Akusala අකුශල

අකුශල මූලයෝ

“නහි වෙරෙන වෙරානී – සම්මන්තීධ කුදාචනං – අවෙරෙන ච සම්මන්ති – එස ධම්මෝ සනන්තනො”
යනුවෙන් වෛර නො කිරීමෙන් ම මිස වෛර කිරීමෙන් කිසි කලෙක වෛරයක් කෙළවර නො වන බව බුදුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

“තීනිමානි භික්ඛවේ, අකුසල මූලානි ලොභො අකුසල මූලං, දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං” යනුවෙන් වදාළ පරිදි ලෝභය ය, ද්වේෂය ය, මෝහයය යන මේ ධර්මයෝ අකුශල මූලයෝ ය. ගස්වලට නො සැලී පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුශල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභාදීහු මූල භාවයෙන් උපකාර වෙති. ඒ බැවින් ඒවාට අකුශලමූලයෝ යයි කියනු ලැබේ. අකුශල් මුල් තුනෙන් වියුක්ත අකුශලයක් නැත්තේ ය. එක අකුශල් සිතක ඒ තුනම ද නො ලැබේ. සමහර අකුශල සිතකට එයින් එක් මූලයක් ඇත්තේ ය. සමහරකට දෙකක් ඇත්තේ ය. යම් කිසි සිතක් එයින් එකකින් හෝ දෙකකින් හෝ යුක්ත වේ නම් එය අකුශල සිතකි. ලෝභාදියෙන් යුක්ත බව, අකුශල චිත්තය අකුශල චේතනාව හැඳින ගැනීමට ලකුණකි.

ලෝභය යනු රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය ධර්ම සංඛ්‍යාත අරමුණු සයට ඇලුම් කරන ස්වභාවය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් අඹු දරු ආදීන් කෙරෙහි හා වතු කුඹුරු ගෙවල් ඇඳුම් පැළඳුම් ආහාර පාන මිල මුදල් ආදි හොඳය යි සලකන වස්තූන් කෙරෙහි ඇලීම ය. ලෝභය, ආරම්මණය යි කියනු ලබන ලෝභනීය වස්තු කෙරෙහි හා ගුණයන් කෙරෙහි ඇලෙන්නා වූ ආකාරයෙන් එකක් වුව ද, පවත්නා ආකාරයෙන් අනේක ප්‍ර‍කාර වේ. අනේකප්‍ර‍කාරයෙන් ඇති වන්නා වූ ලෝභයන්ට ව්‍යවහාර කරන නාමයෝ ද බොහෝ ය. නො ලැබූ වස්තු සම්බන්ධයෙන් හා නො ලැබූ සැප සම්බන්ධයෙන් ද, නො කළ ක්‍රියා සම්බන්ධයෙන් ද, ඇති කර නො ගත් ගුණාදිය සම්බන්ධයෙන් ද, පවත්නා ලෝභයට බොහෝ සෙයින් ඕනෑකමය ආශාවය යන වචන පාවිච්චි කරති. ගහන්න ඕනෑය, දෙන්න ඕනෑය යනාදි තන්හි “ඕනෑය, යන වචනයෙන් කියවෙන අර්ථය ලෝභය නො වේ. අඹු දරුවන් සම්බන්ධයෙන් නෑ මිතුරු ආදීන් සම්බන්ධයෙන් පවත්නා වූ ලෝභයට ආලය, ආදරය, ප්‍රේමය, ස්නේහය යන වචන ව්‍යවහාර කරති. සමහර විට ඒ අර්ථය ප්‍ර‍කාශ කරනු පිණිස මෛත්‍රියය, කරුණාවය යන වචන ද ධර්ම විභාග නො දන්නෝ පාවිච්චි කරති. විෂය රස විඳීමේ ලෝභයට රාගය, සල්ලාලකමය, ප්‍රීති වීමය යන වචන පාවිච්චි කරති. ඒවා පිළිබඳ අධික තෘෂ්ණාවට කැතකම යයි කියති. ලැබූ වස්තුව පිළිබඳ ආශාවට තෘෂ්ණාවය, ලෝභකමය, කැතකමය, කුණුකමය යන වචන කියති. ලෝභය යන අර්ථය දීම සඳහා භාවිත කරන තවත් බොහෝ වචන ද ඇත්තේ ය.

