06. Panditha Waggaya පණ්ඩිත වර්‍ගය

6-1 රාධ ස්ථවිරයන් වහන්සේ

නිධීනං’ව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො.

වරද දක්නා සුලු, නිගා කොට බණන සුලු, යම් කලණ මිතුරකු නිදන් සැල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුනේ ය. එබන්දකු සෙවුනහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.

6-2 අස්සජි පුනබ්බසුකයෝ

ඔවදෙය්‍යානුසාසෙය්‍ය අසබ්භා ච නිවාරයෙ
සතං හි සො පියො හොති අසතං හොති අප්පියො.

යම් කලණ මිතුරෙක් කිසිවකුට අවවාද කෙරේ ද, අනුශාසන කෙරේ ද, අකුශලධර්‍මයෙන් වළකා ද, මෙබඳු කලණ මිතුරා බුද්ධාදී සත්පුරුෂයන්හට ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්හට අප්‍රිය වේ.

6-3 ඡන්න ස්ථවිරයන් වහන්සේ

න භජෙ පාපකෙ මිත්තෙ න භජෙ පුරිසාධමෙ.
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ.

පාපමිත්‍රයන් සේවනය නො කරන්නේ ය. අධම පුරුෂයන් සේවනය නො කරන්නේ ය. කලණ මිතුරන් භජනය කරන්නේ ය. උත්තම පුරුෂයන් භජනය කරන්නේ ය.

6-4 මහාකප්පින සථවිරයන් වහන්සේ

ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙජසා
අරියප්පවෙදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතො.

ලොවුතුරු දහම් රසය විඳින මහණ තෙම සුවසේ වෙසෙයි. නුවණැති මහණ තෙමේ වෙසෙසින් පහන් සිතින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දක්නා ලද ධර්‍මයෙහි හැම කල්හි ම ඇලෙන්නේ ය.

6-5 පණ්ඩිත සාමණේරයෝ

උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.

දියාලුවෝ තමන් කැමැති තැනකට දිය ගෙන යති. හී වඩුවෝ හී දඬු නමති. ලී වඩුවෝ දැව නමති. නුවණැත්තෝ සිත දමනය කරත්.

6-6 ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
එවං නින්‍දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.

ඒකඝන වූ ශෛලපර්‍වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්‍දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

6-7 කැවුම් නිසා හටගත් නොසතුට

යථාපි රහදො ගම්භීරො විප්පසන්නො අනාවිලො
එවං ධම්මානි සුත්‍වාන විප්පසීදන්ති පණ්ඩිතා.

ගැඹුරු වු මහ මුහුද යම්සේ වෙසෙසින් පහන් වේ ද, නො කැළඹේ ද, එ පරිදි ම පණ්ඩිතයෝ දහම් අසා වෙසෙසින් පහදිත්.

6-8 මිදිරොඩුදිය බුන් කොටලුවෝ

සබ්බත්‍ථ වෙ සප්පුරිසා චජන්ති න කාමකාමා ලපයන්ති සන්තො
සුඛෙන ඵුට්ඨා අථ වා දුඛෙන නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති.

බුද්ධාදී උත්තම පුරුෂයෝ ස්කන්‍ධාදි සියලු ධර්‍මයෙහි පවත්නා ඡන්‍දරාගය දුරු කෙරෙති. ඒ සත්පුරුෂයෝ වස්තුකාමයන් කැමැති ව, සිත් ගන්නා තෙපුල් නො පවසති. සුවයෙන් පහස්නා ලද නොහොත් දුකින් පහස්නා ලද නුවණැත්තෝ උස් පහත් ගති නො දක්වත්.

6-9 පවුලම මහණ වීම

න අත්තහෙතු න පරස්ස හෙතු
න පුත්තමිච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා.

පණ්ඩිත තෙම තමා හේතු කොට ගෙන ද (තමා පිණිස ද) පව් නො කරන්නේ ය. මෙරමා හේතු කොට ගෙන ද (අනුන් පිණිස ද) පව් නො කරන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු පුතකුදු නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු ධනය ද නො කැමැති වන්නේ ය. පව්කම් කිරීමෙන් ලැබියැ යුතු රට ද නො කැමැති වන්නේ ය. අධර්‍මයෙන් ලැබියැ යුතු සමෘද්ධිය ද නො කැමැති වන්නේ ය. මෙසේ වූ ඒ පුද්ගල තෙමේ සිල්වත් නමුදු ප්‍රඥාවත් නමුදු ධාර්මික නමුදු වන්නේ ය.

6-10 නිදිකිරමින් බණ ඇසූ මිනිස්සු

අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.

මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් නිර්‍වාණපාරයට (නිවන් නැමැති පරතෙරට) යන සුල්ලෝ ද, ඔහු ස්වල්පය හ. වැලි ඔවුන් කෙරෙන් අන්‍ය වූ (නිවනට නොයන සුලු) මේ සත්තවසමූහයා වූ කලි (සත්කාය සංඛාත) මෙ තෙර ම දිවැ ඇවිදිනේ ය.

යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්‍යං සුදුත්තරං.

යම් නුවණැති කෙනෙක් මොනොවට දෙසන ලද පර්‍ය්‍යාප්තිධර්‍මයෙහි ධර්‍මානුවර්තී වෙත් ද (දහම් අනුව පිළිපදින්නෝ වෙත් ද), ඒ ජනයෝ තරණයට දුෂ්කර වූ, කෙලෙස්මරුට වාසස්ථාන වූ ත්‍රෛභූමක වෘත්තය ඉක්මැ (නිර්‍වාණ නමැති) පරතෙරට පැමිණෙන්නාහ.

6-11 ආගන්තුකභික්‍ෂූන් වහන්සේලා

කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො
ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්‍ථ දූරමං.

නුවණැත්තේ කළු දහම් (හෙවත් අකුසල්) දුරැ ලා, ආලයයෙන් (ගිහිගෙන්) නික්මැ පැවිදි බිමට පැමිණ (නොහොත් නිරාලය සංඛ්‍යාත නිවන පිණිස) සුදු දහම් (කුසල්) වඩන්නේ ය. යම් උපධිවිවේකයෙක්හි (නිවනෙක්හි) මේ සත්ත්‍වයන් විසින් ඇලෙන්නට නො හැකි ද,

තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ අකිඤ්චනො
පරියොදපෙය්‍ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.

ඒ නිවනෙහි ඇල්ම කැමැති වන්නේ ය. නුවණැත්තේ වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට (සිතින් පහ කොට) ක්ලේශපරිබෝධ රහිත වූයේ (නොහොත් පුත්‍ර දාර ගොමභිෂාදි පළිබෝධයක් නැත්තේ) චිත්තක්ලේශයන් (පංච නීවරණයන්) කෙරෙන් තමා (තම සිත) පිරිසිදු කරන්නේ ය.

යෙසං සම්බොධිඅඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං
ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා
ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතා.

යම් කෙනකුගේ සිත බෝධ්‍යඞ්ගධර්‍ම විෂයයෙහි මනා කොට වඩන ලද ද, උපාදාන රහිත වැ (මම ය මගේ යැ යි නො ගෙන), උපාදාන ග්‍රහණ රහිත නිවනෙහි යම් කෙනෙක් ඇලුනාහු ද, ඥනානුභාව ඇති, දුරැලූ ආස්‍රව ඇති ඒ ආර්‍ය්‍යයෝ ලොවෙහි පිරිනිවියෝ නම් වෙති.

Donations
You cannot copy content of this page