09. Paapa Waggaya පාප වර්‍ගය

9-1 චුලේකසාටක බ්‍රාහ්මණයා

අභිත්‍ථරෙථ කල්‍යාණෙ පාපා චිත්තං නිවාරයෙ
දන්‍ධං හි කරොතො පුඤ්ඤං පාපස්මිං රමතී මනො.

(දාන ශීලාදි) සුචරිතධම්මවිෂයයෙහි යුහු වන්නේ ය (වහවහා කට යුත්තේ ය). කායදුශ්චරිතාදි අකුශල කර්‍මයෙන් (හෙවත් අකුශල චිත්තෝත්පාදයෙන්) සිත (හෙවත් නොයෙක් තැනින් වැද ගොයම් කන කුළු ගොනකු මෙන් නොරැක්ක හැකි විසභාග අරමුණට දිවෙන හෙයින් තුන් දුසිරිතෙන් නොවැළකිය හැකි වූ මේ කුළු සිත) වළකන්නේ ය. කුමක් හෙයින යත්: දානාදී කුශල කර්‍ම (යම් හෙයෙකින්) දන්‍ධ වැ (හෙවත් ‘දෙම් දෝහෝ,’ ‘නොදෙම් දෝහෝ,’ ‘කෙරෙම් දෝහෝ,’ ‘නො කෙරෙම් දෝහෝ,’ ‘කොට පියා හෙම් දෝහෝ,’ ‘නො කොට පියා හෙම් දො හෝ’ යී මෙ ලෙස ලැසි ගෙණ) කරන්නහුගේ සිත (මසුරුමල ආදි) අකුශලයෙහි ඇලේ. එ හෙයිනි.

9-2 සෙය්‍යසකස්ථවිරයන්ගේ අනභිරතිය

පාපං චෙ පුරිසො කයිරා න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්‍දං කයිරාථ දුක්ඛො පාපස්ස උච්චයො.

පුරුෂ තෙම ඉදින් ප්‍රාණවධාදි අකුශල කර්‍මයක් (ප්‍රමාද දෝෂයෙකින් වත් අසත්සමවායයෙකින් වත් එක් වරෙක) කොට පූයේ වී නමුත් ඒ අකුශල කර්‍මය නැවැත නැවැත නො කරන්නේ ය. (නොදැන සාලඟුරු මැඩ ගත් එකක්හු වහා පය හයා ගන්නා සේ එකෙණෙහි ම ප්‍රත්‍යවේක්‍ෂා කොට මෙවැනි ලාමකක්‍රියා කිරීම තාගේ ජාත්‍යාදියට නොසුදුසු ය යි සලකා ඒ පාපය නො කරන්නේ ය). ඒ අකුශලයෙහි ආලයක්, රුචියක් නො කරන්නේ ය. කුමක් හෙයින් ද? යත්: (ප්‍රාණවධාදී අකුශල) කර්‍මයාගේ රැස් කිරීම (මෙ ලොව ද පර ලොව ද කායචිත්තදුඃඛය එළවන හෙයින්) දුකි. (අකුසල් රැස් කිරීම නම් යම් හෙයකින් මෙ ලොව ද පරලොව ද දුකට කාරණ ද එහෙයින් දුකැ යි සේ යී).

9-3 පොරි දුන් ගැහැණියක්

පුඤ්ඤං චෙ පුරිසො කයිරා කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන්‍දං කයිරාථ සුඛො පුඤ්ඤස්ස උච්චයො.

පුරුෂ තෙම ඉදින් දානාදි එක්තරා කුශල කර්‍මයක් එක් වරෙක ද කෙළේ වී නම් එය නැවත නැවැත ද කරන්නේ ය. ඒ කුශලයෙහි ආලය රුචිය කරන්නේ යි. කුමක් හෙයින් ද? යත්: දානාදි කුශලයාගේ රැස් කිරීම (යම් හෙයෙකින් සඟමොක් සැපතට කාරණ ද එහෙයින්) සුව යි.

9-4 අනාථපිණ්ඩිකසිටානන්ගේ උදාර අදහස

පාපො’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ පාපො පාපානි පස්සති.

