01 Yamaka Waggaya යමක වර්‍ගය

01. යමක වර්‍ගය

යමක වර්ගයෙන්, හොඳ නරක සංකල්පය ප්‍රස්තුත කර ගනිමින් සනාතනදහමක් ඉදිරිපත් කෙරේ. මෙහි එන උපදේශයන් යුගල වශයෙන් දැක්වේ.

1-1 ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රව චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං.

(වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.

1-2 මට්ටකුණ්ඩලීදිව්‍යපුත්‍රයා

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති ඡායා’ව අනපායිනී.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

1-3 ථුල්ලතිස්සස්ථවිරයන් වහන්සේ

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ ච තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.

‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය නො සංහිඳේ.

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.

‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ.

1-4 කාලී යකින්න

න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.

මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නො සංහිඳෙත්. අවෛරයෙන් (ක්‍ෂාන්තියෙන් හා මෛත්‍රියෙන්) ම සංහිඳෙත්. මෙය පුරාතන වූ (බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට ආ) සිද්ධාන්තන ධර්‍මයෙකි.

1-5 ඝෝෂිතාරාමයෙහි කෝලාහලය

පරෙ ච න විජානන්ති මයමෙත්‍ථ යමාමසෙ
යෙ ච තත්‍ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.

‘මේ කලහයෙහිදී අපි නැසෙමු’ යී කලහකාරී අන්‍යයෝ නො දන්නාහ. එහි යම් කෙනෙක් ‘අපි නැසෙමු’ යී දනිත් ද එයින් කලහයෝ සංහිඳෙත්.

1-6 චූලකාල මහාකාල ස්ථවිරයන් වහන්සේලා

සුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි චාමත්තඤ්ඤුං කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො වාතො රුක්ඛං’ව දුබ්බලං.

(අරමුණු) ශුභ වශයෙන් බලමින් වසන, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සංවරය නැති, භෝජනයෙහි පමණ නො දන්නා වූ, කාමවිතර්‍කාදී මිථ්‍යාවිතර්‍කයනට වසඟ බැවින් කුසීත වූ, වීර්‍ය්‍යය නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් (ක්ලේශ) මාර තෙමේ මැඩ ලයි. වාතය දුබල රුකක් මැඩ ලන්නක් මෙනි.

අසුභානුපස්සිං විහරන්තං ඉන්‍ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධවීරියං
තං වෙ නප්පසහති මාරො වාතො සෙලං’ව පබ්බතං.

උඬුමාතකාදී දශ අශුභයන් අතුරෙන් එක්තරා අශුභයක් අනුව බලමින් වසන, ඉඳුරන් කෙරෙහි මනා සංවරය ඇති, භෝජනයෙහි පමණ දන්නා වූ, ශ්‍රද්ධා ඇති, සතර ඉරියව්හි වඩන ලද වීර්‍ය්‍ය ඇති, මෙබඳු පුද්ගලයා ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩ නො පවත්වයි. වාතය ඒකඝන ගල් පර්‍වතයක් මැඩ ලිය නො හෙන්නාක් මෙනි.

1-7 දේවදත්ත ස්ථවිරයන් වහන්සේ

අනික්කසාවො කාසාවං යො වත්‍ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.

රාගාදි කෙලෙස්කසට සහිත වූ ඉන්‍ද්‍රියදමනයෙන් ද වාක් සත්‍යයෙන් ද තොර වූ යමෙක් කසාවත් හඳනේ පොරෝනේ වේ ද, ඒ පුද්ගලයා කසාවත් දැරීමට සුදුසු නො වෙයි.

යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති.

යම් ආර්‍ය පුද්ගලයෙක් වමාරා ලු කෙලෙස් කසට ඇත්තේ වන්නේ ද. සිවු පිරිසිදු සිල්හි මොනොවට පිහිටියේ වේ ද, ඉන්‍ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් හා යුක්ත ද, හෙ තෙම කසාවත් දැරීමට ඒකාන්තයෙන් සුදුසු වෙයි.

1-8 අග්‍රශ්‍රාවක මහාක්‍ෂීණාශ්‍රව ශාරීපුත්‍ර මෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේලා.

අසාරෙ සාරමතිනො සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති මිච්ඡාසංකප්පගොචරා.

අසාරයෙහි සාරය යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති, මිථ්‍යාසඞ්කල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදි සාරයට නො පැමිණෙත්.

සාරඤ්ච සාරතො ඤත්‍වා අසාරඤ්ච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති සම්මාසඞ්කප්පගොචරා.

(ශීලසාරාදි) සාර දැය සාර වශයෙන් ද, අසාර දැය අසාර වශයෙන් ද දැන (වසන) නොවැරැදි අදහස් ගොදුරු කොට ඇති ඒ ප්‍රාඥයෝ ශීලාදි සාරයට පැමිණෙත්.

