11. Jaraa Waggaya ජරා වර්‍ගය

11-1 රා බී මත් ව නැටූ ගෑණු

කො නු හාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති
අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථ.

සතතයෙන් (මේ ලෝකසන්නිවාසය රාගාදි එකොළොස් ගින්නෙන්) ඇවිල ගෙණ දිලියෙන කල්හි (තොප හැම දෙනාට) සොම්නසෙක් වත් සතුටෙක් වත් කවරේ ද? (දුඃඛාදි අට තන්හි උපදනා සම්මෝහ යැ යි කියන ලද) අවිද්‍යාන්‍ධකාරයෙන් වළඳනා ලද්දා වූ තෙපි (ඒ මොහඳුර නසනු පිණිස මාර්‍ගඵලප්‍රඥා සංඛ්‍යාත) ප්‍රදීපය කුමට නො සොයවු ද?

12-2 සිරිමාවන්ගේ මළ සිරුර

පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං
ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්‍ථි ධුවං ඨිති.

යම් මේ සිරුරෙක නිත්‍ය පැවැත්මෙක් නැද්ද, (නව මහා ව්‍රණමුඛයන්ගේ වශයෙන් ව්‍රණස්වභාව වූ ව්‍රණසමූහ වූ) තුන් සියයක් ඇටින් ගළපා සිටුවන ලද්දා වූ, (හැම කල්හි ම කැවීමෙන් පෙවීමෙන් නැහැවීමෙන් ඉළීමෙන් ඉරියවු පෙරැළීම් ආදියෙන් පරිහරණය කට යුතු හෙයින් සතතයෙන්) ගිලන් වූ, බොහෝ දෙනා විසින් ශුභය ශුචි යැ යි කල්පනා කරණ ලද්දාවූ, (වස්ත්‍රාභරණාදියෙන් සරහා) විසිතුරු කරණ ලද්දා වූ මේ ශරීරය, මේ මෘතකලෙබරය (අසුචි දුගඳ පිළිකුල් සේ) බල.

11-3 උත්තරා මෙහෙණ

පරිජිණ්ණමිදං රූපං රොගනිඩ්ඪං පභඞ්ගුරං
භිජ්ජති පූතිසන්‍දෙහො මරණන්තං හි ජීවිතං.

මේ රූපය (පාලු වැ ගිය හෙයින්) ඉතා ජීර්‍ණ ව ගියේ, වැලිත් නොයෙක් රෝගයනට කැදැල්ලක් බඳු ය. වහා නස්නා සුලු ය. (රන්වන් වුව ද නව දොරින් සතතයෙන් වැහෙන කුණු ඇති බැවින්) කුණු වූ මේ කය තෙම (නොබෝ කලෙකින්) බිඳෙන්නේ ය. කුමක් හෙයින? යත්: සියලු සතුන්ගේ ජීවිතය තෙම යම් හෙයකින් මරණය ම අන්ත කොටැත්තේ ද, එහෙයිනි.

11-4 මිනී ඇටවල ඇලුනු මහණෝ

යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ
කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන කා රති.

සරත්කාලයෙහි ඒ ඒ තන්හි දමන ලද ලබු වැනි වූ කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ මිනී ඇට කෙනෙක් ඇද්ද, ඒවා දැක කවර නම් කාමරතියෙක් තොපට වේ ද? (කාමරතියක් ඉපැදැවීම තොපට සුදුසු ද?)

11-5 රූපනන්දා

අට්ඨීනං නගරං කතං මංසලොහිතලෙපනං
යත්‍ථ ජරා ච මච්චු ච මානො මක්ඛො ච ඔහිතො.

යම් තැනෙක්හි ස්කන්‍ධපරිපාකලක්‍ෂණ වූ ජරා ද, ස්කන්‍ධභේදලක්‍ෂණ වූ මරණ ද, නවවිධ මානය ද, (මෙරමා කළ උපකාර මැකීම ලකුණු කොටැති) මකු කෙලෙස් ද පිහිටුවන ලද ද, එහි මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් (නොහොත් කොටුගෙයක්) ඈටින් කරණ ලදී. (තුන් සියයක් ඇට පිහිටුවා නව සියයක් නහරවැලින් වෙළා කරණ ලදී).

11-6 මල්ලිකා දේවිය ගෙතූ බොරුව

ජීරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරම්පි ජරං උපෙති
සතඤ්ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භිදයන්ති පවෙ.