ඇතැම් පුද්ගලයන් හා ඇතැම් වස්තූන් ද ඇතැම් ගුණ හා ක්‍රියා ද නුරුස්නා ස්වභාව, ඒවාට විරුද්ධ ස්වභාව ද්වේෂ නම් වූ අකුසල මූලයයි. එය ද අනේකාකාරයෙන් පවත්නා ධර්මයෙකි. ක්‍රෝධය, වෛරය, එදිරිය, නො සතුට, පිළිකුල, භය, කණගාටුව යන මේවා ද්වේෂය සඳහා භාවිතා කරන වචන සමහරෙකි. මේ ද්වේෂය බලයෙන් තමාට සම වූ හෝ තමාට වඩා දුබල වූ හෝ කෙනකු සම්බන්ධයෙන් උපදනා කල්හි විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් උපදී, ඒ ද්වේෂයට ‍ක්‍රෝධය යයි කියනු ලැබේ. තමාට වඩා බලවත් වූ හෝ ප්‍ර‍තික්‍රියාවක් කිරීමට තමා සමත් නො වන්නා වූ හෝ කෙනකු සම්බන්ධයෙන් එය උපදනා කල්හි, ඒ පුද්ගලයා කෙරෙන් ඈත් වන්නා වූ පසු බසින්නා වූ ආකාරයෙන් උපදී. එයට බිය යයි කියනු ලැබේ. දීර්ඝ කාලයක් නැවත නැවතත් උපදිමින් පවත්නා ද්වේෂයට වෛරය යි කියනු ලැබේ. යම් කිසි පුද්ගලයකු ගේ වස්තුවක අශෝභනත්වය ලාමකත්වය නිසා උපදනා ද්වේෂයට පිළිකුලය යි කියනු ලැබේ.

ඒ ඒ වස්තූන්ගේ හා කරුණුවල ඇති සැටිය වරදවා ගන්නා වූ ස්වභාවය, මෝහ නම් වූ අකුශල මූලය ය. මුළාව ය, නො දැනීමය, වැරදීමය, මෝඩ කමය යනාදිය එයට ව්‍යවහාර කරන නාමයෝ ය.

ලෝභ ද්වේෂ මෝහ ය මොවුහු පාපයන්ට මුල්වුවාහු පමණක් නොව තුමූ ද පාපයෝ වෙති. ලෝභයෙන් බොහෝ සෙයින් සත්ත්වයා තිරිසන් බවට හා ප්‍රේත බවට පමුණුවනු ලැබේ. ඇතැම්හු වස්තුවට හා අඹු දරු ආදීන්ට ලෝභ කොට ඒ වස්තුව සමීපයේ පුද්ගලයන් සමීපයේ ප්‍රේතව උපදිති. මීයන් ව ද නයින් ව ද ගැරඬින් ව ද උපදිති. සමහර විට උකුණු මකුණු ආදීන්ව ද උපදිති. ද්වේෂය නිසා නරකයෙහි ද, යක්‍ෂව ද, නපුරු සතුන්ව ද උපදිති. මෝහය සකලානර්ථයන්ට ම හේතු වන පාපයකි. දෙලෝ වැඩ කැමැත්තෝ මේ පව් මුල් තුන තුනී කර ගැනීමටවත් උත්සාහ කෙරෙත්වා!