යම් තාක් කල් පුරුෂයා විසින් කරණ ලද අකුශල කර්‍මය මෙලොවැ හෝ පරලොවැ හෝ විපාක නො දේ ද, ඒ තාක් කල් පාපකර්‍මසමන්‍විත පුද්ගල ද යහපත දක්නේ ය (පාපී පුද්ගල ද පූර්‍වජන්මයෙහි කළ සුචරිත බලයෙන් වැඩ දක්නේ ය, සුව විඳුනේ ය. යම් කලෙක වනාහි ඔහු කළ පාපකර්‍මය දුෂ්ටධර්‍මවේද්‍ය ව එම ජන්මයෙහි හෝ උපපද්‍යවෙද්‍ය ව හෝ අපරාපර්‍යවේද්‍ය ව) විපාක දේ ද, එකල්හි පව් කළ පුද්ගල තෙම (මෙලොවැ වධබන්‍ධනාදියට ද පරලොවැ අපාය දුකට ද භාජන වීමෙන්) පාපඵලයන් දක්නේ ය.

භද්‍රො’පි පස්සති පාපං යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං අථ භද්‍රො භද්‍රානි පස්සති.

යම් තාක් කල් පුරුෂයා විසින් කරන ලද කුශල කර්‍මය (මෙ ලොව හෝ පරලොවැ) විපාක නො දේ ද, ඒ තාක් කල් කුශලකර්‍මසමන්‍විත පුද්ගල ද (පුර්‍ව කර්‍මයෙහි කළ දුශ්චරිත බලයෙන් වන අකුශල විපාක වූ) අවැඩ දක්නේ ය (දුක් විඳුනේ ය). යම් කලෙක වනාහි ඔහු කළ සුචරිතය (මෙ ලොවැ ම හෝ පරලොවැ හෝ) විපාක දේ ද, එ කල්හි කුසල් කරණ සත්පුරුෂ තෙම (මෙ ලොවැ ලාභසත්කාරාදි සුව ද පර ලොවැ දෙව්සැපත් ආදි සුව ද අනුභව කරන්නේ) භද්‍ර වූ ඉෂ්ට විපාකයන් දක්නේ ය.

9-5 පිරිකර තැන තැන දැමූ මහණෙක්

මා’පමඤ්ඤෙථ පාපස්ස න මන්තං ආගමිස්සති
උදබින්‍දුනිපාතෙන උදකුම්භො’පි පූරති
පූරති බාලො පාපස්ස ථොකථොකම්පි ආචිනං.

ඒ ස්වල්පමාත්‍ර වූ අකුශලකර්‍මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යි, අකුශල කර්‍මය ස්වල්ප යැ යි, අවඥා නො කරන්නේ ය. නිතර එකෙකි දිය බිඳක්හුගේ හීමෙන් (වැසී වස්නා අබවසැ විවෘත වූ මුඛ ඇති) කුඹල් බඳුනෙක් යම්සේ ක්‍රමක්‍රමයෙන් පිරී යේ ද, එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද පව් රැස් කරන අඥාන තෙමේ පාපකර්‍මයෙන් (ක්‍රමයෙන්) පිරෙන්නේ ය.

9-6 බළල් පා ඇති සිටුවරයා

මා’පමඤ්ඤෙථ පුඤ්ඤස්ස න මං තං ආගමිස්සති
උදබින්‍දුනිපාතෙන උදකුම්භො’පි පූරති.
පූරති ධීරො පුඤ්ඤස්ස ථොකථොකම්පි ආචිනං.

ඒ ස්වල්පමාත්‍ර කුශල කර්‍මය මා කරා (විපාක දීම් වශයෙන්) නො එන්නේ යැ යී (මෙය ස්වල්පමාත්‍ර එකෙක. කවර කලෙක මට විපාක දේ ද, එය ස්වල්ප එකෙකැ යි) අවමන් නො කරන්නේ ය. කුමක් හෙයින? යත්: නිරන්තරයෙන් එකෙකි දිය බිඳක්හු හීමෙන් කුඹල් බඳුන ද ක්‍රමක්‍රමයෙන් පිරෙන්නේ ය. එ පරිද්දෙන් ම මඳ මඳ කොට ද කුශලකර්‍ම රැස් කරන ප්‍රඥා තෙම දානශීලාදී කුශලකර්‍මය ක්‍රමක්‍රමයෙන් පුරන්නේ ය.

