13. Looka Waggaya ලෝක වර්‍ගය

13-1 තරුණ භික්‍ෂූන් වහන්සේ

හීනං ධම්මං න සෙවෙය්‍ය පමාදෙන න සංවසෙ
මිච්ඡාදිට්ඨිං න සෙවෙය්‍ය න සියා ලොකවද්ධනො.

ලාමක ධර්‍මය (පංචකාමගුණය) නො සෙවුනේ ය. ප්‍රමාදය හා එක් ව නො වසන්නේ ය. මිත්‍ථ්‍යාදෘෂ්ටිය ද සේවනය නො කරන්නේ ය. ලොව වඩන්නෙක් නො වන්නේ ය (සසර නො වඩන්නේ ය).

13-2 පිඬු සිඟීම

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.

ගෙපිළිවෙළින් පිඬු සිඟා ලැබිය යුතු කෙණෙසි අහරෙහි නො පමා වන්නේ ය. භික්‍ෂූචර්‍ය්‍යධර්‍මය සකසා පුරුදු කරන්නේ ය. භික්‍ෂාචර්‍ය්‍යධර්‍මය අනුව හැසිරෙන මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සුවසේ වෙසෙයි.

ධම්මං චරෙ සුචරිතං න නං දුච්චරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති අස්මිං ලොකෙ පරම්හි ච.

(භික්‍ෂාචර්‍ය) ධර්‍මය (අනෙස්නෙන් තොර වැ පිඬුසිඟීමෙන්) මනා කොට පුරන්නේ ය. එය (වේසියගෝචරාදි අගෝචරයෙහි හැසිරීම් වශයෙන්) නපුරු කොට නො පුරන්නේ ය. භික්‍ෂාචර්‍ය්‍යධර්‍මය මනා ව පුරනා මහණ තෙම මෙ ලොවෙහි ද පරලොවෙහි ද සිවු ඉරියවුහි ම සුව සේ වෙසෙයි.

13-3 විදර්‍ශකභික්‍ෂූන් වහන්සේ

යථා බුබ්බුලකං පස්සෙ යථා පස්සෙ මරීචිකං
එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.

දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්‍ධායතනධාතුසංඛ්‍යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැනැත්තහු මෘත්‍යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.

13-4 අඥයා කිඳා බස්නා තැන.

එථ පස්සථිමං ලොකං චිත්තං රාජරථූපමං
යත්‍ථ බාලා විසීදන්ති නත්‍ථි සඞ්ගො විජානතං.

මෙහි ඵවු. යම් අත්බැවෙක්හි අනූවණයෝ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගැලෙද් ද, නුවණැත්තනට යම් අත්බැවෙක්හි (රාගසඞ්ගාදි) කිසි සඞ්ගයෙක් නැද්ද, (රන් රිදී ඈ රුවනින්) විසිතුරු වූ, රාජරථයක් බඳු වූ (හෙවත් රජදරුවන් නැගෙන මඟුල් රියක් සේ වස්ත්‍රාභරණාදියෙන් විසිතුරු කරණ ලද) (ස්කන්‍ධාදි ලෝක යැ යි කියන ලද) මේ අත්බව බලවු.

13-5 සම්මුඤ්ජනී ස්ථවිරයන් වහන්සේ

යො ච පුබ්බෙ පමජ්ජිත්‍වා පච්ඡා සො නප්පමජ්ජති.
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.

යම් පුද්ගලයෙක් පූර්‍වභාගයෙහි (වත් පිළිවෙත් පිරීමෙන් හෝ බණ හැදෑරුම් ආදියෙන් හෝ යෝනිසෝමනසිකාරයෙහි) ප්‍රමත්ත ව ද, හෙ තෙම පසු වැ (මග පල සුවයෙන් දවස් යවන්නේ යෝනිසෝමනස්කාරයෙහි) නො පමා වේ ද, හෙ තෙම වලාපටලයෙකින් මිදුනු පුන්සඳ අහස්ලොව (බබුලුවන්නා) සේ (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලොව (ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.

13-6 අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.

යමකු විසින් කළ පාපකර්‍මය (අර්‍හත්ත්‍වමාර්‍ගසම්ප්‍රයුක්ත චේතනා සංඛ්‍යාත) කුසලයෙන් පිහියේ ද (මුව ව සේ ද), හෙ තෙම වලා පටලයෙකින් මිදුනු පුන් සඳු (අහස බබුලුවන්නා) මෙන් (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.