(මුතු මිණි ඈ සත්රුවනින් ද සෙසු රථාලංකාරයෙන් ද) විශේෂයෙන් විසිතුරු කරණ ලද රජුන්ගේ මගුල් රථයෝ ද ඒකාන්තයෙන් ජරාවට පැමිණෙති (මහලු ව දිරති). නැවත (කවා පොවා නහවා උළා හඳවා පලඳවා නොයෙක් ලෙස පරිහරණය කරණ ලද) මේ සිරුර ද (වයස් මිහිකිරීමෙන් ඛාණ්ඩිත්‍යාදියට පැමිණෙමින්) ජරාවට එළැඹෙයි. (බුද්ධාදි සත්පුරුෂයන්ගේ) නව ලෝකෝත්තර ධර්‍මය වනාහි ජරාවට නො පැමිණෙයි. (බුද්ධාදි) සත්පුරුෂයෝ සත්පුරුෂයන් හා සමග ඒකාන්තයෙන් බණන්නාහු ය.

11-7 ලාලුදායි තෙරුන්ගේ බණ

අප්පස්සුතායං පුරිසො බලිවද්දො’ව ජීරති.
මංසානි තස්ස වඩ්ඪන්ති පඤ්ඤා තස්ස න වඩ්ඪති.

(යටත් පිරිසෙයින් සූත්‍ර දෙකක් හෝ නොපුහුණු බැවින්) අල්පශ්‍රැත වූ මේ පුරුෂ තෙම (මවට වත් පියාට වත් සෙසු නෑයනට වත් කිසි ප්‍රයෝජනයක් පිණිස නො මුහුකුරා නිරර්‍ත්‍ථක ව ම මුහුකුරණ) ගොනකු මෙන් (උපාධ්‍යාය වතක් ආචාර්‍ය්‍ය වතක් ගිලන් වතක් නොකොට භාවනායෙක නොයෙදී නිරර්‍ත්‍ථක ව ම) මුහුකුරන්නේ ය. ඒ (හීයට නො නිසි යැ යි වලැ හැරැපු පාබුන් ගොන්මාල්ලකු වලැ ම කා හැවිද මස් වැඩී තර වැ ගියා මෙන් ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදීන් විසින් හරණ ලදු ව සඞ්ඝයාට උපන් සිවුපසය වළඳා වමන විරේචනාදියෙන් කායපෝෂණයෙහි නියුක්ත) මහණහට ශරීරමාංසයෝ ම වඩනාහ. ඔහුව (ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද) ප්‍රඥාව මඳකුදු නො වැඩේ.

11-8 බුදුරජානන් වහන්සේගේ උදන් ඇනුමක්

අනෙකජාති සංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.

භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.

ගහකාරක දිට්ඨො’සි පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛතං
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා.

(අත්බව් නැමැති මේ ගෙය කරණ තෘෂ්ණා නැමැති) වඩුව, (සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කරණ මා විසින්) දැන් දක්නා ලද්දේ වෙහි. නැවැත (අත්බව්) ගෙයක් තෝ මට නො කරන්නෙහි ය. තාගේ සියලු (කෙලෙස් නැමැති) පරාළයෝ තාක් (නොහොත් සියලු ගෘහොපකරණයෝ මා විසින්) බිඳැ පියන ලදහ. (තා කළ අත්බව් ගෙහි) අවිද්‍යා නැමැති කැණිමඬල (මා විසින් රහත් මඟ නුවණ නැමැති පොරොවින් පළා) විසුරුවා පියන ලදී. දැන් මා සිත (අරමුණු කිරීම් වශයෙන්) නිවනට වන. තෘෂ්ණාවන්ගේ ක්‍ෂය යැ යි කියන ලද රහත්පලයට මම් පැමිණියෙමි.

11-9 ධනවතකු හිඟන්නකු වීම

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ.

(පැවිද්දට යෝග්‍ය වූ තරුණ වයස පැවිදි වැ ගෙණ) බඹසරවස් නො වැස, (නූපන් භොග උපදවන්නට ද උපන් භොග රක්නට ද යෝග්‍ය වූ) යෞවන වයසෙහි (කෘෂි වණික්කර්‍මාදියෙන් ලැබිය හැකි වූ) ධනය ලැබ නොගෙන, පමා වැ වුසූ අඥානයෝ දිය සුන් හෙයින් මසුන් නැති විලෙක මඬ පිට හිඳ තැවෙන, (ගොදුරු ඇති විලකට නැගී යන්නට බල නැති පත් වගුළ) මහලු කොස්ලිහිණියන් මෙන් තැවෙන්නාහ.

අචරිත්‍වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපා’තිඛිත්තා’ව පුරාණානි අනුත්‍ථුනං.

තරුණ වයසෙහි බඹසරවස් නොවැස, යොවුන් වයසෙහි ධනය නොසපයා, පමා වැ වුසූ අනුවණයෝ හරණ ලද සැර මෙන් (හෙවත් දුන්නෙන් විදිනා ලදු ව වළැ හුනු සැර හුනු තැන ම තිබී දිරා නස්නා මෙන්) (පෙරැ මෙසේ කෑම්හ, මෙසේ පූම්හ යන ආදීන්) පෙර වුන් සුව සැපතට සොස්මින් හොවිත්.

Donations
You cannot copy content of this page