02. Appamada Waggaya අප්‍රමාද වර්‍ගය

2-1 සාමාවතී මාගන්‍දියාදීන්ට සිදුවූ විපත

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා.

(සුචරිතධර්‍ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්‍වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්‍ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්‍යාණධර්‍මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්‍මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්‍යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.

එතං විසෙසතො ඤත්‍වා අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති අරියානං ගොචරෙ රතා.

නුවණැත්තෝ අප්‍රමාදයෙහි වූ මේ ගුණය වෙසෙසින් දැන අප්‍රමාදයෙහි සතුටු වෙති. ආර්‍ය්‍යයන්හට ගෝචර වූ බෝධිපාක්‍ෂිකධර්‍මය නව ලෝකෝත්තර ධර්‍මය යන මෙහි අලුනෝ වෙත්.

තෙ ඣායිනො සාතතිකා නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරං.

ධ්‍යාන වඩන සුලු, සතතයෙන් පැවැති වීර්‍ය්‍යය ඇති, නිතර පැවැති දැඩි පැරැකුම් ඇති ඒ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් නිර්‍භය වූ අනුත්තර වූ නිර්‍වාණය ස්පර්‍ශ කරති.

2-2 කුම්භඝෝසක සිටුතුමා

උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති.

උත්‍ථාන (සංඛ්‍යාත වීර්‍ය්‍ය) යෙන් යුක්ත වූ, (කුදු මහත් කටයුත්තෙහි) එළඹ සිටුනා සිහි ඇති, නිර්දෝෂ කායකර්‍මාදිය ඇති, (සියලු කටයුතු) පරීක්‍ෂා කොට කරන සුලු වූ, සංයත වූ කායවාක්කර්‍ම ඇති, ධාර්‍මමික ජීවිකායෙන් ජීවත් වන්නාවූ, (කෘෂිවණික්කර්‍මාන්ත රාජසේවාදියෙහි) අප්‍රමත්ත වූ, පුරුෂයාගේ (ඓශ්චර්‍ය්‍ය භොග පරිවාර සම්මාන සංඛ්‍යාත වූ ද කිත්තිවර්‍ණ සංඛ්‍යාත වූ ද) යශස (ඔදවැඩි) මුහුද මෙන් වඩනේ ය.

2-3 චූලපන්‍ථක මහාක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ

උට්ඨානෙනප්පමාදෙන සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවී යං ඔඝො නාභිකීරති.

(කායික මානසික වීර්‍ය්‍ය සංඛ්‍යාත) උත්‍ථානයෙන් ද, (සුසිරිත් දහම්හි) සිහි ඇති බව යැ යි කියන ලද අප්‍රමාදයෙන් ද, (සිවු පිරිසිදු සිල් යැ යි කියන ලද) කායවාක් සංයමයෙන් ද, (සදොරට හමු වූ අරමුණෙහි ලෝභ දේවේෂ මෝහ නො උපදවා යෝනිසෝමනස්කාරය පැවැත්මය යි කියන ලද) ඉන්‍ද්‍රිය දමනයෙන් ද, (විවසුන් නුවණින් යුත්) ප්‍රාඥ තෙම, යම් ප්‍රතිෂ්ඨාවක් (කමෝඝාදී වූ) කෙලෙස් මහවතුර නො නසා ද (නසාපිය නො හේ ද), ඒ (රහත්පල නැමැති) ප්‍රතිෂ්ඨාව කරන්නනේ ය.

2-4 සැවැත්නුවර නැකත් කෙළියක්

පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා
අප්පමාදඤ්ච මෙධාවී ධනං සෙට්ඨං’ව රක්ඛති.

දෙලෝ වැඩ නොදන්නා අනුවණ සත්ත්‍වයෝ ප්‍රමාදයෙහි යෙදී පවත්නාහ (ප්‍රමාදයෙන් දවස් යවන්නාහ). නුවණැත්තේ අප්‍රමාදය (කුලවංශාගත) උතුම් ධනයක් මෙන් රක්නේ ය.

මා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්‍ථවං
අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං.