අකුසල් තුදුසක්

ක්‍රෝධය

ක්‍රෝධ යනු මෙරමා හට රිදවනු කැමති ආකාරයෙන් හට ගන්නා වූ ද්වේෂය ය. එය ප්‍ර‍ථමයෙන් සිහින් ව හටගෙන ක්‍ර‍මයෙන් වැඩී අනුන් හා තමනුත් විනාශ කරන්නා වූ පාපයකි. පළමුවෙන් මිහිරි ලෙසින් ඇති වී පසුව දුකට පමුණුවන්නා වූ මුල මිහිරි අග නපුරු ධර්මයකි. ක්‍රෝධයෙන් අනුන්ට පහර දෙන අලාභහානි කරන තැනැත්තේ මිහිරක් සේ එය කොට එහි විපාක විඳින්නට වන් කල්හි පසුතැවේ.

උපනාහයය

උපනාහය යනු නැවත නැවත පැවැත්වීම් වශයෙන් පරණ වූ ක්‍රෝධය යි. එයට වෛරය යි ද එදිරිය යයි ද කියති. එය දීර්ඝ කාලයක් පවත්නා වූ පාපයකි. සමහර විට ජාති බොහෝ ගණනක් මුළුල්ලෙහි ද පවතී. ඔවුනොවුන්ට වෛර කිරීමෙන් ඒ දෙපක්ෂය ම මෙලොව ද පිරිහී මරණින් මතු අපායට ද යති. ජාති බොහෝ ගණනක් පවත්නා වෛරයක් වුවහොත් එයින් වාර බොහෝ ගණනක් අපායට පැමිණිය හැකි ය. අවසන් නො වන පාපයක් වූ මේ වෛරය ඉතාමත් අනර්ථ දායක ය. වෛරයක් ඇති වුවහොත් එය දිගින් දිගට පවත්වාගෙන නො ගොස් සමාදාන වී වහා කෙළවර කර ගත යුතුය. සමාදානයෙන් මිස අනුන්ට පීඩා කිරීමෙන් වෛරය කෙළවර කළ හැකි නො වේ.

මක්ඛය

අනුන් විසින් තමාට කළ උපකාර අමතක කිරීම් වශයෙන් නැති කර දැමීම මක්ඛ නම් වේ. එය කෙළෙහි ගුණ නො සැලකීම යයි ද කියනු ලැබේ. කෙළෙහි ගුණ සැලකීම උතුම් ගුණයෙකි. සත්පුරුෂ ධර්මයෙකි. කෙළෙහිගුණ නොසලකන්නෝ අසත්පුරුෂයෝ ය. පාපියෝ ය.

පලාසය

පලාසය යනු ගුණවතුන් හා තමා සම කොට සිතන ස්වභාවය ය. තමාගේ තත්ත්වය වටහා ගැනීම තරම් නුවණ නැත්තෝ දුශ්ශීල වූ තමා සිල්වතුන් හා සම කොට සිතති. නූගත් වූ තමා උගතුන් හා සම කොට සිතති. අපණ්ඩිත වූ තමා පණ්ඩිතයන්ට සම කොට සිතති. දුබල වූ තමා බලවතුන්ට සම කොට සිතති. දිළිඳු වූ තමා පොහොසතුන්ට සම කොට සිතති. එය පලාසයයි. එසේ සිතන්නා වූ අඥයෝ ගරු කළ යුත්තන් හට ගරු නො කොට කීකරු විය යුත්තන්ට අකීකරු වී ගුරුකම් ගත යුත්තන්ගෙන් ගුරුකම් නො ගෙන දෙලොවින් ම පිරිහෙති

ඉස්සාව

ඊර්ෂ්‍යාව යනු අනුන්ට සම්පත් ඇති බව නුරුස්නා ස්වභාවය ය. ඊර්ෂ්‍යාකාරයා බොහෝ සතුරන් ඇත්තා වූ ලෝකයාට අප්‍රිය වූ පුද්ගලයෙක් වේ. මරණින් මතු ද එයින් අපායෙහි උපදී. මිනිස් ලොව උපන් කල්හි ද දිළිඳු වේ.

