භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව “අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි” සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය “සෝමාවතී මහ සෑය” නම් වෙයි.

දකුණු දළදා වහන්සේ

දකුණු දළදා වහන්සේ වැඩසිටි ජගන්නාථ විහාරය සොයා ගිය ගමන

නාගපුර ජගන්නාථ විහාරය, එහි නඩඹුන් මත හින්දු කෝවිලක් තනා ඇත

දේවානම්පියතිස්ස මහ රජුගේ සහෝදරයා වූ මහනාග කුමාරයා ක්‍රි.පූ. 02 වැනි සියවසේදී මහවැලි ගඟෙන් එතෙරව රෝහණ දේශය බලා යන අතර තුරේදී නාගාරාමය නමින් විහාරයක් ඉදිකොට භික්ෂූන් වහන්සේලාට පූජාකොට අනතුරුව යඨාලතිස්ස ප්‍රදේශයට ගියේය. යඨාලතිස්ස ප්‍රදේශයේ නතර වුණු මහා නාග කුමරා සහ එම කුමරියට ලැබුණු දරුවා යඨාල තිස්ස නම් විය. මෙම යඨාල තිස්ස කුමරා නමින් යඨාල තිස්ස විහාරය ඉදිකරණ ලදී.

අනතුරුව මෙම කුමරා යඨාල තිස්ස නමින් රජ විය. යඨාල තිස්ස රජුගේ පුත් ගෝඨාභය නම් වූ අතර ගෝඨාභය රජුගේ පුතු කාවන්තිස්ස නම් විය. දියණිය සෝමාවතී නම් වූවාය. මේ වෙන විට මුළු මහත් උතුරුකරයම පාලනය කරනු ලැබුවේ එළාර නම් ද්‍රවිඩ රජ විසිනි. එළාර රජු පුරා වසර 44ක් තිස්සේ උතුරුකරය පාලනය කළේය. එකල් හිද මෙකල්හිද මෙන් සුනාමිය බඳු මහා මුහුද ගොඩ ගැලීමක් සිදුවිය. එවකට කැලණිය ප්‍රදේශය පාලනය කළ කැලණිතිස්ස රජතුමා මුහුද ගොඩ ගැලීමෙන් තම රට බේරාගැනීම පිණිස තම එකම දියණිය මුහුදට බිලි කළේය. එම දියණිය වූ විහාර මහා දේවිය පාවී ආවේ රුහුණු ප්‍රදේශයටය. අනතුරුව මෙම විහාර මහා දේවිය කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්වූවාය. කැලණිතිස්ස රජුට පුතුන් නොසිටි බැවින් ඔහුගේ බෑණා වන අභය කුමරුට කාවන්තිස්ස රජුගේ නැගනිය වන සෝමාවතී දේවිය විවාහ කර දී ගිරි ජනපදයද භාර කළේය.
සෝමාවතී දේවිය තම දියණිය වන ස්වර්ණමාලී කුමරිය දුටුගැමුණු කුමාරයාට භාර දී ගිරි ජනපදයද භාර දුන්නාය. අනතුරුව තම සීයා වන මහා නාග රජු විසින් ඉදිකරන ලද නාගාරාම විහාරය ප්‍රදේශයට ගොස් සෝම නගරය පිහිටුවා ගත්තාය. එම ප්‍රදේශය වර්තමානයේ සෝමාවතී චෛත්‍ය රාජයා වැඩ වෙසෙන පෙදෙස බව ඉතිහාසයේ සඳහන් වේ.
සෝමාවතී දේවිය නාගාරාම විහාරයට පැමිණෙන විට එහි මිහිඳු හිමි ඇතුළු හිමිවරු හැටනමක් වාසය කළහ. මෙහි සඳහන් මිහිදු හිමියන් ලංකා​වේ සම්බුද්ධ ශාසනය පිහිටවූ මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය අරිට්ඨ හිමිගේ සිසුවෙකු වූ මහා දේව හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ මිහිඳු හිමියන්ය.

සෝමාවතී දේවිය මිහිඳු හිමියන්ගෙන් අවසරය ලබාගෙන මෙහි ඉදිකළ චෛත්‍යය සෝමාවතිය නම් විය. සෝමවතී චෛත්‍ය ඉදිකිරීමෙන් පසු එහි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේලා නොතිබුණු බැවින් මිහිඳු හිමියන් නාග පුරයෙන් ගෙනවිත් ආරක්ෂිතව තබාගෙන සිට බුදුරාජාණන් වහන්සේගේ දක්ෂිණ දළදාව සෝමවතී චෛත්‍යයේ තැන්පත් කිරීමට ලබාදුන් බවද ඉතිහාසයේ සඳහන් වේ.

