Brahmajaala Suttraya බ්‍රහ්මජාල සූත්‍රය

ස්ථානය   –   අම්බලට්ඨිකාව රජගෙය

දෙසැටක් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දේශනා කිරීම සහ සූප්පිය පරිබ්‍රාජකයා සහ බඹදත් තරුණයා අතර ඇති වුණු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නූගුන සංවාදය

පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ විග්‍රහය

පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමියන්ගේ විග්‍රහය

බුදුන් වහන්සේ බ්‍රහ්මචාරීව, කාම සැපයෙන් වෙන්ව, කාමයෙහි වැරැදි හැසිරීමෙන් වෙන්ව සිටීමේ ආනිශංස පහදා දෙන ලද්දේ, කාම සැපයෙන් මිදී , ස්ත්‍රී සේවනයෙන් වෙන්ව, දුරාචාරයෙන් වෙන්ව, උතුම්ව විසීමෙනි තෘෂ්ණා රාග ක්ලේශාදිය වඩන අකුසලයට හේතුවන සියලු වැරැදි ක්‍රියා අත්හළ යුතු බව එසේ ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. වර්තමාන ලාංකික බෞද්ධ සමාජය ද බෞද්ධ වීමටත්, සදාචාර වීමටත් මෙම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ය.ඒ බව ආදර්ශවත්ව බුද්ධ චරිතයෙන් මෙසේ හෙළි කරන ලදී.

සමාජය තුළ ආචාර ධර්ම පෝෂණය කොට මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් භව දුක නිවාලීමට කළ දේශනා අතරෙන් බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව වැදගත් වෙයි. සීලක්ඛන්ධ වග්ගයට අයත්, බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරන ධර්ම කොටස්, වත්පිළිවෙත් රැකීම සහ සීලාදී ගුණධර්ම වැඩීමටත්, සදාචාරවත් සමාජයක් ගොඩනැගීමටත් ඉවහල් වෙයි.
දහම් පාසල්වලත්, පාසල්වලත්, සමස්ත ලාංකික සමාජය තුළත්, බ්‍රහ්මජාල සූත්‍රයේ දේශීත දහම් කරුණු භාවිතයට පුරුදු කළහොත් සදාචාරවත් සමාජයක් ගොඩ නැගෙනු ඇත. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයට අයත් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන ලද්දේ සුප්පිය පිරිවැජියා හා ඔහුගේ අතවැසි බඹදත් අතර බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන පිළිබඳ ඇති වූ ගුණ, නුගුණ විවාදය මුල් කරගෙනය. අතවැසි බඹදත් ත්‍රිවිධ රත්නයේ ගුණ කථනය කළ විට ඒ සියල්ල හෙළා දකිමින් සුප්පිය පිරිවැජියා එහි අගුණම කීහ. නාලන්දා නුවරට වඩිමින් අතරමඟ අම්බලට්ඨිකා උයනෙහි රාජගාරක ශාලාවෙහි රාත්‍රිය ගතකොට, පසුදින මණ්ඩලමාල ශාලාවට වැඩම කළ කල්හි අසන්නට ලැබුණු මෙම පුවත අරභයා මෙම සූත්‍රය දේශනා කළ සේක.

මුලින්ම, කෝප නොවීමේත්, ඉවසීමේත් ගුණය පහදා දෙන බුදුන් වහන්සේ ‘මා ගැන හෝ ධර්මය හෝ සංඝයා ගැන හෝ අනුන් දොස් කියන විට කෝප නොවිය යුතු ය. අමනාප නො විය යුතු ය. අසතුටු නො විය යුතු ය. එසේ කෝප වීමෙන් අමනාප වීමෙන්, අසතුටු වීමෙන් අකුසලයක්ම අවැඩක්ම වන බව පහදා දුන් සේක. බුදුන් වහනසේ මෙයින් අවධාරණය කළේ තමන් හෝ ධර්මය හෝ සංඝයා හෝ හරිනම්, නිවැරදි නම්, සත්‍ය නම් කලබල වීමට අවශ්‍ය නොවන බව යි. මෙම ගුණය සැම කෙනාටම වැදගත් ගුණ ධර්මයකි. එය, ඉවසීම යි. මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට කෝප වුවහොත්, අමනාප වුවහොත්, විරුද්ධවාදීන් කියන්නේ ඇත්ත ද නැත්ත ද කියා තේරුම් ගත නොහැකි වෙයි. වටහා ගත නොහැකි වෙයි. එබැවින් කෝප නොවී මැදහත්ව සිටීමෙන් ම සත්‍යය හෙළිදරව් වන බව අවධාරණය කැරිණි. මෙය ධර්මය පිළිපදිමින් ජීවත්වන සෑම දෙනාටම වැදගත් ආදර්ශයකි. චර්යා ධර්මයකි.