9-7 ධනවත් වෙළෙන්දෙක්

වාණිජො’ව භයං මග්ගං අප්පසත්‍ථො මහද්ධනො
විසං ජීවිතුකාමො’ව පාපානි පරිවජ්ජයෙ.

(සොරුන් සිටි හෙයින් භය කටයුතු වූ මඟ වළහන්නා වූ) කැටි වැ යන සාත්තුවක් නැති (හෝ මඳ වූ සාර්‍ත්‍ථ පිරිසක් ඇති) බොහෝ ධන ඇති, වෙළෙඳක්හු මෙන් ද, හලාහල විෂයක් දුරු කරණ, ජීවත් වනු කැමති එකක්හු මෙන් ද, අකුශල කර්‍ම දුරු කරන්නේ ය.

9-8 කුක්කුට මිත්‍රයා

පාණිම්හි චෙ වණො නාස්ස හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වෙති නත්‍ථි පාපං අකුබ්බතො.

ඉදින් අත්ලෙහි ව්‍රණයෙක් නො වී නම්, අත්ලෙන් විෂය ගන්නේ ය (හෙවත් ගන්නට පොහොසත් වන්නේ ය). කුමක් හෙයින? යත්: අත්ලෙහි ව්‍රණයක් නැත්තහු අනුව (ස්ථාවර ජඞ්ගම වශයෙන් විප්‍රකාර වූ ම) විෂය නො යන්නේ ය (අත්ලෙහි ව්‍රණයක් නැත්තහු අතින් ගත් විෂය ඔහු සිරුරැ ව්‍යාප්ත නො වන්නා සේ) (තුන් දොරින්) පව් නොකරන්නාහු (ශරචාපාදිය එළවා දුන් නමුදු අකුශල චේතනා නැති හෙයින් සිදු වන) අකුශල කර්‍මයෙක් නැත.

9-9 කෝක නම් බලුවැද්දා

යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතං’ව ඛිත්තො.

(තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්‍රීපර වූ නොකැලැඹුණු සිත් ඇති), නිරපරාධ වූ සිත් ඇති හෙයින් පිරිසිදු වූ, නිඃක්ලේශී වූ, (‘නර’ ය ‘පුරුෂ’ යැ යි කියන ලද) සත්තවයකුහට යම් පුද්ගලයෙක් දුෂ්ට වේ ද (අතින් පයින් සැතින් දඬුයෙන් පැහැරීම් ආදියෙන් අපරාධ කෙරේ ද), ඔහු විසින් කරන ලද ඒ පාපකර්‍මය තෙම උඩු සුළඟට දමන ලද සියුම් රජසක් මෙන් (නිරපරාධයනට අපරාධ කළාවූ) ඒ අඥානයා කරා (මෙ ලොව හෝ පර ලොවැ නරකාදියෙහි හෝ විපාක දුක් දෙමින්) පැමිණෙන්නේ ය.

9-10 මැණික්කරු කළ අපරාධය

ගබ්භමෙකෙ’පපජ්ජන්ති නිරයං පාපකම්මිනො
සග්ගං සුගතිනො යන්ති පරිනිබ්බන්ති අනාසවා.

සමහර සත්ත්‍ව කෙනෙක් මවුකුසට උත්පත්ති වශයෙන් පැමිණෙන්නාහ. පව්මක් කළෝ නරකයට උත්පත්ති වශයෙන් පැමිණෙත් පින් කළ හෙයින් සුන්‍දර ගති ඇති සත්ත්‍වයෝ දෙව්ලොවට යන්නාහ. ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු නිරුපධිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නාහ.

9-11 කර්‍මවිපාකය පසුපස යන සැටි

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්‍ථඪිතො මුච්චෙය්‍ය පාපකම්මා.

යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.

9-12 සුප්‍රබුද්ධශාක්‍යයා

න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්‍ථඪිතං නප්පසහෙථ මච්චු.

යම් තැනෙක්හි සිටි සත්ත්‍වයා මරණ තෙම අභිභවනය නො කෙරේ ද, (හෙවත් මැඩැ නො පියා ද), (කෙසගක් පමණ වු ද) එසේ වූ භුමිප්‍රදෙෂයෙක් නැත. සමුද්‍රමධ්‍යයෙහි දු මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද මරණින් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.

Donations
You cannot copy content of this page