07. Arahad Waggaya අරහද් වර්‍ගය

7-1 වෛද්‍යාචාර්‍ය්‍යජීවකයන් ඇසූ ප්‍රශ්නයෙක්

ගතද්ධිනො විසොකස්ස විප්පමුත්තස්ස සබ්බධි
සබ්බගන්‍ථප්පහීණස්ස පරිළාහො න විජ්ජති.

සසර කතරමග ඉක්ම, පහ වූ ශෝක ඇති, (ස්කන්‍ධාදී) සියලු දහම්හි නො ඇලී එයින් මිදුනු, (අභිජ්ඣාකායගන්‍ථාදී) සියලු ග්‍රන්‍ථ ප්‍රහීණ කළ රහත්හට චෛතසික පරිදාහයෙක් නැත්තේ ය.

7-2 මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ගුණ කථාවක්

උය්‍යුඤ්ජන්ති සතිමන්තො න නිකෙතෙ රමන්ති තෙ
හංසා’ව පල්ලලං හිත්‍වා ඔකමොකං ජහන්ති තෙ.

සිහි ඇතියෝ (රහත්හු) තමන් පිළිවිදි ධ්‍යානාදි ගුණයන්හි ආවර්‍ජනාදී වශයෙන් යෙදෙන්නාහ. ඔහු ආලයයෙහි (පංචකාමයෙහි ද ගිහි ගෙහි ද) නො ඇලෙන්නාහ. (ගොදුරු ගත්) විල හැරැ පියා යන හංසයන් මෙන් ආලයයක් ආලයයක් පාසා (හෙවත් සියලු ආලයයන්) හරනාහ. (විහාරාදියෙහි ඇලුම් හැර පක්‍ෂීන් මෙන් නිරපේක්‍ෂක ව ම යන්නාහ.)

7-3 බෙලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ

යෙසං සන්නිචයො නත්‍ථි යෙ පරිඤ්ඤාතභොජනා
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යෙස ගොචරො
ආකාසෙ’ව සකුන්තානං ගති තෙසං දුරන්නයා.

යම් රහත් කෙනකුන්ගේ (කර්‍ම හෝ චීවරාදිය) රැස් කිරීමෙක් නැත් ද, යම් රහත් කෙනෙක් පිරිසිඳැ දත් ආහාර ඇත්තාහු ද, යම් රහත් කෙනෙක්හට සුඤ්ඤත නම් වූ ද අනිමිත්ත නම් වූ ද නිවන අරමුණු වේ ද, ඔවුන් ගේ උත්පත්තිගතිය, අහසෙහි පක්‍ෂීන් ගිය මඟ මෙන්, නො දත හැකි ය.

7-4 අනුරුද්ධස්ථවිරයන් වහන්සේගේ සිවුර

යස්සාසවා පරික්ඛීණා ආහාරෙ ච අනිස්සිතො
සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො
ආකාසෙ’ව සකුන්තානං පදං තස්ස දුරන්නයං.

යමක්හුගේ කාමාදි ආස්‍රවයෝ මුළුල්ල ක්‍ෂීණ වූවාහු ද, ආහාරයෙහිත් යමෙක් නො ඇලුනේ ද, (රාගාදියෙන් ශුන්‍ය හෙයිනුත් ඔවුන්හෙන් මිදුණු හෙයිනුත්) සුඤ්ඤත විමොක්ඛ නම්වූ ද, (රාගාදි නිමිති රහිත හෙයිනුත් ඔවුන්ගෙන් මිදුණු හෙයිනුත්) අනිමිත්තවිමෝක්‍ෂ නම් වූ ද නිවන යමකුහට අරමුණු වේ ද, ඒ රහත්හුගේ පිය සටහනක්, අහසැ පක්‍ෂීන්ගේ පිය සටහනක් මෙන්, නො දත හැක්කේ ය.

7-5 මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ

යස්සින්‍ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස
දෙවා’පි තස්ස පිහයන්ති තාදිනො.

යමක්හුගේ (චක්‍ෂුරාදි) සයිඳුරෝ දක්‍ෂ රියදුරක්හු විසින් මොනොවට දමනය කරන ලද අජානේය අශ්වයන් මෙන් ශමථයට ගියෝ ද (නිපොපි බවට පැමිණියෝ ද), ප්‍රහීණ වූ මන් ඇති, ආස්‍රව රහිත වූ, අට ලෝදහමින් නො සැලෙන, ඒ රහත්හුගේ දැක්ම දෙවියෝ ද (මිනිස්සු ද) කැමැති වන්නාහ

7-6 ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ සිංහනාදය

පඨවිසමො නො විරුජ්ඣති ඉන්‍දඛීලූපමො තාදි සුබ්බතො
රහදො’ව අපෙතකද්දමො සංසාරා න භවන්ති තාදිනො.

