16. Priya Waggaya ප්‍රිය වර්‍ගය

16-1 මවුපිය දෙදෙනා හා එක් ම පුතා

අයොගෙ යුඤ්ජමත්තානං යොගස්මිඤ්ච අයොජයං
අත්‍ථං හිත්‍වා පියග්ගාහී පිහෙතත්තානුයොගිනං.

තමා නොයෙදියයුතු තැන (අගෝචරසේවනයෙහි, අයෝනිසෝමනසිකාරයෙහි) යොදාන්නාවූ ද, යෙදියයුතු තැන (සතිපට්ඨානගෝචරයෙහි) නො යොදාන්නාවූ ද පුද්ගල තෙම අර්‍ත්‍ථය (ත්‍රිශික්‍ෂාව) දුරැලා ප්‍රිය දැයම (පස්කම්) ගන්නා සුලු වූයේ අත් වැඩෙහි යෙදුනහු පතයි. (මමත් මෙබඳු වීම් නම් යෙහෙකැයි මෙසේ ඔවුන් කැමති වන්නේ ය.)

මා පියෙහි සමාගඤ්ඡි අප්පියෙහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං අප්පියානඤ්ච දස්සනං.

ප්‍රියයන් සමග ද අප්‍රියන් සමග ද කිසි කලෙකත් (තෘෂ්ණාසංස්තව වශයෙන්) එක් නො වව. ප්‍රියයන්ගේ නොදැක්ම දුකෙකි. අප්‍රියයන්ගේ දර්‍ශනය ද දුකෙකි (එ හෙයිනි).

තස්මා පියං න කයිරාථ පියාපායො හි පාපකො
ගන්‍ථා තෙසං න විජ්ජන්ති යෙසං නත්‍ථි පියාප්පියං.

එ හෙයින් කිසිවෙක් (කිසි සත්‍වයෙකු හෝ කිසි සංස්කාරයක්) ප්‍රිය නො කරන්නේ ය. ඒ එසේ මැ යි. ප්‍රියයන්ගේ වියෝගය ලාමක ය. යම් කෙනකුන්හට ප්‍රියාප්‍රිය වස්තුවෙක් නැද්ද, ඔවුන්හට (අභිධ්‍යාදි චතුර්විධ) කායග්‍රන්‍ථයෝ නැත්තාහ (ඔවුන්ගේ සන්තානයෙහි නො පවත්නාහු ය)

16-2 පුතු මළ සෝකයෙන් හැඬූ බමුණා

පියතො ජායතී සොකො පියතො ජායතී භයං
පියතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රිය වූවන් නිසා ශෝකය උපදී. ප්‍රිය වූවන් නිසා භය උපදී. ප්‍රිය වූවන් ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

16-3 විශාඛා මහා උපාසිකාවගේ දුක් සන්සිඳවිම

පෙමතො ජායතී සොකො පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

ප්‍රේමය නිසා ශෝකය උපදී. ප්‍රේමය නිසා භය හටගනී. ප්‍රේමයෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

16-4 ගෑණියක නිසා වූ විපතක්

රතියා ජායතී සොකො රතියා ජායතී භයං
රතියා විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

(පංචකාමගුණ) රතිය නිසා ශෝකය උපදී. රතිය නිසා භය හටගනී. රතියෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

16-5 අනිත්‍ථිගන්‍ධ කුමාරයා

කාමතො ජායතී සොකො කාමතො ජායතී භයං
කාමතො විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

(වස්තුකාම ක්ලේශකාමයැ යි ද්විවිධ වූ) කාමයන් නිසා ශෝකය උපදී. කාමයන් නිසා භය හටගනී. කාමයන්ගෙන් මිදුනු සිතැත්තහුට කිසි ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

16-6 මිසදිටු ගත් බමුණෙක්

තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං.

තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම භය උපදනේ ය. තෘෂ්ණායෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

16-7 මූණ බලා පිදූ කැවුම්

සීලදස්සනසම්පන්නං ධම්මට්ඨං සච්චවෙදිනං
අත්තනො කම්ම කුබ්බානං තං ජනො කුරුතෙ පියං.

සිවු පිරිසිදු ශීලයෙන් ද මාර්‍ගඵල සම්ප්‍රයුක්ත සම්‍යග්දෘෂ්ටියෙන් ද යුක්ත වූ ලොවුතුරා දහම් හි පිහිටි සිවුසස් දත්තාවූ, (තුන් සික පිරීම වූ) තමාගේ කාර්‍ය්‍යය කරණ ඒ රහත්හු ලොවී මහජන තෙම ප්‍රිය කරන්නේ ය.

16-8 ප්‍රශ්නයට පිළිතුරු නො දී පිරිනිවීම

ඡන්‍දජාතො අනක්ඛාතෙ මනසා ච ඵුටො සියා.
කාමෙසු ච අප්පටිබද්ධචිත්තො උද්ධංසොතො’ති වුච්චති.

යම් මහණෙක් (පැහැ සටහන් වශයෙන් මෙබඳු යැ යි) නො කියන ලද නිවන කෙරෙහි (නිවන් පසක් කිරීමෙහි) (කත්තුකම්‍යතා වශයෙන්) හටගත් ඡන්‍දය ඇත්තේ ද, යට තුන් මග තුන් පල සිතින් පිරුණේ වේ ද, පස්කම්හි නො ඇලුනු සිතැත්තේ වේ ද මෙසේ වූ මහණ තෙම උඩු බලා පැවති ප්‍රතිසන්‍ධි ස්‍රෝතස් ඇත්තේ යැ යි (උද්ධංසෝත යැ යි) කියනු ලැබේ.

16-9 නන්‍දිය හා රේවතී

චිරප්පවාසිං පුරිසං දූරතො සොත්‍ථිමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච අභිනන්‍දන්ති ආගතං.

බොහෝ කලක් පිට රට ගොස් වුසූ, දුරු රටැ සිට සුවසේ ආ පුරුෂයක්හු දැක නෑයෝ ද මිතුරෝ ද යහළුවෝ ද ඔහුගේ පැමිණීම සාදර ව පිළිගනිත්.

තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතීව ආගතං.

එ පරිද්දෙන් ම කළ පින් ඇති මෙ ලොවින් පරලොවට ගිය පුරුෂයා ද, ඔහු කළ කුසල්හු දුර සිට ආ ප්‍රියයකු පිළිගන්නා නෑයන් සේ පිළිගන්නාහු ය.

Donations
You cannot copy content of this page