ඒ බව “ඒකා නාගපුරේ අහු” යන ගාථාවේ සඳහන් වේ. දාඨා වංශය ධාතු වංශය යන ජිනකාල මාලි නම් ග්‍රන්ථයේද මෙම දකුණු දළදා වහන්සේ නාග පුරයේ වැඩ සිටි බව සඳහන් වේ. මෙම නාගාරාම නම් විහාරය ‘‘මනි අගිය’’නමින්ද හැඳින්වූ බව සෙල්ලිපි වල සඳහන් වේ.

පසුව පොළොන්නරු යුගයේදී කාලිංග මාඝ චන්ද්‍රභානු විසින් මුළු උතුරු කරයේම බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම නිසා සෝමවතී ප්‍රදේශය ඝන කැලෑවක් බවට පත් විය. සෝමාවතී චෛත්‍ය රාජයාණෝ නටබුන් බවට පත් වී දක්ෂිණ දළදා වහන්සේ සමඟ නිරුපද්‍රිතව දීර්ඝ කාලයක් වැඩ සිටියෝය.

1946 දී පමණ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ගොවි ජනපද ආරම්භ කිරීම නිසා මිනිසුන් මෙම ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට පටන් ගත්තේය. මෙහිදී නටබුන් වී ගිය සෝමාවතී චෛත්‍ය රාජයාණන් මිනිසුන්ට දැකගත හැකි විය. මේ එදා වැඳුම් පිදුම් කළ බුදුරාජාණන් වහන්සේගේ දකුණු දළදාව සහිත සෝමවතී චෛත්‍ය රාජයාණන් බව ඔවුන්ට දැන ගැනීමට හැකි විය. මෙම ප්‍රදේශයේ සිටි සිංහල මුස්ලිම් සියලු දෙනාම මෙයින් ඉතා ප්‍රීතියට පත්වූහ. මේ වන විට පොළොන්නරු ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයන්හි එකම භික්ෂූන් වහන්සේ නමක් හෝ නොවීය. ඒ පිළිබඳව මල්වතු මහා විහාරයට දැනුම් දීමෙන් අනතුරුව එවකට මල්වතු මහා විහාරයේ වැඩ සිටි සිරිමල්වත්තේ පියරතන නාහිමි සහ පහමුණේ ගුණානන්ද අනුනාහිමි සහ තවත් භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයට වැඩමකොට නැවතත් බෞද්ධ සැදැහැවතුන්ට වැඳුම් පිදුම් කිරීමට හැකි තත්ත්වයට එය ගොඩනගන ලදී.

වර්ෂ 1966 දී අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මැතිතුමා විසින් මුල්ගල් තබා චෛත්‍ය රාජයාගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර 1981 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් මෙම චෛත්‍ය රාජයාගේ කොත් පැලඳවීම සිදුකරණ ලදී. එවකට අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස විසින් මෙම සෝමවතියට ප්‍රවිෂ්ට විය හැකි පරිදි මාර්ග සකසා දෙනු ලැබිණි.

මෙයට පසු නැවතත් 1983 සිට ඇතිවූ කොටි ත්‍රස්තවාදී උවදුර නිසා යළිත් සෝමවතී චෛත්‍යය ඇතුළු ප්‍රදේශය කැලයෙන් වැසී ගියේය. මිනිසුන් නැති ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්විය. සෝමවතිය බෞද්ධ ජනයාගේ මතකයෙන් ඈත් වී ගියේය.

වර්තමාන විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියන් විසින් දිවි පරදුවට තබා කොටි උවදුරු මධ්‍යයේ සෝමවති චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදිටන් කොට ගත්හ. ඒ වෙන විට ජීවිතයට ආසාවක් ඇති කිසිවෙකු එම ප්‍රදේශවල සංචාරය කළේ නැත. එහෙත් අප නාහිමියන් පැවති රජයේද අනුග්‍රහය ලබාගෙන සැදැහවතුන් සමඟින් එම ස්ථානයට ගොස් විශාල වෙහෙසක් ගෙන කැප වී වර්තමානය දියුණු තත්ත්වය ඇති කිරීමට සමත් වූහ. අද දස දහස් ගණන් ජනී ජනයා දින පතා වැඳුම් පිදුම් කරන ඉතාමත් ගෞරවනීය පූජනීය ස්ථානයක් සෝමවතී චෛත්‍යය රාජයා බවට පත් වී ඇත. වසර 2200 කට වැඩි කාලයක් සෝමවතිය සතුරු උවදුරු වලින් විනාශ නොවී මේ තත්ත්වයෙන් ආරක්ෂා වී පැවතීම බුදුරජාණන් වහන්සේ දකුණු දළදාවේ බල මහිමය නිසා සිදුවූවක් බව පැහැදිලිය.