මච්ඡරිය

මාත්සර්‍ය්‍යය යනු තමාගේ දෙය අනුන්ට අයිතිවීමට හා එයින් අනුන්ට යම්කිසි ප්‍රයෝජනයක් වෙනවාට නො කැමති ස්වභාවය යි. මසුරු බව ය යනු ද එයට නමෙකි. මසුරෝ කිසිවක් පරහට නො දී බොහෝ සෙයින් මරණින් මතු ප්‍රේතයෝ වෙති. සමහර මසුරෝ තමන්ගෙන් යමක් අනුන්ට දෙනවා තබා අනෙකකු ඔහුගේ දෙයක් අනෙකකුට දෙනවාට ද කැමති නො වෙති. අනුන් දෙනවාට ද නො කැමති බව වූ තද මසුරු බවට කදරියතාව යයි කියනු ලැබේ. තද මසුරෝ දෙන්නවුන් වළක්වා ඔවුන් ලබන පිනට ද ප්‍ර‍තිග්‍රාහකයන්ට ලැබෙන ලාභයට ද අන්තරාය කොට මරණින් මතු නරකයට යෙති.

අනුන් කරන පිනක් කිසි කලෙක නො වැළැක්විය යුතුය. වැළැක්වීම මහත් පාපයකි. ඒ බව නොදත් ඇතැම්හු යමකු සිය ධනය වියදම් කොට පිනක් කරන්නට සැරසෙන කල්හි ඔය තරම් ඕවාට වියම් කරලා කොහොම ද, තමන්ටත් තිබෙන්න ඕනෑ නොවේ ද? යනාදීන් අනුකම්පාවෙන් මෙන් කියා පින් කිරීම වළකති. පිනට බාධා කෙරෙති. මහත් කොට කරන්නට යන පින්කම කුඩා හෝ කරවති. එය මහත් පාපයක් බව දැන එබඳු වැඩවලින් පරිස්සම් වෙත්වා

මායාව

මායාවය යනු තමා නොයෙක් පව්කම් කරමින් ඒවා සඟවා ගෙන ගුණවතකු සේ පෙනී සිට ලෝකය රවටන ස්වභාවය යි.

සාඨෙය්‍ය

සාඨෙය්‍ය යනු බොරු මෛත්‍රිය, බොරු කරුණාව, බොරු හිතවත්කම්, බොරු නෑකම් මිතුරු කම් දක්වමින් අනුන් රවටන්නා වූ ස්වභාවය ය. තමා කෙරෙහි නැති ගුණ දක්වන ස්වභාවය ය. “කෛරාටික ගතිය” යනුද එයට ම නමෙකි. කෛරාටිකයා ආඳා වැනිය. ආඳා මසුන්ට වලිගය දක්වා තමා ද මසකු බව අඟවා ඔවුන් මුළාකරයි. සර්පයන් දුටු කල වලිගය සඟවා හිස දක්වා තමා ද ඔවුන්ගේ වර්ගයේ කෙනකු බව අඟවා සර්පයන් මුළා කරයි. එසේ ඒ ඒ තැනැත්තන් සතුටු වන සේ කථා කොට අනුන්ගෙන් ගත හැකි වස්තුවක්, ගත හැකි වැඩක් ගැනීම කෛරාටිකයාගේ ස්වභාවය ය. කෛරාටික කම් කිරීම ඒ මොහොතට වාසියක් සේ පෙනෙතත් හසුවුණු කල මෙ ලොව නොයෙක් කරදරවලටත් මරණින් මතු අපායට යාමටත් හේතු වන පාපයකි.

ථම්භය

ථම්භය යනු ධර්මයට හා මා පිය ගුරුවරාදි නැමිය යුතු තැනැත්තන්ට ද නො නැමෙන ස්වභාවය යි. නැමිය යුත්තාට කීකරු විය යුත්තාට නැමෙන කීකරු වන ස්වභාවය දෙ ලොව වැඩ සිදු වීමට හේතුවකි. ධර්මයට නො නැමෙන්නා වූ උතුමන්ගේ, අවවාදයට අනුශාසනයට නොනැමෙන කීකරු නොවන තැනැත්තා නො මඟ ගොස් දෙලොවින් ම පිරිහෙන්නේ ය. සෑම දෙයට ම සෑම දෙනාට ම නැමෙන ස්වභාවය ද ලාමක ය. එද පිරිහීමට හේතුවකි.