නුගුණ දොස් කියන විට, කෝප නොවිය යුතු වන්නා සේම, ගුණ කියන විට උඩඟු නොවිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක අනුන් මා ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ ගුණ කියන කල්හි එයින් උඩඟු නොවිය යුතු ය. එසේ උඩඟු වුවහොත්, අවැඩක්ම වන්නේය. එය ද ක්ලේශයක් නිස යි. බුදු දහමට අනුව කෝපවීම හෝ උඩඟු වීම හිස් දෙයකි. කෙලෙස් සහිත පෘථග්ජනයාගේ මෙම ගති ලක්ෂණ බැහැර කිරීම යහපත් සමාජයකට මඟ පාදයි. නූතන ලාංකික සමාජයේ පිරිහීමට බුදුරදුන් වදාළ මෙම උතුම් පිළිවෙත් පිළි නොපැදීම හේතු වී ඇති බව, පැහැදිලි ය. බුදුරදුන් වදාළ සීලවන්ත, ගුණ ගරුක සමාජයක් සඳහා අවශ්‍ය බ්‍රහ්මජාල සූත්‍රයේ දේශීත ධර්ම කරුණු පිළිපදින්නේ නම්, සැබෑ බෞද්ධ සමාජයක් බිහි වනු ඇත.

බ්‍රහ්මජාල සූත්‍රයෙන්, බුදුන් වහන්සේ ගුණ ධර්ම කියා දෙන්නේ තමන් ආදර්ශයක් ලෙස ක්‍රියාකාරීව පෙන්වීමෙනි. බුදු හිමියෝ ප්‍රාණ ඝාතයෙන්, සතුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටියහ. අවි ආයුධ පාවිච්චි නොකළහ. නොකරන්නාහ. පාපයට ලැජ්ජා වන්නෝ ය. දයාවන්ත වන්නෝ ය. සියලු සත්ත්වයා කෙරෙහිම අනුකම්පාව දක්වන්නෝ ය. බුදුන් වහන්සේ මේ දේශනාව තුළින් තමා ගරුකළ; ක්‍රියාත්මක කළ පළමුවන සිල් පදය මෙසේ තේරුම් කළේ අනුගාමික ශ්‍රාවකාදීන් ද එසේ කිරීමෙන් මෙලෝ උපන් සෑම සත්ත්වයාටම බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය, නිදහස, ලබාදීමේ උතුම් පරමාර්ථයෙනි. එය ක්‍රියාත්මක කරන්නන් තුළ කුසලය වැඩෙන අතර, සත්ත්වයන් බියෙන් මිදීම ද සිදු වෙයි.

ඊළඟට වැදගත් වන්නේ් බුදුන් වහන්සේ නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටීම යි. බුදුන් වහන්සේ වංචා රහිතව, පිරිසුදු සිතින්ම දුන්නේ නම් පමණක ගත යුතුය යනුවෙන් පිළිපැදිය යුතු රැකිය යුතු, උසස් සීල සම්පදාවක්ඉදිරිපත් කළ සේක. බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනා කළ පරිදි, සිත, කය, වචනය යන තුන්දොරම කිළිටි කරන අදත්තාදානයෙන් වැළකීම මෙලෝ පරලො වශයෙන් වැදගත් වන බව ඉන් පහදා දුන් සේක. සිතේ උපදවන, ඊර්ෂ්‍යා ක්‍රෝධ, වෛර, ලෝභ, තණ්හා ආදී සියලු අකුසල අදත්තාදානයෙන් වැළකීමෙන් දුරු කළ හැකි බැවිනි. මෙම ධර්මය පිළිපදින්නේ නම් සමස්ත සමාජයම වංචාවෙන්, දූෂණයෙන්, සොරකමෙන් මිදෙන නිසා, සදාචාරවත් සමාජයක් ධහි වීමට, හේතු වෙයි. ඒ කෙසේ වුවත් ධර්මය පිළිපදින කවුරුන් හෝ වේවා සුගතිගාමී වෙයි.

බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවෙන් ඊළඟට පහදා දෙන ලද්දේ බ්‍රහ්මචාරී පැවැත්මේ ගුණ සමුදාය යි. බුදුන් වහන්සේ බ්‍රහ්මචාරීව, කාම සැපයෙන් වෙන්ව, කාමයෙහි වැරැදි හැසිරීමෙන් වෙන්ව සිටීමේ ආනිශංස පහදා දෙන ලද්දේ, කාම සැපයෙන් මිදී , ස්ත්‍රී සේවනයෙන් වෙන්ව, දුරාචාරයෙන් වෙන්ව, උතුම්ව විසීමෙනි. නූතන ලාංකික සමාජයේ මෙම වැරැදි හැසිරීම් නිසාම ඇතිවන, පාපකාරී ක්‍රියා, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ අපහරණ ගැන නිතර පුවත්පත්වල දකින්නට ලැබෙයි. ඒ අනුව දුරාචාරය ඉහවහා ගොස් ඇත. විද්යුත් මාධ්‍යවල, ටෙලි නාට්‍යවල මහ ඉහළින් පෙන්වන්නේ කාමය මුල් කරගත් පහත් දේ ඇතුළත් කතා ය. මේ නිසා සංවරය, විනය සමාජයෙන් තුරන් වී ඇත. පහත් පෙළේ කාම කතා, පුවත්පත්, ටෙලිනාට්‍ය ගී සින්දු බාල, තරුණ පමණක්නොව මහලු පරපුර ද කාම රැල්ලට ගොදුරු කර ඇත. කොතෙක් බණ කීවත් අහන්නේ ටික දෙනෙකි. වගකිව යුතු අය, ආගමික නායකයන් සංවිධාන මේවා ගැන කටයුතු නොකිරීම බෞද්ධ සමාජයේ පිරිහීමට හේතු වනු ඇත.

බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවෙන්, බුදුන් වහන්සේ ඊළඟට මුසාවාදයේ විපාක වලින් මිදීමේ වැදගත් කම අවධාරණය කළේ මෙසේ ය. ගෞතම බුදු හිමියෝ බොරු කීමෙන් වැළකුණෝය. ඇදහිය හැකි සත්‍යයක් ම දේශනා කළෝ ය. කිසි විටෙක ලෝකයා මුළා කළේ නැත. බොරු කියා, බොරු කර ලෝකයා මුලා කිරීම, නොමඟ යැවීම තරම් පාපයක්, අපරාධයක් නැති බව පැහැදිලි කළේ සමස්ත සමාජයේම ඇතිවිය හැකි පීඩාකාරී අසහනයෙන් මුදවාලීමට ය. කෙනෙක් කියන බොරු නිසා අසන අය ඇති කරගන්නා බලාපොරොත්තු විශ්වාස මොනතරම් ඔවුනට මානසික පීඩාවක් වන්නේ ද යන්නත්, එය මහා පාප කර්මයක් බවත් වදාළ සේක.

එසේම ගෞතම බුදුන් වහන්සේ කේලාම් (පිසුනාවාචා) කීමෙන් වැළකුණෝය. එය සමස්ත මිනිස් සමාජයටම දුන් ආදර්ශයකි. කේලාම් නොකී අතර, හැම කෙනෙක්ම සමගි කරන, භේද නොකරන කතා පමණක්ම කී සේක. තමන් වහන්සේම ආදර්ශ කොට කේලාමෙන් වැළකුණු බව තේරුම් කළේ එය එතරම් භයානක, අවුල් ඇති කරන, අපරාධ, මිනීමැරුම්, සන්ඩු සරුවල් ඇති කරන සමාජය භේද කරන මහා පාපයක් නිසයි. සමාජය යහපත් පැවැත්මට අවශ්‍ය ආචාර ධර්මයකි. නූතන ලාංකික සමාජය භයානක අවුල්වලට වැටී ඇත්තේ මෙම ධර්මය පිළි නොපදින නිසයි. එමෙන්ම ගෞතම බුදුන් වහන්සේ, පරුෂ වචන කිසි විටෙක නො කී සේක. කනට මිහිරි, සතුටු වචන, පි‍්‍රය වචනම කතා කළ සේක. නපුරු, කෲර, කනට අමිහිරි වචන ඇසීමට කවුරුත් පි‍්‍රය නැත. ලංකාවේ කොතනක සිටියත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ පරුෂ වචන ය. සමහර විට ටෙලි නාට්‍ය, ගුවන් විදුලි එෆ්. එම් නාලිකාවලද අසන්නට ලැබෙන්නේ පරුෂ කතා ය. ආචාරවත් සමාජයකට වැඩිහිටියන්ගේ සිට දරුවන් දක්වා මිහිරි වැදගත් කතා ඇති කිරීමට මග පෙන්වීම අත්‍යාවශ්‍ය බව බුදුහිමි යෝ අවධාරණය කළ සේක. එමෙන්ම සම්ඵප්‍රලාප කතා වලින්ද වැළකුණු බුදු හිමියෝ, හිස් වචන , පුහු වචන, වැඩකට නැති කතා නොකළ අතර, යහපත්, ප්‍රයෝජනවත් වචනම කතා කළහ. සමාජයට, සංවරබව, හික්මීම, අකුසලයෙන් මිදීම වැදගත් බව ඉගැන්වීම, එහි අරමුණ විය.