මෙම දකුණු දළදාව මෙම ස්ථානයට ලැබුණු ආකාරය සොයා බැලීමට වර්තමාන නාහිමිපාණන් වහන්සේගේ සිතේ දැඩි කැමැත්තක් ඇතිවී තිබුණි. ජනප්‍රවාද සහ පැරණි ග්‍රන්ථ පරිශීලනය කරමින් තතු සොයා බැලීමද සිදුවිය. මේ අතර සාංචි විහාරාධිපති දේදුනුපිටියේ සෝමරතන නාහිමියන් සමඟ ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන් පිරිසක් දළදා වන්දනාවට ලංකාවට පැමිණ අනතුරුව සෝමවතියටද පැමිණියහ. නාග්පූර් ප්‍රදේශය ආචාර්ය අම්බෙඩ්කාර් මැතිතුමා යටතේ බෞද්ධ පුනර්ජීවනයට පත් වූ ප්‍රදේශයකි. එහි බෞද්ධ පිරිස සමග සාකච්ඡා කිරීමේදී ඔවුන් එක ලෙසම කියා සිටියේ බුදුරජුන්ගේ දකුණු දළදාව නාග්පූර් හී ජගත්නාත් විහාරයේ තැන්පත්ව තිබූ බව එරට ජනප්‍රවාදවල සහ යම් යම් මූලාශ්‍ර වලත් සඳහන් ව ඇති බවය. ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ මුඛ පරම්පරාවෙන්ද මෙම පැවත එන බව වැඩිදුරටත් ඔවුහු දන්වා සිටියහ.
එතැන් සිට මෙම නාග්පූර් ප්‍රදේශය සහ ජගන්නාථ විහාරය සොයා යෑමට විශාල උවමනාවක් විය. 2019 ජූලි මස 23 වැනි දින එම ගමනට යෑමට අවසානයේ අපි යොදාගත්තෙමු. ආචාර්ය සුමංගල නාහිමියන් සහ සෝමවතී විහාරවාසී තලාකොළවැවේ මේධානන්ද හිමියන් සමග මමද චෙන්නායි ගුවන්තොටට පැමිණ එතැන් සිට නැවතත් පැය දෙකක් පමණ ගුවන් ගමණකින් පසු නාග්පූර් හී අම්බෙඩ්කාර් ගුවන්තොටුපළට ළඟාවූවෙමු. මේ ගමනට අපට විශාල අනුග්‍රහයක් භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය පැලවත්තේ ශ්‍රී සීවලි නාහිමියන් විසින් ලබාදෙන ලදී. අප නාග්පූර් ගුවන්තොටුපළට ළඟාවෙන විට ඉන්දියානු ජාතික හිමිවරුන් කිහිපදෙනෙකු සහ බෞද්ධ සැදැහැවතුන් පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියහ. ශ්‍රී සීවලි නාහිමියෝද බුද්ධගයාවේ සිට නාග්පූර්වලට වැඩියහ.

නාග්පූර් නගරය කෘෂිකාර්මික නගරයකි. තවමත් පැරණි ඉන්දීය සම්ප්‍රදායන් මෙම ප්‍රදේශයේ දැකිය හැකිය. මිනිසුන් ඉතාම ආචාරශීලීය. අම්බෙට්කාර් මැතිතුමා 1956 දී ඇති කරන ලද බෞද්ධ ප්‍රබෝධය නිසා මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් බෞද්ධයෝ වෙති. ඔවුන් සත්‍ය වශයෙන්ම ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝය. බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක්ද එහි ඇත. ඒවායේ වැඩ සිටින්නේද ඉන්දියානු ජාතික හිමිවරුන්ය. එම භික්ෂූන් වහන්සේලා ද බෞද්ධ සැදැහැවතුන් සමග ඉතාම අඩු පහසුකම් මධ්‍යයේ විශාල සේවයක් බුද්ධාගම පවත්වාගෙන යාමට කරගෙන යන අයුරු අපහට දැක ගැනීමට හැකි විය. මෙම බෞද්ධ හිමිවරුනට අමතරව අම්බෙඩ්කාර් මැතිතුමා ආරම්භ කළ ඉතා පැරණි සංවිධානයක් වන සමතා සෙනින්දාල් සංවිධානයේ සභාපති සුනිල් සාරිපුත්‍ර මැතිතුමා සහ එම සංවිධානයේ ප්‍රධාන සංවිධායක ප්‍රකාශ් දර්ශනිත් මැතිතුමා සහ තවත් කිහිපදෙනෙක් අප සමග මෙම ගමනට උදව් පිණිස පැමිණියහ.