පොළොව හා සම වූ, ඒෂිකාස්තම්භයක් බඳු වූ, අටලෝ දහමින් නො සැලෙන, සුන්‍දර වූ ධුතාඞ්ගාදි ව්‍රත ඇති යම් රහතෙක් (තමාට ආක්‍රෝශ කරන්නහුට ද තළන්නහුට ද පෙළන්නහුට ද) විරුඬ නො වේ ද (හෙවත් නො කිපේ ද), පහ වූ මඩ ඇති විලක් මෙන් ප්‍රසන්න වේ ද, අටලෝ දහමින් නොපෙරැළෙන ඒ රහත්හට (සුගති දුගති දෙක්හි ච්‍යුති ප්‍රතිසන්‍ධි වශයෙන්) සංසරණයෝ නො වන්නාහ.

7-7 සත් හැවිරිදි මහරහතුන් වහන්සේ

සන්තං තස්ස මනං හොති සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.

මනා කොට (නය හෙයින් කාරණ හෙයින්) චතුස්සත්‍යයන් දැන, (තදඞ්ගවිමුක්ත්‍යාදි පංචවිධ විමුක්තියෙන්) වෙසෙසින් මිදුනු, අටලෝ දහමින් නො සැලෙන, ඒ රහත්හුගේ සිත (තුන් මනෝදුශ්චරිතයෙන් දුරු හෙයින්) ශාන්ත ම (සන්හුන්නේ ම, නිවී ගියේ ම) වන්නේ ය. (වාග්දුශ්චරිත රහිත හෙයින්) වචනය ද ශාන්ත (නිවී ගියේ) වේ. (කාය-දුශ්චරිතයෙන් දුරු වූ හෙයින්) කායකර්‍මය ද ශාන්ත ම (නිවී ගියේ ම) වේ.

7-8 ශාරීපුත්‍රමහාස්ථවිරයන් වහන්සේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සැටි

අස්සද්ධො අකතඤ්ඤූ ච සන්‍ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො ස වෙ උත්තමපොරිසො.

යම් පුඟුලෙක් (ලොවී ලොවුතුරු දහම් තමා ම පසක් කොට දත් හෙයින්) අනුන්ගේ බසින් නො අදහා ද (නොහොත් බුදුරජුන් විනා අන්‍ය ශාස්තෘවක්හු කෙරේ ඇදහිලි නැත්තේ ද), (දිව්‍යාදි කිසිවක්හු විසින් නො කරන ලද හෙයින් ආකෘත නම් වූ) නිර්‍වාණය (අරමුණු කිරීම් වශයෙන්) ප්‍රත්‍යක්‍ෂ කොට දත්තේ ද, වෘත්තසන්‍ධියත් සංස්කාරසන්‍ධියත් සිඳැපී ද, (කර්‍මසංඛ්‍යාත ප්‍රතිසන්‍ධිබීජය ක්‍ෂීණ හෙයින්) නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, (චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගඥාන මුඛයෙන්) වමනය කරන ලද (කාම තෘෂ්ණාදි) සියලු ආශා ඇත්තේ ද, ඒ පුඟුල් තෙම ඒකාන්තයෙන් (පිළි-විදි නව ලොවුතුරා දහම් ඇති හෙයින් සියලු ලොවට අග්‍ර දක්‍ෂිණේය නු යි) උත්තම පුරුෂ නම් වේ.

7-9 මගුලේ ගොස් එන අතරමගදී මහණ වීම

ගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ
යත්‍ථාරහන්තො විහරන්ති තං භූමිං රාමණෙය්‍යකං.

ගමෙක අරණෙක වළ තැනෙක නොහොත් ගොඩ තැනෙක හෝ යම් කවර තැනෙක රහත්හු වෙසෙත් ද, ඒ බිම රමණීය යි (සිත් කලු යි).

7-10 වෙසඟනක්

රමණීයානි අරඤ්ඤානි යත්‍ථ න රමතී ජනො
වීතරාගා රමිස්සන්ති න තෙ කාමගවෙසිනො.

මහා අරණ්‍යයෝ රමණීය හ (සිත් අලවන්නාහ). යම් මහ අරණෙක්හි (වස්තුකාම ක්ලේශකාම සොයන සුලු) ලෞකික මහජන තෙම නො ඇලේ ද, පහ වූ රාග ඇති රහත්හු (පියුමට බට බමරුන් මෙන් ප්‍රීති ව) එහි ඇලෙන්නාහු ය. කුමක් හෙයින්? යත්: ඒ රහත්හු වස්තුකාම ක්ලේශකාම සොයන සුල්ලෝ නො වෙත්. එහෙයිනි.

Donations
You cannot copy content of this page