බුදුන් වහන්සේ ගස් වැල් තණ ආදිය වැනසීමෙන් වැළකී, පරිසරයට ආදරය කිරීමට මිනිසා පෙළඹවූ සේක. විකාල භෝජනයෙන් තොරව, එක් වේලක් වැළඳු සේක. නැටීම් ගී ගැයීම්, වැයීම්, කාමුක දර්ශනයන්ගෙන් වැළකුණහ. මලු මාලා පැළඳීම්, සුවඳ විලවුන් තැවරීම් නොකළහ. උස් ආසන, නුසුදුසු අසුන්ගැනීමෙන්, වැළකී සිටියහ. රන්, රිදී, මිල මුදල් නොගත්හ. ස්ත්‍රීන් දාස,, ආසීන්, එළු, බැටළු, කුකුලන්, ඌරන්, ඇත්, අස් ගව මහීෂාදීන්, කුඹුරු වතුපිටි දාන ලෙස පිළිනොගත්හ. තෘෂ්ණා රාග ක්ලේශාදිය වඩන අකුසලයට හේතුවන සියලු වැරැදි ක්‍රියා අත්හළ යුතු බව එසේ ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. වර්තමාන ලාංකික බෞද්ධ සමාජය ද බෞද්ධ වීමටත්, සදාචාර වීමටත් මෙම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ය.ඒ බව ආදර්ශවත්ව බුද්ධ චරිතයෙන් මෙසේ හෙළි කරන ලදී. එහෙත් බුදුරදුන් වදාළ මෙම ශ්‍රේෂ්ඨ අදහස් වෙනුවට අද සමස්ත සමාජය වෙළා ගනිමින් ඇත්තේ, කාමුක, විකාර, බහුභූත නැටුම්, ගැයුම්, වැයම් ය. විකාර ඇඳුම් විලාසිතා ය. සරල බෞද්ධ ගති, සංවරය, විනය සමාජයෙන් තුරන් වෙමින් තිබෙනු දැකිය හැකි ය.

බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව මගින්, විවිධ විජ්ජා විවිධ ක්‍රීඩා පවා ක්ලේශයන් ඇතිකරන බැවින් අත්හළ යුතු බව පෙන්වා දී ඇත. තවද යහපත්ව ජීවත් වී කුසල් කටයුතු කරන අයුරුද ආදර්ශමත්ව පෙන්වා ඇත. ඒ අනුව, විවිධ ශාස්ත්‍ර නිමිති කීම, උපන් ලක්ෂණ, සිහින තේරීම් ස්ත්‍රී පුරුෂ ලක්ෂණකීම්, අග්නිහෝම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, අනාවැකි කීම්, නක්‍ෂස්ත්‍ර කටයුතු, පලාපල කීම් ආදි ලෞකික මිථ්‍යා මත බැහැර කළ අතර, එවැනි වැරදි ජිවිකා අත්හළ බව පෙන්වා දුන්නේ, මිනිසාගේ සිත, කය, වචනය, අවුල් නොකරගෙන ඹ්වත්වීමට යි. සමකාලීන යුගයේ, මිනිසුන් රවටමින්, බමුණන් කළ යාග හෝම ශාන්ති කර්ම, නූල් බැඳීම්, අණවින, කොඩිවින, බෙහෙත්, හේත් දීම්, ආදී සකලවිධ භූත විද්‍යා අත්හැර, මිනිසුන්ට බුද්ධිමත්ව, සරලව, ජිවත්වන ලෙස ආදර්ශයෙන් පෙන්වා දෙන ලදී. සියලු ජීවිත ගැටලු විසඳා ගත හැකි වන්නේ ධර්මානුකූලව හැසිරීමෙන් බව පෙන්වා දෙන ලදී.