එදින අපි නාග්පූර් හි අර්බන්ඩ් හර්මිටේජ් හෝටලයේ නවාතැන් සඳහා පැමිණියෙමු. පසුදින උදයේ එනම් ජූලි 24 වැනි දින දකුණු දළදා වහන්සේ වැඩසිටි එම ස්ථානය සොයා පිටත් වුණෙමු. නාග්පූර් හී සිට කි.මී. 75ක් පමණ දුරින් පිහිටි මහාරාෂ්ට ප්‍රාන්තයේ භාණ්ඩාර දිස්ත්‍රික්කයේ පවුනි නම් ග්‍රාමයේ අදාළ ස්ථානයේ දළදා වහන්සේ වැඩ සිටි බැව් අනාවරණය විය. මෙය ඝන කැලෑවක් මැදින් වැටී ඇති මාර්ගයකි. මග දිගට මිනිසුන් කෘෂිකාර්මික කටයුතු වල නිරතවී සිටින අයුරු දැකගත හැකි මාර්ගයකි. දොඩම් ඇතුළු නොයෙකුත් පලතුරු වර්ග රැසක් ප්‍රදේශයේ වගාකරනු දක්නට ලැබුණි. පැය එකහමාරකට පමණ පසු බැලූ බැල්මට ගඟක් සේ දිස්වෙන කි.මි. 1.5 ක දිගකින් යුත් වැවක් අසල පිහිටි රමණීය ප්‍රදේශයකට අපි පැමිණියෙමු. එතැන් සිට ටික දුරක් පා ගමනින් ගිය පසු ජගන්නාථ විහාරය දැකගැනීමට හැකි විය. එම බෞද්ධ සිද්ධස්ථානයේ නටබුන් මත අද හින්දු කෝවිලක් ඉදිකොට ඇති අයුරුද දක්නට ලැබුණි. මෙම ස්ථානයේ දැනට පුරාවිද්‍යා භාරකරු ලෙස සේවය කරණු ලබන්නේ ප්‍රේමචන්ද්‍ර සූර්යවංශ මහතායි. ඔහු 68 වැනි වියෙහි පසුවෙන අයෙකි. ඔහු කුඩා කාලයේ සිටම හැදී වැඩී තිබුණේ මෙම ප්‍රදේශයේය. ඔහුගේ පියාත් පියාගේ පියාත් එම ප්‍රදේශයේ සිටි පාරම්පරික ගොවියෝය. මෙම ජගත්නාත් විහාරය ධර්මාශෝක රජතුමා විසින් නැවත ගොඩනැඟූ බෞද්ධ සිද්ධස්ථාන අසූහාර දහසෙන් එකක් බැව් කිය වේ. මුළු මහත් භාරතය පුරාම එසේ සිද්ධස්ථාන ගොඩනඟා තිබූ බැව් සඳහන් වේ. මේ විහාරස්ථාන බොහොමයකට නම් වී ඇත්තේ ජගන්නාථ විහාර නමිනි. ජගත්නාථ යනු බුදුරජුන්ට කියනා තවත් නමකි. ඒ නිසා ජගත්නාථ යන නම සිද්ධස්ථාන වලට ව්‍යවහාර කරන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.

මෙම පුරාවිද්‍යා භාරකාර සුරේශ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසන ආකාරයට ඔහු කුඩා කාලයේ සිටම හැදී වැඩී ඇත්තේ මෙම ප්‍රදේශයේය. තම පියා සහ සීයා සමඟ මෙම ප්‍රදේශයට ඔහු පැමිණෙන විට උස පස්කන්දක් ලෙසට චෛත්‍යයේ නටබුන් දිස් වූ බව ඔහුගේ මතකයේ ඇත. ඔහුගේ පියාගේ පියාට වරක් මෙම ප්‍රදේශයේ තිබී තඹ පතක් ලැබී ඇත. එය කුමක් දැයි නොදත් ඔහු එය ගෙදර ගෙනගොස් තබා තිබුණි. එහි වටිනාකමක් හෝ දැනසිට නැත.