13-7 පෙහෙරකෙල්ලගේ මරණය

අන්‍ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති.
සකුන්තො ජාලමුත්තො’ව අප්පො සග්ගාය ගච්ඡති.

මේ ලොවී මහ ජන තෙම නුවණැස් නැතියෙන් අන්‍ධ ය. මේ මහජනයා අතුරෙහි ස්වල්ප සත්ත්‍වයෙක් ම අනිත්‍යාදි වශයෙන් ස්කන්‍ධපංචකය දක්නේ ය. (ලිහිණිවැද්දකු දැමූ) දැලට හසු වැ එයින් මිදී පලා යන වටුවකු මෙන් (මාරජලයෙන් වැසුනු සත්ත්‍වයන් අතුරෙන්) ස්වල්ප වූ කිසි සත්ත්‍වයෙක් ම (සුෂටු අග්‍ර හෙයින් සග්ග යැ යි කියන ලද) සුගතියට ද නිවනට ද යන්නේ ය.

13-8 අහසෙහි ගිය භික්‍ෂූන් වහන්සේලා

හංසාදිච්චපථෙ යන්ති ආකාසෙ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලොකම්හා ජිත්‍වා මාරං සවාහිනිං.

හංසයෝ (කර්‍මවිපාකජර්ධියෙන්) අහසෙහි යෙති. (යෝගීහු) භාවනාමයර්ධියෙන් අහසෙහි යෙති. (හේතු සම්පන්න කෘතාධිකාර ඇති) ප්‍රාඥයෝ සෙන් සහිත මරහු දිනා ලෝකයෙන් (සසරවටින්) නික්මෙන්නාහ (නිවන් යන්නාහ).

13-9 තරුණියක බොරු කියා නිරයට ගිය සැටි

එකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණපරලොකස්ස නත්‍ථි පාපං අකාරියං.

එක ම වාක්සත්‍ය ධර්‍මය ඉක්ම ගිය, බොරු බොහෝ කොට කියන සුලු වූ, (දෙව් මිනිස් සැපට ද නිවන් සැපට ද හිමි නො වන බැවින්) හරණ ලද පර ලොව ඇති; සත්ත්‍වයා විසින් නොකට හැකි අකුසලෙක් නම් නැත.

13-10 අසදිස දානය

න වෙ කදරියා දෙවලොකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරො ච දානං අනුමොදමානො
තෙනෙව සො හොති සුඛී පරත්‍ථ.

තද මසුරු සත්ත්‍වයෝ ඒකාන්තයෙන් දෙව්ලොවට නො යන්නාහ. (දෙලෝ වැඩ නොදන්නා) අනුවණයෝ ඒකාන්තයෙන්(අනුන් දුන්) දනට (කළ සේ යහපතැයි) ප්‍රශංසාවක් නො කරන්නාහ. (අනුන් දුන්) දානය අනුමෝදන් කරන්නා වූ ප්‍රාඥ වූ ඒ පුරුෂ තෙම වනාහි ඒ දානානුමෝදනාමය වූ කුශලකර්‍මයෙන් පරලොව්හි (කායික චෛතසික සුඛයෙන්) සුවපත් වන්නේ ය.

13-11 අනේපිඬු සිටුපුත් නිවනට නතු වූ සැටි

පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන සොතාපත්තිඵලං වරං.

මුළු පොළොවෙහි සක්විති රජ ඉසුරට වඩා (සවිසි වැදෑරුම්) ස්වර්‍ගයට යෑමට ද වඩා, (නාගලෝකාදිය සහිත) මේ සියලු ලෝකයෙහි අධිපති බවට ද වඩා සෝවාන් පලය ම උතුමි. මෙ තෙක් තැන අධිපති කොටත් සත්ත්‍ව තෙම අපායෙන් නො මිදුනේ ම වෙයි. සෝවාන් පුඟුල් තෙම අපායෙක නො උපදී. අට වන භවයක් නො ලබයි. එහෙයින් මුළු ලොව ම අධිපති බවට වඩා සෝවාන් ඵලය උතුමි.

Donations
You cannot copy content of this page