සාරම්භය

සාරම්භය යනු අනුන් යටපත් කරනු කැමැත්තෙන් අනුන්ට ඉහළින් වැඩ කරන ස්වභාවය ය. සාරම්භය ඇත්තේ ද, යම් කිසිවක් අනුන් එක් වරක් කරන කල්හි තෙමේ දෙතුන් වරක් කරයි.

අනුන් රුපියලක් වියදම් කරන තැනදී තෙමේ රුපියල් දෙක තුනක් වියදම් කරයි. අනුන් එක වචනයකින් තමාට අපහාස කළහොත් තෙමේ වචන හත අටකින් අනෙකාට බණී. අනුන් අතින් ගැසුවහොත් තෙමේ පොල්ලකින් ගැසීම හෝ පිහියෙන් ඇණීම හෝ කරයි. කුසල් කිරීමෙහි ද අනුන් එක රුපියලක් පිනට දෙන කල්හි තෙමේ රුපියල් හත අටක් දෙයි. අනුන් එක් වරක් වන්දනාවට යන කල්හි තෙමේ දෙතුන් වරක් යයි. අනුන් එක් වරක් දන් දෙන කල්හි තෙමේ දෙතුන් වරක් දන් දෙයි. සාරම්භය පාපයක් බැවින් එසේ මානනිඃශ්‍රිත ව සාරම්භයාගේ වශයෙන් කුසල් කරන්නට යෑම නුසුදුසු ය. අනුන් යටපත් කොට තමා ඉහළින් සිටීමේ අදහසින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරීමත්, අනුන් කරනවාට වඩා හොඳින් පින් කිරීමත් යහපති.

මානය

මානය යනු මා ද රොඩ්ඩක් මෙන් අහක දැමිය යුත්තකු නොවන එක්තරා වටිනා වැදගත් කෙනෙක් වෙමි යයි තමා උසස් කොට මැන ගන්නා ස්වභාවය ය.

අතිමානය

බලවත්කම් ධනවත්කම් උගත්කම් තනතුරු ආදියේ අනුග්‍ර‍හය ලැබීමෙන් සාමාන්‍ය මානය වැඩී බලවත් වී මොවුන්ට කුමක් කළහැකි ද? කුමක් තිබේ ද? මොවුහු කුමක් දනිත් ද? යනාදීන් අන්‍යයන් පහත් කොට, තමා කොඩියක් මෙන් කොතක් මෙන් උසස් කොට ගන්නා බලවත් මානයක් ඇති වේ. එයට අතිමානය යි කියනු ලැබේ.

මදය

මදය යනු පොහොසත්කම් උගත්කම් කුලවත්කම් බලවත්කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇති වන්නා වූ මත්වීම ය. මානයෙන් මත්වූවෝ සුරාවෙන් මත්වූවන් මෙන් ම කළ යුත්ත නො කර හැර, නො කළ යුත්ත කොට දෙ ලොවින් ම පිරිහෙති. සුරාමදය පවත්නේ පැය ගණනකි. එබැවින් එයින් එතරම් නපුරක් නැත. මේ මදය අවුරුදු ගණන් නොසන්සිඳී පවතී. සමහර විට මරණය තෙක් පවතී. එබැවින් මෙය ඉතාම අනර්ථදායක ය.

පමාදය

ප්‍ර‍මාදය යනු කුශල පක්ෂය අමතක කොට කුශල පක්ෂයට නො බැස පස්කම් සැප විඳීමට හා පව් කිරීමට ද බැස ගෙන සිටින ස්වභාවය ය.

සතර අගතිය

01 ඡන්දාගතිය
02 දෝසාගතිය
03 භයා ගතිය
04 මෝහාගතිය

යයි අගති සතරෙකි. අගතිය යනු ද එක්තරා පව් කොටසකි.

