Padumutthara Buddha පදුමුත්තර බුදුරජාණන් වහන්සේ

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ.

නාරද බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්ෂ අනූ පන්දහසක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඉන්පසු මහා කල්ප අසංඛ්‍යයක් ම ජිනසූර්‍ය්‍යයෝ පහ නො වූහ. නාරද බුදුන්ට අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර සාර නම් කල්පයේ දෙපා ඇති සතුන්ගෙන් උතුම් වූ නො කැලඹුණු සයුරකට බඳු උපමා ඇති පදුමුත්තර (පියුමතුරා) ජිනරාජයන් වහන්සේ ලෝ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව හංසවතී* නුවර රජ කුලයෙහි සකල ජන ආනන්‍දකර නන්‍දන ක්‍ෂත්‍රීය රජතුමාට දාව උත්තම කුල ජනිත සුජාතා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් හංසවතී උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.

උන්වහන්සේගේ උපතෙහි පියුම් වැසි වැස්සේ ය. එබැවින් කුමාරයාට නම් තබන දිනෙහි නෑයෝ පදුමුත්තර යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට නරවාහන, යසවාහන හා වසවත්ති නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හතළිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ වසුදත්තා දේවියට සියලු ගුණයන්ගෙන් උතුම් උත්තර කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සෝභිත බුදු සිරිතෙහි ආ පරිදි ප්‍රාසාදයෙන් ම අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සතියක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින උදේනි නියම්ගම රුචිනන්‍දා සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුමිත්ත නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන සලල (හොර) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී අටතිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් ඇනූහ. එකල් දසදහසක් සක්වළ ගැබ අලංකාර කරන්නාක් මෙන් පියුම් වැසි වැස්සේ ය.

පුරුෂෝත්තම පියුමතුරා භාග්‍යවතුන් වහන්සේ සතියක් බෝ පලඟෙහි සිට ‘පොළොවෙහි පා තබමි’යි දකුණු පය දිගු කළහ. එවිට පොළොව පලාගෙන නිකැළැල් නිර්‍මල කොමළ කේශර කර්ණිකා ඇති ජලජ නිර්‍මල අවිකල විපුල පත් ඇති අජලජ වූ ජලජ පියුම් නැගී සිටියේ ය. ඒවායෙහි ප්‍රධාන පෙති අනූ රියන් විය. කර්ණිකා ව දස රියන් පමණ ය. එකිනෙකෙහි නව කෙළක් පමණ රේණු විය. ශාස්තෲන් වහන්සේ උසින් පනස් අට රියන් පමණ විය. උන්වහන්සේගේ එකොළොස් රියන් පාදයෙන් දස රියන් කෙමිය ස්පර්ශ වන විට නව කෙළක් පමණ රේණු ඉහළට නැගී මනෝසිල සුණු මෙන් වී වැටේ. ඒ හේතුවෙන් ශාස්තෲන් වහන්සේ ‘පදුමුත්තර නමින් ප්‍රකට වූහ.’යි ද කියනු ලැබේ.
උන්වහන්සේ සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් මිථිලා නුවර දේවල හා සුජාත යන දෙකුමරුවන් දැක එකෙණෙහි ම අහසින් වැඩ මිථිලා උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් සත්වයන්ට ධර්‍මාභිසමය විය.

විනායක පදුමුත්තර බුදුරදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි ජටික නම් රට වැසියෙක් වී බුදුපාමොක් සඟන වෙත ආහාර සහිත තුන්සිවුරු පිදූහ. ඒ පදුමුත්තර බුදුහු ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.

අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්, වප්ප තෙරුන්, නාලක තෙරුන්, උරුවෙල්කස්සප තෙරුන්, නදීකස්සප තෙරුන්, ගයාකස්සප තෙරුන්, මහාකස්සප තෙරුන්, මහාකච්චායන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන්, මහාකප්පින තෙරුන්, අනුරුද්ධ තෙරුන්, කංඛාරේවත තෙරුන්, ආනන්‍ද තෙරුන්, නන්‍දක තෙරුන්, භගු තෙරුන්, නන්‍ද තෙරුන්, කාළිගෝධාපුත්ත භද්දිය තෙරුන්, රාහුල තෙරුන්, සීවලි තෙරුන්, උපාලි තෙරුන්, දබ්බමල්ලපුත්ත තෙරුන්, උපසේන තෙරුන්, ඛදිරවනියරේවත තෙරුන්, පුණ්ණ මන්තාණිපුත්ත තෙරුන්, සෝණකූටිකණ්ණ තෙරුන්, සෝණකෝළිවිස තෙරුන්, රාධ තෙරුන්, සුභූති තෙරුන්, වක්කලී තෙරුන්, කාළුදායි තෙරුන්, පිලින්‍දවච්ඡ තෙරුන්, සෝභිත තෙරුන්, කුමාරකස්සප තෙරුන්, රට්ඨපාල තෙරුන්, වංගීස තෙරුන්, සේල තෙරුන්, උපවාන තෙරුන්, සාගත තෙරුන්, නාගිත තෙරුන්, ලකුණ්ඨකභද්දිය තෙරුන්, පිණ්ඩෝලභාරද්වාජ තෙරුන්, මහාපන්ථක තෙරුන්, චුල්ලපන්ථක තෙරුන්, බාහියදාරුචීරිය තෙරුන්, මෝඝරාජ තෙරුන්, නාගසමාල තෙරුන් ආදී තෙරවරුන් ද මහාපජාපතිගෝතමී තෙරණිය, ඛෙමා තෙරණිය, පටාචාරා තෙරණිය, කුණ්ඩලකේසා තෙරණිය, කිසාගෝතමී තෙරණිය, ධම්මදින්නා තෙරණිය, සකුලා තෙරණිය, නන්‍දා තෙරණිය, සෝණා තෙරණිය, භද්දකාපිලානී තෙරණිය, සිංගාලමාතා තෙරණිය, උබ්බිරි තෙරණිය, සුන්‍දරීනන්දා තෙරණිය, උප්පලවණ්ණා තෙරණිය ආදී තෙරණිවරුන් ද පෙර කරන ලද පින් ඇත්තේ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉපිද නොයෙක් පිංකම් කොට නොයෙක් තනතුරු ප්‍රාර්‍ථනා කළ බව සඳහන් වේ.

පදුමුත්තර බුදුන්ගේ කාලයේ තීර්‍ථකයෝ නම් නො වූහ. උන්වහන්සේට දෙවල හා සුජාත දෙනම අගසවුවෝ වූහ. උපස්ථායක සුමන නම් භික්‍ෂුව විය. අමිතා හා අසමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. විතිණ්ණ හා තිස්ස යන දෙදෙන උපස්ථායකයෝ ය. හත්‍ථා හා විචිත්තා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය.

ඒ කාලයෙහි අවුරුදු ලක්‍ෂයක් ආයුෂ පවතින. සිව්සස් අවබෝධකළ පදුමුත්තර ජිනරාජයන් වහන්සේ නන්‍දාරාමයෙහි පිරිනිවියහ. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය දොළොස් යොදුනක් උස් වී ය.

* හංසවතී යනු: හංසයන්ගේ ආකාරයෙන් වට කරන ලද ප්‍රාකාර ඇති බැවින් හංසවතී නම් විය. නැතහොත් නොයෙක් හංසයෝ එම නගරය තුල වූ පොකුණු විල් තෙර ආදියෙහි වාසය කරන බැවින් ද හංසවතී නම් වේ යැයි උපාලිත්‍ථෙරඅපදානවණ‍්ණනාවේ සඳහන් වේ.

මෙ කපින් කල්ප ලක්‍ෂයකට පෙර සාර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.

* නගරය – හන්සවතී නුවර
* ජාතිය – ක්‍ෂත්‍රීය
* පියා – නන්‍දන ක්‍ෂත්‍රීය රජතුම
* මව – සුජාතා දේවිය
* ප්‍රාසාදත්‍රය – 1. නරවාහන 2. යසවාහන 3. වසවත්ති
* අග්‍රමහේෂී – වාසුදත්තා දේවිය
* පුත්‍රයා – උත්තර කුමරු
* අගාරවාස – අවුරුදු දහදහසයි (10,000)
* අභිනිෂ්ක්‍රමණය – ප්‍රාසාදයෙන්ම නික්මුණහ
* ප්‍රධන් වීර්ය – දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
* කිරිපිඩු – උදේනි නියම්ගම රුචිනන්‍දා සිටුදූ
* කුස තණ – සුමිත්ත ආජීවක
* බෝධිය – සලල (හොර)
* ශරීර රශ්මිය – දොළොස් යොදුනක් පමණ පැතිර සිටියේය
* ධම්සක් දෙසීම – මිථිලා උයනෙහි
* ශ්‍රාවක සන්නිපාත – ශ්‍රාවක සන්නිපාත තුනක් විය
* අග්‍රශ්‍රාවක දකුණත්සව් – දෙවල තෙරුන්
* අග්‍රශ්‍රාවක වමත්සව් – සුජාත තෙරුන්
* අග්‍රශ්‍රාවිකා දකුණත්සව් – අමිතා තෙරණිය
* අග්‍රශ්‍රාවිකා වමත්සව් – අසමා තෙරණිය
* අග්‍ර උපස්ථායක – සුමන භික්‍ෂුව
* උපස්ථායකයෝ – විතින්නා, තිස්ස
* උපස්ථායිකාවෝ – හත්‍ථා, විචින්තා
* ආයු ප්‍රමාණය – අවුරුදු ලක්‍ෂයයි. (100,000)
* පරිනිර්වානය – නන්‍දාරාමයෙහි
* බෝසතාණෝ – මහාරාෂ්ඨ නම් ජටිලව විවරණ ලැබීය

Dhamma Deepa