පසුකලකදී මෙම තඹ තහඩුව පරීක්ෂා කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත්ව තිබූ බව ඔහු අප සමග පැවසීය. වැවෙන් ඉහළ ප්‍රදේශයේ හින්දු භක්තිකයන් සිට ඇති අතර වැවෙන් පහළ කොටසේ සිට ඇත්තේ බෞද්ධයෝය. හින්දුවරුන් හා බෞද්ධයන් අතර ඇති වූ ගැටුම්වලදී බෞද්ධයන්ට වඩා හින්දුවරුන් බලවත් වූ නිසා බෞද්ධ සිද්ධස්ථාන අතහැර දමා එම ප්‍රදේශයෙන් බෞද්ධයන් ඉවත්ව ගොස් ඇත. මේ නිසා මීට වසර 2200 කට පමණ පෙර ඉහත සඳහන් කළ මිහිදු හිමියන් දකුණු දළදාව ආරක්ෂිතව ලංකාවට වැඩම කරවන්නට ඇත. නාගලෝකයෙන් දළදා වහන්සේ වැඩම වූවායැයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙම නාග්පූරයෙන් වැඩම කරවීම යැයි සිතිය හැකිය.
1950 දශකයේ පමණ මෙම ප්‍රදේශයේ සේවය සඳහා වාසුදේවන් නමැති වෛද්‍යවරයෙකු පැමිණ ඇත. මෙම වෛද්‍යවරයා ගැමියන්ගෙන් දැනගත් කරුණු අනුව මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව දැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කිහිප විටක්ම දැනුම් දී තිබේ. මෙහි ප්‍රතිපලයක් වශයෙන් 1967 – 1970 කාලයේ මෙහි කැණීම් කටයුතු අරඹා ඇත. ඒ වෙන විට මෙම නටබුන් මත ජගන්නාථ මන්දීර් නමින් හින්දු කෝවිලක් ඉදිකර තිබුණි. මීටර් 7ක් පමණ යටට මෙහි කැණීම් කටයුතු සිදුකර දැනට නතරකොට තිබේ. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ රැසක්ද මෙයින් හමුවී ඇත. වසර 2500 කට පමණ පෙර මෙය බෞද්ධ විහාරයක්ව තිබූ බවට සාධක හමුවී ඇත. ඉන්දීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවුනි නමින් කැණීම් කටයුතු වල සවිස්තර දක්වා ග්‍රන්ථයක්ද මුද්‍රණය කොට තිබේ.

යම් යම් මූලාශ්‍රයන් හී සඳහන් වෙන පරිදි සහ ජනප්‍රවාදවලින් පැවසෙන අන්දමට එම ස්ථානය බුදුරදුන් පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කළ ජගන්නාථ විහාරය බවට පිළිගැනීමට හැකිය. නැවතත් සැදැහැවත් බෞද්ධ ජනතාව විසින් උසින් අඩි 45ක් පමණ වූ බුද්ධ ප්‍රතිමාවක් දැනට ඉදිකරමින් පවතී. එහි මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ කයිලාස් ගෝදාචර් නමැති සැදැහවත් මහත්මයෙකි. අප මෙම ගවේෂණය සඳහා පිටත්ව ගිය දිනම එම බුද්ධ ප්‍රතිමාවට හිස තැබීම යෙදී තිබීම විශේෂ අවස්ථාවකි. අප සැමදෙනා ඉතා ආදරයෙන් පිළිගත් කයිලාස් ගෝදාවර් ඇතුළු පිරිස මෙම උත්සව අවස්ථාවේ මූලාසනය ගෙන ආගමික කටයුතු ඉටු කිරීමට පැවරුවේද සෝමවතී විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට වීම දෛවෝපගත සිදුවීමකි. පිරිත් ස‏ජ්ජායනාවට පසු පිළිම වහන්සේගේ හිස තැන්පත් කරන ලදී. එම උත්සව අවස්ථාව අවසන් වීමෙන් පසු ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ සැදැහැවත් ජනතාව අප නාහිමියන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා මගින් ඉන්දීය අගමැති මෝදි මැතිතුමා හට දන්වා මෙම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානය නැවතත් බෞද්ධ උරුමයක් ලෙස ලබා ගැනීමට කටයුතු කරනා ලෙසය. නාග්පූර් හී බෞද්ධ ජනතාව සෝමවතියට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ඉමහත් කැමැත්තකින් සිටිනා බව අප වෙත දන්වා සිටියෝය.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද නාහිමියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ. ඉදිරියේදී නාග්පූර් බෞද්ධ සැදැහැවතුන් සහ සෝමවතී චෛත්‍ය රාජ්‍යයාණන් අතර මනා සම්බන්ධතාවක් මෙමගින් උදාවේ යැයි එම නාග්පූර් ජනතාවගේ විශ්වාසය වී තිබේ.

අළුත්ගම කෝලිත ජයවර්ධන 

Lankadeepa.lk