1-9 නන්‍දමහාස්ථවිරයන් වහන්සේ

යථාගාරං දුච්ඡන්නං වුට්ඨී සමතිවිජ්ඣති
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.

නොමනා සේ සෙවිලි කළ කිසි ගෙයක් වැසි දහර යම් සේ විනිවිද යේ ද, එසේ ම කාමරාග තෙමේ භාවනා වශයෙන් නො වැඩු සිත අතිශයින් විනිවිද යෙයි.

යථාගාරං සුච්ඡන්නං වුට්ඨී න සමතිවිජ්ඣති
එවං සුභාවිතං චිත්තං රාගො න සමතිවිජ්ඣති.

වැසි දහර සකස් කොට සෙවිලි කරන ලද ගෙයක් යම් සේ විනිවිද නො යන්නේ ද, එ පරිදි ම කාමරාග තෙමේ භාවනා වශයෙන් මොනවට වැඩු සිත විනිවිද නො යයි.

1-10 චුන්‍ද නම් ඌරුවැද්දාගේ මරහඬ

ඉධ සොචති පෙච්ච සොචති පාපකාරී උභයත්‍ථ සොචති
සො සොචති සො විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනො.

පව් කරන සුලු පුද්ගල තෙම (මැරෙන කාලයෙහි කර්‍මානුස්මරණ වශයෙන්) මෙ ලොව දී ශෝක කරයි. විපාකානුභව වශයෙන් පරලොව දී ශෝක කරයි. (මෙසේ) දෙලොවදී ම ශෝක කරයි. තමාගේ කිලිටි කර්‍ම දැක හෙ තෙම (මෙ ලොව දී) ශෝක කරයි. (නොයෙක් සැටියෙන් වැලැපෙන්නේ) වෙසෙසින් පෙළෙයි.

1-11 ධම්මික උපාසක මහතා

ඉධ මොදති පෙච්ච මොදති කතපුඤ්ඤො උභයත්‍ථ මොදති
සො මොදති සො පමොදති දිස්වා කම්ම විසුද්ධිමත්තනො.

පින් කළ පුද්ගල තෙම මෙ ලොව දී කුශලකර්‍මානුස්මරණයෙන් සතුටු වෙයි. පරලොව දී විපාකානුභාවයෙන් සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්‍යකර්‍මය දැක්මෙන් හෙ තෙම මෙ ලොව දී සතුටු වෙයි. පරලොව දී ද බොහෝ සෙයින් සතුටු වෙයි.

1-12 දේවදත්ත ස්ථවිරයන් අවීචියෙහි උපන් සැටි

ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්‍ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති භිය්‍යො තප්පති දුග්ගතිං ගතො.

පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්‍මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.

1-13 සුමනා දෙවිය

ඉධ නන්‍දති පෙච්ච නන්‍දති කතපුඤ්ඤො උභයත්‍ථ නන්‍දති
පුඤ්ඤං මෙ කතන්ති නන්‍දති භිය්‍යො නන්‍දති සුග්ගතිං ගතො.

පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්‍මනන්‍දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්‍දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්‍දනයෙන් බෙහෙවින් තුටු වෙයි.

1-14 බුදුරජානන් වහන්සේගේ ස්තුතිය

බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො’ව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති.

යමෙක් ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ කොට කියන්නේ නමුදු, තෙමේ පමා වූයේ, ඉදින් එය නො කරන්නේ (තමා කියන පරිදි නො පිළිපදනේ) නම්, හේ (කුලියට) අනුන් ගේ ගෙරින් රක්නා ගොපල්ලා මෙන් ශ්‍රාමණ්‍යයට (සතරඵලයනට) හිමි නො වෙයි.

අප්පම්පි චෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරී
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්තචිත්තො
අනුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති.

යමෙක් ත්‍රිපිටක බුද්ධවචනය ස්වල්ප කොට කියන්නේ නමුදු, තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය කරන්නේ නම්, (නවලෝකෝත්තර ධර්‍මයට අනුරූපව වූ පුර්‍වභාග ප්‍රතිපත්තිය කරන්නේ නම්), රාගයත් ද්වේෂයත් මෝහයත් නසා පිරිසිඳිය යුතු දහම් පිරිසිඳ දන්නේ, මෙලොවෙහි හෝ පරලොවෙහි හෝ (ආධ්‍යාත්මික හෝ බාහිර හෝ) කිසිදු ස්කන්‍ධ ධාතු ආයතනයක් තෘෂ්ණා දි වශයෙන් නො ගන්නේ ශ්‍රාමණ්‍යයට (සතර ඵලයටත් ආර්‍ය්‍යශිලාදී අකෛෂශ ධර්‍මස්කන්‍ධ පසටත්) හිමි වෙයි.

Donations
You cannot copy content of this page