මිථ්‍යා ආජීවය බැහැර කළ බුදුන් වහන්සේ, දූත ගමන්, පණිවිඩ ගෙන යෑම්, රජුන් පාලකයන් ගැන කථා, සොරුන් ගැන ඇමැතියන් ගැන කතා අත් හළහ. තවද ගනුදෙනු කිරීම් ආදි වැරැදි වෙළෙඳාම් වලින්ද, හොර කිරුම් මිනුම්වල යෙදීමෙන්, අල්ලස් ගැනීම්, වංචා, සටකපටකම්, ආදියෙන් ද වැළකුණ හ. නූතන ලාංකික සමාජයම මේවායෙන් වෙළී ඇත. මෙම බුද්ධ ආදර්ශය සදාචාරවත් සමාජයකට වැදගත් වෙයි. එපමණක් නොව බ්‍රහ්මජාල සූත්‍රයේ දේශිත පරිදි, බුදුන් වහන්සේ දන් වළඳා රජුන් ඇමැතියන්, සොරුන්, ආදි දේ පිළිබඳ වැඩකට නැති දෙතිස් කථාවලින් වැළකුණහ. එම අත්‍යවශ්‍ය කථා වචනයේ සංවර බවට බාධා, අකුසල් බැවිනි. ඉතා මහඟු ආදර්ශය. බුදුන් වහන්සේ මෙම බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේදී, වේදනාවන්ගේ උපත, විපත, රසවිඳීම, මිදීම, නියම ලෙස දැන එහි නොඇලී කෙලෙසුන්ගෙන් මිදුණු බවත්, එසේ මිදුණේ තථාගතයන් වහන්සේ එය තම ඥණයෙන්ම තේරුම් ගත් නිසා බවත්, මෙම ධර්ම ජීවිතය ගත කරන කවරකුට වුවද යහපත් ජීවිතයක් ගත කළ හැකි අන්දමට සිතන්නටත් සැලසූහ.

මසුන් මරන්නකුගේ දැලට හසුවන මත්ස්‍යයන් මෙන් මිථ්‍යා දැලෙහි නොබැඳී, භවය පිළිබඳ ආශාව දුරුකොට, සංසාර දුකින් මිදිය යුතු බව පෙන්වා දුන් සේක. මේ සඳහා කළ යුතු, නොකළ යුතු දේ, කුසල් ක්‍රියා ඉතා සරලව බ්‍රහ්මජාල සූත්‍රයෙන් පෙන්වා දී ඇති නිසා එම කරුණු පිළිපැදීම බෞද්ධයන් බලාපොරොත්තු වන නිවන් සුව ලැබීමට හේතු වෙයි. ඒ සඳහා අවශ්‍ය සීලය මෙහි විස්තර කර ඇත. තව ද මිථ්‍යා දෘෂ්ටි ඊට බාධක වන අයුරුද පටිච්ච සමුප්පාද ධර්මය තුළින් ඉතා පැහැදිලිව බ්‍රහ්මජාල සූත්‍රයෙන් දේශනා කර ඇත. විවිධ දෘෂ්ටි වලින් මිදුණු බුදුන් වහන්සේ, භවය පිළිබඳ ආශාව නැතිව ශරීරයකින් සිටි ජීවමාන කාලයේ, දෙවි මිනිසුන් තථාගතයන් වහන්සේ දුටු බවත්, පිරිනිවන් පෑ පසු ‘අඹ පොකුරක නටුව කැපූ විට සියලු අඹ හැලෙන්නාක් මෙන් නැවත තථාගතයන් නොදකින බවත් වදාළ සේක. බුදුන් වහන්සේ, මෙම ස්වාභාවික, උපමාවෙන් පෙන්වා දුන්නේ, තමන් සංසාර ගමන අවසන් කළ බවත්, සියලු දුක් කෙළවර කොට, පිරිනිවන් පෑමත් සමග ඬවන් සුවයට පත් බවත් ය. බුදුරදුන් වදාළ මෙම උතුම් සූත්‍රය, ගිහි පැවිදි සියලු දෙනාගේම ඉගෙනී’නිමට යොදා ගන්නේ් නම්, සංවර ශීලී සදාචාර සමාජයකට මඟ පෑදෙනු ඇත.

විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
ටී. ගුණරත්න
budusarana.lk

Donations

You cannot copy content of this page