රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.