05. Baala Waggaya බාල වර්‍ගය

5-1 කොසොල් රජුට ඇසුනු මරහඬ

දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං.

නොනිදන්නාට රැය දික් ය. ගමන් විඩා ඇත්තාට යොදුන දික් ය. සදහම් නොදත් අනුවණයනට සසර දික් ය.

5-2 නො හික්මුනු ශිෂ්‍යභික්‍ෂු

චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ්හං කයිරා නත්‍ථි බාලෙ සහායතා.

ශිලසමාධිප්‍රඥායෙන් තමාට වඩා උතුමකු හෝ තමා හා සම වූවකු හෝ සොයන තැනැත්තේ, එබන්දකු නො ලබන්නේ නම්, හුදෙකලා වැ විසීම දැඩි කරන්නේ ය. අනුවණයා කෙරෙහි යහලු බවෙක් නැත.

5-3 සිටුවරයකු රොඩියකු වීම

පුත්තා මත්‍ථි ධනම්මත්‍ථි ඉති බාලො විහඤ්ඤති
අත්තා හි අත්තනො නත්‍ථි කුතො පුත්තා කුතො ධනං.

‘මට පුත්තු ඇත, මට ධනය ඇතැ’යි මෙසේ අඥාන තෙමේ දුකට පැමිණේ. ඒ එසේ ම ය. තෙමේත් තමහට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනයෙක් කොයින් ද?

5-4 ගැට කපන සොරු දෙදෙනෙක්

යො බාලො මඤ්ඤති බාල්‍යං පණ්ඩිතො වා’පි තෙන සො
බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො’ති වුච්චති.

යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.

5-5 උදායී ස්ථවිරයන් වහන්සේ

යාවජීවම්පි චෙ බාලො පණ්ඩිතං පයිරුපාසති.
න සො ධම්මං විජානාති දබ්බී සූපරසං යථා.

අනුවණ පුගුල් තෙමේ දිවිහිමියෙනුදු නුවණැත්තන් සෙව්නේ ද, හෙ තෙම දහම් දැන නො ගන්නේ ය. සූපව්‍යංජන රසය නො දත හෙන සැන්ද මෙනි.

5-6 ගැහැණියක සොයා ගිය වුන් රහත්වීම

මුහුත්තමපි චෙ විඤ්ඤූ පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති ජිව්හා සූපරසං යථා.

නුවණැත්තේ මොහොතක් නමුදු බුද්ධාදි ප්‍රාඥයන් සෙව්නේ ද, හේ වහා (පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධ) ධර්‍මය දැන ගනී. සූපව්‍යංජනයෙහි රස දැන ගන්නා දිව මෙනි.

5-7 කුෂ්ඨ රෝගියකු සෝවාන් වීම

චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා
කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.

මෙලෝ පරලෝ වැඩ අවැඩ නොදන්නාවූ බාලයෝ, යම් කර්‍මයක් දුක් විපාක උපදවන්නේ ද, එ බඳු පාපකර්‍ම කරමින් තමන්හට සතුරකු වැනි වූ ආත්මයෙන් යුක්ත ව කල් යවති.

5-8 මුදල් පොදියක්

න තං කම්මං කතං සාධු යං කත්‍වා අනුතප්පති
යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.

යම් කර්‍මයක් කොට සිහි කළ කෙණෙහි තැවේ ද, යම් කර්‍මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුලු වැකුණ මුහුණැති ව හඬමින් අනුභව කෙරේ ද, එබඳු අකුසල් කම් කිරීම නො මැනැවි.

5-9 පිණ එකෙණෙහි විපාක දෙන හැටි

තඤ්ච කම්මං කතං සාධු යං කත්‍වා නානුතප්පති
යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.

යම් කර්‍මයක් කොට සත්ත්‍ව තෙම නො තැවේ ද, යම් කර්‍මයක්හුගේ ඉෂ්ට විපාකය ප්‍රිතිවේගයෙන් පිණා ගියේ සොඳුරු සිතැති ව අනුභව කෙරේ ද, එබඳු කුශල කර්‍ම කිරීම මැනැවි.