01 ඡන්දාගතිය යනු යම් කිසිවකුට ඇති ඇල්ම නිසා යුක්තිය ඉක්මවා ඔහුට වාසි වන සැටියට හා අනෙකාට අවාසි වන සැටියට ක්‍රියා කිරීම ය.
02 දෝසාගතිය යනු ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසි වන සැටියට යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.
03 භයාගතිය යනු යම් කිසිවකුට බියෙන් ඔහුට වාසි වන සැටියට යුක්තියට පිටුපා ක්‍රියා කිරීම ය.
04 මෝහාගතිය යනු යුක්ත්‍යයුක්ති විසඳාගැනීමේ නුවණ මඳකමින් යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.
“ඡන්දා දොසා භයා මොහා – යො ධම්මං අති වත්තති
නිහීයති තස්ස යසො – කාලපක්ඛෙව චන්දිමා”

යමෙක් ඡන්දය නිසා ද, ද්වේෂය නිසා ද, භය නිසා ද, මෝහය නිසා ද යුක්තිය ඉක්මවා ක්‍රියා කෙරේ ද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍ර‍යා පිරිහෙන්නාක් මෙන් පිරිහෙන්නේ ය” යනු අදහසයි.

පඤ්ච නීවරණයෝ

(01) කාමච්ඡන්ද නීවරණය
(02) ව්‍යාපාද නීවරණය
(03) ථීනමිද්ධ නීවරණය
(04) උද්ධච්ච කුක්කුච්ච නීවරණය
(05) විචිකිච්ඡා නීවරණය යි

නීවරණ නම් වූ අකුශල ධර්ම පසෙක් වේ. සත්ත්වයාගේ සිත කුශලයට යොමු වන්නට නොදී වසා ගෙන සිටින බැවින් ඒ ධර්මයෝ නීවරණ නම් වෙති.

(01) කාමච්ඡන්ද නීවරණය යනු රූපාදි පඤ්චකාම විෂයෙහි ඇලෙන්නා වූ ලෝභය ය.

(02) ව්‍යාපාද නීවරණය යනු අකුශල මූලයන් ගෙන් එකක් වූ ද්වේෂය ය.

(03) ථීනමිද්ධ නීවරණය යනු කටයුත්තෙහි මනා කොට නොයෙදී හැකිළෙන්නා වූ පසු බසින්නා වූ ස්වභාවය ය.

(04) උද්ධච්චකුක්කුච්ච නීවරණය යන මෙහි උද්ධච්ච යනු සිතෙහි නො සන්සුන් ස්වභාවය ය, කුක්කුච්චය යනු කළා වූ පව් නො කොට ඉක්මවන ලද කුශලය පිළිබඳව ද ඇති වන්නා වූ පශ්චාත්තාපය ය. මේ දෙකින් ම සිත නොසන්සුන් කරන බැවින් ධර්ම දෙකක් වුව ද නීවරණ වශයෙන් එකක් කොට දක්වා තිබේ.

(05) විචිකිච්ඡා නීවරණය යනු බුද්ධාදීන් පිළිබඳ වූ සැකය ය.

(විස්තර සඳහා චත්තාළීසාකාර මහා විපස්සනා භාවනා පොත බලන්න.)

ක්ලේශ දශය

ලෝභය ය, දෝසය ය, මෝහය ය, මානය ය, දිට්ඨිය ය, විචිකිච්ඡාව ය, ථීනය ය, උද්ධච්චය ය, අහිරිකය ය, අනොත්තප්පය ය යන මේ දශය ක්ලේශයෝ ය. මෙහි පෙර නො කියවුණු ධර්ම ඇත්තේ අහිරිකය අනොත්තප්පය යන දෙක පමණකි. අහිරිකය යනු පවට ලජ්ජා නො වන ස්වභාවය ය. අනොත්තප්පය යනු පවට බිය නො වන ස්වභාවය ය. විස්තර වශයෙන් ක්ලේශයෝ එක් දහස් පන්සිය දෙනෙක් වෙති.
(විස්තර අප විසින් සම්පාදිත “කෙලෙස් එක් දහස් පන්සියය” නමැති පොත කියවා බලන්න.)

Dhamma Deepa