ය.

යං චෙ විඤ්ඤූ පසංසන්ති අනුවිච්ච සුවෙ සුවෙ
අච්ඡිද්දවුත්තිං මෙධාවිං පඤ්ඤාසීලසමාහිතං.

ඉදින් නුවණැත්තෝ දවස දවස විමසා, නින්‍දාවට ද ප්‍රශංසාවට ද කාරණය දැන, යමකුට ප්‍රශංසා කෙරෙත් ද, අච්ඡිද්‍ර වූ ශික්‍ෂායෙහි පවත්නා (නොහොත් අච්ඡිද්‍ර ජීවිතවෘත්ති ඇති) ධර්මොජසප්‍රඥාව ඇති (විවසුන් නුවණ ඇති), ලොවිලොවුතුරා නුවණිනුත් සිවු පිරිසිදු ශීලයෙනුත් සමන්‍විත වූ,

නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්‍දිතුමරහති
දෙවා’පි නං පසංසන්ති බ්‍රහ්මුනා’පි පසංසිතො.

ඒ මහණහට ජාම්බොනද කනකපුංජයකට මෙන් නින්‍දා කරන්නට කවරෙක් සුදුසු ද? ඒ මහණහට දෙවියෝද (නුවණැති මිනිස්සු ද) ප්‍රශංසා කෙරෙති. මහබඹුහු විසිනුදු හේ පසසන ලදුයේ ම වේ.

17-8 සවග මහණුන්ගේ අසංවරය

කායප්පකොපං රක්ඛෙය්‍ය කායෙන සංවුතො සියා
කායදුච්චරිතං හිත්‍වා කායෙන සුචරිතං චරෙ.

(ත්‍රිවිධ) කායදුශ්චරිතය රක්නේ ය (හෙවත් කායදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). කායද්වාරයෙන් සංවෘත වන්නේ ය. කායදුශ්චරිතය හැර කයින් සුසිරිත් පුරන්නේ ය.

වචීපකොපං රක්ඛෙය්‍ය වාචාය සංවුතො සියා
වචීදුච්චරිතං හිත්‍වා වාචාය සුචරිතං චරෙ.

(චතුර්විධ) වාග්දුශ්චරිතය රක්නේ ය (හෙවත් වාග්දුශ්චරිතයෙන් දුරු වන්නේ ය). වාග්ද්වාරයෙන් සංවෘත වන්නේ ය. වාග්දුශ්චරිතය හැර වාග්ද්වාරයෙන් සුචරිතය පුරන්නේ ය.

මනොපකොපං රක්ඛෙය්‍ය මනසා සංවුතො සියා
මනොදුච්චරිතං හිත්‍වා මනසා සුචරිතං චරෙ.

(ත්‍රිවිධ) මනෝදුශ්චරිතය රක්නේ ය (හෙවත් මනෝදුශ්චරිතයෙන් දුරු වන්නේ ය). මනෝවාරයෙන් සංවෘත වන්නේ ය. මනෝදුශ්චරිතය දුරු කොට මනඃසුචරිතය පුරන්නේ ය.

කායෙන සංවුතා ධීරා අථො වාචාය සංවුතා
මනසා සංවුතා ධීරා තෙ වෙ සුපරිසංවුතා.

යම් ප්‍රාඥ කෙනෙක් කායද්වාරයෙන් සංවෘත ද, නැවත වාග්ද්වාරයෙන් සංවෘත ද, මනෝද්වාරයෙන් සංවෘත ද, ඒ නුවණැත්තෝ ඒකාන්තයෙන් මනා කොට වසා රැක ගත් තුන් දොර ඇත්තෝ ය.

Donations
You cannot copy content of this page