5-10 නන්ද නම් තරුණයා

මධුවා මඤ්ඤති බාලො යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති.

අකුශල කර්‍මය යම් තාක් විපාක නො දේ ද, ඒ තාක් අඥාන තෙම එය මී මෙන් මිහිරි කොට සිතන්නේ ය. යම් කලෙක අකුශල කර්‍මය විපාක දේ ද, එ විට අඥාන තෙම බලවත් දුකට පැමිණෙයි.

5-11 කර්‍ම විපාකයක හැටි

මාසෙ මාසෙ කුසග්ගෙන බාලො භුඤ්ජෙථ භොජනං
න සො සඞ්ඛතධම්මානං කලං අග්ඝති සොළසිං.

අඥාන පුද්ගල තෙම මසක් පාසා තණ අගින් ගෙණ බොජුන් අනුභව කරන්නේ ද, හෙ තෙම චතුරාර්‍ය්‍යසත්‍යයන් පිරිසිඳ ක්‍ෂීණාස්‍රවයන්ගේ සොළොස් වන කලාව පමණට දු නො අගී.

5-12 සඟසතු දේ කෑමෙහි බිහිසුණුකම

න හි පාපං කතං කම්මං සජ්ජු ඛීරං’ව මුච්චති
ඩහන්තං බාලමන්වෙති භස්මච්ඡන්නො’ව පාවකො.

අකුශල කම්මය කළ සත්තවයාහට එය කළ ඇසිල්ලෙහි ම දෙනගේ තනයෙන් දෝනා ලද කෙණෙහි ම මිදී නොයන කිරි මෙන් එ කෙණෙහි විපාක නො දෙන්නේ ය. හලුයෙන් වැසුනු සහලඟුරු රැසක් මෙන් ඒ පාපිය දවමින් ඔහු ලුහුබඳී.

5-13 සට්ඨිකූට ප්‍රේතයා

යාවදෙව අනත්‍ථාය ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං මුද්ධමස්ස විපාතයං

අඥානයා විසින් දන්නා ලද ශිල්පය හෝ ඔහුගේ ඉසුරුබව ඒ බාලයාහට අවැඩ පිණිස ම වන්නේ ය. එය බාලයාගේ ප්‍රඥා නැමැති හිස පළමින් ඔහුගේ කුසල් කොටස නසයි.

5-14 සුධම්ම ස්ථවිරයන් වහන්සේ

අසතං භාවනමිච්ඡෙය්‍ය පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.

අඥාන භික්‍ෂූ තෙම නුසුදුසු බුහුමන් ද, භික්‍ෂූන් පිරිවැරීම ද, සඞ්ඝිකාවාසයෙහි ඉසුරු බව ද, අන් උපාසකකුලයන්හි ප්‍රත්‍යය පූජාව ද කැමැති වෙයි.

මමෙව කත මඤ්ඤන්තූ ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු කිච්චාකිච්චෙසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පො ඉච්ඡා මානො ච වඩ්ඪති.

‘ගිහි පැවැදි දෙකොටස විහාරයෙහි හැම කටයුතු මා විසින් කරණ ලදැ යි සිතත් වා, කිසියම් කුදු මහත් කටයුතු මා විචාරා ම කෙරෙත්වා’යි මෙසේ බාලයාහට විතර්‍ක ද තෘෂ්ණා ද උපදනේ ය. එයින් ඔහුගේ මානය වැඩෙයි.

5-15 පුණ්‍ය මහිමය

අඤ්ඤා හි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිනී
එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාභිනන්‍දෙය්‍ය විවෙකමනුබ්‍රූහයෙ.

ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවනට පමුණුවන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධාශ්‍රාවක මහණ තෙම මේ කාරණය විශේෂයෙන් දැන නොදැහැමින් උපන් සත්කාරය නො ඉවසන්නේ ය. කායාදී ත්‍රිවිධ විවේකය වඩන්නේ ය.

Donations
You cannot copy content of this page