ප්‍රමාදය නහමක් පුරුදු කරන්නේ ය (ප්‍රමාදයෙහි යෙදී නො වසන්නේ ය). (වස්තුකාම ක්ලේශකාම දෙක්හි රතිය යි කියන ලද) තෘෂ්ණාසංසත්‍වයෙහි නහමක් යෙදෙන්නේ ය. එළඹ සිටි සිහි ඇති (නොපමා වූ), භාවනා කරන පුද්ගල තෙමේ මහත් නිවන් සුවයට පැමිණෙන්නේ ය.

2-5 මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ සත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය බැලීම

පමාදංඅප්පමාදෙන යදා නුදති පණ්ඩිතො
පඤ්ඤාපාසාදමාරුය්හ අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨො’ව භුම්මට්ඨෙ ධීරො බාලෙ අවෙක්ඛති.

ප්‍රඥා වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම යම් කලෙක කුසල්හි (සිහි ඇති බව යැ යි කියන ලද) අප්‍රමාදයෙන් ප්‍රමාදය (සිහිමුළාව) දුරු කෙරේ ද, එකල්හි (දිවැස්නුවණැ යි කියන ලද) ප්‍රාඥප්‍රාසාදයට නැගී, (අනාගාමි මගින් උදුරා හළ ශෝකශල්‍ය ඇති බැවින්) ශෝක රහිත වූ ප්‍රඥා වූ ඒ රහත් තෙම නො උදුරා හළ ශෝක ඇති බැවින් ශෝකී වූ ප්‍රජාව (හෙවත් චුත වන උපදනා ශෝක සහිත සත්ත්‍ව සමූහය) බලන්නේ ය. බිම සිටියවුන් (සුවසේ බලන) පර්‍වත මුදුනෙක්හි සිටි එකක්හු මෙන් (නොසුන් තෘෂ්ණා ඇති බැවින් චුත වන උපදනා) බාලජනයන් දිවැසින් සුව සේ දක්නේ ය.

2-6 යහළු භික්‍ෂු දෙනමක්

අප්පමත්තො පමත්තෙසු සුත්තෙසු බහුජාගරො
අබලස්සං’ව සීඝස්සො හිත්‍වා යාති සුමෙධසො.

පමා වූවන් අතුරෙහි නොපමා වූ, (කෙලෙස් නින්දෙන්) නිදන සතුන් අතුරෙහි (කෙලෙස් නිදි නැති හෙයින්) බොහෝ පිබිද සිටින, සොඳුරු නුවණ ඇති රහත් තෙමේ කොර පා ඇති ජවහීන දුබල අසකු හැර පියා යන සීඝ්‍ර ජව ඇති සෛන්‍ධව අසකු මෙන්, පමා වූ සතුන් (ආගමාධිගම දෙකින් ම) පසු කොට පියා (සසරින් නික්ම) නිවන් පුරට යන්නේ ය.

2-7 සක්දෙව්රජතුමා

අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා.

සක්දෙව් තෙම මාඝමාණවක කාලයෙහි පුරුදු කළ අප්‍රමාද හේතුයෙන් (දෙව්ලොවැ) දෙවියනට උතුම් බවට (රජ බවට) පැමිණියේ ය. (එහෙයින්) (බුද්ධාදි පණ්ඩිතයෝ) නොපමාබව පසසත්. පමාබව වනාහි හැම කල්හි ම (බුද්ධාදීන් විසින්) ගරහන ලද්දේ ය.

2-8 කන්දක් උඩදී රහත් වූ උතුමෙක්

අප්පමාදරතො භික්ඛු පමාදෙ භය දස්සි වා
සංයොජනං අණුං ථූලං ඩහං අග්ගීව ගච්ඡති.

නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු, මහණ තෙම(උද්ධාමභාගිය වශයෙන්) කුඩා වූ ද, (ඕරම්භාගිය වශයෙන්) මහත් වූ ද, සංයෝජන සියල්ල ලැව්ගින්නක් සෙයින් (රහත්මග නුවණ ගින්නෙන්) දවමින් යන්නේ ය.

2-9 නිගමතිස්ස ස්ථවිරයන් වහන්සේ

අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා
අභබ්බො පරිහාණාය නිබ්බාණස්සෙව සන්තිකෙ.

නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු මහණ තෙම (ශමථ විදර්‍ශනා කෙරෙත් හෝ මර්‍ගඵලාධිගමය කෙරෙන් හෝ) පිරිහීමට අයෝග්‍ය ය. හේ නිවන වෙතැම වෙයි.

Donations
You cannot copy content of this page